මර මරා වැඩගත්ත අය ඇය ආණ්‌ඩුවේ ඔත්තුකාරියක්‌ කිව්වා

2016-09-19 10:29:00       659
feature-top
සිය ජීවිත කතාවේ තමලිනී නොලියූ පරිච්ඡේදය
ඇගේ සැමියා දිවයිනට කියයි

මේ වන විට ඉතිහාසයට එක්‌වී ඇති කොටි දේශපාලන අංශයේ කාන්තා අංශය එකල හැඳින්වූයේ සුකන්තිරප්පාරවයි හෙවත් නිදහසේ කුරුල්ලෝ නමිනි. එහි නායිකාව වූයේ ශිව සුබ්‍රමනියම් ශිව හාමිය. ඇයගේ දීර්ඝනාමය ලෝකයා නොහඳුනනා මුත් තමිලිනි නමින් ඇය ජනප්‍රියය. තියුණු අසිපතක සෙවණ යට නමින් ඇය ලියූ ග්‍රන්ථය නිසා සිංහල සමාජය ඇයගේ ජීවිතයේ පැති ගණනාවක්‌ මේවන විට හොඳින් හඳුනයි.

තමිලිනි සිය සටන්කාමී ජීවිතයෙන් සමුගන්නේ පරාජිත ත්‍රස්‌ත්තවාදී නායිකාවක ලෙස පශ්චාත්තාපයෙනි. ඇයගේ පසුතැවීම ඔවුන්ගේ සිහිනය ඇස්‌ ඉදිරිපිට ගරා වැටීම නොවේ.

රටක්‌ ලේ විලක්‌ කරන ලද තම වර්ගයාගේ කල්කිරියාව ගැන ඇය සිටියේ කලකිරීමෙනි. මහරගම පිළිකා රෝහලේදී පිළිකා සමඟ සටන් වැදි ඇය සිය ජීවිතයේ අවසාන පරාජයද ගත්තාය. ඇයගේ ජීවිත කතාව සිංහල සමාජය කියවන්නේ, එදා තිබූ වෛරී හැඟීම මත සිට වූවත් පොත කියවා අවසන් වනවිට තමිලිනි පිළිබඳව තිබූ තරහ මරහා නිවී ඇය පිළිබඳව අනුකම්පාවක්‌ ඇතිවී තිබුණි.

තමිලිනිගේ ජීවිත කතාවේ නොකියපු පරිච්ඡේදයක්‌ අපට හමුවන්නේ අහම්බයෙනි.

නවගත්තේගම ප්‍රදේශයේ පාසල් ගුරුවරියක්‌ දණ ගැස්‌සවීමේ ප්‍රසිද්ධ සිද්ධිය අපේ කතාව සඳහා පසුබිම ඉදිකර දුන්නේය. එම සිද්ධිය අධිකරණය ඉදිරියට පැමිණීමෙන් පසු වන්දි මුදලක්‌ ගෙවන දඬුවමකින් කෙළවරවිය. එම වන්දි මුදලින් උතුරු පළාතේ පාසල් දරුවන්ට පා-පැදි බෙදාදීමේ උත්සවයක්‌ ආනමඩුවේ සිඩ්නි මාකස්‌ ඩයස්‌ කලාකරුවා සහ මුලතිව්හි අයිසෙක්‌ ඩැනියෙල් ඩික්‌සන් පියතුමා විසින් මුලතිව්හි සංවිධානය කර තිබුණි. ඒ අවස්‌ථාව වාර්තා කිරීම සඳහා ගොස්‌ සිටියදී තමිලිනිගේ ස්‌වාමිපුරුෂයා වන එම්. ජෙයකුමාරන් අපට හමුවිය. පනස්‌පස්‌ වියෑති ඔහුගේ උපන් ගම යාපනයේ පේදුරුතුඩුවේ කරවෙඩ්ඩි ග්‍රාමයයි. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක්‌ ගතකරන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේය. වෘත්තියෙන් පරිගණක දත්ත සැකසුම්කරුවෙක්‌ වන ඔහු දෙරටේම පුරවැසිභාවය ලබා තිබේ.

