කුවේට්වල තට්ටු දෙකේ ගෙදරින් මං පැන්නේ වයර් එකක එල්ලිලා

2016-08-23 11:22:00       660
feature-top
බිම ඇදගෙන වැටිලා මගේ වම් කකුල කැඩුණා

කුවේට් රටේ දුක් විඳ පැමිණි කතුන්ගේ කථාව

“මං කුවේට්වල ජාබර් අලි නගරයේ ගෙදරක වැඩට හිටියේ. ඒ ගෙදර ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ඒ ගෙදර මාමා ( නිවෙස හිමිකරුගේ කාන්තාව ) මට නිතරම ගහනවා. මාමා මට වැඩ කියලා දෙන්නේ එයාගේ උල් නියපොතුවලින් කොනිත්තමින්. එයා උස මහත කාන්තාවක්. මට පහර දෙනකොට හරිම අමාරුයි. කන්න දෙන්නෙ සුදු දිය බත් එක්ක යෝගට් එකක්. මාමාගේ ළමයි ඇඩුවත් මට ගහනවා. ළමයි වැටුණත් ගහනවා. දවසක් මාමා පිටුපස පඩිපෙළේ ගිය චුටි දරුවා වටුණා. එදා මට පඩිපෙළ ලග පෙරළගෙන මාමා ගැහුවා. එදා මං තීන්දු කළා ගෙදරින් පනින්න. එදා තට්ටු දෙකේ ඒ ගෙදරින් මං පැන්නේ වයර් එකක එල්ලිලා. එදා මගේ අත් දෙක වයර් එකට කැපිලා මාව ඇදගෙන වැටිලා වම් කකුල කැඩුණා. දැන් මං රෝද පුටුවට වැටිලා ඉන්නේ.“

“ මේ හඩ අවදි කරනුයේ පසුගියදා කුවේට් රටේ සිට පැමිණි නිසංසලාය. නිසංසලා සමග කුවේට් රටේ අනේක වද හිංසාවන්ට ලක් වු කාන්තාවක් හැත්තෑවක් පමණ මෙරටට පසුගියදා පැමිණියහ. ඒ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මිය කුවේට් රටේ කළ සංචාරයකින් අනතුරුවය. නිසංසලා මෙහෙකාර සේවයේ නිතරව සිටි නිවෙසෙන් පැන විත් ඈ සරණ පතා තිබුණේ කුවේට්හි ශ්‍රීලංකා තානාපති කාර්යාලයෙනි. ඈ පවසන පරිදි දිනපතා කුවේට්හි ගෘහ සේවයේ නිතරව සිටින කාන්තාවෝ දහයක් පහළොවක් පමණ ඔවුන් සේවය කරනු ලබන නිවෙස්වලින් හොර රහසේ පැනවිත් කුවේට් ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සරණ පතන්නෝහ. ඊට හේතුව ඇත්තේ ඔවුනට කුවේට් රටේ ගෘහ සේවයේ යෙදී සිටියදී විදින්නට සිදුව තිබෙන අනේකවිද දුක් වේදනාවන්ය.

නිසංසලාගේ ගම් පියස වන්නේ අම්බලන්ගොඩ කුලීගොඩය. දැන් ඈ තිස්තුන් වියේ පසුවන්නීය. වයස අවුරුදු පහළොව දහසයේ පසුවු පිරිමි දරුවන් දෙදෙනෙකුගේ මවක් වු ඈ වසරක කාලයක් මැදපෙරදිග ගෘහ සේවයේ නිරත වුවාය. ඈ දුරු රට රැකියාවකට යන්නේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙනය. නිසංසලාගේ එකම බලාපොරොත්තුව තමාගේම කියා නිවෙසක් තනා ගැනීමය. ඇගේ සිහින දැන් අහස් කුසේ පායන දේදුන්නක් සේ බොදව ගොසිනි. මෙලෙස අනේකවිද සිහින පොදි බැදගෙන කුවේට් රටේ රැකියාවට ගොස් අසරණ වු කාන්තාවක් දෙසීයක් පමණ කුවේට් ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ නේවාසිකව සිටිති. ඔවුන් අතරින් ඇතැමෙකුට මෙරටට පැමිණිය නොහැකිව ඇත්තේ එරට ඔවුන් සේවය කළ නිවෙස්වල ස්වාමියන්ට එරෙහිව ඔවුන් විසින් පවරා ඇති නඩු අවසන් වන තෙක්ය. තවත් සමහරුන් එරට නිවෙස්වල ගෘහ සේවයට ගොස් මාස 6 කට පෙර එම නිවෙස්වලින් පැනවිත් සිටිම නිසා ඔවුන්ට විරුද්ධව නඩු පවරා තිබේ.

