කුසින් නොවැදූ දරුවකු ජීවත් කරවන්න
මුහුදු යන 70 හැවිරිදි නෝනම්මා

2016-08-16 10:48:00       660
feature-top
මට දුක මං ගැන නෙමෙයි, ‍ෙම් කොලු පැටිය ගැනයි. මම නැති වුණු දාට එයාට කවුරුවත් නැහැ.  මගේ වසය දැන් අවුරුදු 70කට කිට්ටුයි. අතේ පයේ හයිය තියෙන කල් මේ මුහුදු රස්සාව කරනවා. එතැනින් පස්සේ මොනව වෙයිද දන්නේ නැහැ. මට මහ මුහුද හොඳට හුරුයි. මගේ සේරම දැල් දැන් හොඳටම අබලන් වෙලා. අලුතින් දැලක් හදා ගන්න රුපියල් 30000ක් විතර යනව. ඒ තරම් මුදලක් දරන්න මට දැන් වත්කමක් නැහැ. අපිට යමක් කමක් තියෙන කාලේ අපි කරපු උදවු මතක් වෙනකොට ඇස්වලට කදුළු එනවා. ඒත් අද මට උදවුවක් කර ගන්න කෙනෙක් නැහැ.

මම දරුවන්ටත් කරදර කරන්න කැමැති නැහැ.

හිරු නැඟ ආවද මන්නාරම් මුහුදේ කළුවර තවමත් මැකී ගොස් නැත. පෙරදා රැයේ මුහුදු ගිය ධීවරයින් එක්කෙනා දෙන්නා ගොඩබිමට ඇදෙනු පෙනේ.

‘‘ඈ... නෝනම්මෙ, ඊයෙ අච්චර අසනීපෙන් ඉඳලත් මුහුදු ගියාද? මසුන් මරන්නට ගෙන ගිය ආම්පන්න වෙරළට අඳින නෙරංජන්ගේ හඬට අපි පසු පස හැරී බැලුවෙමු.

ධීවරයකු සේ සැරසී අලුයම මුහුදු ගොස් ගොඩබිමට එමින් සිටියේ වයෝවෘද්ධ අත්තම්මා කෙනෙකි. මා නිවැරැදි නම් ඇයගේ වයස අවුරුදු 70ද ඉක්මවන්නට ඇත.

සීතලට ගැහෙන දෑත් අප දෑසට ගැටේදැයි සැකයෙන් දෑතම පිටුපසට කරගනිමින් ඈ අපට සිනහවකින් සංග්‍රහ කළාය.

ලෙඩකදි දුකකදී වුව පැල්පතේ රැදී නොසිට අනෙකුත් ධීවරයන් හා හරි හරියට ඈ මුහුදු රස්සාව කරන්නී කුසින් නොවැදූ දරුවකුට මවක් වී ඒ දරුවාගේ කුස පුරවන්නටය.

නමින් ජසින්තා වුවත් තලෙයි මන්නාරමේ කුරුසවාඩිය වෙරළේ හැම කෙනෙක්ම ඇයට කියන්නේ නෝනම්මා කියාය.

ගෙවුණු ලස්සන අතීතය වර්තමානය සමඟ ගලපමින් සිය ජීවිත කතාව ඇය අප සමඟ කීවාය. ‘වෙන්නප්පුවේ ඉපදුණු මම කටුනේරියෙන් කසාද බැන්දේ, මහත්තයත් එක්ක මෙහේට ආවේ 1967දී. එතකොට මට වයස අවුරුදු 21ක් විතර ඇති. අපි කසාද බැඳල ආපු ගමන මන්නාරමේම ජීවත් වුණා. මන්නාරමේ හුගක් අය වගේම මහත්තයත් මුහුදු යන්න පුරුදු වුණා. ඒ කාලේ ඉන්දියන් බෝට්ටුවලින් කරදරයක් තිබුණෙත් නැහැ. මාලු වෙළෙඳාම ජයටම කෙරුණා. අපිට ලොකු බෝට්ටු දෙකක් තිබුණා. ඒ විතරක් නෙමෙයි තෙප්පම් 13ක් තිබුණා. කට්ටිය දාල අපි මුහුදු රස්සාව කරා. ආදායමත් හොඳයි. අපි යමක් කමක් ඇති අය විදිහට තමයි ජීවත් වුණේ. ඒත් ලැබුණු ආදායම අපි ළග තියාගෙන ඒ ආදායම වැඩි කරගන්න ගියේ නෑ.

