මවට සෙවණක් හදන්න ගඩොළු කපන පොඩි හාමුදුරු දෙනමක්

2016-09-15 11:41:00       582
feature-top
මව සමඟ ෙපාඩි හාමුදුරු ෙදනම

දාරක සෙනෙහසින් පිරී ඉතිරී ගිය මෙහොතක් මොහොතක් පාසා ඇය හඬා වැටුණු වාර අනන්තය. ලේ කිරි කර පොවා උස් මහත් කළ සිය දෙවැනි පුතු බුදු සසුනට ඇතුළු වූ දා නිල්මිණී නම් වූ ඇය සිය සිත පාලනය කර ගත්තේ බාල පුතණුවන් ගැන සිහි කරමිනි. දින මාස අවුරුදු කල් ගතව ගියේ ය.

පෙර භවයේ වූ පුරුදු නිසාදෝ නොසීතු පරිදි සිය ඇකයේ සුරතල් වෙමින් සිටි අවුරුදු පහක් වයසැති ඇගේ චූටි පුතණුවන්ද ගමේ පන්සල කරා දිව ගියේ සිය සොහොයුරා මෙන් සසුන්ගත වන්නටය. ඇය වාරයක් දෙවාරයක් නොව සිය දහස්වාරයක් හඬා වැලපුණා ය.

සැමියාගේ වියෝව මෙන්ම සිය උණුසුමේ තැවරී සුරතල් වෙමින් සිටි දරුවන් දෙදෙනාගේ වෙන්වීම දරාගත නොහැකි වූ ඇය අවසානයේදි සිතින්ද ගතින්ද රෝගී වූවාය. ඉන්න හිටින්නට සෙවණක් සැපයූ ගේ දොර පවා ඇයට අහිමි වූයේ ඇයත් නොදැනීමය. කාලය බොහෝ වේදනා අකාමකා දමද්දී කෙමෙන් ඇය ඒ වේදනාකාරී අතීතයට සමු දුන්නා ය.

“මගේ දරු දෙන්නා උතුම් බුදු පුතුන් දෙන්නෙක්. අම්මා විදියට මම ඒ බුදු පුතුන්ට සිය දහස් වාරයක් ආශිර්වාද කරනවා. මේ ලෝකේ දරුවන් සාසනයට පූජා කරලා ඒ දිහා බලලා අනන්න අප්‍රමාණව සතුටු වෙන අම්මා කෙනෙක් මං ....”ඇය අද පවසන්නි ය.

බුදු පුතුන් වුවත් ලේ කිරි කර පෙවූ මවු සෙනෙහස නිසා මේ බුදු පුතණුවෝ දෙදෙනා උන් හිටිතැන් අහිමි වූ සිය මව වෙනුවෙන් නිවෙසක් ඉදිකර දෙන්නට කැලෑ එළිපෙහෙළි කරති. ගඩොළු කපති. ඒ පුංචි පැළක් හෝ සිය මව වෙනුවෙන් තනා දෙන්නටය.

“ අපේ ගෙවල් දොරවල් තිබුණේ අරලගන්විල බමුණුකොටුවේ. පුංචි කාලෙදීම මගේ තාත්තා නැතිවුණා. අම්මා වෙනත් විවාහයක් කර ගත්තා. ඒ විවාහයෙන් තමයි මල්ලි කෙනෙක් ලැබුණේ. තවත් අයියා කෙනෙකුත් හිටියා. එයා තාමත් ඉගෙන ගන්නවා. මෙහෙම ඉන්නකොට ඒ තාත්තාත් අපි දාලා ගියා. මට එතකොට අවුරුදු 8 යි.

ඉගෙන ගත්තේ පිරිවෙනේ. පිරිවෙනේ ඉගෙන ගන්නකොට මට මහණ වෙන්න ආසාවක් ඇතිවුණා. තිස්සමහාරාම නැදිගම්වල විල්පිට රජමහා විහාරයේ කඩවත සද්ධාමූර්ති හාමුදුරුවෝ නමින් මම පැවිදි වෙනකොට මගේ අම්මා හරිම වේදනාවෙන් මම දිහා බලාගෙන හිටියා. එතකොට මගේ මල්ලි හරිම පුංචියි. තාත්තලා දෙන්නෙක්ගේ වුණාට අපි දෙන්නා හරිම එකමුතුයි.

දවසක් මගේ මල්ලි පන්සලේ පූජාවකට ගියා, අම්මත් එක්ක. ඒක ඉවර වුණාම එයා ගෙදර යන්න කැමති වුණේ නැහැ. මල්ලි කඩවත සමනාලංකාර හිමි නමින් මහණ වුණා. මල්ලිගේ වෙන්වීම අම්මට දරාගන්න පුළුවන් දෙයක් වුණේ නැහැ. ඊට පස්සේ එයා හරියට ඇඬුවා. එයා වයසට වඩා දුක් වින්දා. සැරින් සැරේ කොළඹ ගිහින් රස්සාවල් කළා.

ඒත් ලෙඩ ගානේ. ගමට ආවහම අපේ අම්මට ඉන්න තැනක් නැහැ. එයා එක එක ගෙවල්වල නවතින්නේ. අම්ම ගැන මාත් පොඩි සාදූත් දුක්වුණු වාර අනන්තයි. අපි හැමෝටම ලියුම් ලිව්වා අපේ අම්මට ඉන්න ගෙයක් හදලා දෙන්න කියලා.

ඒත් කිසි කෙනෙක් ඉදිරි පත්වුණේ නැහැ. පස්සේ මාත් පොඩි සාදුත් කල්පනා කළා අපි දෙන්නා කොහොම හරි අපේ මහන්සියෙන් අම්මට කාමර කෑල්ලක්වත් හදලා දෙමු කියලා. එහෙම හිතාගෙන අපිට ලැබුණ පොඩි ඉඩම් කෑල්ලේ කැළෑ කපලා එළපෙහෙළි කළා. පස්සේ අපි දෙන්නම එකතු වෙලා උදේ ඉඳන් රෑ වෙනකම් ගඩොල් කැපුවා. අතේ කර ගැට ආවා. ඒත් ඒ අපේ අම්මා වෙනුවෙන්නේ කියලා හිත හදා ගත්තා..............”යැයි කඩවත සද්ධාමූර්ති පොඩි හාමුදුරුවෝ පැවසූහ.

සිය මව ජීවත් කරවන්නට මේ බුදු පුතුන් දෙදෙනාට ඇවැසිය. මහවැලියෙන් ලැබුණු පුංචි ඉඩම් කෑල්ලේ කහ සිවුර හැඳි මේ පුංචි හිමිවරු දෙනම සිය මව වෙනුවෙන් නිවෙසක් තනන්නට සිමෙන්ති බ්ලොක් ගල් කපමින් දහදිය හෙළන අයුරු දුටුවන්ගේ නෙතට කඳුළක් උපදවයි.

“මමයි පොඩි සාදුයි පාන්දර 7 වෙනකොට ඉඩමට යනවා ගඩොළු කපන්න. ඒ ළඟ ගෙයක් තියෙනවා. ඒ ගෙදරින් තමයි උදලු, ඉදල් එහෙම ඉල්ලා ගන්නේ. ළඟ ගේක මාග්‍රට් නැන්දා අපේ උදව්වට එනවා. එයා කතෝලික. තේ ටිකක් පවා අරගෙන එන්නේ මාග්‍රට් නැන්දා. පොඩි සාදුත් ඇවිල්ලා පොඩි පොඩි අත් උදවු දෙනවා. රෑ වෙනකම් මැටි අනලා ගඩොල් කැපුවොත් ගඩොල් සියයක් විතර කපා ගන්න පුළුවන්. ගඩොළු කපන්න වතුර ගන්නේ මහවැලියට වතුර දෙන ඇළ පාරෙන්. ඒත් දැන් මේ කාලෙ මෙහෙ ගොයම් කපනවා. ඒ නිසා ඇළ පාර වහලා. ඉතුරු ටික කර ගන්න දැන් වතුර නැහැ...“ දෑතේ කරගැට එනකම් ගඩොළු කැපූවද මේ බුදු පුතුන් දෙදෙනාට වෙහෙසක් දැනෙන්නේ නැත. මේ දෙනමගේ එකම අපේක්ෂාව වී ඇත්තේ ගෙයක් දොරක් නොව කුඩා කාමර කෑල්ලක් හෝ සිය මවට තනා දී ඇයව රැක බලා ගන්නටය..

“ මම ඉන්නේ ගමේම පන්සලේ නිසා අපේ අම්මගේ දුක මට හොඳටෝම තේරෙනවා. ලොකු සාදු ඉන්නේ දුර පන්සලක. අපේ අම්මට ඉන්න තැනත් නැහැ. ස්ථිර රස්සාවක් නැහැ. නිතරම ලෙඩ ගානේ. අම්මා මාව මහණ කළේ යාළුවෙක්ගෙන් සල්ලි ඉල්ල ගෙන. එදා එයා හරියට දුක්වුණා. අපේ අම්මා ඉන්නකම් අපි එයාව හොඳට ආරක්ෂා කරන්න ඕන. ඒ නිසයි මාත් ලොකු සාදුත් එක්ක එකතු වෙලා ගඩොළු කපලා අම්මට ගේ කෑල්ලක් හදලා දෙන්න හිතුවේ.“ ඒ සමනාලංකාර පොඩි සාදු ය.

තවමත් අත්තිවාරම් පවා කපා නැති මේ පුංචි ගේ පොඩ්ඩ හදන කර්තව්‍යය මේ පුංචි දෑත් වලට වෙහෙසකාරී ය. එහෙත් හිත ඇත්නම් පත කුඩාද යන කියමන සනාථ කරමින් ඔවුනගේ අධිෂ්ඨාන ශක්තිය ප්‍රබලය. මේ බුදු පුතුන් හෙළන දහඩිය කදුළු වළකාලන්නට මේ මවට හැකියාවක් නැත. ඇයට හැක්කේ කදුළු දෙනෙතට මුසුකරමින්, හදවතේ තෙරපෙන වේදනාව සඟවා ගෙන බලා සිටීම පමණි.

“.....මේ වගේ පුත්තු පතන්න අම්මලා පිං කරන්න ඕන. පෙර කළ අකුසල කර්මයක් නිසා මම ජීවිතයේ ගොඩාක් දුක්වින්දා. එදා දරුවෝ මහණ කරනකොට මම හදවතින්ම විෙඳව්වා. අද මම හදවතින්ම සතුටු වෙනවා. මම මගේ හැම දුකක්ම අද කියන්නේ ලොකු සාදුට. ලොකු සාදු මට පියෙක් වගේ. හැම උපදෙසක්ම පතන්නේ ලොකු සාදුගෙන්. පොඩි සාදුලා දෙන්නා ගඩොළු කපන හැටි මම බලාගෙන ඉන්නවා. මට දුකක් දැනෙන්නේ නැහැ. අද ඒ ගොල්ලෝ මට අයිති නූනත් මම ෙවනුවෙන් නේද ඒ දේ කරන්නේ කියලා හිතෙන කොට ‍ලොකු සතුටක් දැනෙනවා. මම ඒ දෙන්නට ආශිර්වාද කරනවා.“

දරු සෙනෙහස හා මවු සෙනෙහස ගැන කතා නොකළද, මේ අම්මා බුදුබව නොපැතුවද ජාති ජාතිත් මෙවන් දරුවන් රටට දායාද කිරීම මේ අම්මාගේ පැතුම ය. මේ බුදු පුතුන් මුලපුරා තිබෙන උතුම් මවු සෙනෙහසට පණ දෙන මේ සත්කාරයට ඔබටත් දායක වීමට හැකිනම් කඩවත සද්ධාමූර්ති හිමි ගේ 071 3707059 දුරකතන අංකයට අමතන්න.

silumina.lk


More News »