බොම්බයි මොටයි වලින් ජීවිතය ජයගත්තු හැටි

2016-09-02 11:09:00       660
feature-top
බොම්බයි මොටයි කියන්නේ මොනවාද කියලා ලංකාවේ ඕනෑම කෙනෙක් දන්නවා. පොඩි කාලේ ඉඳන් කවුරුත් ආස කරන රෝස පාට පුළුන් ගුලියක් වගේ බොම්බයි මොටයි අතේ තියා ගෙන ඉන්න අය කොළඹ අවට නිදහසේ ඉන්න තියෙන තැන් වල ඇති තරම් දකින්න පුළුවන්. සමහර තැන් වල බොම්බයි මොටයි හදන මැෂිමක් තියෙන කඩ තිබුණත් දුරබැහැර වැඩිපුර දකින්න ලැබෙන්නේ බොම්බයි මොටයි නූල් කොළ දෙකක ඔතලා දෙන වෙළෙන්දන්.

මේ වගේ කොළඹ අවට බොහෝ තැන් වලට බොම්බයි මොටයි හදලා එවන පිරිසක් ගැන තමයි අපි අද ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ බිස්නස් වලට කියාපු තැනක් වුණු පිටකොටුවේ කොණක තියෙන මේ බොම්බයි මොටයි කඩේ ඇත්තටම සොහොයුරන් තුන් දෙනෙක්ගේ නිර්මාණයක්. තමන්ගේ තාත්තාගේ දැනුම දිනෙන් දින දියුණුවට පත් වෙන පවුලේ ව්‍යාපාරයක් බවට පත් කරගත්තු හැටි අපිට කියන්න ඔවුන් කැමත්තෙන් එකතු වුණා.

අපි එතැනට ගියේ වැහිබර වුණු අඳුරු දවසක. එළියේ පරිසරයේ සීතලක් දැනුණත් බොම්බයි මොටයි හදන පුංචි කර්මාන්තශාලාවක් වුණු කාමර දෙකෙන් එක දිගටම දැනෙන්නේ උණුසුමක්. කවුරු කවුරුත් බොහොම විනෝදයෙන්, සිනා මුසුව වැඩ කරනවා වගේ පෙනුණත් ඔවුන්ට තියෙන්නේ බොහොම අමාරු වැඩ කොටසක් බව බැලූ බැල්මට පේනවා. මේ ව්‍යාපාරයේ හිමිකරුවන් අතරින් ලාබාලම සොහොයුරා අපිට කිව්ව විදිහට ඇත්තටම මේ වෙද්දී ගොඩක් වැඩකටයුතු කෙරෙන්නේ මැෂින් වලින්. ඉස්සර, ඒ කිව්වේ ඇත්තටම මීට මාස කිහිපයකට කලින් වුණත් මේ වගේ සංකීර්ණ වැඩ ගොඩක් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අතින්මයි. මැෂින් වලින් වැඩකටයුතු පහසු වෙලා තිබුණත්, චක්‍රයක් වගේ නොකඩවා වැඩේ සිද්ධ වුණත් හැම වෙලාවකම නියම උපදෙස් අනුගමනය නොකළොත් දකින්න ආස හිතෙන පුළුන් වගේ බොම්බයි මොටයි හදා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේක බොහොම අවධානයෙන් කරන්න ඕන වැඩක්.

බොම්බයි මොටයි හදන වැඩේ මුලින්ම පටන් ගන්නේ මේ සොහොයුරන්ගෙන් දෙවැන්නා, ඒ කියන්නේ නවුෆර් සීනි, දෙහි සහ වතුර කවලම් කරලා හදන මිශ්‍රණයෙන්. හොඳට කවලම් කරමින් මේ මිශ්‍රණය උදුන් මත රත් කරනවා. (ඔවුන් මේකට යොදා ගන්නේ ප්‍රේරණ උදුන්, නැතිනම් induction cookers) ඊට පස්සේ මේවා නියමිත ප්‍රමාණයට සිසිල් කරන්න විශාල තැටි වලට දමනවා. මේ වෙලාවට තමයි බොම්බයි මොටයි වල තියෙන ලස්සන රෝස පාට ලබා දෙන ස්ට්‍රෝබෙරි ඩයි එක එකතු කරන්නේ. මේ මිශ්‍රණය හරි විදිහට සීතල වෙන්න සිසිලන තැටි ටික වටේට කරකැවෙනවා. අපිට මේක දිහා බලන් ඉද්දී කරකැවිල්ල හැදෙන්න ආවත් නවුෆර් කිසිම ගාණක් නැතිව මේ බැදුණු සීනි මිශ්‍රණය සීතල වෙන අතරේම කූරක් පාවිච්චි කරලා කුට්ටියක් වගේ හදා ගන්නවා. ඉන් පස්සේ මේ සීනි කුට්ටිය අරගෙන කාමරයේ ඉදිරිපස තියෙන පැතලි මතුපිටක් උඩ තියලා දිගැටි හැඩයේ ගුලියක් හදනවා.

නවුෆර් මේ වැඩේ කරන අතරේ ලාබාලම සොහොයුරු අස්වර් පාන් පිටියි පොල් තෙලුයි නියම ප්‍රමාණයට එකතු කරලා හදන මිශ්‍රණයක් අරගෙන අමුතුම මැෂින් එකකට එකතු කරනවා. මේක පෙනුමෙන් නම් විද්‍යා ප්‍රබන්ධ වල කියවෙන පිටසක්වල යන්ත්‍රයක් වගේ. එක තැන කැරකෙන කේතුවක හැඩයක් තියෙන තැටියක් වගේ කොටසක් මේකේ තියෙනවා. පහළින් තියෙන රූපය නිකමට බලන්නකෝ. මේ අතරේත් නවුෆර් අර සීනි ගුලිය අනන වැඩේ නොනවත්වා කරනවා.
පිටසක්වල යන්ත්‍රයක් නෙවෙයි, මේක තමයි බොම්බයි මොටයි හදන්න ගන්නේ.
පිටසක්වල යන්ත්‍රයක් නෙවෙයි, මේක තමයි බොම්බයි මොටයි හදන්න ගන්නේ.

උණු වුණු සීනි ගුලිය අරගෙන මේ කැරකෙන තැටිය උඩට දැම්මාම තමයි පුළුන් වගේ බොම්බයි මොටයි හදන වැඩේ පටන් ගන්නේ. පාන් පිටි සහ පොල් තෙල් වලින් හැදුණු දුඹුරු පාට මිශ්‍රණය මේ යන්ත්‍රය මගින් හැදෙන සිහින් නූල් එක මත එක ඇලෙන්න නොදී පවත්වා ගන්න උදව් වෙනවා. මේ විදිහට හැදෙන සීනි නූල් ගුලියකින් හැදුණු බොම්බයි මොටයි දැක්කම වැඩිහිටි කෙනෙක්ට වුණත් උදුරාගෙන කන්න තරම් ආසයි.

මුලින්ම මේ විදිහට සීනි ගුලිය කේතුවක් හැඩයේ තැටියට දැම්මාම කැරකිලා, විහිදිලා ගිහින් වළල්ලක් වගේ හැදෙනවා. ඉන් පස්සේ තමයි ඒ උඩ පොල් තෙල් සහ පිටි මිශ්‍රණය තැවරෙන්නේ. මේ අතරේ අස්වර් තමන්ගේ වැඩේ පටන් ගන්නවා. බිම තියෙන පෙඩල් එකක් පාගමින් ඔහු මේ යන්ත්‍රයට ඉහළින් තියෙන පතු එහා මෙහා කරනවා. බොහෝ දුරට වාහන එන්ජිමක් රේස් කරනවා වගේ, නැතිනම් ගිටාර් වාදකයෙක් පැඩල් එකෙන් ටියුන් කරනවා වගේ වැඩක් බව තමයි පෙනෙන්න තියෙන්නේ. හැබැයි අස්වර් මේ වැඩේ කරන්නේ සීනි වළල්ල දිහා හොඳ අවධානයකින්. නියම විදිහට මේ වැඩේ කරොත් විතරයි සීනි ඉතා සිහින් නූල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. නියම බොම්බයි මොටයි එකක තියෙන්න පුළුවන් ඉතා සිහින් නූල් විතරයි. එතකොට තමයි අර පුළුන් වගේ පෙනුම එන්නේ. එහෙම නොකර හැදෙන බොම්බයි මොටයි එක නූඩ්ල්ස් වගේ තමයි කන්න වෙන්නේ.

මේ වැඩේ දිහා බලාගෙන ඉද්දී නම් හරි ලේසියි කියලා කාට වුණත් හිතේවි. වේගයෙන් කරකැවෙන මැෂින් එකෙන් ලැබෙන උදව්ව නිසා බොහොම ඉක්මණට සීනි නූල් හැදෙනවා. ඒත් ඇත්තටම අස්වර් මේ කරන්නේ කිලෝ 10ක් විතර බර රත් වුණු සීනි ගුලියක් දඟර ගැහුණු නයෙක් වගේ පෙනෙන වළල්ලක් විදිහට හදාගෙන, ඒක පිටසක්වල යානාවක් වගේ පෙනෙන තැටියක් උඩ කරකවලා නූල් හදා ගන්න බොහොම සූක්ෂම වැඩක්. එක අතකට මේක විද්‍යාවක් කියලා කියන්න පුළුවන් මට්ටමේ, හොඳ පළපුරුදු කෙනෙක්ට විතරක් කරන්න පුළුවන් රාජකාරියක්.

මේ බොම්බයි මොටයි හදන ක්‍රමය තාත්තාගෙන් පුතාට ලැබුණු පාරම්පරික දායාදයක්. මේක ඔවුන්ගේ පවුලටම ආවේණික වුණු සුවිශේෂී ක්‍රමයක්. අපි ඔවුන්ගේ ව්‍යාපාරය බලන්න ගිය දවසේ තමයි නවුෆර්ට අවුරුදු 51 පිරුණේ. බොම්බයි මොටයි හදන මේ අලුත් ක්‍රමයේ වට්ටෝරුව අඩු පාඩු සකස් කරලා හදාගෙනත් අදට අවුරුදු 51යි කියලා ඔහු අපිට කිව්වේ ආඩම්බරයෙන්.

“මේ ක්‍රමයට මම තරම්ම වයසයි”, ඔහු අපිට සතුටින් දැනුම් දුන්නා. නමින් මොහොමඩ් ෆාරුක් වන ඔහුගේ තාත්තා ඒ දවස් වල කේරල ප්‍රදේශයේ මලයාලි රසකැවිලි වෙළෙන්දන්ගේ අතවැසියෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඔවුන් තමන්ගේ රසකැවිලි හදන රහස් වට්ටෝරු කාටවත් කියන්නේ නැහැ. “හැබැයි මේ බොම්බයි මොටයි හදන ක්‍රමය සම්පුර්ණයෙන්ම නිර්මාණය කළේ මගේ තාත්තා” කියලා කියන නවුෆර් තව දුරටත් කියන්නේ “ඔවුන්ගේ රසකැවිලි මේ තියෙන කන්න පහසු තත්වයට සකස් කළේ ඔහුගේ පියා” කියලයි. ඔහු ඉන් පස්සේ තමන්ගේ පුතාලා තුන් දෙනා වන ජබ්බාර්, නවුෆර් සහ අස්වර්ටත් මේ තමන් නිර්මාණය කරපු වට්ටෝරුව කියලා දුන්නා. තාත්තාගේ නිර්මාණයට නියම වටිනාකමක් දෙන්න “H. F. Candy Mart” කියන සාර්ථක ව්‍යාපාරය ආරම්භ කළේ ඔවුන් තුන් දෙනාගේ එකමුතුවෙන්.

මැෂින් වලින් වැඩ නොකෙරුණු ඉස්සර කාලේ, ඒ කිව්වේ මොහොමඩ් ෆාරුක්ලාගේ කාලේ දවසම මහන්සි වුණත් ඔවුන්ට හදා ගන්න පුළුවන් වෙන්නේ සීනි කිලෝග්‍රෑම් දෙකක විතර රසකැවිලි විතරයි. මීට මාස කිහිපයකට කලින් මේ සොහොයුරන් තුන් දෙනා එකතු වෙලා දවසකට සීනි කිලෝග්‍රෑම් 150ක 200ක විතර රසකැවිලි හදන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කළා. “අපි හදන බොම්බයි මොටයි සේරම එදාම ඉවර වෙනවා. අපේ බොම්බයි මොටයි වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ගොඩක් වෙලාවට සැපයුමටත් වඩා ඉල්ලුම වැඩියි.” නවුෆර් සතුටින් හිනා වෙමින් අපිට කිව්වා.

මේ නිසා ඔවුන් තමන්ගේ ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කරගන්න බලාපොරොත්තුවක් තියෙනවාද? “දැනට නම් මේ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රමාණය ගැන අපි සතුටුයි.” නවුෆර් කිව්වා. “දැනට අපි මේ ඉන්න තැන තව දුරටත් නිෂ්පාදනය වැඩි කරන්න ඉඩ මදි, හැබැයි අනාගතය ගැන නම් බලාපොරොත්තු තියන් ඉන්නේ.”

කිලෝ ග්‍රෑම් 2ක ඉඳලා 200ක් දක්වා වැඩි කරන එක බොහොම ලොකු පිම්මක්. මේ වැඩේ කරගන්න පුළුවන් වුණේ මේ පිරිසේ බාලම සොහොයුරා වුණු අස්වර්ගේ දක්ෂතාව නිසයි. ඔහු ඉස්සර ඉඳන්ම බොහොම දක්ෂ, ඒ වගේම ඉලෙක්ට්‍රොනික් අංශයට බොහොම ආසා කරපු කෙනෙක්. අපි මේ කතා කරපු කැරකෙන තැටියක් සහිත යන්ත්‍රය තනිකරම ඔහුගේ නිර්මාණයක්. ඔහු හදපු යන්ත්‍රය නිසා තමයි එකවර මෙච්චර විශාල ප්‍රමාණයකින් නිෂ්පාදනය වැඩි කර ගන්න පුළුවන් වුණේ.

“ඔහු මේ යන්ත්‍රය ක්‍රියා කරන විදිහ තනිවම ඉගෙන ගත්තා.” නවුෆර් අපිත් එක්ක එහෙම කිව්වේ ගොඩක් ආඩම්බරෙන්. “අපේ ව්‍යාපාරය ටික ටික දියුණු වෙද්දී වැඩකටයුතු පහසු වෙන්න මැෂින් එකක් ගෙන්වන්න තීරණය කළා. හැබැයි මේ වර්ගයේ මැෂින් එකක් මිලට ගන්න ගියොත් රුපියල් ලක්ෂ 70ක් විතර වෙනවා. ඒ නිසා අස්වර් තනියම මේ යන්ත්‍රය නිෂ්පාදනය කළා. ශ්‍රී ලංකාවේම විවිධ ප්‍රදේශ වලින් තමයි ඔහු මේකට අවශ්‍ය දේවල් හොයා ගත්තේ. අපිට මේ යන්ත්‍රය හදන්න ගියේ රුපියල් ලක්ෂ 8ක් විතරයි.”

උදේ 9 ඉඳන් දවල් 12 වෙනකල් ඔවුන්ගේ බොම්බයි මොටයි නිෂ්පාදනාගාරය බොහොම කලබලෙන් දවසේ නිෂ්පාදන කටයුතු ටික කරනවා. 12න් පස්සේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ වැඩ ටික ඉවරයි. හැබැයි වැඩි ඉල්ලුමක් තියන සමහර දවස් වලට හවස් වරුවේ 3.30ට වගේ තවත් නිෂ්පාදන මුරයක් පටන් ගන්නවා. මේ ව්‍යාපාරය අයිති සොහොයුරන් තුන් දෙනා ඇරෙන්න තවත් උදව්වට තරුණයන් දෙදෙනෙකුත් සේවය කරනවා. මේ කවුරුත් බොහොම උනන්දුවෙන්, කඩිසරව වැඩ කරලා දවසට සීනි කිලෝග්‍රෑම් 200ක විතර රසකැවිලි හදනවා.

පාරේ බොම්බයි මොටයි විකුණන අය දැන් ඒ තරම් දකින්න ලැබෙන්නේ නැහැනේ. හැබැයි මේ පුංචි නිෂ්පාදනාගාරයට උදේ ඉඳන් බොම්බයි මොටයි විකුණන අයගෙන් ඉස්පාසුවක් නෑ. උදේම ඇවිල්ලා බොම්බයි මොටයි කිලෝ ගණන් වලින් අරගන්න ඔවුන් ඉන් පස්සේ තැනින් තැනට ගිහින් මේ මොම්බයි මොටයි සිල්ලරට විකුණලා ජීවිකාව කරනවා.
කවර වල අසුරලා තියෙන බොම්බයි මොටයි එකතු කරගෙන කොළඹ පුරාම තැන තැන ගෙනියලා විකුණන “බොම්බයි මොටයි අංකල්”ලා. පැණි රසට ආස කවුරුත් ඔවුන්ගේ බෙල් එකේ සද්දේ ඇහුණාම දුවගෙන එන්නේ බොම්බයි මොටයි කන්න.
කවර වල අසුරලා තියෙන බොම්බයි මොටයි එකතු කරගෙන කොළඹ පුරාම තැන තැන ගෙනියලා විකුණන “බොම්බයි මොටයි අංකල්”ලා. පැණි රසට ආස කවුරුත් ඔවුන්ගේ බෙල් එකේ සද්දේ ඇහුණාම දුවගෙන එන්නේ බොම්බයි මොටයි කන්න.

