නොසිතූ ලෙස නොඑන ගමන් ගිය ඇළහැර පුංචි අලි පැටවා

2016-09-26 11:36:00       584
feature-top
මවු ඇතින්නගේ සිතෙහි ඇත්තේ ප්‍රීතියකි. වැටි වැටී දුව පැන ඇවිදින පුංචි පුතු රැළෙහි සෙසු පොඩිත්තන් හා සමග කෙළි දෙ‍‍ෙළිින් පසු වීම මවකට ප්‍රීතියට කරුණක් නොවන්නේද? පුංචි පුතු ඉපිද ගතව ඇත්තේ මාස අටක් පමණි. වනගත ජීවිතයට නොබියව මුහුණ දීමට නම් මව හා සමඟ ගත කිරීමට නියමිත වසර 10 කට ආසන්න වන කාල පරාසය තුළදී උගත යුතු තවත් බොහෝ දෑ මේ පුංචි ඇත් පැටවාට තිබිණ. ඒ සියල්ලක්ම එකින් එක කියා දීය යුතුය. එතෙක් ළමා වියේ සුන්දරත්වය සිත් සේ විඳ ගැනීමට අලි පුතුට ඉඩ හසර ලබා දිය යුතුව ඇත.

ඉඩෝරයේ දඬු අඬුවෙන් වනපෙත මිරිකී ඇත. බැලූ බැලූ සැම අතම ඇත්තේ චණ්ඩ හිරු රැසින් වියළී ගිය ගහ කොළ පමණී. ඉකුත්වැසි සමයේදී පිටවාන් දැමූ වැව් දිය වර මෙදවස සිහිනයක් හා සමව මතකයේ පමණක් ඉතිරිව ඇත. "අගෝස්තු පෑවිල්ල" යන අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලබන ඉඩෝර සමය අරම්භ වී මහ පොළොවේ අවසන් දිය බිඳුවත් උරා බීමට දත කන හිරු ගේ දැඩි රශ්මි කදම්බය පීඩාකාරීය.

උදැහැනැක්කේ සිට සවස් යාමය තෙක් එක හා සමැව ස්වකීය ආධීපත්‍යය පතුරුවා ලන හිරු අවරගිරින් නික්ම යෑම සලකුණු කරත්ම වනාන්තරේ මහ ඇත්තෝ සැඟව හුන් තිප්පොළවලින් බැහැර වී රාත්‍රී ගොදුරු බිම් සොයා සංචාරය ආරම්භ කර ඇත්තාහ. ඒ යන ගමන අතරතුර දී හමු වන දිය රැඳි එකම වැව් කඩිත්තේ මොහාතකට රැඳී සිය සා පවස සංසිඳුවා ගැනීමට ඔවුහු අමතක නොකරති. මන්ද යත් මේ දිය බිඳද මුළු මහත් වන වාසීන්ටම ඇති එකම සැනසීම වන නිසාය. එබැවින් දිය කෙලිය පසෙක ලා සා පවස සංසිඳවා ගනු රිසියෙන් දිය පොදක් තොල ගෑමට ඔවුහු වග බලා ගනිති.

වනඅලි රංචුවක නායකත්වය හිමි වන්නේ මවු ඇතින්නටය. ඈ අත්දැකීම් අතින් පරිපූර්ණ තැනැත්තියක් වන්නීය. ඇයට දාව උපන් ගැහැනු පාර්ශ්වය නියෝජනය කරනා ඇතින්නියෝ කිහිප දෙනෙක්ම එම රංචුවේ සිටිති. එසේම වයස අවුරුදු 10 ට අඩු පිරිමි පැටවුන් මෙම රංචුව නියෝජනය කළත්, වසර 10ට වැඩි පිරිමි සතුන් නම් රංචුවේ නොරැ‍ඳෙති. එලෙස රැඳී සිටීමට උත්සාහ කරමින් කලහකාරීව හැසිරෙන අයෙක් වෙත් නම් නායක ඇතින්න මුල් වී ඌ රැළෙන් එළවා දැමීමට වහා කටයුතු කරන්නීය. එයට ද හේතුවක් ඇත. වන අලියකු වසර 10 සම්පූර්ණ කිරීම යනු ලිංගිකව පරිණත වන අවදියට ප්‍රවිශ්ට වීමකි. ජීව විද්‍යාත්මකව ගත් කල එකම ලේ ඥාතීත්වයකට උරුමකම් කියන දෙදෙනෙකු ලිංගිකව එකතු වීම මත උපදිනුයේ ජාන ශක්තියෙන් හීන ශාරීරික බෙලහීනතාවෙන් පෙළෙන ජීවියෙකි. එබැවින් වන අලි රංචුවක් තුළ සිටිනුයේ එකම ලේ ඥාතීත්වයකට උරුමකම් කියන සහෝදරියන් පිරිසකි. එනිසා එම පිරිමි සතුනට සිදුවනුයේ තම සහෝදර ඥාතීන් සමග නොව වෙනත් රංචුවක ගැහැනු සතුන් එකතු වීමටය.

