“අනුලා” කෙණෙර ගිය මඟ නොයා යුතු නැඳුන්ගමුවේ රාජා

2016-08-11 01:47:00       662
feature-top
ඇතුන් අතරත් ඇතුන් දස දෙනකුගේ තෙදබල ඇති ඡද්දන්ත කුලයේ ඒ ඇත් රජු බැලීමට මම බොහෝ කාලයක් බලා සිටියෙමි. එහෙත් අවාසනාවකට එවන් ඇතෙක් එදා විමලධර්මසූරිය මහ රජුගේ දළදා පෙ‍රහරේ සිටිය ද ඉන් අනතුරුව කවරදාවත් අපේ පෙරහර සංස්කෘතියට එකතු වූයේ නැත. අපට ඉන් අනතුරුව කලින් කල පහළ වූයේ ඒ අසමාන ලක්ෂණවලින් පිරිපුන් හස්ති රාජයාට බොහෝ නෑකම් කියු ඇතුන් පමණය.

සමව පිහිටි පාද සතර, ලිඟුව පළල් පිට, කුළු වන් මහා කන් පෙති, බිම තැබු විට නැවී වටයක් කරකැවෙන දිගු සොඬ, අඩි 10 - 11 පමණ වන උස බිම ගෑවෙන වලිගය කීකරු බව මේ ඡද්දන්ත නම් ඇත් කුලයේ ඇතුනට තිබිණ. එවන් ඇතුන් අද ලංකාවේ නැතැයි දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ද ‍මා සමඟ කීවේය.

කතරගම වාසනා, දළදා මාලිගාවේ ඉන්දිරාජා මෙන් ම නැදුන්ගමුවේ රාජා ඇතා හැරුණු කොට අද අපට පෙරහරේ කරඬුව වැඩම වීමට ඇතෙකු නැත. මේ ඇතුන් තිදෙනා ගෙන් කෙනෙක් දළදා කරඬුව වැඩමවන විට අනෙක් ඇතුන් දෙදෙනා දෑලේ ගමන් කරති. තවත් අවුරුදු 10 කින් පෙරහර කරඬුව වැඩම වන්නේ කවුරුන්දැයි හොඳින් හිතා බැලිය යුතුය.

නැඳුන්ගමුවේ රාජාගේ නියම අයිතිකාරයා සියනෑ කෝරළයට අයත් වැලිවේරිය නැඳුන්ගමුවේ ධර්ම විජය වෙද රාලහාමිය. රාජා ජීවත්වන්නේ මේ වෙද රාලහාමිගේ ගෙවත්තේය. එහෙත් රාජා මෙරටට පැමිණියේ ඉන්දියාවේ සිටය. සිය උපන් බිම වූ ඉන්දියාවේ සිට පස් වියැති ළදරු කාලයේදී මෙරටට පැමිණි රාජාගේ ඉතිහාස කතාව ද රසවත්ය.

ඒ මීට වසර 50 - 60 කට පෙර කාලයයි. සුප්‍රසිද්ධ නීලම්මහර වෙද හාමුදුරුවන්ගේ විස්මිත වෙදකම් ගැන ඇසූ ඉන්දියාවේ මහ රාජා කෙනෙකු ඔහුගේ ඥාතියකුට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එම ස්වාමීන් වහන්සේ හමුවීමට මෙරටට පැමිණ තිබේ. තම ඥාතියාගේ රෝගයට ප්‍රතිකාර ලැබී ඉහළම සුවයක් ලැබීමෙන් මේ මහරාජා මහත් ප්‍රමෝදයට පත්ව අපේ වෙද හාමුදුරුවන්ට ත්‍යාග වශයෙන් ඇතුන් දෙදෙනකු එවනු ලැබීය. නීලම්මහර වෙද හාමුදුරුවන් ළඟ මේ ඇත්තු සුවසේ වැඩුණහ. ඉන් කෙනෙක් ‘නවම් රාජා’ය. පසු කාලයක කොළඹ ගංගාරාමයේ සිටි හා පසු කාලයක ජාතියට අහිමි වූ නවම් රාජාගේ දළ යුගලය ද විශාලය. හාමුදුරුවන් ළඟ සිටි අනෙක් ඇතා වයස 25 වන විට ධර්ම විජය ලොකු වෙද මහත්මයාට බාර විය. ඒ ඇතා පසුව නම්වර ලන්නේ නැඳුන්ගමුවේ රාජා ලෙසිනි.

ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ උපන් රාජා ඇතුන් අතර සුප්‍රකට ශ්‍රේණියක උපන්නේය. අනෙක් ඇතුනට වඩා ඉතා පුදුමාකාර ඉවසිලිවන්ත බවක් මේ ඇතාගෙන් ප්‍රකට වෙයි.