ඔහු විවාහ කරගත්තේ සම්ප්‍රදායික ලෙස මව පියා අතර හැදී වැඩුණු ගැහැනු දරුවකු සමඟ නොවේ. නිවසක්‌ නොමැතිව වසර ගණනක්‌ රණබිමේ නිදාගත් සොඳුරු වදන් තෙපළනවා වෙනුවට මරණීය අණදීම් සිදුකළ ඇය සිය යෞවනය ගෙවන ලද්දේ ලේ සහ මරණ අතරේය. එවන් ගැහැනියක්‌ සිය පතිනිය කර ගැනීමට ඔහුගේ ජීවිතයට අපූර්වත්වයක්‌ එක්‌කළා විය හැකිය. කැලෑ සටන්කාරියක්‌ සිය ජීවිතය කරගත් ඔහු ජීවන කතාව පටන් ගත්තේ මෙසේය.

"මම යාපනයේ හින්දු විදුහලේ ඉගෙනුම ලැබ 1975 දී සාමාන්‍ය පෙළ හා 1978 දී උසස්‌ පෙළ විභාග සමත්වී යාපනය විශ්වවිද්‍යාලයට වාණිජ අංශයෙන් ඉදිරිපත් වී උපාධි ලැබුවා.

විශ්ව විද්‍යාලයේදී තරුණ උද්වේගය නිසා, අයුක්‌තිය, අසාධාරණය වෙනුවෙන් හඬ ගෑම් කළා. උද්ඝෝෂණ, අරගල කළා. අපි එල්. ටී. ටී. ඊ. සංවිධානයට බැඳිලා හිටියේ නැහැ. විමුක්‌තිකාමීන් ලෙසයි පෙනී සිටියේ.

මේ අරගල කිරීම මට බලපෑවා. පොලිසිය මාව අත්අඩංගුවට ගැනීමට සෙව්වා. අවසානයේදී මම බෝට්‌ටුවකින් ඉන්දියාවට පලා ගියා.

ඉන්දියාවේදී මම පුද්ගලික ආයතනයක දත්ත සැකසුම්කරුවකු ලෙස සේවය කළා. පසුව බ්‍රිතාන්‍ය බලා යනවා. එහි වෙළෙඳ ආයතනවල සේවය කළා. බ්‍රිතාන්‍ය පුරවැසිකමද ලැබුණා.

"ඔය අතරතුරේදී මට විවාහ යෝජනාවක්‌ ලැබෙනවා. මගේ මිතුරියන්ගෙන්, ඥාතීන්ගෙන්. ඒ තමලිනි පිළිබඳවයි. මා ඈ දැන සිටියා. ඈ කොටි සංවිධානය වෙනුවෙන් කළ කැප කිරීම් මා අසා, බලා දැන සිටියා. මා එල්. ටී. ටී. ඊ. යේ ක්‍රියාකරුවෙක්‌ හෝ සහාය දක්‌වන්නෙක්‌ හෝ නොවේ. අප මේ නිර්ථක යුද්ධය දෙස පිටත සිට බලා සිටියා. අපේ මිනිසුන්, රටේ මිනිසුන් ලේ ගංගා මවාගෙන උතුරේ පසට යටවන සැටි අප දුකෙන් බලා සිටියා. කාට කියන්නද? ඒත් ඒ දුක, වේදනා සිතේ තද කරගෙන සිටියා.

යුද්දේ නිමාවුණා. අපේ මිනිසුන් බොහොමයක්‌ නැතිවී තිබුණා. අවතැන්වී සිටියා. අත පය වගේම සිතද බිඳී තිබුණා. එහෙම තිබියදීයි තමලිනීට කතා කිරීමට මට ඉඩ ලැබුණේ.

ඇයි ඔබ තමලිනිට කතා කළේ? ඔබ කලින් ඇයට ආදරය කර තිබුණේ නැහැ නේද...

