ගංවතුරට ගසා නොගිය මිනිස්කම

2016-08-15 11:52:00       583
feature-top
හිස් මිනිසුන්ගේ තේරුමක් නැති ඝෝෂාවත්, සැබෑ ප්‍රශ්න ඉදිරියේ ඒ සමාජය තුළ ජීවත්වන්නාවූ බුද්ධිමතුන් හා උගතුන්ගේ නිහඬතාවත් යන දෙක ම සමාජයක් වශයෙන් බලන කල බරපතළ අපරාධයකි. යම් සමාජයක ඉදිරි ගමනට වඩාත් හේතුවන්නේ ඒ සමාජය තුළ ජීවත්වන සාමාජික ගණයා එකිනෙකා පිළිබඳ දක්වන්නාවූ මානව දයාවයි. අවබෝධාත්මක සහයෝගයයි.

ගහකොළ සහ සීපාවාට පෙම් බඳින මිනිසුන් සිටින ලෝකයක් ඇත්තට ම මනරම් ය. ඉතා ම සුන්දරය. ඉන්දියාවට හා බංග්ලාදේශයට ගංවතුර ගලා දැන් සති ගණනාවක් ගත වී ඇත. එහෙත් ඉන්දියාව හා බංග්ලාදේශ දේශ සීමා අතරට මායිම් වන බ්‍රහ්මපුත්‍ර ගංගාවේ ඉවුරේ කෙසෙල්දඬු හා නෙළුම් කොළ දඬු කමින් සිටි දැවැන්ත අලියා බේරා ගැනීමේ රටවල් දෙකක මහා මානුෂීය මෙහෙයුම තවමත් ක්‍රියාත්මකය. මේ ගැන මතු කරුණු දක්වමි.

බංග්ලාදේශය, ඉන්දියාව මතු නොව අප ජීවත්වන මේ ශ්‍රී ලංකාවේ ද ගැමියෝ ළෙන්ගතුකමින් තම හේන, කුඹුර, වනසන සද්දන්තයින්ට පවා පෙම් කරති. උන් තමා දුකසේ වවා ගත් වී, තල, මෙනේරි, කුරක්කන්, බඩඉරිඟු, කෙසෙල් වගා විනාශ කළත් වගා ළි‍ඳේ වැටුණු විට, වෙඩි වැදුණු විටක මහත් සේ උන් බේරා ගැනීමට උත්සුක වෙති.

අතීතය හරහා ප්‍රකම්පන රේඛාව අඳින්නට මම ඉකුත් 10 වැනිදා අනුරාධපුර පණ්ඩුලගම වන ජීවී පශු වෛද්‍ය කාර්යාලයට කතා කළෙමි. ඒ අතීත සිද්ධියක අහුමුලු සොයා ගන්නට පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගෙන් තොරතුරු බිඳක් ලැබීමටය. මා කතා කරන විටත් ඒ මහතා කාර්යාලයේ සිටියේ නැත. මා ඔහුගේ ජංගම දුරකථනය අමතමින් සොයා බැලීමි.

පුදුමයකි! තවත් ඛේදනීය සිද්ධියක තොරතුරු සොයා එතුමා මැදවච්චිය වෙඩිතිබ්බගල ප්‍රදේශයේ ‘කරක්’ ගසමින් සිටියේය. අප කෙතරම් කතා කළත් රාත්‍රි දුම්රියට වැදී සද්දන්තයින් මිය යන ගණන දිනෙන් දිනම වැඩි වෙයි. දුම්රිය රියැදුරන්ගේ සැලකිල්ල තවමත් හරිහැටි නැත. සමහරු තම දරුවන් රැකගෙන අලි අම්මලා හා දරු පැටවු මරති.

ඉකුත් 9 වැනිදා රාත්‍රියේ මැදවච්චිය වෙඩිතිබ්බගල පූනෑව ප්‍රදේශයේ රැඳුණු අවුරුදු 25ක පමණ කෙණරක් තම අවුරුද්දක් පමණැති පුංචි සුරතල් පැටියා සමඟ ‍කැලෑවෙන් මෙපිට වැවේ වතුර බීමට රේල් පාර හරහා මාරුවෙමින් සිටියා ය. වවුනියාව - අනුරාධපුර තැපැල් දුම්රිය මේ අම්මා හා පැටවා යට කරගෙන ඉදිරියට ඇදුණේ ඒ අම්මාගේ දරු ‍සෙනෙහස ද දැදුරු කරමිනි. උන්ගේ විලාපය මහ වනය සිසාරා ගියේය. මේ ලංකාවේ දුම්රිය නිසා සිදුවන පළමුවැනි අනතුර හා මරණය ද නොවේ. තැපැල් දුම්රිය කළ පළමු අනතුර ද නොවේ. යකඩ යකා තිරිංග තද කරන විට අලි අම්මාගේ සිරුර තැළී පොඩිවී කුඩුපට්ටම් වී තිබිණ. පැටියාට ද අසාධ්‍යයය. අම්මා ජීවිතයෙන් ඈතට ගියත් ඒ බව නොදත් පැටවා අලි අම්මාගේ මළ සිරුරේ එතෙමින් තන බුරුල්ල සෙව්වේය. පුංචි පැටවාගේ ශ්‍රෝණිමේඛලාව (පිටුපස වටයක් මෙන් පෙනෙන නාරටිය) බළවත් ලෙස විනාශ වී තිබිණ. පසුවදා උදෙන් ම පැමිණ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප්‍රතිකාර කළත් පැටවාගේ ජීවිතය මේ වන තුරු ජීවත් වේ යැයි සිතිය නොහැකි තැනක තිබීම ද කනගාටුදායකය.