කුවේට් ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සරණ ලබමින් එහි නේවාසිකව සිටින කාන්තාවන් දෙසීයකට ආසන්න පිරිසකගේ ඉරණම කෙසේ විස‍ඳේදැයි කිසිවෙකුටත් කිව නොහැකිය. එලෙස අසරණ වු අපේම සොහායුරියන්ගේ එක් පැති කඩක් නිසංසලාද නියෝජනය කරන්නීය. ඒ නිසා ඇගේ හඩට අපි සවන් දෙමු.

“ මං සේවය කරපු නිවෙසේ බාබා ( නිවෙසේ ස්වාමියා) වෙලාවට මට පඩි දෙන්නේ නෑ. ඒ නිසා මං අපේ අම්මට හාට් ඇටෑක් එයාට බෙහෙත් ගන්න ඕනේ ඒ නිසා මගේ පඩිය එකවුන්ට් එකට දාන්න කියලා බල කළාම තමයි සල්ලි දාන්නේ. ටොයිලට් එකට යන්නවත් මට දෙන්නේ නෑ. සමහර දවස්වලට ටොයිලට් එකට යන්නේ රෑ දොළහට එකට විතර. නාගන්න වුණත් ලැබෙන්නේ ඒ වෙලාවට. ඊට කලින් මට බාත් රූම් එකට යන්න දෙන්නේ නෑ. මගේ ජංගම දුරකථනය මට පාවිච්චි කරන්න පුළුවන් රෑ දොලහින් පස්සේ. එතකන් ඒක මං කබඩ් එකට දාලා තියන්න ඕනේ. උදේ 6.00 වෙනකොට මාමාගේ මහ ගෙදරට ( කාන්තාවගේ) මාවයි ළමයි තුන් දෙනායි ගෙනිහින් දානවා. ඒ ගෙදර තට්ටු හතරේ ගෙදරක්. මුළු ගේම මං දිනපතා අතු ගාන්න ඕනේ. ළමයි බලා ගන්නත් ඕනේ. පසුගිය මැයි 22 වෙනිදා මාමාගේ වයස අවුරුදු එක හමාරක බබා එයා පිටිපස්සෙන් ගිහින් වැටුණා. එදා මගේ කොණ්ඩෙන් ඇදගෙන ගිහින් අතින් පයින් මට මාමා පහර දුන්නා. එදා මං හිතුවා මං මේ ගෙදරන් පැනලා යනවා කියලා. “ ඈ දුක්බර අතීතය සිහිපත් කරමින් දිගු සුසුමක් හෙළුවාය.

“ දිනය මට හරියටම මතක නෑ. මැයි මාසයේ අන්තිම දවසක්. උදේ හය වෙනකොට මාමා වැඩට යනවා. එයා ගුරුවරියක්. එයාලා එළියට යනකොට යතුරු දාලා දොරවල් ලොක් කරලා යන්නේ. මොකද අපි පැනලා යයි කියලා. එදා මාමාගේ මහ ගෙදරට අපිව ගෙනිහින් දැම්මේ නෑ. බාබා ( ස්වාමියා) දරුවෝ තුන් දෙනා එක්ක හොඳටම නිදි. මං ගෙදර තිබ්බ දිග වයර් එකක් අරගෙන කුස්සියේ පැන්ට්‍රි කබඩ් එකේ කොනක් ගැට ගහලා වයර් එක දිගේ පහළට එල්ලිලා බැස්සා. පළවෙනි තට්ටුව පහු කරකොටම වයර් එකට අත් දෙක කැපිලා අඩි දහයක් විතට පහළට මාව වැටුණා. මගේ වම් කකුල කැඩුණා. දැන් මට පාරට යන්න විදියක් නෑ. ඇවිදින්න බෑ. මං ඒ ගෙදර ළග ගෙදරක හිටිය ඉන්දියානුවෙකුගේ උදව් ඉල්ලුවා. මං කිව්වා කකුළ කැඩුණා මාව හොස්පිටල් එකට ගෙනියන්න කියලා. එයා බැණලා මාව එළවා ගත්තා. හැබැයි එයා මට හැරමිටියක් වගේ දිග බටයක් දුන්නා. මේකෙන් කොහොමහරි පාරට පලයන් කිව්වා. ඒත් මට යන්න බෑ. මං අන්තිමට මගේ අත් දෙකට සෙරප්පු දෙක දාගෙන පස්ස බිම තිය තියා මහ පාරට ගියා.“ ඇගේ නෙතගින් කදුළක් ඇද වැටෙයි.

