අලි හප්පා මරු දකින නරුමයෝ

2016-09-06 11:10:00       659
feature-top
ගහකොළ සතා සීපාවාට ආදරය කරන ළතෙත් හදවත් ඇත්තෝ මේ සිදුවීමෙන් මහත් සේ කම්පා වෙති. අනේ! අපොයි! මිනිසුන් 8 දෙනෙකුට තුවාලයි. දෙන්නෙක් මැරිලා. සිඟිත්තෙකුත් ඒ අතර... අලියා වාහනය කුඩුපට්ටම් කරලා... මේ අලියා ගැන නෝක්කාඩු කියන්නන්ගේ කතාවය. එහෙත් මේ සියලු ආන්දෝලනයන් අස්සේ කරුවලගස්වැව 8 කණුව අසබඩ මීඔය නිසසලව ගලා යයි. එහි රිදී වන් දිය දහරා තවමත් සුළි නංවමින් ගලා යන්නේ කිසිවක් ම සිදු නොවූ ගානටය.

පාලම් හැදෙන්නට පෙර පටන් මේ මී ඔය අසබඩ කරක් ගැසුවෝ අලි ඇත්තුමය. උන් පාර මාරු වුණේ සුද්දාගේ කාලේ සිට මෙතැනින්ය. කොටින්ම මීට අවුරුදු 60 - 70 කට පෙරත් එම ස්ථානය අලි මංකඩක් බව අපේ අත්තා නත්තා පනත්තා ද දැන සිටියෝය. එහෙත් කඩදාසිය ළිප ඔබා අන්තිම මොහොතේ කටුනායක දුවන මෙරටට වඩා පිටරටෙහි ජීවත්වන ඇත්තනටනම් ඒ කතා අලුයම ලූ කෙළ පිඬක් ගානය. මේ පාරේ ගමන් කරන අනෙත් රියැදුරන් මේ පාරේ මේ වේලාවට අලි මාරු වන බව කීවත් ඒවා නෑසු කන් ඇතිව තම පිටරට ගමනට පමාවී පිටත් වී වේගයෙන් දිව ආවේ ඒ නිසාය.

ඒ කතාවේ සිදුවීම මතකයට නඟන්නට මම දැන් උත්සුක වෙමි. යාපනය පේදුරුතුඩුව ලිපිනයේ පදිංචි වේලායුදන් නිමලරාජ් හා පිරිස 27 දා රාත්‍රියේ යාපනයේ සිට වෑන් රථයකින් හැල්මේ ආවේ කටුනායක ගුවන් තොටුපළ බලාය. පමා වී ගමන පිටත් වූ ඔවුන් මේ ගමන යන්නේ අඩි ගණනක් ඉහළිනි.

වාහනයේ අතිධාවනකාරී ස්වභාවය දුටු මේ මාර්ගයේ ගමන් ගත් අනෙත් රියැදුරෝ මේ රියැදුරුට වාහනය නවත්වා කරුණු කීහ.

මේ පාරෙ අලි මාරු වෙනවා. පොඩි දරුවොත් වාහනයේ ඉන්නවනේ. කරුණාකර තරමක වේගයෙන් යන්න. වාහනය පාලනය කරගන්නට පුළුවන් විදියට... ඔවුන් කී මේ වචනවලට වඩාත් උරණ වූ අවිනීත රියැදුරා තව තවත් වාහනයේ වේගය වැඩි කළේය.

මීඔය පාලම අසබඩ අලිමංකඩේ අලියා මඳක් නැවැතී සිටියේය. එහෙත් නොහික්මුණු රියැදුරා පැමිණි වේගයෙන්ම අලියාගේ බඳ පෙදෙසේ වාහනය හැප්පුවේය. වාහනය කරකැවී නැවතුණත් අලියාගේ කෝපය නැඟී ආවේය. ඌ තමන්ගේ ශරීරයේ ස්නායු පද්ධතිය බිඳී තිබුණත් හැරි හැරී වාහනය පොඩි පට්ටම් වන තුරු සොඬින් හා පාදවලින් තැළුවේය.

ඇතුළත වූවන්ගේ මර විලාපය මූකලානේ තැන් තැන්වල ගලා ගියේ නින්නාද නඟමිනි. එහෙත් මී ඔය කලබල වූයේ නැත. නොහික්මුණුකමට ලැබුණු දඬුවම අපූරුයි. බලා සිටි ගස්කොළන් ද කීවාක් වැන්න.