කවුරුත් දන්න බොම්බයි මොටයි නූල් කිලෝග්‍රෑම් දෙකක් තුනක් විතර පිරුණු භාජනයයි, බොම්බයි මොටයි ඔතලා දෙන වේෆර් මිටියකුයි අරගෙන ඔවුන් නිෂ්පාදනාගාරයෙන් එළියට වැල නොකැඩී එනවා. කඩ වලින් බොම්බයි මොටයි දෙන්නේ කෝටුවක අමුණලා වුණත් මේ විදිහට සිල්ලරට විකුණන අයගේ ජනප්‍රිය ක්‍රමය වෙන්නේ බොම්බයි මොටයි නූල් ගුලිය මේ වේෆර් දෙකක ඔතලා දෙන එක. (මේ වේෆර් කිව්වේ සීනි නූල් වලින්ම හදපු කාඩ්බෝඩ් වගේ කොළ වලට) ඔවුන් හැම තැනම යන්නේ තමන් අතේ තියන බෙල් එක හඬවමින්. පැණි රස කෑම කන්න ආස කවුරුත් මේ බෙල් සද්දේ අහලා දුවගෙන එන්නේ බොම්බයි මොටයි කන්න. අපි මොන තරම් ආසාවෙන් කෑවත් මේ බොම්බයි මොටයි වෙළෙන්දෝ ගෙවන්නේ හරිම කටුක ජීවිතයක්.

දැන් කාලේ තියෙන සද්ද බද්ද පිරුණු වටපිටාවේ නම් බොම්බයි මොටයි බෙල් එකක් අහන්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින් වෙන්න පුළුවන්. ඒත් ඉස්සර කාලේ නම් මේ බොම්බයි මොටයි බෙල් එක කාටත් හොඳට මතකයේ තියෙන සද්දයක්.

බොම්බයි මොටයි අරගෙන ගිහින් විකුණන කවුරුත් ලොකු ගමනක් පහු කරලයි එන්නේ. පිටකොටුවෙන් උදේ ආරම්භ වෙන මේ ගමන ජා ඇල, වත්තල, කොළඹ අවට සහ මොරටුව, පානදුර වගේ පැති වලට වුණත් විහිදිලා යනවා. මේ ගමන සිදු වෙන්නේ බස් වලින් සහ කෝච්චි වලින්. ගොඩක් බොම්බයි මොටයි වෙළෙන්දන් මහලුයි. ඔවුන්ගේ හම අව්වට වැස්සට අහු වෙලාම රැලි වැටිලා. ඔවුන්ගේ සෙරෙප්පු වීදියෙන් වීදියට ඇවිදලාම ගෙවිලා හිල් මතු වෙලා.

මේ බොම්බයි මොටයි නිපදවෙන තැන ඉඳලා කෑමට ගන්න අය දක්වා එයටම විශේෂ සැපයුම් පද්ධතියක් තියෙනවා. දිනෙන් දිනම වැඩි වෙන බොම්බයි මොටයි ඉල්ලුමට හරි යන්න සැපයුම දෙන්න නම් අස්වර් කළා වගේ තාක්ෂණික උපකරණ වලින් උදව් ගන්න එක අත්‍යවශ්‍ය දෙයක්. කාලයත් එක්ක තැනින් තැනට ඇවිදලා බොම්බයි මොටයි විකුණන වෙළෙන්දන් අඩු වෙලා ගියත් බොම්බයි මොටයි වලට තියෙන ඉල්ලුම නම් අඩු වෙන පාටක් නැහැ. මේ සොහොයුරන් තුන් දෙනා තමන්ට පිය උරුමයෙන් ලැබුණු දායාදය වැඩිදියුණු කරලා කරන ව්‍යාපාරයත් තවමත් උපරිමයට ඇවිත් නැහැ. ඔවුන්ගේ බොම්බයි මොටයි ව්‍යාපාරය මොන තරම් ඉදිරියට ගෙන යාවිද කියන එක ඇත්තටම හිතන්න වටින කතාවක් වේවි.

More News »