චීවරය සෙවණේ දරුවන් තුන්දහස්‌ හයසීයක්‌
ලොකු මහත වී හැදී වැඩුණාහ

2016-08-30 11:14:00       660
feature-top
සේසදී, තම සොයුරා යසිඳු සමඟ මිදුලේ සෙල්ලම් කරමින් සිටියාය. එකවරම පට පට හඬින් වෙඩි වරුසාවක්‌ ඔවුන් වෙත පතිත වන්නට විය. "අම්මේ කොටි ඇවිල්ලා" යි කෑ ගසමින් වෙඩි හඬ මැද්දෙන් දෙදෙනා නිවසට ඇතුළු වී කුස්‌සියේ තිබූ වී ගෝනි අස්‌සේ සැඟවුණහ.

කොටි ත්‍රස්‌තවාදීහු පැමිණ බත් කමින් සිටි මවටත්, පියාටත් වෙඩි තබා මරා දමා බත් මුට්‌ටිය ද බෙදා ගෙන කන අයුරු යසිඳුත්, සේසදීත් දුටුවේ වී ගෝනි අතර සිදුරු අතරිනි. ඉකියක්‌ වත් නොගසා ඔවුහු කොටින් පිටවන තුරුම සිටියහ. උන් පිටවී ගිය පසු දෙදෙනා එළියට පැන ගත්හ. මවගේත්, පියාගේත් දැස්‌ පියවී තිබිණි. බත් ඇට සමඟ රුධිර ධාරා මිශ්‍ර වී තිබිණි. ඔවුqහු මවත් පියාත් බදාගෙන කොටින්ට ශාප කරමින් හඬා වැටුණහ. අවසනැ ඔවුන්ට තේරුම් ගියේ තමන් දැන් ලොවේ අසරණ වුණු තනිවුණු බවයි.

ඔවුන් අවසානයේ සරණාගත කඳවුරකට රැගෙන යන ලදී. එහිදී ඔවුන් දුටුයේ කුරිරු යුද්ධය නිසා මාපියන් නැතිව අසරණ වූ තවත් තමන් මෙන් ම අසරණ වූ සිංහල, දමිළ, මුස්‌ලිම් සොයුරු සොයුරියන් පිරිසකි.

අන් කුමක්‌ කරන්නද? මව පියා නෑයින් වියෝ වූ සොවින් හඬා වැටෙමින් සිටි ඔවුන්ට මිතුරන් සමගින් කඳවුරු බත බුදිමින් සිටීමට සිදුවිය.

ආණමඩුවේ සංගට්‌ටිකුලමේ සංඝරතන හිමියන් සිය දහම් පාසලේ දරුවන් සමඟ අධ්‍යාපන චාරිකාවක්‌ සඳහා අනුරාධපුරයට වඩින්නේ මේ අතරේදී ය. හිමියන්ගේ නෙත්, දරුවන් සිටි සරණාගත කඳවුර වෙත යොමු වෙයි. මව, පියා නොමැති, දරුවන් ලොවේ සදහටම තනි වූ, අසරණ වූ පිරිසක්‌ බව දන්නා හිමියන්ට වේදනාවක්‌ ද අනුකම්පාවක්‌ ද දැනුණි. හිමි සමඟ පැමිණි ගුරු පිරිස සමඟÊකතිකාවතක එළැඹුණු සංඝරතන හිමියෝ, මේ අසරණ පිරිමි දරුවන් තමනට බාර දුනහොත් තමන් ඔවුන් කවා පොවා පෝෂණය කොට උගන්වා ඔවුනගේ අනාගතය සුරක්‍ෂිත කරනා බව කඳවුරු පාලකයන්ට දැනුම් දුන්හ. ඒ වන විටත් විකල්ප විසඳුම් නොතිබූ ඔවුන් අවසානයේදී සියලු නීතිමය තත්ත්වයන් යටතේ දරුවන් විසිහය දෙනෙක්‌ හිමියන්ට බාර දෙන ලදී.

එවකට අලව්වේ ධර්මාරාම පිරිවෙනෙහි ආචාර්යවරයකු ලෙස කටයුතු කළ හිමියෝ දරුවන් විහාරස්‌ථානයේ තබා පිරිවෙනේ ද ඉගැන්වීම් කරමින් දරුවන් රැකබලා ගත්හ. මේ සඳහා අවශ්‍ය විය පැහැදම් වෙනුවෙන් මුදල් කිසිත් නොවූයෙන් හිමියෝ තම පඩිපත අරමුදලකට බැර කොට ඉන් මුදල් රැගෙන දරුවන් පෝෂණය කළහ.

උන්වහන්සේගේ ආචාර්යවරයා වූ නිකවැරටිය තළාකොළහේන විහාරාධිපති පූජ්‍ය කුඩාමිතව Cඳාණරතන හිමියන් සංඝරතන හිමියන්ට මේ අතරේදී පවසා සිටියේ තම විහාර පරම්පරාවේ දැනට වැසී ගොස්‌ ඇති උඩහේනගම පුරාණ විහාරස්‌ථානය බාර ගෙන එය වැඩිදියුණු කරගෙන දරුවන් ද සමඟÊවැඩ වසන ලෙසයි. තම වුවමනාව උදෙසා හිමියෝ රාජකාරිමය ස්‌ථාන මාරුවක්‌ ද නිකවැරටිය සමදරාපිටිය පාලි පිරිවෙනට සාදාගෙන දරුවන් පිරිවෙනෙහි තබා උගන්වමින් උඩහේනේගම පන්සල ගම්මුන් සමඟ එක්‌ වී කැලෑ කපා එළි පෙහෙළි කොට කටු කොහොල් හරවන්නට වූහ. වසරක්‌ කාලය තුළදී හිමියෝ දරුවන් සමඟÊපන්සලට වැඩියහ. පන්සල ද සංවර්ධනය විය. දරුවෝ ද රැකවරණ ලබා අහර ලබා හොඳින් උගත්හ.

හිමියන් දරුවන් කෙරෙහි දක්‌වන සෙනෙහස හා රැකවරණය පෝෂණය දුටු රජය ද තව තවත් යුද්ධයෙන් අනාථ අසරණ පිරිමි දරු පිරිස්‌ මෙහි එවූහ. හිමියෝ ඔවුන් සැමගේ වගකීම ද බාරගෙන දරුවනට ආහාර දුන්හ. ඉගැන්වූහ. රැකබලා ගත්හ. අවසානයේදී පරිවාස හා ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ ඈත මෑත පළාත්වල දෙමාපිය ආරවුල් නිසා, දෙමාපිය මියයැම් නිසා, දමා යැම් නිසා අසරණ වූ දරු පිරිස්‌ අධිකරණ නියෝග පරිදි මෙම විහාරස්‌ථානයට නැතිනම් ශ්‍රී සංඝරක්‍ෂිත අසරණ සරණ ළමා නිවහනට එවීමට හිමියනට බාර දීමට කටයුතු කරන ලදී. අවසානයේදී උඩහේනේගම, විහාරස්‌ථානය අසරණ වූ ළමුන්ගේ නිවහනක්‌ම විය. දරුවෝ නිදහසේ කෑ ගසමින් කෙළි දෙළෙන් ඒ පුණ්‍ය භූමියේ සැරිසැරූහ. කෙළිලොල් සිනා හඬින් පන්සල් බිම පිරී ඉතිරී ගියේය. ගම්මුන් ද තම පන්සල ගැන ඉවසිලිවන්තව සිටියේ මේ පෝෂණය ලබන්නේ ඉගෙන ගන්නේ තවත් දරු පිරිසක්‌ ය යන උතුම් හැඟීමෙනි.

කල් - යල් යන විට දරුවෝ පන්සලේ සිරිත් විරිත් උගෙන ශික්‍ෂාකාමී බවට පත්වූහ. පන්සලේ පිංකම්, දාන මාන, උත්සව වලට ගම්මුන් සමඟ එක්‌කාසු වෙමින් සැදැහැති බවට පත්වූහ. ඇතැමෙක්‌ පැවිදි බිමට පත්වූහ.

දරුවන් දිනෙන්දින උස්‌ මහත් වනු, වැඩිහිටි වනු පෙනි පෙනී හිමියෝ ඔවුන්ගේ අනාගත මං සෙවූහ. වයස අවුරුදු දහඅට සපිරෙන විට දී ඔවුන් සමාජය වෙත යහපත් හා ආර්ථිකය ගොඩ නගා ගන්නෙක්‌ බවට පරිවර්තනය කළ යුතු බව වටහා ගත් හිමියෝ ඒ සඳහා දානපතියන්ගේ, හා සේවාදායකයන්ගේ උපකාර පැතූහ.

ඒ පිළිබඳව උන්වහන්සේ මෙසේ පවසති.

මේ වගේ අසීරු අවස්‌ථාවක මා පසු වෙමින් සිටියදී මුල්ම මාධ්‍ය මෙහෙවර ඉටු කළේ 'ඉරිදා දිවයින' පුවත්පතයි. මේ මහතා (ලියුම්කරු) මෙහි පැමිණ ලිපි කීපයක්‌ ම සම්පාදනය කොට පළ කළා. එහි ප්‍රතිචාර ඉහළයි. දේශීය පිංවතුන් මුදල්, ද්‍රව්‍ය පමණක්‌ නොව ළමුනට උදේ බීමට කිරි ගැනීමට කිරි හරකුන් ද ලබා දුන්නා. විදේශීය ආයතන, පුද්ගලයන් රැසක්‌ම අපට මහත් උපකාර කළා. ඇතැම් අය මුදල් බැංකුවල තැන්පත් කොට එහි පොලිය අපට ලැබෙන පරිදි කටයුතු කළා. ජර්මන් ජාතික පිරිස්‌ ආයතන මේ ළමුනට විසීමට තට්‌ටු ගොඩනැඟිලි හා වෘත්තීය පුහුණු ඒකකයක්‌ ආරම්භ කළා. කොණ්‌ඩා කැපීම, වඩු වැඩ, මේසන් වැඩ වගේ දේවල් ළමුන්ට පුහුණු කළා. ළමුන් අධ්‍යාපනය වගේම දැතේ පුහුණුව ද ලැබුවා.

ලොකු මහත් වී පිටවන විට ව්‍යාපාර කර ගැනීමට මා ද ඔවුනට මුදල් හා ද්‍රව්‍ය මට හැකි පමණින් ලබා දෙනවා. ඔවුන් විවාහ කර දෙනවා. ඊට අවැසි විය පැහැදම් ද ලබා දෙනවා. ඔවුන් දැන් ආර්ථිකය සරු කරගෙන දරු මල්ලන් ලබා සතුටින් දිවි ගෙවනවා. මහත්තයෝ මට ඒ සතුටම ඇති......" උන්වහන්සේ පිරුණු සිනා මුවින් වදාරති.

උන්වහන්සේ මීට වසර විසිහතකට (27) පෙර ඇරඹූ ඒ දැවැන්ත සමාජ සත්කාරය, නැතිනම් අනාථ දරුවන් සනාථ කිරීමේ සද්කාර්යය නිසාවෙන් මේ වන විට තුන්දහස්‌ හයසීයක (3600) පිරිසක්‌ සනාථ වී සමාජගත වී යහතින් දිවි ගෙවති. ඔවුන් රජයේ

රැකියාවල ද අටසීයක්‌ පමණ පිරිස්‌ උසස්‌ තනතුරුවල වැජඹෙති. ආරක්‍ෂක හමුදාවල තව පිරිසකි. ගුරුවරු බොහොමයකි. උපාධි ලබා පිටවූ පිරිස්‌ ද සිටිති. සාමනේර භික්‍ෂුන් වී අධ්‍යාපනය හදාරා ප්‍රාචීන පණ්‌ඩිත හා උපාධි දරන මහ තෙරුන් බවට පත් වූ තවත් පිරිසකි. පැවිදි බිමට එක්‌ වූ පිරිස හතළිස්‌ එක්‌දෙනෙකි.

මේ සමාජයේ අතපල්ලට යැමට ඉඩ තිබූ පිරිස්‌ ය. නැතිනම් රස්‌තියාදුකාරයන් අපතයන් හෝ අපරාධකාරයන් වීමට බොහෝ සෙයින් ඉඩ තිබූ පිරිස්‌ ය. මව - පියා - මියගිය පසු ලොවේ තනි වූq ඔවුනට පාසල් ද වැසී ඇරෙන්නට තිබුණේ හිර ගෙවල්වල දොරවල් පමණි.