එදා රාත්‍රියේ මේ වාහනයේ සිටි හය දෙනකු කැනඩා රටට යන්නට හිටියේය. තුවාල ලැබූ අට දෙනා පොඩිපට්ටම් වූ රථයෙන් එළියට ඇදගන්නට 8 කණුව ප්‍රදේශවාසීන් හා මීඔයට උඩින් කට්ටියේ ජීවත්වන ඇත්තන් දිව එන විට වේලාව උදෑසන 2.30 සටහන් කළේය. මහත් සටනකින් පසු අනතුරට පත් අය බේරා රෝහල් ගත කළ ද පුංචි දරුවා (අවුරුදු 7) පොඩි පට්ටම් වූ රථයේදීම මරු හා සටන් කළේය. කොළඹ රෝහලට ගෙන ගියේ ප්‍රාණයේ අවසන් සුසුම් පොද රැගත් දරුවාගේ සිරුරය. වේලායුදන් තම ජීවිතයෙන් වන්දි ගෙව්වේ තම පුතු වූ අහිංසක දරුවකුගේ සොහොන ද සදමිනි.

‘ඉක්මන්කම කොටයි’ අපේ පැරැන්නෝ කීහ. “දෙමාපියෝ ඇඹුල් කෑවොත් දත් හිරි වැටෙන්නේ දරුවන්ගේ.” ගැමියන් කියන කියමන මෙහිදී ද සනාථ විය.

දැන් ඒ සිද්ධිය ඉවරය. ඕනෑම සිද්ධියක ඉවරයක් වූ සැණින් ඊට අනුබද්ධිත මේ රටේ අංශ මහත් කලබලයක ඇරැඹුමක් කරයි. වන ජිවි ඇමැතිවරයා ද ඉක්මන් සාකච්ඡාවක් කළේය. මම ඒ ගැන දැනගත්තේ පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එස්. එම්. කේ. එස්. චන්ද්‍රරත්න මහතාගෙනි. ඔහු දුරකථනයෙන් සම්බන්ධ කැරගැනීමට පෙර මා කතා කළේ අදාළ සිද්ධියට ඉතාම කිට්ටු කරුවලගස්වැව වනජීවි කාර්යාලයටය. පුදුමයකි! දුරකථන හඬ නඟයි. කිසිවකු උත්තර නොදෙයි. මේ කාර්යාලයේ ඇත්තන්ට දුරකථන ඇමතුම් නයාට වහකදුරු වගේය. පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂට මම මුලින්ම ඒ ගැන කීවෙමි. අනතුරුව සිද්ධියේ තොරතුරු අසමි.

“මටත් (කරුවලගස්වැව) ඒ අයට කතා කරන්න බෑ. දුරකථන ගොළුයි. මා කතා කරන්නෙත් ඒ අයගෙ පෞද්ගලික දුරකථනවලට. විනය නීති මාර්ග ගන්න වෙලා තියෙනවා....” එතුමා කීය.

ඔය පාරෙ සිදුවූ පළමු අනතුර නොවෙයි මේක. මීට කලින් කන්ටේනරයක් පවා පෙරළුණා. මෝටර් බයිසිකල් අනතුරට පත්වුණා. තුවාල වූ අය බොහොමයක්.

ඒවා එසේ තිබියදී මේ අලි කොරිඩෝවේ අධික වේගයෙන් යන එක කාරණා කියලා පාලනය කරගන්ඩ බෑ. මේ අනතුරින් මිනිසුන්ට වගේම සතාටත් කරදර වුණා. ඒ නිසා ඇමැතිතුමා සමඟ අපි තීන්දුවක් ගත්තා මීඔය පාලම කිට්ටුව පොලීසියේ මුරපොළක් දාන්න. ඊට අමතරව ඈත තියා පෙනෙන “ලුමිනස් කලර්” සංඥා පුවරු සවි කරන්නත් කල්පනා කරනවා. වේග සීමා පනවන්න, අලි මාරු වන ස්ථානය කියලා සඳහන් කළ දැන්වීම් සකස් කරන්නත් කල්පනා කරනවා. ඒක තමයි සාකච්ඡා කළේ...