සරු ජාන පරම්පරාවක ඉදිරි පැවැත්ම නිසි අයුරින් තිරණය කිරීමට සොබා දම් මාතාව වග බලා ගනුයේ කෙබඳු අයුරින්ද යන්න සනාථ කර ගැනීමට මෙම අවස්ථාව කදිම නිදසුනක් වනු ඇත.

සංයමයකින් හික්මුණු ලොකු ඇත්තෝ අවට පරිසරය පිළිබදව තම අවධානය යොමු කළද, ඒ ගැන වගේ වගක්වත් නැති පුංචි ඇත්තෝ මවගේ රැකවලින් මිදුණු ඇසිල්ලේ සැම අත දුව පැන ඇවිදිනුයේ අනාරක්ෂිතවය. නමුත් මවු ඇතින්නගේ ඇස් මානයෙන් කුඩා පැටවුන් සැ ඟවෙනු නම් බොරුය. මව ආහාර බුදිනා අවස්ථාවේදී වුවත් සෑම විටෙකදීම තම සොඬය, අත් පා සතර හෝ වල්ගය යන ශරීරයේ කුමන හෝ අංගයක් කුඩා පැටවුන්ගේ ශරීරයේ ස්පර්ශ කරමින් ඔහු තමන් සමීපයේ රැ‍ඳෙන්නේද යන්න සනාථ කර ගැනීමට වග බලා ගන්නීය. ඇයට නොහැකි නම් ඇයගේ සහෝදරියන් විසින් හෝ කුඩා පැටවුන්ගේ ආරක්ෂාව පිළිබදව සෑම විටෙකදීම සොයා බලනු ලබයි. රැළේ නායිකාව මෙන්ම කනිටු නායිකාව ප්‍රමුඛ සැවොම නිරන්තරයෙන්ම පොඩිවුන් ගැන සොයා බලති. 'ඇතිනි රැළේ සැමටම කිරි එරේයා ...... ' යනුවෙන් ජනප්‍රවාදයේ එන්නේ මේ නිසා යැයි සිතිය හැකිය. සෑම විටෙකදීම කුඩා පැටවුන් වනඅලි රංචුවක් තුළ ගත කරනුයේ සුරක්ෂිත ජීවිතයකි.

වන අලි රංචුවක තත්ත්වය එබඳු වුවද කුඩා වන අලි පැටවුන් රංචුවේ ආරක්ෂාවෙන්, අවධානයෙන් බැහැරව වනයේ තනි වන අවස්ථා අපට අපමණවත් වාර්තා වී ඇති අතර, එබඳු අලි පැටවුන් රැගෙන විත් අවශ්‍ය රැකවරණය සහ පෝෂණය ලබා දෙමින් වනයේ තනිව ජීවත් විය හැකි තත්ත්වයට පත් වන තුරු ඇති දැඩි කර යළිත් වනයටම නිදහස් කිරීමේ වගකීම සහ යුතුකම වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබයි. උඩවලව ඇත් අතුරු සෙවණ ඊට කදිම නිදසුනකි.

