තුට්ටු දෙකට වී විකුණන අම්පාරේ ගොවි දුක

2016-09-20 11:02:00       660
feature-top
මේ දිනවල දිගාමඬුලු මිටියාවතේ මංමාවත්හි සුලබ දසුනක් වන්නේ තම වී අස්වනු වේළමින් සිටිනා ගොවි රජවරුන්ගේ අසරණ වූ මුහුණුය. දෑතේ කරගැට එනතෙක් ගිනියම් අව්පූටකේ මහ පොළොවත් සමග දුක් විඳ රෑ පුරා පැල් රකිමින් අලින් සමග හරි හරියට ඔට්ටු වෙමින් ගෙටගත්  රන්වන් වී අස්වනු  ටික තුට්ටු දෙකට පෞද්ගලික මෝලකට ලබා දී ණයතුරුස් ටිකද බේරාගැනීමට නොහැකිව අන්ත අසරණව අහස දෙස බලා හූල්ලමින් සිටිනා ගොවි රජවරුන්ගේ අසරණ කඵවන් මුහුණුය.

ලංකාවට  සහල් නිෂ්පාදනයෙන් 20%කට අධික ප්‍රමාණය සැපයෙන්නේ අම්පාරෙනි. එනිසා මෙවර යල කන්නයේද අම්පාරේ  හෙක්ටයාර් 70000ක් පමණවූ සරු පසෙහි වී වගා කළ අතර ඉන් මෙටි්‍රක් ටොන් ලක්ෂ 03ක වී අස්වැන්නක් අම්පාරෙහි කෘෂිකර්ම බලධාරීහු අපේක්ෂා කරති.

වෙනදා කන්නය ආරම්භයේදීම ගොවීහු තම වගාවන්ට අවශ්‍ය පොහොර එකවරම  නිවසට  ගෙන ඇත. ඒ පසුගිය රජයේ පොහොර සහනාධාර වැඩ පිළිවෙළ නිසි සේ ක්‍රියාත්මක වූ නිසාය.  වී නිෂ්පාදනය ද දෙගුණයක් වූ නිසාය. බඩ ඉරිඟු මෙන්ම අනෙකුත් වගාවන්ද දියුණුවට පත්වූයේ ඔවුන් පොහොර සහනාධාරය ලැබූ හෙයිනි.

නමුත් මේ වන විට අක්කරයට රුපියල් පන්දහසක් දුන්නද එයින්  ගත හැක්කේ පොහොර මිටි දෙකකි. අක්කරයක වගාවට තවත් මිටි එකහමාරක් කඩෙන් ගත යුතුය.  රජයෙන් පොහොරවලට ලබා දෙන මුදල්ද  ලැබුණේ වී වගා කර සති කිහිපයක් ගිය තැනය. තවත් විශාල පිරිසකට ලැබුණේ  ගොයම් කපා වී ටික ගෙට ගත් පසුවය. ඒ නිසා සරු අස්වැන්නක් නොලැබුණි.

වී මිලදී ගැනීම සඳහා අම්පාර දිස්ත්‍රික්කය තුළ රජය මගින් වී ගබඩා 47ක් ඉදිකර  තිබේ. නමුත් මේ වන විට එම ගබඩා සියල්ලම 2014 වසරේ සිට කන්න  කිහිපයක දී  රජය විසින් මිලදී ගත් වී  තොග කිලෝ  කෝටි 05කින් පුරවා තිබේ. අම්පාරේ ගබඩාවල වී හිස් කිරීම ආරම්භ කරනු  ලැබුවේ අම්පාරේ වී අස්වනු නෙළීම ආරම්භව සති කිහිපයක් ගතවූ පසුය. එයද ගබඩා 47න් 07ක පමණි. ඒ වීවලින් කොටසක් පමණක් හිස් කරන ලදී.