මා චන්දන මහතාට කතා කළේ මීට වසර ගණනාවකට පෙර කලාවැවේ සොරොව්වක සිරවූ අන්ධ අලියා පිළිබඳ අතීත පුවත ඇසීමටය. ඒ වත්මනේ ඉන්දියාව - බංග්ලාදේශ බ්‍රහ්මපුත්‍ර ගංගා ඉවුරේ රැඳී වතුරේ හැතැපම් 60ක් කිලෝ මීටර් 100ක් ගඟ මතුවෙහි ගසා ගිය අලියා ගැන කීමට අතීත පූර්විකාව ගන්නටය. අපේ මිනිසුනට මෙන් ම මේ ආසියාතික කලාපයේ මිනිසුන් බොහොමයකට තම අසල්වැසි සතුන් පිළිබඳ ඇල්මක් ඇත.

සාමාන්‍යයෙන් අලියා ජලචර සත්ත්වයෙකි. ජලයේ බැස පිහිනීමට වතුර ඇඟ වටා ගසා ගැනීමට, වතුරේ කෙළි සෙල්ලම් කිරීමට, දවසේ බොහෝ කාලයක් වතුරේ ගිලී සිටීමට අලි ඇතුන් කැමැතිය. විශේෂයෙන් ගං ඉවු‍ෙර් තෘණ වර්ග ආහාරයට ගන්නා ගමන් ම නෙළුම් දඬු හා වෙනත් ජලජ ශාක පැලෑටි ද ආහාරයට ගැනීම උන්ගේ සිරිතකි. බ්‍රහ්මපුත්‍ර ගංගාවේ මේ මොහොතේත් ගසා යන අලියා මෙන් ම එදා කලාවැවේ අලියා ද ඉවුරේ හෝ තරමක් වැව ඇතුළ නෙළුම් දඬු, ඕලු දඬු ගිලිමින් රැඳී හුන්නේය.

හතර අත කළු වලා පැතිර මහ වැස්සක් වැටිණ. හිතන්නවත් බැරි විදියට මේ මහා වැස්සේ වතුර කලා වැවට එකතු විය. එක් ඇසක් පාහර මිනිසකුගේ වෙඩි පහරකින් කණ වූ අනෙක් ඇස ද පෙනීමේ දුර්වලතාවට ලක්ව සිටි මේ අලියා කලාවැවේ වතුර දළ රළ පෙළක් වී නැ‍ඟෙද්දී එහි ගසා ගියේය.

මේ අලියා පාවී ගියේ ගොවියන්ට වතුර බෙදා දෙන මහා සොරොව්ව වෙතටය. ඌ දන්නා සෙල්ලම් පාමින් මඟ නතර වෙන්නට දඟ දැම්මත් සොරොව්වේ ඒ මේ අත වැදුණු දැවැන්තයා බලවත් තුවාල ලබමින් පැය විසි ගණනක් මරණය හා සටන් කළේය. පාහර මිනිසුන්ගේ ‘ගල්කටස්’ පහරින් කලින් හෙම්බත්ව තිබුණ ඒ සිරුර මේ සොරොව්වේ වැදීමෙන් බලවත් ලෙස ආතුර විය. අන්තිමේ ඌ පැය විසි දෙකකට පමණ පසුව පහළ ගල් තලාවට ඇද වැටුණේය. උගේ සොඬ පමණක් ප්‍රාණය නිරුද්ධව නැතැයි ගැමියනට කීවේය.