දෙවියන් වහන්සේ කැමති හැමෝම හොඳින් කාල බිල ඉන්නවටනේ. අපිත් ඒක නිසා හැමෝටම උදවු කරා. පොතක් පෑනක් නැති අයට වගේම ඉස්කෝලෙ යන්න බැරි ගොඩක් දූ දුරුවන්ටත් අපි උදවු කරා.

එහෙම උදවු කරනකොට අපි කවදාවත් දෙමළද සිංහලද බුද්ධාගමේද කතෝලිකද කියලා බැලුවේ නැහැ.

1983 උතුරේ කරදර ඇති වුණාට අපිට කවුරුත් කරදර කරේ නැහැ. අපි හිත හොදින් ජීවත් වෙච්ච නිසා වෙන්න ඇති. ඒත් ත්‍රස්තවාදී තර්ජන ටිකක් වැඩි වෙන කොට අපිටත් ටික ටික කරදර ආව. ඒත් මමවත් මහත්තයවත් ඒව ගණන් ගත්තේ නැහැ. අපි කාටවත් කරදර කරපු අය නෙමෙයිනේ.

1990දී මන්නාරමේ ඉන්නම බැරි තත්ත්වයක් ආවා. ඒත් අපි ගියේ නැහැ. නමුත් ත්‍රස්තවාදී ප්‍රහාර උග්‍ර වෙනකොට සිංහල නිසා අපිට මෙහෙන් යන්න කිව්වා. මාත් මහත්තයත් දරුවො 6 දෙනාත් එක්ක මන්නාරමෙන් කටුනේරියට ගියා. ඒත් කලබල අඩුවුණු ගමන් ආපහු මන්නාරමට ආවා. ඇවිත් බලනකොට අපි ළග තිබුණ් බෝට්ටු තෙප්පම් මුකුත් නැහැ. අපි ඒ ගැන කරපු පැමිණිලිවලින් කිසිම වැඩක් වුණේ නැහැ. කවුරුවත් පැමිණිලි ලියා ගත්තෙවත් නැහැ.

මහත්තය මේ ගැන හරිම කලකිරීමෙන් දුකින් හිටියේ. හැමෝටම උදවු කරපු අපිටම මෙහෙම දෙයක් වුණේ ඇයි කියල. මහත්තයට ඒ දුකටම ඔලුවේ අමාරුවක් හැදුණා. මේ ගැන හිතලම එයාගේ අසනීපෙ වැඩිවුණා. එයා රා අරක්කු බොන්නත් පුරුදු වුණා. දුකින්ම එයා අන්තිමට අපි හැමෝවම දාල ගියා. ඒ මීට අවුරුදු 18කට කලින්.

දරුවන් ජීවත් කරවන්න ඕන හින්ද මම මහත්තයාගේ රස්සාවට බැස්සා. ත්‍රස්තවාදී තර්ජන මැද වුණත් මම මුහුදු ගියා. එදා ඉදල අවුරුදු 18ක්ම මම මුහුදු රස්සාව කරනවා. දුවල 5දෙනාත් පුතාත් කසාද බැන්දා. ඒක නිසා මට ඒතරම් වියදමක් ඕන වුනේ නැහැ. මන්නාරමත් තලෙයි මන්නාරමත් අතර සිල්වපුරම් කියන හරියේ තිබෙන ඉඩම් කෑල්ලෙ පොඩි පැල් කොටයක් අටවගෙන තමයි ඉන්නේ. ඒකත් වැස්ස කාලෙට යටවෙනවා.

මේ අතරේ අපේ තෙප්පමේ වැඩ කරල, කලබල නිසා මන්නාරමෙන් ගිය කෙනෙක් කසාද බැඳල නෝනත් එක්ක ආවා. හරියට යන එන තැනක්වත් නැතිවයි ඒ අය හිටියේ. ඒ දැරිවිට දරුවෙක් ලැබෙන්න හිටිය මාස 4ක් වෙනව කිව්වා. එකම දවසක්වත් ක්ලිනික් එකකට ගිහින් නැහැ. මම මන්නාරමේ ක්ලිනික් එකට එක්කරගෙන ගිහින් ඕන කරන සේරම කරල දුන්න. ඉන්න හිටින්න හදල දුන්න. ක්ලිනික් එකෙන් දෙන්න කිව්ව විටමින් අරගෙන දෙන්න ඒ මනුස්සයට පුළුවන් කමක් තිබුණේ නැහැ. මම මට පුළුවන් විදිහට සේරම කරා. ඒත් මට තිබුණු එකම ආදායම මුහුදු රස්සාව විතරයි.