අම්පාරේ  ගබඩාවල ඉඩ නොමැති නිසාත් අස්වනු නෙළා මාස දෙකකට ආසන්න කාලයක් යන තෙක් අම්පාරේ වී මිලදී ගැනීම ආරම්භ නොකළ  නිසාත්  ණය බේරාගැනීමට බොහෝ ගොවීන්  රුපියල් 22, 23 සිට රුපියල්  30, 32 දක්වා මිලකට පෞද්ගලික අංශයට අලෙවි කරන්නට වූයේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය.

දමන කීනවත්ත 40 යායේ  ඩී.එම්. ගුණවර්ධන ගොවි මහතා මෙසේ කීවේය.

දැන් වී වගාව කරන්න බොහෝම අමාරුයි. ඉස්සර අපි වී කිලෝ  3000,  5000 වගේ ප්‍රමාණයක් ගබඩාවලට දුන්නා. දැන් ගන්නේ වී කිලෝ 2000යි.

ඒක දෙන්නත් ගබඩා ඇරියේ ගොයම් කපලා මාස දෙකක් විතර වෙද්දි. ඒ වෙනකොට ගොවියෝ ණය බේරන්න අඩු මිලට මුදලාලිලාට වී ටික විකුණලා. ඒ නිසා ගොඩක් ගොවීන් ළඟ ගබඩාවට දෙන්න වී ඉතිරිවෙලා නැහැ. අපේ රත්තරන් බඩු පවා බැංකුවල උකස් කරලා තියෙන්නේ.  කුඹුරුවලින් ආදායමක් නැති නිසා ඒවා බේරගන්න විදිහක් නැතිව තියෙන්නේ. නොයෙකුත් ගැටලුවලට මැදිවෙලා ඉන්නේ. වෙන කරන්න දෙයක් නැති නිසා කුඹුරු කරනවා ඇරෙන්න අපිට දැන් වී ගොවිතැන එපා වෙලා තියෙන්නේ”

ගල්ඔය වම් ඉවුර ව්‍යාපාර කමිටුවේ සභාපති  ජී.ජී. ජයසේන මහතා  පැවසුවේ මෙවනි අදහසකි.

“දිගාමඬුල්ලේ ගොවියා මේ වන විට අන්ත අසරණ වෙලයි ඉන්නේ. ගොවියාට වී ගොවිතැන එපා කරවලයි තියෙන්නේ. මේ මාසය අවසන් වන විට උහන ප්‍රදේශයේ වී අස්වනු මු`ඵමනින්ම වාගේ නෙළා අවසන් වෙනවා.  අපේ ප්‍රදේශයේ තිබෙන ගබඩා ඔක්කොම පිරිලා. වී ගන්න ඉඩක් නැහැ. ඒක නිසා ගොවීන්ට රුපියල් 27 සිට තිහට තිස් දෙකට වැනි මිලකට තමන්ගේ වී ටික විකුණලා දාන්න සිදුවෙලා තියෙනවා. රජය මගින් සම්බා වී කිලෝවක් රුපියල් 41.50කටත් නාඩු වී කිලෝවක් රුපියල් 38කටත් මිලදී ගන්නවා. ගබඩා ඇරියේ 26 වනදා.  ගොවියන්  විශාල පිරිසක් ඒ වනවිට  වී අඩු මිලට විකුණා අවසන්. ඒ වන විට පසුගිය රජයෙන් ගොවියාට පොහොර සහනාධාරය ලැබුණා. ඒ පොහොර වෙනුවට මුදල් දෙනවා කීවාට තවමත් අම්පාරේ බොහෝ ගොවීන් ප්‍රමාණයකට පොහොර සඳහා රජයෙන් ලබා දෙන මුදල් ලැබුණේ නැහැ. මටත් මෙවර පොහොර සහනාධාරය ලැබුණේ නැහැ.  මේ විදිහට ගියොත් ගොවියා ගොවිතැනින් ඈත් වෙනවා.  මෙම කන්නයේ උහන ප්‍රදේශයේ කුඹුරු අක්කර 400ක් පමණ වී වගා කළේ නැහැ” යැයි  ජයසේන මහතා පවසා සිටියේය.

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා මෙසේ වී ගැටලුව පිළිබඳව කීවේය.