මා ආරම්භයේදීම සදහන් කළ අලි රංචුවේ සිටි අලි පැටවාටද සිදු වූ‍යේ ඔහුගේ රැළ හෝ මව හෝ කිසිදු විටෙකදීවත් නොසිතූ ඉරණමකට මුහුණ දීමටය. ඇළහැර ප්‍රදේශයේ වනගත බිම් ආශ්‍රිතව දිවි ගෙවූ මෙම වනඅලි රංචුවේ කුඩා ඇත් පැටවුන් අතරේ මේ කියන මාස අටක් පමණ වයසැති කුඩා අලි පැටවාද ජීවත් විය. හඳුනා ගැනීමේ පහසුව සදහා මෙතැන් සිට ‍මේ අලි පැංචාට ඇළහැර වශයෙන් අපි නමක් තබමු. ඇළහැර පොඩි පුතු තම මවු ප්‍රමුඛ ඇතිනි පන්තිය හා සමඟ එදින රාත්‍රියේත් සතුටු සිතින් ආහාර සොයමින් වනාන්තරයේ ඔබ මොබ ගියේය.

පවත්නා ඉඩෝරය හේතුවෙන් ආහාර අර්බුදය වනාන්තරයට දරුණු ලෙස බලපාමින් වනයේ ආහාර ගබඩාව හීන කරමින් පවතී. සියයට සියයක්ම ශාකමය අාහාර මත යැපෙන ඔවුන්ගේ ආහාර රටාවට ශාකයක සියලුම කොටස් අන්තර්ගත වී ඇත. දිනකට කිලෝමීටර් 20 –ස්වකීය ජිවි 30 කට ආසන්න වු දුර ප්‍රමාණයක් ගමන් කරන වනඅලින් ගේ ජීවන රටාව වර්තමානය වන විටදී එක් ස්ථානයකට සීමාවී පැවතීමද වනඅලි මිනිස් ගැටුමට මුල් වු හේතුවක් වශයෙන් හඳුනා ගත හැකිය. ඒ නිසා කුසට අහර සොයා යන වන අලි වනාත මායිමේ පිහිටි ගොවි බිම් වෙත කඩා වැදෙති. බෝහෝ අවස්ථාවන්හීදී එවැනි වු හිතුවක්කාර කඩා වැදීම් සදහා පෙලඹෙන්නේ තනි වනඅලි රංචු වෙති. දිනකට වනාන්තරයේ කිලෝමීටර් ගණනක් ඇවිද යමින් ශාක ආහාර මත යැපීමට වඩා වනය මායිමේ පිහිටා ඇති හේනකට , කුඹුරකට පැන එක් රැයකින් පෝෂ්‍යදායී ආහාර වේල් කිහිපයක්ම බුක්ති විඳිය හැකි බව වටහා ගන්නා අලි එවැනි පහසු කඩා වැදීම්හි නිරන්තරයෙන් යෙදීම පුරුද්දක් කොට ගනිති. .

ඇළහැර පුංචි පුතුට සිදු වූයේ මහා වනාන්තරයේ අතරමංවන්නටය. මව හා සෙසු වැඩිහිටි පිරිවර සමග විනා හේ කිසි කලෙක වත් තනිව නම් කොහේවත් ගොස් නොමැත. එබැවින් සිතෙහි රජයන්නේ බියකි. මිනිසා හා සමව සතාටද බිය යන්න පොදු වු ජිවිත අංගයකි. වැඩිමනත්ම කුඩා පැටවෙකු ලෙස තනි වු කල බිය දෙගුණ තෙගුණ වීම නොකිවමනාය. මිනිස් පැටවෙකු නම් කරනුයේ මහා හඬින් හැඬීමය. කුඩා පැටවකු නම් මුහුණ දී ඇති තත්ත්වය හමුයේ හෙම්බත් වී සිටියදී උගෙන් පිටවනුයේ හීන් කෙඳිරියක් පමණි. නමුත් අවාසනාවක මහත. සත්ව හඬ තෝරා බේරා ගත නොහැකි නොමිනිසුන් සේ උපන් ඇතැමුන් සිදු කරනුයේ කුමක්ද? එවන් මිනිසත් කමටත් නිගා දෙන සිදු වීමකට ඇළහැර පුංචි අලි පැටවාටද මුහුණ දීමට සිදුවිය.