නැහැ.. ඇයට මම කලින් ආදරය කර තිබුණේ නැහැ. ඒත් මට ඇයට ආදරය කිරීමට හිතුණා.

මා ඇයට කතා කළා. ඇය යහපත් බිරිඳක්‌ වේවි යයි මට අවබෝධ වුණා. මා දුරකථනයෙන් කතා කළේ. ඇය ඒ වනවිටත් හමුදා පුනරුත්ථාපන කඳවුරේ. ඇය විවාහ කර ගත්තොත් ඇය නිදහස්‌ වන බවත්, ඇයට නිදහස්‌ ජීවිතයක්‌ ගතකළ හැකි බවත් අප දෙදෙනාම අවබෝධ කරගෙන තිබුණා.

රජයේ ආරක්‍ෂක අංශ හමුදාව ඉතා යහපත් හා නිවැරදි පුනරුත්ථාපනයක්‌ ඇයට හා කඳවුරේ අයට ලබාදී තිබුණා.

ඇය වෙඩික්‌කාරියක්‌, සෙබළියක්‌, කොටි නායිකාවක්‌.. දරුණු ගණයේ ප්‍රහාරිකාවක්‌. ඇයි ඔබ ඇය විවාහ කර ගැනීමට සිතුවේ.

යුද්ධයත්, යුද්ධයේ නියෑළෙන අයත් එලෙස තමයි. අවංකව යුද්ධයක්‌ කරද්දී එහෙම තමයි. මා ඇය ගැන සිතුවා. නෑ මම ඇයට යුද්ධයෙන් පසු ජීවිතය ගොඩනගා ගන්න උපකාර කළ යුතුයි කියා සිතුවා.

යුද්ධයකට පසු නිතරම පීඩා විඳින්නේත් අසරණ වන්නේත්, හුදෙකලා වන්නේත් කාන්තාවන් තමයි. මෙය මුළු මහත් ලෝකයටම සාධාරණ වූවක්‌. ට්‍රොaජන් කාන්තාවෝ එලෙස පිරිසක්‌. සෑම යුද්ධයකදීම බරපතළ ෙ€දවාචකයට ගොදුරු වන්නේ කාන්තාවන් හා ළමුන්. ඔවුනට උපකාර කරන්නේ කවුරුන්ද.. මම ඉතින් හිතා ගත්තා යුද්ධයෙන් පීඩාවට, පත්වී තැළී පෙළී රිදවී හදවත වේදනා පිරී තිබූ, මනස වියවුල් වී තිබූ තමලිනීට උදවු කිරීමට... එය මගේ යුතුකම කියා සිතුවා.

ඇයගේ දැස කඳුළු පිස දැමීමට මා සිතුවා. රිදුණු හදවතක්‌ සුවපත් කිරීම මානුෂිකත්වයේ යහ පියවරක්‌ බව මා කියවා, අසා දැන තිබුණා.

මාත්, ඇයත් ඒ තීරණයට එළැඹුණා. ඒ වන විට විරුද්ධකාරයන් විරෝධතා ආරම්භ කළා. වෙබ් අඩවිවල ඇය ගැන විවිධ නරක කතා අවලාද මඩ කතා ප්‍රචාරය වුණා. වැඩියෙන් ඇයගේ චරිත ඝාතනය කොට තිබුණා. හමුදා නිලධාරීන් ඇය පුනරුත්ථාපන කඳවුරුවලදී දූෂණය කළ බවත්, ඇය ඔවුන්ගේ සුරතලියක්‌ ලෙස භාවිත කළ බවත් දෙමළ වෙබ් අඩවිවල සති ගණන් පළවූවා. ඇයව නාස්‌ති කර තිබුණා.

ඇය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටියදී අපචාරයට ලක්‌වීමේ අවදානමක්‌ පවා තියෙන්න ඇති...?