අම්පාරේ වී අස්වනු නෙළන්න පටන් අරන් ගොඩක් කල්වෙනවා. නමුත් තවමත් වී මිලදී ගන්න පටන් අරන් නැහැ.

පොහොර සහනාධාරය තවමත් ලැබුණේ නැති ගොවියන් ඉන්නවා. අන්තිමේදී ගොවියන් ණය බේරන්න විදිහක් නැති වුණාම අඩු මිලට පෞද්ගලික අංශයට දුන්නාම මුදලාලිලා ඒවා  අඩු මිලට අරගෙන නැවතත් ගබඩාවලට කිසි කරදරයක් නැතිව රුපියල් 38ට 41. 50ට විකූණනවා.  නැවතත් ටික  දවසක් ගියාම රජයෙන් මිලදී ගත් වී තොග අඩු ගාණට පෞද්ගලික අංශයට විකුණලා දානවා. මේ ආකාරයෙන් කටයුතු කරන මේ අය රුපියල් 50 වී ගන්නවා කියලා තමයි බලයට ආවේ. අන්තිමේදී ගන්නේ 38ට. ඒකත් ගොයම් කපලා ඉවර වුණාම. රජයේ ගබඩාවලට වී ගන්න ගබඩා අරිද්දි ගොවීන් ණය බේරන්න කියලා  අඩුවට විකුණලා දාලා. ගොවියාගේ වී ටික මිලදී ගන්න බැරි මුදලාලිලාගේ වී ටික මිලදී ගන්නා වී අලෙවි මණ්ඩලය වහනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන.

අද ට්‍රැක්ටරයක්,  වාහනයක් ගත් ගොවියා වාරික ගෙවන්න බැරිව අසරණ වෙලා තියෙනවා 2005 වසරේදි වාර්ෂික වී නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් දශ ලක්ෂ දහ අට දහසයි. එය 2015 ජනවාරි 08 වන විට රටේ ජාතික වී නිෂ්පාදනය මෙ.ටො. හතළිස් හය ලක්ෂයක් දක්වා වර්ධනය වූවා. 2005 වන විට ජාතික වාර්ෂික බඩ ඉරිඟු නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් හැට හතර දහසයි. එය 2015 වන විට  මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ තිස් හතර දහසක් දක්වා වර්ධනය වූවා. පොහොර සහනාධාරය ලබා දෙමින් වී වගාව දියුණු කරමින්  පසුගිය රජය බඩ ඉරිඟු වැනි අමතර වගාවන්ද දියුණු කළා.

කුමන පදිංචි ටී. චන්දසිරි මහතා කීවේ මෙවැනි කථාවකි.

“කන්න දෙකක වී තොට්ටම ගබඩාවේ පුරවලා තියෙනවා. ඒවා හිස් කරන්න ගත්තේ දැනට සති දෙකකට කලින්.  ගබඩා ඇරියේ නැති නිසා රුපියල් 26ට 32ට  පුද්ගලික වෙළෙඳුන්ට වී ටික විකුණලා මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. ඒ ගාණට විකුණලා ගොවියාට ජීවත් වෙන්න විදිහක් නැහැ. පසු ගිය රජයෙන් නාඩු වී කිලෝවක් රුපියල් 45ටත් සම්බා වී කිලෝවක් රුපියල් 50කට වශයෙන් වැඩි මිලකට ගත්තා. නමුත් දැන් නාඩු වී කිලෝවක් රුපියල් 38යි. සම්බා කිලෝවක් රුපියල් 41. 50 ට තමයි රජයෙන් ගන්නේ. නමුත් ඒ ගාණට ගන්න අපේ ගබඩාව ඇරියේ 23 වැනිදයි. ගොඩක් තැන්වල තවමත් ගබඩා ඇරලා නැහැ. අපේ ගබඩාවෙත් පසුගිය වී ඉවත් කරලා තියෙන්නේ ටිකයි.”
සුසන්ත පටබැඳිගේ අම්පාර

Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks

More News »