කරදිය රට තුළට ඒම වළක්වන වෙරළාසන්න වැව් ආරක්ෂා කරමු

2016-08-29 11:07:00       664
feature-top
ශ්‍රී ලාංකේය පුරාණ ශිෂ්ටාචාරයේ අනන්‍යතාව තහවුරු කෙරෙන ප්‍රධාන සාධකයක් ලෙස මෙරට වාරි කර්මාන්තය හැඳින්වේ. අතීත වාරි සමාජය තුළ භාවිත ප්‍රධාන න්‍යාය වී ඇත්තේ, “අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා නොයා යුතු ය“ යන සංකල්පය වේ. පළමුවන පරාක්‍රමබාහු රජු විසින් එම අදහස ප්‍රකාශ කළ ද ඊට ශත වර්ෂ ගණනාවක සිට ම මෙරට ජනතාව මෙන් ම පාලකයෝ ද මෙම සංකල්පය කෙරෙහි ගරු කරමින් වියළි කලාපීය භූමියට ලැඛෙන වැසි ජලය සුරක‍්ෂිතව ගබඩා කොට ගනිමින් ප්‍රයෝජනයට ගැනීමට යොමු විය. මෙම වාරි නිර්මාණ අතර ප්‍රධාන ස්ථානයක් වැව් නිර්මිත උදෙසා හිමිවේ. ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරය ගොඩනැඟුණු ප්‍රෝටෝ ඓතිහාසික (proto historic) අවධියේ ආරම්භ වූ බවට හඳුනාගත හැකිය. මෙම වැව් නිර්මිත හා ඒවායේ පිහිටීම, ප්‍රමාණය, උපයෝගිතාවය අනුව කටකුළු වැව්, බැඳි වැව්, බිසෝ වැව්, කුළු වැව්, කරවිට වැව් ආදි වශයෙන් ජනතාව අතර ව්‍යවහාර වේ.

ශ්‍රී ලංකාවේ පුරාණ වාරි කර්මාන්තය යනු වියළි කලාපීය පාරිසරික තත්ත්වය මත පදනම් වූ ජල හිඟතාවය යන අභියෝගයට මුහුණදීමේ පරමාර්ථයෙන් යුතුව ඉදිකරන ලද තාක‍්ෂණික ව්‍යුහයකි. කෘෂි කර්මාන්තය ප්‍රධාන කොටගත් විවිධ ජල අවශ්‍යතාවන් සපුරා ගැනීම වාරි කර්මාන්තයෙහි මූලික අරමුණ වුව ද පරිසරය සුරක‍්ෂිත කරගැනීම වැනි අතුරු ප්‍රධාන අරමුණු ද එහි විය. ශ්‍රී ලංකාවේ වියළි කලාපීය පරිසරය වර්තමානයේ වුවද ජනාවාසයට හිතකර පරිසරයක් පෙන්නුම් කරනු ලබන්නේ මෙම වාරි නිර්මිත මගින් එක් රැස්වන ජලයේ බලපෑම නිසා බව පැහැදිලි ය. අත්දැකීම් මත භූමියේ ස්වභාවය හඳුනා ගන්නා ජනතාව ස්ථානෝචිතව එක් එක් ස්ථානයන්ට ගැළපෙන පරිදි වැව් අමුණු ප්‍රධාන කොටගත් ලොකු, කුඩා වාරි නිර්මාණ ගොඩනැංවීමට කටයුතු කරන ලදි. කරවිට වැව් ඉදිකිරීම යනු ද භූමියේ ස්වභාවය මත මිරිදිය ජලයේ සුරක‍්ෂිතතාව අපේක‍ෂා කරමින් ඉදිකරන ලද වාරි නිර්මිතය. ඒ තුළින් භූමියේ ස්වභාවය හඳුනා ගනිමින් ක්‍රියාත්මක වීමේ පුරාණ ජනතාව තුළ පැවති නෛසර්ගික හැකියාව පෙන්නුම් කරයි. බ්‍රෝහියර්, එච්. ඩබ්. කොඩ්රිංටන්, සී. ඩබ්. නිකොලස්, හෙන්රි පාකර් වැනි විද්වත්හු බිංගිරිය කරවිට වැව ඇතුළු වෙරළාසන්න ඇතැම් වැව් පිළිබඳ වාර්තාකර තිබෙන මුත් එම වැව් ඉදි කිරීමේ පරමාර්ථය හඳුනාගත් බවක් නොපෙනේ.

සාමාන්‍ය ව්‍යවහාරයේ කරවිට වැව් ලෙසින් ඇතැමුන් හඳුන්වන වෙරළාසන්න කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ඉදිකිරීමේ මූලික පරමාර්ථය වන්නේ කරදිය ගොඩබිම දෙසට පස තුළින් ඇතුළුවීම වළක්වාලීම ය. ලක්දිව ජනාවාස ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් වෙරළාසන්න කලාපය තුළ සිදුවීම නිසා පුරාතනයේ සිට ම වෙරළබඩ ප්‍රදේශය ජනතාවගේ ආකර්ෂණීය භූමියක් බවට පත් විය. මහාතිත්ථ, කුදිරමලේ, අන්තර් සමුද්‍රා (කල්පිටිය), ඌරුවේලා (මල්වතු ඔය මෝය), මගනය (මොදරගම් ආරු මෝය), සලාවත්තොට (හලාවත), කම්මල් තොට, චන්දනගාම, කල්‍යාකර්කා, මාගම, මානාවල්තොට (දැදුරු ඔය මෝය ප්‍රදේශය), ජම්බුකෝල පට්ඨන( දඹකොළ පටුන), තිරියාය, ගෝකණ්න ආදි වෙරළාසන්න පැර‚ ජනාවාස මෙයට නිදසුන් ය. එහෙත් මෙම කලාප ආශ්‍රිත ව භූමියේ පවතින භූගත ජලයේ ලවන බහුල කරදිය මුසු බව වළක්වා ගනිමින් භූගත මිරිදිය ජල ප්‍රමාණය රැකගැනීම පැරැණියන්ට මුහුණ දීමට සිදුවූ ප්‍රබල අභියෝගයක් වන්නට ඇත. මෙම පාරිසරික අභියෝගය ජයගැනීම සඳහා ඔවුන් අනුගමනය කරන ලද ක්‍රියාවලියක් ලෙස හඳුනාගත හැක්කේ වෙරළාසන්න කලාපයේ කුඩා වැව් පද්ධතියක් ඉදිකරමින් ඒවායෙහි මිරිදිය ජලය ගබඩා කර තැබීම මගින් ප්‍රදේශයේ භූගත ජලයේ මිරිදිය සංයුතිය ඉහළ නංවාලීමට කටයුතු කිරීමත්, එම භූගත ජලය මගින් සාගරය දෙසට පීඩනයක් යොදමින් කරදිය පස තුළින් රට තුළට ප්‍රවේශ වීමට ඉදිරි බාධාවක් ලෙසින් ක්‍රියාත්මක කිරීමත් ය.

කරදිය සඳහා බාධාවන වැටිය යන අදහසින් කරවිට වැව් යන නාමය සමාජයේ එම වැව් සඳහා ව්‍යවහාර වේ. මෙම වැව්වල ප්‍රභවය සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට පැහැදිලි වන්නේ මෙහි විකාශනය මෙරට ශිෂ්ටාචාරාත්මක සමාජය ආරම්භ වූ ප්‍රෝටෝ ඓතිහාසික අවධිය තෙක්ම දිව යන බවකි.

විජය කුවේණිය හා සම්බන්ධ කතා පුවත්හි දක්නට ලැඛෙන තිඹිරියහන විල ඇතැම් විටක මෙවැනි වැවක් ලෙස අනුමාන කළ හැකි වන්නේ එම කතා පුවත වයඹ දිග වෙරළාසන්න කලාපය ආශ්‍රිත ව සිදුවී තිඛෙන බැවිනි. මීට අමතරව වයඹ දිග වෙරළාසන්න කලාපයෙහි පිහිටා ඇති පොම්පරිප්පු මෙගලිතික සුසාන භූමිය ආශ්‍රිත ව පිහිටි වැව ද එවැනි වැවක් ලෙසින් හඳුනාගැනීමට පුළුවන.

මෙම කරවිට වැව් පිළිබඳ ඉතිහාසය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී පළමුවන පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුණු කරවිටිය සහ විලත්තව වාපි නම් වූ වැව් ද්විත්වය ප්‍රධාන තැනක් ගනී. බිංගිරිය ප්‍රදේශයේ පිහිටි කරවිට වැව හා විලත්තව වැව උක්ත පරමාර්ථය ප්‍රධාන වශයෙන් යොමුකරන ලද වැව් දෙකක් ලෙසින් හඳුනාගැනීමට පුළුවන. එම වැව් ද්විත්වයේ වැව් බැම්ම සෘජු ව ම වෙරළ දෙසට සමාන්තරව ඉදිකිරීම මගින් ම පැහැදිලි වන්නේ එම වැව් හි ජලයේ බැස්ම වෙරළ දෙසට යොමුකොට තිඛෙන බවයි. මෙම කරවිට වැවට තදාශ්‍රිත ප්‍රදේශයේ වෙරළාසන්නව තවත් වැව් රාශියක් උක්ත පරමාර්ථයෙන් යුතුව ඉදිකර තිබේ. මුන්නේශ්වරම වැව, තිඹිල්ල වැව. මුන්ගස්දළුව වැව, නල්ලන් වැව, වලාහේන වැව, පම්බල වැව, මනක්කුලම, මරදන්කුම වැව යන කුඩා ප්‍රමාණය් වැව් ඒ අතර වේ. මෙහි ඇතැම් වැව් ආශ්‍රිත ව පුරාණ ජනාවාස පැවති බවට සාධක හමුවේ.

මේ ආකාරයෙන් ම දකුණු - ගිනිකොන දිග හා නැගෙනහිර ප්‍රදේශයේ වෙරළාසන්න කුඩා වැව් පරිශ්‍ර පරීක‍්ෂා කිරීමේ දී ඒවා ආශ්‍රිත ව පුරාණ ජනාවාස ස්ථාපිත වීම පිළිබඳ සාක‍්ෂි හඳුනාගැනීමට පුළුවන. විශේෂයෙන් ම වළං කැබලිති විසිරී ගිය භූමි ප්‍රදේශ හඳුනා ගත හැකිය. මීට අමතර ව පුරාණයේ පැවති විහාරස්ථාන පිළිබඳ නටබුන් වූ සාක‍්ෂි ද දක්නට ලැබේ. ඇතැම් වැව් ආසන්නයෙන් කාල රක්ත මැටි බඳුන් අවශේෂ හමුවීමෙන් තහවුරු වන්නේ එම වැව්වල ආරම්භය ප්‍රොටෝ ඓතිහාසික අවධිය හෝ පූර්ව අවධිය විය හැකි බවයි. මල්වතු ඔය, මෝදරගම් ආරු, කලා ඔය, වලවේ ගඟ, කිරිඳ ඔය, මැණික් ගඟ, කුඹුක්කන් ඔය සහ හැඩ ඔය ආදි ගංගා මෝය සමීපයෙහි පිහිටි මෙවැනි වැව් ආශ්‍රිත ව පුරාණ ජනාවාස පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක බහුල ව දක්නට ලැබේ.

රුහුණේ මාගම රාජධානිය පූර්ණ වශයෙන් ම ගොඩනැඟී ඇත්තේ වෙරළාසන්න රාජධානියක් ලෙසිනි. ඊට අමතර ව ගිනිකොන දිග බෝවත්තේගල හා කොටාදැමූහෙල ආශ්‍රිත ව ගොඩනැඟී තිබුණ ප්‍රාදේශීය රාජධානිය, සේරුවාවිල ආශ්‍රිත ව ක්‍රිස්තු පූර්ව අවසාන භාගයේ පැවතුණු රාජධානිය ද වෙරළාසන්න ප්‍රදේශවල පිහිටා තිබි‚ මෙම රාජධානිවල කටයුතු කළ පිරිසගේ මෙන් ම, ප්‍රදේශවාසීන්ගේ ද කෘෂි කාර්මික කටයුතු වල දී ලවණතාව අවම කරගනිමින් මිරිදිය ජලය ලබාදීම එම ප්‍රදේශවල වෙරළට සමාන්තරව ඉදිකරන ලද මෙම වැව්වලින් අපේක‍්ෂා කරන ලද මූලික ම කාරණය ලෙස සිතිය හැකි වේ. යාල සහ කුමන ජාතික වනෝද්‍යාන ආශ්‍රිත ව දක්නට ලැඛෙන විශාල ප්‍රමාණයක් වන නටබුන් වූ කුඩා වැව් ප්‍රමාණය මෙයට එක් නිදසුනකි.

කෘෂි කාර්මික අර්ථ ක්‍රමයක් සහිත වූ ශ්‍රී ලාංකේය සමාජය තුළ වී ගොවිතැනට ප්‍රමුඛ ස්ථානයක් පුරාතන අවධියේ සිට ම ලැබී ඇත. වෙරළබඩ කලාපය ආශ්‍රිත ව ජල මූලාශ්‍රයන් කොතෙකුත් පැවතිය ද වී ගොවිතැන සඳහා එම මූලාශ්‍රයවල පවතින ලවණ සහිත කරදිය මිශ්‍ර ජලය යෝග්‍ය නොවීම තුළ භූගත ජලයේ ලවණතාවය අඩු කිරීමේ පරමාර්ථයෙන් වියළි කලාපීය ඇතැම් වෙරළාසන්න ප්‍රදේශවල වෙරළට සමාන්තර ආකාරයට මෙවැනි කරවිට වැව් ඉදිකොට වැසි ජලය හෝ වෙනත් මිරිදිය මූලාශ්‍රයන් මගින් ලබා ගන්නා ජලය ගබඩා කර ගැනීම තුළින් ඔවුනට වී ගොවිතැනට අවශ්‍ය කරන මිරිදිය ජලය ලබාගන්නට ඇති බව පෙනේ. විශේෂයෙන් ම ස්වභාවික පොළොව මට්ටමට ඉහළින් ජල මට්ටම පිහිටන පරිදි මිරිදිය ජලය මෙම වැව්වල ගබඩා කර තැබීම තුළින් රටාවකට පොළොවට උරාගන්නා මිරිදිය ජලය වෙරළ දෙසට පොළොව තුළින් ගමන් කිරීම නිසා භූගත ජලයේ තිඛෙන ලවණතාවය නැවත සාගරය දෙසට තල්ලූ වී යාම නිසා පුරාණයේ වෙරළාසන්නයේ සිදු කළ වී ගොවිතැනට ඉන් එතරම් බාධාවක් නොවන්නට ඇත. කරවිට වැව් මගින් වගා කරනු ලැබූ කුඹුරුවල එම ජලය නිරතුරු ව සැරිසැරීම තුළින් ද උක්ත අපේක්ෂා තවදුරටත් ඉටුවන්නට ඇත.