සංඝරතන හිමියෝ ඒ පාපී ද්වාර වසා දමා දරුවන්ට සිර ගෙවල් දක්‌නටවත් ඉඩ නොතැබූහ. මෙවැනි කාර්යයක්‌ ඉටු කිරීමේ දී උන්වහන්සේට බැණුම්, ගෙරවුම්, නින්දා අපහාස නොලැබුණාම නොවේ. එසේද වුවත් උන්වහන්සේ ඉJද්‍ර‚ලයක්‌ සේ නොසැලීම තම සමාජ සද්කාර්ය නිහඬවම ඉටු කරති.

මෑතකදී උන්වහන්සේ ඒ ප්‍රදේශයෙන්ම අක්‌කර හයක පමණ ඉඩමක්‌ මිලදී ගෙන එහි කැලෑ කප්පවා, බටු, මිරිස්‌, කැකිරි, බණ්‌ඩක්‌කා සිටුවා ළමුන්ට ආහාර වේල් සකස්‌ කර දෙති. ඉන්පසු එම ඉඩමේ ම පර්චස්‌ විස්‌සක බිම් කඩක නිවෙසක්‌ බැගින් තනා පිටවන දරුවනට බාර දෙති. දැනටමත් ලක්‍ෂ පහළොවක්‌ බැගින් වැය කොට නිවාස තුනක වැඩ අරඹා ඇත.

මවට, පියාට, සොයුරන්ට කොටි ත්‍රස්‌තවාදීන් වෙඩි තබා මරා දමනු දුටු උතුරේ දරුවෝ මෙහි සිටියහ. තම මවට, පිහියෙන් ඇන කපා කොටා පියා විසින් මරා දමනු දකුණේ දරුවෝ දැක තිබිණි. මව අත්හැර දමා පියා වෙනත් පහසක්‌ සොයා ගිය අසරණ වූ දරුවෝ මෙහි සිටියහ. එසේම තවමත් සිටිති. හෙටත් එසේ වූ පිරිස්‌ මෙහි පැමිණෙනු ඇත. අපේ රටේ දරුවන්ගේ ෙ€දජනක කතාවන් මෙහිදී බොහොමයක්‌ අසන්නට හැකි වෙයි. ඒත් අපට අවැසි ඒ කතා අසා තව තවත් දරුවන් රිදවීම නොවේය. ඔවුනට හැකි අයුරින් දයාව, සෙනෙහස, ආදරය පිදීමය. දරුවන්ට ජීවත් වීමට අහර ලබා දීමය. මනස නැණස පෑදීමය. ඉන් අනතුරුව සමාජයට යහපත් මිනිසුන් සේ එවීමය. සංඝරතන හිමියෝ තමනට ශක්‌ති පමණින් එම මහා කාරිය මනාව ඉටු කරති. ඒත් අප රටේ දරුවන් දිනෙන් දින මාපිය වරද නිසා අසරණ වන ආකාරය දකින විට දී අසරණ දරු පිරිස්‌ මෙම නිවහනට පැමිණෙන ආකාරය දකින විටදී සමස්‌ත සමාජයේම කාරුණික දැස්‌, දැත් දෙපා සවන් මෙම දරුවන් කෙරෙහි යොමු විය යුqතුමය.

වයස අවුරුදු දෙක තුනේ දරුවනගේ මළ මුත්‍ර අතගාමින්, ඔවුන් පිරිසිදු කොට මෙතෙක්‌ රැකවල් කළ ඒ යතිවරයාණන්ගේ දැත් තවත් සවිමත් කිරීම ඔබේත් මගේත් වගකීම වන්නේ ලොවේ දරුවන් නම් කවුරුත් එකයි යන්න මිනිසුන් වන අපගේ පරමාදර්ශී ප්‍රාර්ථනාව වන බැවිනි. තිරිසනුන් පවා දරුවන් හැර නොයා

රැකවල් කරද්දී ඇතැම් මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරෙද්දී අප සැම අපේම රටේ දූ දරුවන් රැක ගැනීමේ සද්aකාරිය ඉටු කළ යුතුමය. සංඝරතන හිමියෝ අපට කියා දෙන්නේ ඒ මහා පාඩමයි.

සංඝරතන හිමියන්ගේ දුරකථන අංකය 077 1145831

More News »