වකුගඩු රෝගය වළක්වන්න නාවික හමුදාවෙන් පිළිසරණ

2016-09-13 11:04:00       583
feature-top
නාවික හමුදාපතිවරයා පූනෑව ප්‍රතිආසුත්‍ර ජල යෝජනා ක්‍රමය විවෘත කළ අවස්ථාව, කපිතාන් එම්.සී.පී. දිසානායක මහතාද මෙහි සිටී.

එළාර රජුගේ වසර 44ක රාජ්‍ය කාලය පරදවමින් දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ නරපතියකු බව ඉතිහාසයේ දැක්වෙනවා. එතුමා සැමවිටම කටයුතු කෙළේ බුද්ධාගමත් ශ්‍රී ලංකාද්වීපයත් රැකගැනීමේ අරමුණින් බවද ඉතා පැහැදිලියි. එසේම පසු කලෙක ලක් දිව සිහසුනට උරුමකම් කී මහසෙන් රජු මෙරට බෞද්ධාගමේ කේන්ද්‍රස්ථානය වූ මහා විහාරය බිමට සමතලා කර මහාවිහාරික භික්ෂූන් වහන්සේට දානය පිරිනමන්නන්ට පවා දඩ ගැසු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙත් මහසෙන් රජතුමා වැඩිකල් නොගොස් ‘මහසෙන් දෙවියන්’ නමින්ද හඳුන්වා තිබෙනවා. එයට හේතුව සොයා බැලීමේදී අපට පැහැදිලි වන්නේ මහසෙන් රජතුමා විසින් ආරම්භ කරන ලද වාරික්‍රම රජරට ජනතාවගේ පිපාසය නිවාදැමීමේ සිට අනෙකුත් සියලු අවශ්‍යතාවන්ට හේතුසාධක වූ බවයි.

පැන් පොදක් ලබා දෙන්නා දෙවියකු සේ සලකන්නට අතීතයේ සිට ලාංකික ජනතාව හුරු වී සිටි බව අපට මෙයින් ඉතා පැහැදිලියි. එසේම අප පානය කරන්නට ගන්නා ජලය නිසා අප රෝගීන් බවට පත් වුව හොත් එමඟින් අප පමණක් නොව, අනාගත පරපුරද විශාල ව්‍යසනයකට පත් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒ ව්‍යසනය මේ වන විට උතුරුමැද පළාතේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇත්තේ නිහඬ මාරයකු ලෙසින්. වකුගඩු රෝගය රජරට ඇතුළු තවත් පළාත්වල පැතිර යමින් පවතින්නේ ජලයේ බලපෑම නිසා බවයි අපට වාර්තා වන්නේ. රජරට පළාතේ ජලයේ ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය වැඩි නිසා දත් අවපැහැ ගැන්වීම් සම්බන්ධව වාර්තා වුණේ මීට දසක කිහිපයකට පමණ පෙර සිටයි. ඒ හේතුවෙන් ඔවුන්ගේ දත්වල දුඹුරු ස්තරයක් බැඳී තිබුණා. මේ ජල ගැටලුවේ උපරිම ආබාධයක් වන වකුගඩු රෝගයට දැන් ඔවුන් මුහුණ පා සිටිනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වකුගඩු රෝගීන් වෙනුවෙන්ම රෝහලක් සෑදීමට පවා සැලසුම් කළේ මේ විපත්තිය පැහැදිලිවම දැනගත් නිසයි. එමෙන්ම මේ වන විට වකුගඩු රෝග නිවාරණය සඳහා වෙනම ඒකකයක්ද පිහිටුවා තිබෙනවා.

එහෙත් මේ ජල ගැටලුවට තවමත් ස්ථිර විසැඳුමක් ලැබී නැහැ. කළු ගඟ මෙන්ම මොරගහකන්ද යෝජනා ක්‍රම ඉදිරියේදී බිහි වුවත් මේ සඳහා ස්ථිර විසැඳුමක් එයින්ද ලැබේයැයි සිතන්නට බැහැ.

ජල ගැටලුවෙන් ග්‍රාමීය ජනතාව විඳින දුක බලා සිටි තවත් කණ්ඩායමක් තමන්ට ඒ සඳහා යමක් කළ හැකි බව කල්පනා කළා. ඒ වසර 30කට ආසන්න කාලයක් පැවැති යුද්ධයේදී රට රැකගැන්මට මුහුදු සටනට උරදුන් නාවික හමුදාවයි. මේ ජනතා ගැටලුව සඳහා තමන්ට හැකි උපරිම ශක්තිය ලබා දීමට ඔවුන් පෙරමුණ ගත්තා. ඒ සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම ඉහළින්ම ලැබීමත් මෙහිලා පැසසුම් කටයුතුයි. නාවික හමුදාවේ මූලිකත්වයෙන් මේ වන විට වකුගඩු රෝගය බහුලව පවත්නා ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය එම ප්‍රදේශවල ජලයම පිරිසුදු කර ලබා දීම අරඹා තිබෙනවා. වසර ගණනාවක් වෙනත් අයට කළ නොහැකි වූ කාර්යයක් ඔවුන් විසින් ඉටු කිරීමට පෙරමුණ ගැනීම ගැන අප මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන නාවික කපිතාන් එම්.සී.පී. දිසානායක මහතාගෙන් තොරතුරු විමසුවා...

‘අනේ අපිට පැන් පොදක්‘ හම්බෙගමුවට ආ ජංගම ප්‍රතිආසුත්‍ර ජලරථය

නාවික හමුදාවට ජලයත් එක්ක ලොකු සම්බන්ධයක්, ගනුදෙනුවක් තියෙනවා. අපි අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ මුහුදේ ජලය පානීය ජලය ලෙස සකස් කර පානය කළා. ඒ සඳහා නාවික පර්යේෂණ හා සංවර්ධන අංශය කරදිය - මිරිදිය බවට හැරවීමේ ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍ර නිපදවා තිබුණා. ඒ තාක්ෂණය උපයෝගී කරගෙන රටේ දුක් විදින ජනතාවට අපට ලබා දෙන්න පුළුවන් සේවය ගැන අපි කල්පනා කළා. ඒ අනුව තමයි මිරිදිය ජලයම පිරිසිදු කර ලබා දීමට ‘ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍ර’ සවි කිරීම ආරම්භ කෙළේ.

මේ ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍ර නිෂ්පාදනය කරන්නේ නාවික හමුදාවේ නාවික පර්යේෂණ හා සංවර්ධන අංශයයි. එක් ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍රයක් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 25ක්-30ක් පමණ වනවා. එහෙත් නාවික හමුදාවට ඒ සඳහා වැය වන්නේ රුපියල් නම ලක්ෂ තිස්දාහක් පමණ මුදලක්. සාමාන්‍ය මුදලෙන් තුන් ගුණයකටත් අඩු ප්‍රමාණයක් ඒ.

මෙවැනි ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍ර පසුගිය කාලයේ ලංකාවේ ස්ථාන කිහිපයක විවිධ අය විසින් ස්ථාපිත කර තිබුණත් ඒවායින් වැඩිපුමාණයක් අකර්මණය වෙලා. එයට හේතුව මේ ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍රවල අත්‍යවශ්‍යම මෙන්ම වැදගත්ම සාධකය වන නිසි පරිදි නඩත්තුවක් නැති වීමයි. නඩත්තුව නිසි පරිදි නොවුණ හොත් ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍ර මඟින් සේවාවක් ගන්න බැහැ.

මීට හොඳම උදාහරණයක් දෙන්න පුළුවන්. අපි ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍ර සවි කරමින් යන අතරතුරදී එක් අක්‍රිය වූ ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍රයක් අක්‍රිය වීමට හේතුව සොයා බැලුවා. ඒ වන විට එම යන්ත්‍රය අක්‍රිය වී අවුරුද්දකට ආසන්න වෙලා තිබුණේ. සවි කිරීමෙන් පසු ක්‍රියා කර තිබුණේ දවස් 11යි. අපි එය පරීක්ෂා කරා. සත 35ක රෙසිස්ටරයක් විතරයි දාන්න වුණේ. නඩත්තුවේ අත්‍යවශ්‍ය බව මෙයින් ඉතාම පැහැදිලියි.

මේ වන විට මෙවන් යන්ත්‍ර 22ක් අප දිවයිනේ විවිධ ප්‍රදේශවල සවි කර තිබෙනවා. එමඟින් 14000කට අධික පිරිසකට පිරිසුදු පානීය ජලය සපයන්න අපට හැකි වෙලා තිබෙනවා.

එක් ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍රයකින් පවුල් 250කට පමණ පිරිසුදු ජලය සපයන්න පුළුවන්. මේ අතරේ අපි ජංගම ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍රයක් නිෂ්පාදනය කළා. ඒ ට්‍රක් රථයක් උපයෝගි කරගෙන. එමඟින් ලීටර් 10000ක් දිනකට ලබා දෙන්න අපට හැකියාව තිබෙනවා. එහි වැදගත්ම සාධකය වන්නේ ජල මූලාශ්‍රයක් වෙත ගිහින් ඒ කියන්නෙ ඇළ දොළ ගංගා වැව් ඕනෑම තැනකට ගිහිල්ල ජලය පොම්ප කරගෙන එන්න හැකියාව තිබීමයි.

අපි විශේෂයෙන්ම මේ ජංගම ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍රය නිෂ්පාදනය කළේ පදවි-ශ්‍රීපුර ප්‍රදේශයේ පාසල් දරුවන්ට පානීය ජලය ලබා දෙන්න. ඒත් පදවි-ශ්‍රීපුර යන්න පෙර එය පසුගිය දිනක අපිට ජනතා සේවයට යොදවන්න වුණා. ඒ තිස්සමහාරාමයට ආසන්න හම්බෙගමුව ප්‍රදේශයට. හම්බෙගමුව රාජමහා විහාරයේ අප ස්ථාපිත කළ ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍රයෙන් ජලය ලබා ගන්න පවුල් 800ක් විතර ආවා. ඒත් එයින් පවුල් 250කට විතරයි ජලය සපයන්න පුළුවන්කම තිබෙන්නේ. මේ නිසා අපට ජංගම රථය ගෙනයන්න සිදු වුණා. දැන් ඒ ජනතාව අපිට පින් දිදී පිරිසුදු වතුර ගෙන යනවා. ඉදිරියේදී තවත් ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍රයක් ස්ථාපිත කිරීමෙන් පසුව අපි මේ ජංගම රථය පදවි-ශ්‍රීපුර වෙත රැගෙන යනවා. ජංගම රථය මඟින් දිනකට 3000කට පමණ පිරිසිදු ජලය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා.

අපට වාර්තා වන විදිහට දිස්ත්‍රික්ක 11ක වකුගඩු රෝගය බහුලව පැතිර යනවා. මේ නිසා මෙවන් ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍ර 14000ක පමණ අවශ්‍යතාවක් තිබෙනවා. ජංගම රථ නිසා අපිට මේ යන්ත්‍ර අවශ්‍යතාව බොහෝ දුරට අඩු කරගන්න පුළුවන් වේවි. අපේ ඉලක්කය කොහොම හරි ජනතාවට සේවය සලසන එකයි. අපේ පර්යේෂණ අංශය ඉහළ දියුණු මට්ටමකයි තිබෙන්නේ. පහළොස් දෙනෙක් එහි සේවය කරනවා. අපි ස්ථාපිත කරන සෑම ජල ප්‍රතිආස්‍රැත යන්ත්‍රයක්ම බලාගන්න පළපුරුදු නාවිකයෙක් යොදවලා තිබෙන්නේ.

අපි මේ සියලු ජල සැපයුම් කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. ජල සාම්පල් මණ්ඩලය හරහා පරීක්ෂා කිරීමෙන් පසුවයි අපි ජනතාවට ලබා දෙන්නේ. එමෙන්ම මේ සැපයුම් ජලය සෑම මාස දෙකකට වරක්ම පරීක්ෂාවකට ලක් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ජංගම පර්යේෂණාගාරයක් මේ සඳහා යොදවන්න.

එමෙන්ම ස්ථාපිත කරනු ලබන මධ්‍යස්ථාන ගණන වැඩි වන විට නඩත්තු සංඛ්‍යාව වැඩි වන නිසා මේ වන විට පූනෑව නාවික හමුදා ඒකකයේ නඩත්තු කර්මාන්ත ශාලාවක් හදන්න පියවර අරගෙන තියෙන්නේ.

මේ සියලු කටයුතු කරන්න නාවික හමුදාව උර දෙන්නේ ජනතාවගේ දිවි රැක දෙන්නයි. ඒ නිසා අපට මේ දෙස බලා සිටින ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ එකම එක දෙයයි. සමහරු මේ රෝගය වෙළෙඳාමක් කරගෙන තියෙනවා. වකුගඩු රෝගය වෙළෙඳාමක් කරගන්න එපා. ඒක මහා පාප කර්මයක්.


More News »