ඒ දැරිවිට දරුව ලැබුණත් ජිවත් වෙයි කියල දොස්තරලවත් හිතුවේ නැහැ. බර ග්‍රෑම් 800 යි. පූස් පැටියෙකුට වඩා ලොකු නැහැ. අන්තිමට අම්ම දරුව දාල ගියා. එතකෙට දරුවට දවස් 3යි්. වෙන කරන්න දෙයක් නැති නිසා දරුව බඩේ ඉද්දිත් දරුවට ජීවිතේ දුන්න මම ඒ දරුවව හදා ගත්ත. ඉසුරු චාමර කියලයි දරුවට නම තිබ්බෙ.

අවුරුදු 4ක් විතර වෙනකොට දරුවගේ තාත්තත් නැති වුණා. ඒ දරුවගේ එකම බාරකාරය මම වුණා. මට තවත් වගකීමක් වැඩි වුණා. අම්ම අප්ප නැති මේ දරුවව මගේ දරුවෙක් වගේ මම හදා ගත්ත. දරුවො 6 දෙනෙක් හදපු මට මේ දරුව බරක් වුණේ නැහැ. එකම දේ වුණේ මගේ ධීවර රස්සාවයි.

අපි හොඳට කාල ඇඳල හිටපු අය. දැන් ඉන්න තැනක්වත් නැහැ. සෙල්වපුරුම් පැල් කොටය දිහා බලන් ඉන්න හැටි හිතා ගන්න පුළුවන්.

මගේ දුව ඉන්න තලෙයි මන්නාරම් තොට ස්ටේෂන් එක කිට්ටුවට සිල්වපුරම් ඉදල කිලෝමිටර් 16ක් විතර තියෙනවා. බස් එකේ අැවිත් පයින් කිලෝමීටරයක් විතර ආවහම තමයි දුවගේ ගෙදර තියෙන්නේ. එතැන ඉදල කිලෝමීටර් 5ක් විතරො කුරුසපාඩුව වෙරළට පයින්ම යන්න වෙනවා.

මම පාන්දර 3ට විතර මුහුදු යනවා. ගිහින් තෙප්පම තනියම තල්ලු කරගෙන මුහුදට ගිහින් මුහුදේ කිලෝමිටර් 6ක් විතර ඈතට යනවා. උදේ 9 විතර වෙනකොට තමයි ආපහු වෙරළට එන්නේ. ඇවිත් දැල බේරල ඉවර වෙනකොට දවල් 1.00 විතර වෙනවා.

අහුවෙන මාළුන්ගෙන් මහ ලොකු ලාභයක් නැහැ. දවසේ වියදම යන්තම් පියවගන්න පුළුවන් එච්චරයි. රුපියල් 400ක් 500ක් විතර තමයි දවසකට ලැබෙන්නේ.

මට දුක මං ගැන නෙමෙයි, එම් කොලු පැටිය ගැනයි. මම නැති වුණු දාට එයාට කවරුවත් නැහැ. මගේ වසය දැන් අවුරුදු 70කට කිට්ටුයි. අතේ පයේ හයිය තියෙන කල් මේ මුහුදු රස්සාව කරනවා. එතැනින් පස්සේ මොනව වෙයිද දන්නේ නැහැ. මට මහ මුහුද හොඳට හුරුයි. මගේ සේරම දැල් දැන් හොඳටම අබලන් වෙලා අලුතින් දැලක් හදා ගන්න රුපියල් 30000ක් විතර යනව. ඒ තරම් මුදලක් දරන්න මට දැන් වත්කමක් නැහැ. අපිට යමක් කමක් තියෙනකාලේ අපි කරපු උදවු මතක් වෙනකොට ඇස්වලට කඳුුළු එනවා. ඒත් අද මට උදවුවක් කර ගන්න කෙනෙක් නැහැ. මම දරුවන්ටත් කරදර කරන්න කැමැති නැහැ.