එතුමා කියන දේ අපූරුය. රසවත්ය. අනාගතය සුන්දර යැයි හැඟීමක් දනවන සුලුය. එහෙත් මේවා කතා විතරක්ම නොවිය යුතුය. දුම්රියේ හැපෙන අලි ගැන අපි “ප්‍රකම්පනයෙන්” ලීවෙමු. අලි මාරු වන තලෙයි මන්නාරම් කැලෑ මණ්ඩි සහිත පාරේ අලි මාරු වන බව අපට වඩා දන්නේ වනජීවි නිලධාරීහු වෙති. එහෙත් අලි අනතුරු වැළැකීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත කිසිදු දැන්වීමක් මේ වන තුරු වන ජීවියෙන් කැර නැත. ඒ පාර සකස් කැරෙන විට වනජීවිය ද ඒ සමඟම අත්වැල් බැඳ ගත යුතුය. පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂවරයාට ඕනෑකම තිබුණට නිලධාරීන් අලස නම් වැඩේ අතරමඟ නතර වන බව අපි දනිමු.

කරුවලගස්වැව කලාපයේ කිසියම් දුර්ලභ සතකු මන්දක හසු වුණොත් ඒ ගැන දැනුම් දීමටවත් ගැමියකුට එම කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත නොහැකිනම් තවත් කුමන කතා ද? මේවා ඇමැතිවරයාම සොයා බලා නිසි පිළිතුරු ලබා දිය යුතු ප්‍රශ්නය. නැත්නම් අපේ අලි ටික ඉවරය.

වේලායුදන් කැනඩා යන්නට ගිය වාහනය පාර මාරු වන හෝ පාර හරහා කල් අරිමින් සිටි මේ දැවැන්තයාගේ ඇ‍ඟේ හැපී මිනිසුන් මැරුණු ප්‍රශ්නයෙන් ඉවර නැත. අම්මාත් සමඟ දුම්රියේ හැපුණු පුංචි පැටියා වෙඩිතිබ්බගල පූනෑවදී ශ්‍රෝණිමේඛලාව බිඳගත් ආකාරයටම මේ සතාගේ අභ්‍යන්තර ස්නායු පද්ධතිය විනාශ වී ඇතැයි අපි සිතමු. මේ අලියා සොයන්නට වෙහෙසුණත් තවමත් අනතුරට පත් අලියා සොයාගෙනවත් නැත. මෙය ඛේදයකි. තවත් ටික දවසකින් (තවත් ඛේදාන්තයක් කාලයෙන් වසන් ව) හස්තිරාජයකු ගංතොටක මියැදී සිටිනු දකින්නට පෙර, ඒ සතා සොයා කළ හැකි පිළියම් කිරීමට නිලධාරීන් උනන්දු විය යුතුය.

අලි හප්පා මරා දැමීමට වඩා අලි ඇතුන් පාර මාරු වනු උපේක්ෂාවෙන් බලා සිටීම රසවතුන්ගේ සිරිතය. ඒ උරුමක්කාරයන්ගේ වන රජදහනය. අපි පාරවල් කැපුවේ ඒ සද්දන්තයන්ගේ ගම්බිම් හරහාය.

දළ සඳහා අලි ඇතුන් මරා දමන වෙඩික්කරුවකුට එක්තරා සුදු දිසාපතිවරයකු කියා ඇත්තේ (මා හිතන්නේ වුල්ෆ්) දළ දෙකට වඩා දළ ඇතා ලස්සනයි’ යන්නය.

පාර මාරු වන අලි ඇතුන්ට මොහොතක් ඉඩ දී, තම අඹු දරුවන් ද රැකගෙන තමා පිනවන වේගයම තමාට මරු කැඳවන බව ද තේරුම් ගෙන කටයුතු කරන්නට රියදුරන් කල්පනා කළ යුතුය. ඔබ සුක්කානමක් අතට ගෙන කරකැවීමට පෙර මිනිසත් බව ලැබුවකු බව කල්පනා කිරීම වටී.

‘ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකිය’ කීවාක් මෙන් ඕනෑම ගොනෙකු ඇක්සිලේටරය පෑගු විට වාහනය අධි වේගයෙන් පියඹා යයි. අවශ්‍ය වන්නේ සමබර සිතකින් පාරේ යනෙන සතුන් හා මිනිසුන් මතු නොව ඇතුළත තමා යටතේ හුස්ම ගන්නා අහිංසක මිනිසුන් ද බේරාගෙන පාලනයක් යටතේ වාහනයක් එළැවීමය. නැත්නම් සිදුවන්නේ මෙවන් ඛේද පමණකි.


More News »