එහෙම තිබුණෙ නැහැ.. ඒත් මට ඒවායින් ඵලක්‌ නැහැ. ඒ ඕනෑම දෙයක්‌ සිදුවිය හැකියි. ඒත් ඇය මට විශ්වාසවන්තව කියා තිබෙනවා ඇය ඉතා පිරිසිදුව තම ආත්මගරුත්වය රැකගත් බව, ඔය තරම් අර්බුද තත්ත්වයක්‌ තිබියදී පවා, මම ඇයව විශ්වාස කරනවා. ඒත් මම විශ්වාස කරන්නේ යුද්ධයකදී ඕනෑම දෙයක්‌ කාන්තාවකට සිදුවිය හැකි වූවත් ඉන්පසුව (යුද්ධයට පසුව) කාන්තාවන් හොඳින් රැකබලාගත යුතු බවයි. මම ඇය වෙනුවෙන් කැපවිය යුතු බව මම තරයේ ඇදහුවා. මගේ මාපියන් ඊට ආශීර්වාද කළා.

මගේ විවාහවීමට විරුද්ධව එල්.ටී.ටී.ඊ. ප්‍රධාන පෙළේ නායකයන් දෙදෙනෙක්‌ කටයුතු කළා "මෝඩ වැඩ කරන්න එපා" ඔවුන් මට දොස්‌ කිව්වා. මම ඔවුන්ගේ කීම් ඇසුවේ නැහැ. "හමුදාව දූෂිතයි කිව්වා. මා ඇසුවේ නෑ. ඩයස්‌පෝරාව ඇයට උපකාර කළේ නෑ... ඔවුන් ඇය මර මරා වැඩ ගත්තා. ඇගේ දුකේදී ඔවුන් මඟ හැරියා. ඔවුන් ඇයට ශත පහක්‌ උපකාර කොට නැහැ.

ඇය ඔත්තුකාරියක්‌ යයි කිව්වා. රුපියල් කෝටි අනූවක්‌ අරගෙන ආණ්‌ඩුවට බැඳිලා ඉන්නවා කීවා. මා කිසිවක්‌ ගණන් ගත්තේ නෑ.

අපි දෙන්න ඉතා චාමෙට, සරලව 2013 සැප්තැම්බර් විසිඅට (28) වැනිදා මෙහිදී විවාහ වුණා. ටික දෙනෙක්‌ හිටියා. අපට ආශිර්වාද කිරීමට. ඇය හරි සතුටුවුණා. ඇයට සැමියෙක්‌ ලැබීම ගැන. අපි හරිම සතුටින් සිටීමට උත්සාහ කළා.

ඒත් ඇය රාත්‍රියට කඳුළු සලනවා. ඇයගේ ඥාතීන්, සොයුරු සොයුරියන් යුද්ධයේදී විනාශ වී යාම ගැන.. මම ඇයට කියනවා හිතේ තද කර ඉන්නේ නැතිව මට කතා කරන්න කියලා. මම ඇය වෙනුවෙන් රෑ 2-3 වනතුරු ඇයට නින්ද යන තුරු සවන් දෙනවා. ඇය කඳුළු වගුරනවා. "කෝ උඹ අපේ ළමයින් අරගෙන ගිහින් යුද්දෙ දිනුවද? කියා බොහෝ දෙමාපියන් අහද්දී පපුව පැළෙන්න එනවා කියලා ඇය කියනවා. ඇයට දරා ගන්නම බැරි ඒ කතාවයි. මා ඇය සනසනවා. මා අතීත කතා කවදාවත් හාරා අවුස්‌සා නෑ. එල්.ටී.ටී.ඊ. ය ගැන කවදාවත් අසා නැහැ. ඇය ඒවායින් රිදවා ගන්න බව මම අවබෝධ කරගෙන සිටියා. මට ඕනෑ කළේ ඇය ඒ දුකින් මුදවා ගන්නයි. රාත්‍රි නින්ද නොඑනවාට නිදි පෙති ගැනීම මා වැළැක්‌වූවා. මා ඇය වෙනුවෙන් කැප වුණා. එනිසාම ඇය මට වඩ වඩා ආදරය කළා. මට ඕනි වුණා ඇය හදාගන්න. යළිත් පියවි ලොවට ගෙන එන්නට. එය සාර්ථක වුණා. ඇය කොපමණ ආදරය කළා දැයි මට දැන් හිතා ගන්නවත් බැහැ. (ඔහු කඳුළු සලයි) ඔව් ඇත්තෙන්ම ඇයත්, මමත් අපි හොඳ ආදරවන්තයෝ බවට පත්වුණා. මමයි, ඇය ඇවිද ගිය ස්‌ථාන (ඔහු යළි හඬයි...) මට දැන් සිහිවෙනවා. මා පිටරට සිටි නිසා මම මෙරටේ පාරවල ඇවිද යද්දී වාහන වල ගැටෙයි කියා මා අතින් අල්ලා අදිනවා. හුරතලේට දිව්වා.. පැන්නා.. ඇය හරිම සොඳුරු දයාබරිත කාන්තාවක්‌..