මවු රැකවරණය අහිමිව තනිව ඇවිද යමින් සිටි ඇළහැර අලි පැටවාගේ නෙතට යම් එළියක් පෙනෙන්නට ඇත. ඔහු එය සහන් එළියකැයි සිතා ඒ ‍වෙතට දිව ගියේ පිහිටක් බලාපොරොත්තුවෙන් බැව් මම සිතමි. සිදු වීම සිදු වූ ප්‍රදේශය ඇළහැර , කලුන්දෑව - අලුත්ගම ග්‍රාමයේ වෙලන්ගස්මානහේන නමැති ස්ථානයයි. අදාළ කුඹුරු යාය විනාශ කිරීම සදහා පැමිණෙන වනඅලින් ඝාතනය කිරීමේ අරමුණැතිව ඒ වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැන්වල පැටලුණු පුංචි අලි පැටියා විදුලි සැර වැදී වේදනාවෙන් දඟලන්නට වූයේ හැකි පමණ වෙර යොදා කෑ මොර දෙමිනි. විදුලි සැර වැදී දැඟලූ පුංචි ඇළහැර වැඩි වේලාවක් නොයා සුසුම් පොද වාතලයට එක් කළේ වනඅලි පාර්ශ්වයට තවත් එක් මරණයක් එක් කරමිනි. නමුත් මෙය එකී ගැටලුවේදී සටහන් වූ තවත් එක් මරණයක් පමණක් නොවීය. පුංචි ඇළහැරගේ නිසල දේහයට ඉන්පසු අත් වූ ඉරණම මිනිස්කමට නිගා දෙන්නක් ම විය.

කුඩා අලි පැටවා මිය ගිය පසු එතැනට පැමිණි විදුලි සැර ඇටවූ තැනැත්තෝ වහා ක්‍රියාත්මක වී අලි මළ සිරුර කුඩා කුඩා කැබැලිවලට වෙන් කර එම කොටස් ඒ ආසන්නයෙන් ඇති හුරුළු ඇළට දැමූහ. ඔවුන් සතුන් ඝාතනය කිරීම‍ට භාවිත කළ විදුලි රැහැන්ද කුඩා කැබලිවලට වෙන් කර ඒවාද හුරුළු ඇළට දමා ඒවා පාවෙන දෙස බලමින් උණු ලේ තැවරුණු අත් පිසදා ගත්තේ මහා බරකින් සිත නිදහස් කර ගත්තවුන් සේ විය හැකිය. පුංචි අලි පැටවාගේ ශරීර අභ්‍යන්තර කොටස්ද තම කුඹුරේම තැනෙක වළ දැමූ අදාළ උදවිය සිද්ධිය මෙතැකින් සමාප්තයැයි සිතමින් සිදු කළ මහා අපරාධයෙන් අනතුරුව සිත සනසා ගන්නටද ඇත. නමුත් සිදු වූයේ ඔහු නොසිතූ දෙයකි. මේ අපරාධය පිළිබදව කම්පා වූ තවත් මිනිසෙක් අදාළ සිදු වීම සම්බන්ධයෙන් වහාම දින වකවානුද සමගින් පොලිස් හදිසි ඇමතුම වෙත දැනුම් දී ඇත්තේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ දඹුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ඇළහැර වනජීවී අඩවි ආරක්ෂක කාර්යාල නිලධාරීන් එක් වී සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව අදාළ සැකකරුවන් දෙදනා අත්අඩංගුවට ගෙන පසුගියදා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

තමුන් කළ වරද හමුයේ නීතියෙන් දඬුවම් ලැබ ගෙවීමට සිදු වූ දඩ මුදල ද ගෙවා අවසන් වුවත් තමන් අතින් සිදු වු මේ මහා අපරාධය සහ එය වසන් කිරීම සදහා ඔහු දැරූ ප්‍රයත්නයත් ඔහුගේ සිතින් කෙදිනකදී වත් මැකී නොයනු ඇත.


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »