අපිත් ආසයි ගෙදර යන්න
මානසික රෝහලේ නේවාසිකව සිට සුවපත්වූවන් කියන කතාවක්

2016-09-05 12:24:00       661
feature-top
ඇගේ වයස අවුරුදු පනහක් පමණ වන්නට ඇත. දුටු සැණින් ළඟට පැමිණි ඈ මා සුරත තදින් අල්ලා ගත්තාය.

“ගෙදරින් අපිව එක්ක යන්න තාම ආවේ නැහැ. දැන් මට මගේ වැඩ කර ගන්න පුළුවන්. මං කඩදාසි වැඩ පොළේ වැඩට යනවා. අද නිවාඩු”

ඕ මා හා කතාවට වැටුණාය. අප එකිනෙකා මින් පෙර කිසි දිනෙක හමු නොවූ අයය. එහෙත් සැණෙකින් ඔවුහු අප හා මිතුරු වූහ.

“දැන් මට හොඳයි මල්ලි එනවා බලලා යන්න. එයා කිව්වා ගෙදර එක්කගෙන යන්න බැහැ කියලා. ඒත් මල්ලි හැම මාසකෙම වගේ මාව බලලා යන්න එනවා.”

ජයන්ති එසේ කියන විට තවත් අය කියන්නේ ‘අපිව ගෙදර එක්කගෙන නොගියට කමක් නැහැ අඩුම තරමේ ඇවිල්ලා බලලවත් යනවා නම්’ කියාය.

ගෙවල් දොරවල් අහිමි තමන්ගේ කියා කාත් කවුරුවත් නැතිව හුදෙකලා වූ මේ කාන්තාවන් කාගේ කවුදැයි කියා ඔබ දැන් විමසනු ඇත. මේ සියල්ලන්ම අපට හමු වූයේ ඉකුත් දා මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අතරමැදි නිවස්නට ගිය අවස්ථාවේය.

බැලු බැල්මට නම් එය රෝහලක යැයි කිසිවෙකුට නොසිතෙනු ඇත. නමුදු තවමත් ප්‍රතිකාර ලබන කාන්තාවෝ කිහිප දෙනෙක්ම අප යන පෙරමඟට පැමිණ නොයෙක් දෑ විමසති. ඇතැමෙක් මුදල් ඉල්ලන්නීය. තවකෙකු එහි යන කවරකු හෝ හඳුනා ගන්නට වැර දන්නේ ඒ තමන් බැලීමට පැමිණ තම ඥාතියකු ලෙස සලකාය.

“ඉස්සර තිබුණට වඩා දැන් මෙහෙ තත්ත්වය හුඟක් වෙනස්. මීට කාලෙකට ඉස්සර මෙහෙ නවසිය ගණනක් විතර හිටියා සුවය ලබා නිවෙස්වලට නොගිය අය. නමුත් ඒ අතරින් බොහෝ දෙනෙක් ඒ අයගේ ඥාතින්ට බාර දීලා තියෙන්නේ. මෙහෙ වාට්ටු දොළහෙන් හතරකම ඉන්න නේවාසිකව ප්‍රතිකාර ලබන අය දැන් පුනරුත්ථාපනය වී ඉන්නේ. ඔවුන් ඔවුන්ගේ දේවල් කරගන්න පුළුවන් තත්ත්වයක ඉන්නේ. මේ වාට්ටු හතරේ අය ඒගොල්ලන්ගේ දිවා රාත්‍රී ආහාර වේල ඒගොල්ලෝම සකසා ගන්නවා. කාර්යය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ තමයි ඒ කටයුත්ත සිදුවන්නේ. මල් වැවීම, ගෙවතු වගාව, අත්කම් නිර්මාණ ආදිය කිරීමටත් මේ අය දක්ෂයි.

“මේ අය දැන් පෙර හිටියාට වඩා බොහෝම හොඳ මට්ටමක ඉන්නවා. මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ යුත්තේ ඔවුන් ජීවත්වන පරිසරයේ. ඔවුන් ඇසුරු කරන අය අතරේම සිටයි. නමුත් මේ සුවය ලබා ඉන්න බොහෝ අයට අයිතිකරුවෝ නැහැ. සමහර අයිතිකාරයෝ හිටියත් ඒගොල්ලෝ බලලා යන්න විතරයි එන්නේ. තවත් අයගේ අම්මා තාත්තා නැහැ. සහෝදර සහෝදරියෝ තමයි ඇවිත් යන්නේ. ඒත් ඒ එන අය කැමැති නැහැ මේ ගොල්ලන්ව ගෙවල්වලට රැගෙන යන්න. මේක බොහෝම මානුෂිය ප්‍රශ්නයක්.” සුජාතා මිසි වැඩිදුරටත් පවසන්නීය.

රෝහල් අධ්‍යක්ෂ

වෛද්‍ය කපිල වික්‍රමනායක

ඇයට අප හා එක දිගට කතා කරගෙන යෑමට නොහැකි වූයේ ජයන්තිගේ පැමිණීම නිසාය.

ප්‍රතිකාරවලින් සුවය ලබා සිටින ජයන්තිගේ වයස අනුමාන වශයෙන් කිවහොත් වයස අවුරුදු පනහකට ආසන්නය. ඇය මෙතැනට පැමිණ ඇත්තේ 1997 වසරේදීය.

“මගේ ගෙවල් මාතර. මං මෙහෙට ඇවිල්ලා අවුරුදු විස්සක් විතර ඇති. දැන් මට හොඳයි. අංගොඩ රෝහලේ අවුරුදු පහක් විතර හිටියා. ඊට පස්සේ තමයි මෙහෙට ආවේ. මගේ මල්ලි තමයි මාව බලන්න එන්නේ. එයා කියනවා බෙහෙත් බොන්නේ නැති නිසා ගෙදර එක්කගෙන යන්න බැහැ කියලා. මම මෙහෙට වෙලා ඉන්නවා. මම මල් වවනවා. උයන්නත් පුළුවන්.” ජයන්ති පවසන්නේ උනන්දුවෙනි. කතාව අවසානයේ ඇය මාළු ඇඹුල් තියල් සාදන ආකාරය ද පියවරෙන් පියවර අප හා පවසන්නට වූවාය.

“මමත් කාලයක් ප්‍රතිකාර ගත්තා. දැන් ක්ලිනික් සර්විස් එකක වැඩ (ඇය පිරිසුදු කරන්නියක ලෙස රෝහලේම සේවය කරන්නීය.) අපි ඉන්නේ කුලී ගෙදරක. අපි එකතු වෙලා උයාගෙන කනවා. මට පඩිය රුපියල් දහඅට දාහක් ලැබෙනවා. මහත්තයගෙන් වෙන් වෙලා ඉන්නේ. ඒත් මගෙ පුතා මාව බලන්න එනවා. පුතා දැන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. එයාට ඉගෙන ගන්නත් මං වියදම් කරනවා.” මේරි පවසන්නේ හිනැහෙමිනි.

කලකට පෙර ඔවුහු බොහෝ මානසික ව්‍යාකූලතාවයන්ට ගොදුරු වූවෝය. කිසිවකු ගණන් නොගත්, කිසිවක් තේරුම් ගැනීමට අපහසු වූ ඔවුන් දවස ගත කළේ කුඩා දරුවන් මෙනි. නමුදු දැන් එසේ නැත. ඔවුහු සහයෝගයෙන් සිටීමට සාමූහිකව වැඩ කිරීමට, රෙදි සාප්පුවල ඇවිද තමන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමට, ආදි වූ බොහෝ දේ පිළිබඳව හුරුව සිටින්නාහ.

අතරමැදි නිවස්නේ ඇතැම් වාට්ටු නම් කර ඇත්තේ මල්වල නමිනි. රෝස, මහනෙල්, ඕලු, පිච්ච ආදි නෙක මලින් හැඩවූ වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සුවය ලැබු අය සිටිති. අප ‘මානෙල්’ වාට්ටුවට යන විට එහි නේවාසිකයෝ දිවා ආහාරය ගැනීමට සූදානම්ව සිටියහ.

එකිනෙකා පසුපසින් පැමිණි ඔවුහු තම තමන්ට අවශ්‍ය පමණට බත් වෑංජන බෙදා ගන්නට වූහ.

“ඉස්සර මේ ගොල්ලෝ එහෙම බෙදාගෙන කන්න දන්නේ නැහැ. නමුත් දැන් ඒ අය දන්නවා තමන්ට අවශ්‍ය පමණට ආහාර බෙදාගන්න. තමන්ගේ භාජන සෝදා පිරිසුදුව තබාගන්න. රෙදි හෝදලා වේළගන්න, නාන්න, පිරිසුදුව ඉන්න දන්නවා.” අතරමැදි නිවස්නේ වාට්ටු අතරින් යන ගමනේදී ප්‍රධාන හෙද සොයුරිය බස්නායක මහත්මිය පවසන්නට වූවාය.

“අතරමැදි නිවසේ හැමෝටම කෑම හදන්නේ ප්‍රධාන මුළුතැන්ගෙයි. නමුත් පුනරුත්ථාපනය වූ අය ඉන්න වාට්ටු හතරකම දැන් ඒ අයම උයා ගන්නවා. ඒ ඒ වාට්ටුවල වෙනමම මුළුතැන්ගෙවල් තිබෙනවා. නමුත් ප්‍රධාන මුළුතැන් ගෙයින් තමයි මේ අදාළ වාට්ටු සඳහා වියළි ආහාර ප්‍රමාණයන් ලබා දෙන්නේ. උදේ ආහාරය නම් සම්පූර්ණයෙන්ම ප්‍රධාන මුළුතැන්ගෙයින් තමයි හදා දෙන්නේ.” ප්‍රධාන ආහාර නිරීක්ෂිකා කුමුදුනි ධම්මිකා පොතුපිටිය මහත්මිය පවසන්නේ රෝහලේ මුළුතැන්ගෙයි කාර්යභාරය පිළිබදවය.

ඒ දිවා ආහාර ගන්නා වේලාව වුවද චන්ද්‍රාට නම් කෑමට ආශාවක් නැති තරම්ය. ඇය ගොළුය. එහෙත් ඇගේ දෑත ක්‍රියාශීලීය. ඒ ක්‍රියාශීලී දෑතින් හැඩවූ රාත්‍රී නිදන ඇඳුම්, කුඩා ළදරු ඇඳුම් ඇගේ දක්ෂතා මොනවට කියාපායි. ඇය මැහුම් මෝස්තර පොත් කිහිපයක්ම පෙරළ පෙරළා ඇගේ හැකියාව පිළිබඳව ගොළු බසින් කියන්නට වූවාය. ඇගේ සුරතින් නිම වන ‘ස්මෝක්’ මෝස්තර බලන්නට අපූරුය.

කලකට පෙර මුල්ලේරියාව අතරමැදි නිවෙස්නට පැමිණි මේ කාන්තාවන්ගේ අද දවස එසේය. කුමක් කළත් කීවත් මේ සැමටම දැන් අවශ්‍ය තමන්ගේ කියා තැනකට යෑමය. තම ඥාතින් ළඟට යෑමටය. එහෙත් සිදු නොවන්නේ ද එයමය.

පද්මලතා ද ඈත දුෂ්කර පළාතකින් මුල්ලේරියාවට පැමිණි අයෙකි.

“මගේ ගම පොළොන්නරුව. මගෙ අම්මා සිල් මෑණි කෙනෙක්. මම මුහුදේ පනින්න ගියා කියලා තමයි මා මෙහෙ ගෙනැල්ලා නතර කළේ. ගෙදරින් ඇවිල්ලා බලලා යනවා. ඒත් ළඟදි නම් ආවේ නැහැ. මම ගෙවතු වගාවට එනවා.

උදේම වත්තේ වැඩ කරනවා. කාමරංගා වවලා තියෙනවා. පෑවිල්ල නිසා දැන් එළවළු ජාති නැහැ. වත්තේ වැඩ කළාම මට රුපියල් 1500ක් ලැබුණා. අපි කතරගම, නුවර ගියා. අනිද්දට අපි අලි බලන්න යනවා. ලැබුණ සල්ලිවලින් මං ඇඳුම් ගන්නවා.” පද්මලතා සිහින ගණින්නිය.

සුව වී සිටින්නියන්ට පවුලක් ලෙස ගොඩනැ‍ඟෙන්නට ද සහාය වන්නේ අතරමැදි නිවෙසේ වෛද්‍ය කණ්ඩායම, හෙදියන් සහ කාර්ය මණ්ඩලයයි.

“මේ ගොල්ලන් අපි වන්දනා ගමන් විනෝද ගමන් එක්කගෙන යනවා. වත්තේ වැඩ කරලා වැටුප් ලබන අයව ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැලඳුම් ගන්නට රෙදි සාප්පුවලට එක්කගෙන යනවා. ඒ අය තමන්ට ලැබෙන මුදලින් ඒ අය කන්න කැමැති දේවල් ගෙනැල්ලා කනවා. සමහරු වාට්ටුවේ ඉන්න අනිත් අයටත් එක්කම කෑම ජාති හදනවා” නදිකා හෙදිය පවසන්නීය.

සුව වූවන් සඳහා රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත්තේය. සුව වූ කාන්තාවන් අතරින් ඇතැමෙක් දැන් පිටත රැකියාවලට යන්නීය. වෙනමම නිවෙසක පදිංචිවී සිටින ඔවුන් පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය නිරන්තරවම සොයා බලන්නේය.

“සුවය ලැබුවද තමන්ගේ කියා නිවෙස්වලට යෑමට නොහැකිව, ළතැවෙන මොවුන් පිළිබඳව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පවසන්නේ මෙවැනි අදහසකි.

“අතරමැදි නිවෙසේ මේ වන විට කාන්තාවෝ හාරසිය විසිපහක් පමණ ඉන්නවා. මේ අයව බාරගන්න අය නැහැ. නමුත් අපි ඔවුන්ගේ නිවෙස්වලට කතා කරලා සමාජ සේවා ආයතන මඟින් ඒ අයගේ ගම් පළාත් ආසන්නයේ ඇති වැඩිහිටි නිවාසවල මේ අය නේවාසිකව රඳවන්න ඉඩ සලසා දී තිබෙනවා. රෝහල මඟින් මේ කාන්තාවන් සඳහා ආහාර ප්‍රතිකාර ඇඳුම් පැලඳුම් සියල්ලම ලබා දෙනවා. ඊට අමතරව විවිධ ස්වේච්ඡා ආයතන රාජ්‍ය ආයතන මඟින් මෙම වාට්ටුවල සුබසාධන කටයුතු කරගෙන යනවා.

එය අපට විශාල සහායක්. නිවෙස්වලට රැගෙන නොයා සිටි 950ක් වූ පිරිස අදාළ ක්‍රියාමාර්ග ගෙන අපි හාරසිය විසිපහ දක්වා අඩුකර තිබෙනවා. මේ අය ගැන සමාජයම වගකිව යුතුයි. මේක රෝහලට පමණක් තනිවම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.” මේ අයත් අපේම සමාජයේ සියලු අයිතිවාසිකම් හිමි කොටසක්. අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ අයගෙන් කොටසකට අපි ජාතික හැඳුනුම්පත ලබා දී තිබෙනවා. ඒ වගේම ඡන්ද අයිතියත් ලබා දී තිබෙනවා.”

රෝහල විසින් කාන්තාවන් සඳහා බොහෝ සුබසාධක කටයුතු මෙන්ම ප්‍රතිකාර ද ලබා දෙන්නේය. ස්වෙච්ඡා සංවිධාන, පුද්ගලයෝ ද අතරමැදි නිවෙස්නේ නේවාසිකාවන්ට බොහෝ උදවු උපකාර කරති නමුදු, ඔවුන්ට තවත් අඩුපාඩු ඇත්තේය.

දත් බුරුසුවේ, පනාවේ, දත් බෙහෙත් ටිකේ සිට ඇඳුම් ද කාන්තා යට ඇඳුම් ආදි දේ මෙන්ම බොහෝ දේ අඩුපාඩුය. මේවායින් ටිකක් හෝ සපුරාලන්නට සිත්මල්යාය පාඨක ඔබට ද හැකියාව තිබේ.

ඇතැම් විට කෑම වේලක් ලබාදීමට ද අවස්ථාව ඇත්තේය. මානසික රෝගය යනු ඔවුන් සමාජයෙන් කොන්කර තැබීමට හේතුවක් නොවේ. යම් යම් හිත් බිඳ වැටීම් තිබුණ ද ඔවුහු ද මේ සමාජයේම කොටසකි. අන් අයට මෙන්ම ඔවුන්ට ද ආදරය, කරුණාව, දයාව ලැබිය යුතුමය.


More News »