ඇය නිතරම කියා හිටියේ යුද්දෙන් අතරමංවූ දරුවනට කාන්තාවනට උපකාර කරමු කියායි. ඒ වෙනුවෙන් වැඩ කළා.

ඇගේ වේදනාව තුනී වෙන්නට මා ඇයට මේ ගැන පොතක්‌ ලියන්නට කීවා. ඇය මාස කීපයක්‌ ඇතුළතදීම එය ලිව්වා. ඒත් ඇයට එය මුද්‍රණයෙන් පිටවනවා බලා ගැනීමට ඉඩ ලැබුණේ නැහැ. (ඔහු යළි ඉකි බිඳියි)

ඇය විටින් විට ලෙඩ වුණා. බඩ රිදී වමනය ගලා ගියා විටින් විට.. යුද්ධ කාලෙත් ඇගේ ඇඟ ඇතුළේ ලෙඩ තිබිලා. ගණන් ගෙන නැහැ.

පසුව කොළඹ ලංකා හොස්‌පිටල් එකට ඇතුල් කළා. ඉන්පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කොට කළ පරීක්‍ෂාවලදී අක්‌මාව දක්‌වා පිළිකාවක්‌ පැතිරී ඇති බවට මාස 03 කට පසු ලැබුණු වෛද්‍ය වාර්තාවලින් පැවැසුවා. එම පරීක්‍ෂණවලට රුපියල් හතළිස්‌දාහක්‌ ගෙන තිබුණා. මහරගම රෝහලට ඇතුළත් කළා. වෛද්‍ය ආලෝක බණ්‌ඩාර මහතා අපට උපකාර කළා. කිසිවෙකු දැන සිටියේ නෑ. තමලිනී ගැන. ජයකුමාරන් කියා ඇතුළු කළේ ඇගේ ආරක්‍ෂාව ගැන සිතලයි.

අන්තිම දින දෙකේ ඇය මරණය ගැන බලා සිටියා. එයා ඒ ගැන බය වුණා. ඇගේ ඇස්‌ කහපාට වී තිබුණා. මාව ඇයට අඳුර ගන්න බැරිවුණා. මම ඇයගේ අත් අල්ලාගෙන හිටියා. ඒත් මාරයා, ඇයව මගෙන් උදුරලා ඇදලා ගත්තා. පරන්තන්වල ඇයගේ පවුලේ සුසාන භූමියේදී ඇය ගෞරවාන්විතව වළ දැම්මා. දෙවියන් මට පරිත්‍යාග කළ ඇය යකුන් (යක්‍ෂයන්) උදුරා ගත්තා. අවුරුදු දෙකක්‌ ඇතුළතදී ඇය මට අහිමි වුණා. (උපැස්‌ අතරින් ඔහුගේ දැස්‌ කෙවෙනි අගින් කඳුළු වැල් බේරෙයි.)