පශු වෛද්‍ය චන්දන ජයසිංහ ප්‍රමුඛ වන ජීවී පශු වෛද්‍ය කණ්ඩායමක් ක්‍රියාත්මක විය. සද්දන්තයාට කඩිනමින් ප්‍රතිකාර ලැබිණ. ගමේ මිනිස්සු කෙසෙල් කොළ, තම පොල් ගස්වල අතු, කිතුල් ගොබ, ගෙනැවිත් කන්නට දුන්හ. ඒවා අහිංසකයාගේ සොඬ ළඟට එකතු කළහ. ඌ වැටුණු වන ම සිට ඒ කොළ අතු කා ඖෂධ ජීවය නිසා ම නැඟිට ගත්තේය. තම කුළු වන් කන් සොලවා සොඬ වරක් ඔසවා කුංචනාද කොට කැලයට ගියේය. ඒ මිනිසත්කමේ මහරු වටිනාකම් නිසා වසර 5කට පමණ පෙර අපේ රටේ කණ අලියකු බේරා ගත් හැටිය. එහෙත් දෛවය අකාරුණිකය. මීට වසර 2කට පෙර වගා ළිඳකට වැටී ඒ සද්දන්තයා මරු වැළැඳ ගත්තේය. ඒ අතීත කතාවය.

වර්තමාන කතාව සිදුවන්නේ බංග්ලාදේශ උතුරු ප්‍රදේශයේය. දැනට මාසයකට පමණ පෙර බ්‍රහ්මපුත්‍ර ගංගාව ඉවුරේ කෙහෙල් දඬු හා තණ කමින් සිටි දැවැන්ත අලියකු මහා ගංවතුරට හසුවී වතුරේ ගසාගෙන ගියේය. රංචුවෙන් මිදී හැදී වැඩුණු මේ දැවැන්තයා වල් අලියෙකි. බංග්ලාදේශ ප්‍රවෘත්තිවලට අනුව මේ සතාගේ නියම බර ටොන් 4 කට වැඩිය.

ගෙවල් ගම් බිම් යට කරගෙන ගලා ගිය ගංවතුර මේ සද්දන්තයාත් රැගෙන බ්‍රහ්මපුත්‍ර ගංගාවේ සිට උතුරු බංග්ලාදේශය පැත්තට ගසා ගියේ පුදුමාකාර ලෙසිනි. ඒ දුර කිලෝ මීටර 100කට අධිකය. දැඩි කම්පනයත් වෙහෙසත්, කුසගින්නේ බොහෝ කාලයක් සිටීමත් නිසා සතා බොහෝ දුර්වල වී ඇතැයි (ඒ.එස්.පී.) හයිඩ් හුසේන් කියයි.

“උක්දඬු කන්නට ප්‍රිය නිසා මෙයා ඒ පැත්තට ඇවිත් තියෙන්නේ. මේ සැඬ වතුර නිසා එයාට ගොඩ එන්නට බැරි වුණා. දිගින් දිගට ම සිදුවුණේ ගංවතුරේ ගොස් ගංගාවේ ගැඹුරු හරියට ම ගසාගෙන යාමයි. පුදුමය සෑහෙන ප්‍රමාණයක් ගැමියන් මා හිතන්නේ (1000කට වැඩි) ප්‍රමාණයක් දිවා රෑ මේ සතාව ගොඩට ඇද ගන්නට වෙහෙසුණා. ඒත් අවාසනාවට සතා දිගින් දිගට ම ඈතට ම තල්ලු වෙනවා. බෝට්ටු පාරු අරගෙන නොයෙක් ක්‍රම භාවිත කරමින් අප උත්සාහ කරනවා.”

ඉකුත් 6 වැනිදා වන ජීවි නිලධාරි චහාබ් උදීන් ප්‍රකාශ කළේ දැඩි කනගාටුවකිනි. රටවල් දෙකක වන ජීවි නිලධාරින් එක්ව කරන මෙවැනි මෙහෙයුමක් මා මගේ ජීවිත කාලයේදී නම් අසා නැත. මෙය මිනිසුන්ගේ මිනිස්කම පිළිබඳ සැබෑ කතාවකි. තවමත් අලියා බේරාගෙන නැති වුණත්, අලියා ඉතාම දුර්වල තත්ත්වයක පසුවුණත් මේ මිනිසුන් තවමත් කඩියන් මෙන් ඒ සතා බේරා ගැනීමේ උත්තම අරමුණෙන් කටයුතු කිරීම අහන්නත් සැපයකි.

බංග්ලාදේශ හා ඉන්දීය මෙහෙයුම් නිලධාරීන් හා උදීන් නම් විශේෂ වන ජීවි අධ්‍යක්ෂවරයා කියන්නේ “අප සතාට කිට්ටු වුණත් එයාව නිර්වින්දනය කරන්න තීන්දු කරන්නේ නෑ. එක පැත්තකින් එයා දැන් දුර්වලයි. අනෙක් පැත්තෙන් නිර්වින්දනය කළ ගමන් එයා වතුරේ පාවෙලා ගියොත් අපට ගොඩ ගන්න ම බෑ.” යන්නය.

සුවඳැති හදවත් ඇති මිනිසුනි, ඔබේ උත්සාහය සඵල වේවායි පතමි.


Wmqgd .ekSu wo forK fjí wvúh

More News »