වෙරළාසන්න කලාපයේ ජනාවාස ප්‍රොටෝ ඓතිහාසික අවධියේ සිට අනුරාධපුර යුගය හා පොලොන්නරු යුගය තෙක්ම අඛණ්ඩව පැවති බවට තහවුරු කරගත හැකි ප්‍රධාන සාක‍ෂියක් වන්නේ ද වෙරළාසන්නයේ ඉදිකරන ලද මෙම කරවිට වැව් වල ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පැවති බවට පවතින සාධකය. පරාක්‍රමබාහු රජු දක්ඛිණ දේශයේ පාලකයාව සිටිමින් දිවයිනේ අගරජු වීමෙන් පසුව එම වැව් යළි ප්‍රතිසංස්කරණයට යොමුවීම පිළිබඳ මහාවංසයේ දක්නට ලැබේ. ඒ තොරතුරු මගින් එළඹිය හැක්කේ එම වැව් ඉදිකිරීමේ දී පුරාතන ජනතාව අපේක‍්ෂා කළ අරමුණ පසුකාලීන ජනතාව පමණක් නොව පාලකයින් ද අවබෝධ කරගෙන සිටි බවයි.

ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශයේ භූගත ජලයේ පවතින ලවනතාවය පාලනය කිරීමේ පරමාර්ථයෙන් ඉදිකරනලද ව්‍යවහාරයෙන් කරවිට වැව් නමින් හඳුන්වන වෙරළාසන්න කුඩා වැව් ජාලය මගින් පෘථුල පරිසර හිතකාමීත්වයක් ගොඩනඟා තිබේ. විශේෂයෙන් ම වියළි කලාපයේ වැව් ආශ්‍රිත පරිසරයේ දක්නට ලැඛෙන පාරිසරික ලක‍ෂණ වෙරළාසන්න කලාපයේ හඳුනාගැනීමට හැකිවීම කෙරෙහි මෙම කුඩා වැව් සෘජු දායකත්වයක් ලබා දී තිබේ. දීර්ඝ කාලයක් පුරා මෙම වෙරළාසන්න කලාපවල ජනාවාස පැවති බව පුරාවිද්‍යාත්මක සාක‍ෂි මගින් තහවුරු වේ. ඇතැම් කුඩා කරවිට වැව් මධ්‍ය පරිමාණ වැව් ලෙසට වැඩි දියුණු කළ බවට සාක‍්ෂි හඳුනාගත හැකි ය. ඉන් පෙනී යන්නේ පැරැණියන් එම වැව් ගොඩනැංවීමේ දී අපේක‍ෂා කළ අරමුණ ඒ ආකාරයෙන් ම ඉටු වී තිඛෙන බවකි.

එහෙත් මේ වන විට මෙම වෙරළාසන්න කුඩා වැව් බොහොමයක් එම වැව් ඉදිකිරීමේ අපේක‍්ෂාව නොදත් හෙයින් විනාශයට පත්වෙමින් පවති. ඇතැම් වැව් ගොඩ ඉඩම් බවට පත් කරගෙන තිබේ. එවැනි ප්‍රදේශ ආශ්‍රිතව ජලයෙහි ලවනතාවය මේ වන විට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින කරවිට වැව් ආශ්‍රිත ප්‍රදේශයන්හි ජලයට වඩා බොහෝ සෙයින් ඉහළ මට්ටමක පැවතීම තුළින් ම පැහැදිළි වන්නේ එම වැව්වල පවතින සමාජීය සහ පාරිසරික වටිනාකම ය. ඒ අනුව කරවිට වැව් නමින් හඳුන්වන වෙරළාසන්න කුඩා හා මධ්‍ය පරිමාණ වැව් සමූහය කරදිය මිශ්‍ර ලවණ ජලය පස තුළින් අභ්‍යන්තර ප්‍රදේශවලට ගමන් කිරීමට එරෙහිව ජල වැටක් සේ ක්‍රියාත්මක වී තිඛෙන බව නිගමනය කළ හැකි ය. එබැවින් එම වැව් ඉදිරි පරපුර සඳහා සුරක්ෂිත කරදීම අපගේ වගකීම වේ.


More News »