“ ඊට පස්සේ කොහොමද හොස්පිටල් එකට ගියේ.“ මම ඇසුවෙමි.

“ එත් එක්කම ස්කූල් වෑන් එකක් ආවා. එකේ ඩ්‍රයිවර් වයසක කෙනෙක්. මං කිව්වා කකුල කැඩුණා. මාව හොස්පිටල් ඇඩ්මීට් කරන්න කියලා. එයා මාව උස්සලා වාහනයට දාගත්තා. මගෙන් වැඩ කරන ගෙදර නොම්බරේ ඉල්ලුවා. මං දුන්නේ නෑ. අන්තිමට එයා මාව හොස්පිටල් එකේ රෝද පුටුවට මාව දාලා ගියා. හොස්පිටල් එකෙන් මගේ බතාක ඉල්ලුවා. ( පාස්පෝට් එක) . මං ගාව මොනවත් තිබුණේ නෑ. ඒ නිසා මාව ඇඩ්මීට් කරගන්න බෑ කිව්වා. ඒත් එතන හිටපු මැඩම් කිව්වා නෑ කමක් නෑ මෙයාව ඇඩ්මීට් කරන්න කියලා. මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ ඊට පස්සේ. “ ඈ පවසන්නීය.

දින කිපයක් ප්‍රතිකාර ගැනීමෙන් පසුව ඇය ටැක්සියකින් කුවෙට්හි ශ්‍රීලංකා තානාපති කාර්යාලයට පැමිණීමට සමත්ව තිබේ. . නිසංසලා පවසන පරිදි කුවේට් ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ නේවාසිකව සිටින කාන්තාවන් බොහොමයක් සේවයේ යෙදී සිටි නිවෙස්වලින් විවිධ අතවරයන්ට පත්වුවන්ය. සමහර කාන්තාවෝ බරපතළ ලිංගික හිංසනයන්ට ලක්වුවෝ වෙති. තවත් සමහරු අත් පා කැඩෙනතුරු පහර කෑමට ලක්වුවෝ වෙති. “ හලාවත නංගි කෙනෙක් කුවේට් තානාපති කාර්යාලයේ ඉන්නවා. එයාට හොදටම ගහලා සිහිනැතිවුණාම මැරිලා කියලා හිතලා පාරට ගෙනත් දාලා. එයාව කුවේට් පොලීසියෙන් හොස්පිටල් ඇඩ්මිට් කරලා දැන් එයාගේ අත් දෙකටම කම්බි දාලා තියෙන්නෙ. එයා නඩු කියනවා. තවත් කතරගම නංගි කෙනෙක්ගේ කකුල් කඩලා. එයාගේ තුනටියෙන් පහළ පණ නෑ. එයත් තානාපති කාර්යාලයේ නේවාසිකව සිටිමින් නඩු කියනවා. එයාටත් නඩුව ඉවර වෙනතුරු ලංකාවට එන්න විදියක් නෑ. තවත් සමහරුන්ට අවුරුද්ද දෙක පඩි දීලා නෑ. එයාලත් නඩු කියනවා.“ නිසංසලා වැඩි දුරටත් අප සමග පැවසුවාය.

“ මේ කුවේට්හි රට රැකියාව කරන අපේම සොයුරියන්නේ සැබෑ කතාවය. අපේ රටට වැඩිම විදෙස් විනිමය ලබා දෙන්නේ ඔවුන් විසිනි. ඒ නිසා මැද පෙරදිග රැකියාවන්ට යන මේ දිරිය කතුන් මැදපෙරදිගදී අතවරයන්ට හිංසනයන්ට පත් නොවන ආකාරයේ වැඩපිළිවෙළක් සැකසිය යුතු නොවේද? අපි බලධාරීන්ට මේ බව සිහිපත් කරනුයේ අද ඊයේ සිට නොවේ. එහෙත් නිසංසලාගේ කතාව අනුව තවමත් මැද පෙරදිග ගොස් අපේ රටට ඩොලර් පොම්ප කරන මේ කතුන්ට සාධාරණයක් ඉටුවී නැති බව නම් පැහැදිලිය.


More News »