දවසේ ගානෙ මගේ පැලේ ඉදල එන්න බැරි නිසා මම හුඟක් දවස්වලට වැල්ලෙ පැල් කොටේම නවතිනවා. ඒකෙ ලාම්පුවක් පත්තු කරගෙන තමයි ඉන්නේ. ඒ දවස්වලට චාමර පුතා තනියමයි සෙල්වපුරම් වල ඉන්නේ. දුවලගේ ගෙදර නවත්වල යන දවස් තිබුණත් එතැන ඉදල ඉස්කෝලෙ ගාවට බස් එකේ යවන්න බාගෙ ටිකට් එකට රුපියල් 5ක් ගානේ රුපියල් 10ක් දෙන්නවත් නැති දවස් තියෙනවා. මේ දරුවත් සමහර දාට ඉස්කෝල අැරිල වෙරළට ඇවිත් මා එක්ක දැල් බේරනවා.

මම නැතිවුණු දාට මේ දරුවාට කවුරුත් නැහැ.

තලෙයි මන්නාරමේ ඉන්න දුවටත් මහ ලොකු ආදායමක් නැහැ. එයාලත් මුහුදු රස්සාව කරන්නේ.

මම පුංචි කාලේ කිරි පිටි බෝතලේ පොවල හදපු මේ කොලු පැටියට දැන් අවුරුදු 13ක්. 7 පන්තියේ ඉන්නේ්‍. දෙවියන් වහනසෙගේ කැමැත්තට සියල්ල වෙනව කියලා හිතාගෙනයි මම ඉන්නේ. දෙවියන් වහන්සේ කතා කරන කල් ජිවත් වෙනවා.

නෝනම්මා දෙවියන් වහන්සේ කතා කරන තුරු සිටින බව පවසන විට ඉසුරුට කදුළු වුණයි.

‘මට ලෝකේ ආදරේ කරන එකම කෙනා නෝනම්මයි. එයා නැතිව මට ඉදල වැඩක් නෑ. මමතලෙයි මන්නාරමේ ජී. ටී. එම්. එස්. රජයේ දෙමල මිශ්‍ර විද්‍යාලයේ ඉගෙන ගන්නේ. හතේ පන්තියේ ඉන්නේ සිංහල වුණත් දෙමළ භාෂාවෙන් තමයි වැඩ කරන්නෙ. පන්තියේ ළමයි 28 දෙනෙක් ඉන්නවා. ගිය වාර විභාගෙන් මම 11 වැනියා. සේරම වැඩ දෙමළ භාෂාවෙන් තමයි කරන්නේ. ගණිතයටයි මම වැඩියම කැමැති. කවදාහරි පොලිස් නිලධාරියෙක් වෙන්නයි හිතාගෙන ඉන්නේ. නෝනම්මවත් බලා ගෙන ඉන්න එකයි මගේ එකම බලාපොරොත්තුව.

සෙල්වපුරම් ගෙදර තනියම රෑට ඉන්නකොට බයට වැඩිය දුකක් මට දැනෙන්නේ. මම හිතන්නේ මේ විදිහෙ දුකක් විදින එකම කෙනා මම වෙන්න ඇති.

ඒ නෝනම්මා සහ චාමර පුත් අප සමග කි කතාවය. ඇය ජීවත්වන්නී ගත දහදිය වගුරුවන්නී මවට එපා වූ දරුවකු වෙනුවෙනි. කුසින් වැඩූ දරුවන් හැදූ ඇය මේ දරුවා බරක් ලෙස සලකා නොසිතන්නීය. ඇයට ඇති බර අනාගතය ගැනය. දෑත දෙපය වාරු නැති වූ දාක ජීවිතයට සමුදෙන්නට සිදු වූ දුක චාමර පුතාගේ රැකවරණය ගැනය.

කුසින් වැඩූ දුවන් ගගට මුහුදසට විසි කරන්නට තරම් හදවතේ තෙතමනයක් නැති අම්මලාට මහ මුහුදත් සමග පොර බදමින් ගැහැනියක් සිහිනෙන් පවා නොපතන මුහුදු රස්සාවට යන මේ මව ආදර්ශයක්ම වන්නීය. දරුවන් ජිවත් කරවන්නට රුපියල් ශත සොයා දරුවන් තනිකර එතෙර යන අම්මලාට ආදර්ශයක්ය. සැබෑ මවුගුණ ඇති මෙවැනි වවුවරු රටට වාසනාවකි.


Wmqgd .ekSu wo forK fjí wvúh

More News »