"මට දරා ගන්න බැහැ ඇගේ වියෝව. මා ඇයට ආදරය කළා.. ඇය මට ආදරය කළා. ඒ ආදරය කොපමණ දිගද පළලද කියා කියන්නට මා දන්නේ නෑ. ඇය හොඳ බිරිඳක්‌... ආදරවන්තියක්‌...

ඔහුගේ දෙනෙතින් කඳුළු ගලන්නට පටන් ගත්තේය.

තමලිනි තව ලියලා තිබුණා කෙටිකතා පොත් පහක්‌. උතුරේ දමිළ දරුවන් වෙනුවෙන් පාපැදි බෙදා දෙන්නට ආ ලේඛක ආණමඩුවේ සිඩ්නි මාකස්‌ට මම ඒ පොත් මුද්‍රණය කිරීමට බාර දෙනවා ඇයට හරි අපූරුවට ලියන්නට පුළුවනි.

මා දැන් තනියෙන් ඉන්නේ. තමලිනි වෙනුවෙන් මා මුළු ජීවිත කාලයම කැප කරනවා. ඇයගේ සිතැඟි ඉටුකිරීමට මා බ්‍රිතාන්‍යයේ මගේ යාළුවන්ගෙන් මුදල් ඉල්ලා යවා මෙහේ දරුවන්ට පොත පත හා අවශ්‍ය දේ බෙදා දෙනවා. වසරකට වරක්‌ එහි යනවා. මගේ මවට ලැබෙන සුළු විශ්‍රාම වැටුපෙන් අප දෙදෙනා ජීවත් වෙනවා. ඔහු සරල හා සැහැල්ලු ලෙස පවසයි.

ජීවිතය මොන තරම් විශ්මය ජනකද? ආදරය මොන තරම් සොඳුරුද? විශ්වය මේ තරම් ලස්‌සනද..? මේ සියල්ල අපට කියා පාන්නේ සැබෑ මිනිසුන් නිසා ලොවම සුන්දර වන බව නොවේද? හමුදාවද, ජෙයකුමාරන්ද ඇයව පුනරුත්ථාපනය කළේය. අංගුලිමාල මෙන් ඇය යහපත් විය. ආගම දහමට ළං විය.

ඇය ලියූ තියුණු අසිපතක සෙවණ යට ග්‍රන්ථයේ ඇය නිවී සැනසී මෙසේ ලියයි.

"අරගලය මුළුමනින්ම තම අන්තර්ගතය බවට පත්කරගත් විමුක්‌ති කොටි සංවිධානයේ මමද එක්‌ සාමාජිකාවක්‌ව උන්නෙමි. අරගලයෙහි අවසන් වසර විස්‌ස තුළ මමද සාක්‍ෂියක්‌ ලෙස යුද්ධය සමඟ ජීවත් වූයෙමි. සටන්කාමීන් වූ අපි අපේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වූවෙමු. අත දරාගෙන සිටි ආයුධ ආරක්‍ෂා කර ගැනීමට අපි අපේ දේශපාලන අරමුණ පරාජය කළෙමු. අද අපේ ජනතාවගේ. ජීවිත සියවස්‌ ගණනාවක පිටුපසට ගොස්‌ ඇතැයි මට දැනෙයි.

සැබෑ සාමයේ මාර්ගය යුද්ධයෙහි මාර්ගයට වඩා දුෂ්කරය යන්න මම තේරුම්ගෙන සිටිමි. ඒ සඳහා කොතරම් බාධක පසුකළ යුතුද යන්න දනිමි.

මානව හිතවාදයද, සැබෑ සමාජ ප්‍රේමයද සහිත වූ දහස්‌ ගණන් සාම අරගලකරුවන් මා සමඟ අත්වැල් බැඳගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව මම මගේ දැත් සාමයෙන් ඔසවමි.

තමලිනි ජෙයක්‌කුමාරන්
2015.08.30
තමලිනි ලොව හැර ගොසිනි. ඇගේ පෙම්බර සැමියා ඇයගෙන් අවබෝධ කරගත් සාමය, ලොවෙන් ඉල්ලා සිටියි.

More News »