“රාජා පුදුම කරුණාවන්ත ඉවසිලිවන්ත සතෙක්. අප ළඟට එන්න ඉස්සර ඉඳන් එයා පෙරහරේ ගිහින් තියෙනවා. අප ළඟ ඉන්න කාලෙදිත් කරපු හා කරන එකම කාර්යය තමයි පෙරහරේ යාම. අපි කවරදාවත් රාජාගෙන් වෙනත් වැඩ අරන් නෑ. කොට අද්දවන්නේ නෑ. පෙරහර නැති කාලෙට එයා නාලා, හොඳට කාලා විවේකී සුවයෙන් තමයි ඉන්නෙ...” හර්ෂ ධර්ම විජය වෙද මහත්මයා මීට වසර තුන හතරකදී මා සමඟ ඇතා ගැන කීවේ එලෙසය.

එහෙත් පෙරහර කාලයට ඉස්සර නම් රාජාට විවේකීව ඉන්නට ඉඩකඩක් තිබුණේම නැත. ඒ ලංකාවේ සතර දිග්භාගයේම පෙරහරවලට රාජාට ලැබෙන ආරාධනා නිසාය. රත්නපුර සමන් දේවාල පෙරහර, වාද්දුව, වෙන්නප්පුව, වැනි පෙරහරවලට රාජා නැතිවම බැරි හස්තිරාජයෙක් විය. මහනුවර දළදා මාලිගයේ දළදා කරඬුව වැඩමවීම පමණක් රාජාගේ කාර්යය නොවන්නේ එනිසාය.

එහෙත් දැන් නැදුන්ගමුවේ රාජාට වයසය. ඒ වයස 65ක් පමණය. කැලෑවේදී නම් මේ වගේ ඇතෙක් කවරදාවත් ජීවත්වන්නේ නැත. සාමාන්‍යයෙන් අලි ඇතුනගේ ජීවන කාලය ද අවුරුදු 75 නොඉක්මවූවකි.

සාමාන්‍යයෙන් අලි ඇතුනට දත් වහලු අවස්ථා 3කදී එනවා. ඒ දත් වහලු තුනම ගෙවී ගිය පසු අලි ඇතුන් ජීවත්වන්නේ නෑ. හේතුව ඒ අය කන කෑම නොදිරවන නිසයි. පොල් කොළ වගේ දේ කෑවාම එයා ඒ විදියටමයි මළපහ කරන්නේ ඒ කාලයට. එතකොට අප දන්නවා ඇතාගේ කාලය අවසන් බව... මිල්ලන්ගොඩ රාජාත් ජීවිත කාලය ගත කැර ස්වාභාවිකව මිය ගියා. දැන් නැදුන්ගමුවේ රාජාටත් ඇවිත් තිබෙන්නේ තුන්වැනි දත් වහල්ලයි. මේ සතා අති පූජනීය වස්තුවක්. මේ වතාවෙ ඇතා කරඬුව වඩම්වන්නෙ 12 වැනි වතාවට.

මේ ලිපිය ලිවීමට පෙර මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමා අමතන විට එතුමා කීවේ එවැනි කතාවකි.

මේ ජීවිත කාලය තුළ නැදුන්ගමුවේ රාජා කිසිම පුද්ගලයකු මරා දමා නැත. උසින් අඩි 10 1/2ක් පමණ වන මේ ඇතාට රා අරක්කු සුවඳට නම් මරු නඟියි. එවන් අයකුට දෙන්නෙකුට සො‍ඬෙන් පහර දී එළවා දැමීම නම් අනිවාර්යයෙන්ම කරන්නකි. ඇතාට මේ නැදුන්ගමුවේ ගත කළ තිස්හත් වසරක පමණ කාලය තුළ ඇත්ගොව්වන් පස්දෙනෙකුගේ සේවය ලැබිණ. මේ එක් අයකුවත් රාජා විසින් කවරදාවත් බිම දමා පාගා හෝ මරා දමා නැත.

මේ ඇතාගේ දෛනික ආහාර වේල සඳහා කිතුල් අතු, කිතුල් බොඩ, නුග අතු ලබා දීම විශේෂය. පලතුරු ලබාදීම සිදුකළත් වැඩිමනත් පලතුරු කෑ විට නැදුන්ගමුවේ රාජා ලෙඩ වෙයි. බඩේ අජීර්ණ තත්ත්වයන් ඇතිවන බව ධර්ම විජය වෙද මහතා විශ්වාස කරයි. එහෙත් දළදා කරඬුව වැඩමවන්නට, නුවරට වැඩමවන දවස් පහේදී මඟ තොට හමුවන උපාසක උපාසික‍ාවෝ රාජාට රඹුටන්, අලිගැටපේර, කෙසෙල් වැනි පලතුරු ගෝනි ගණන් පුදති. එයට වෙද මහත්මයා එතරම් කැමැති නැත.

හැට පැන්නත් බිම ගමන් නැත යන වඳුරන්ගේ කියමන නැදුන්ගමුවේ රාජාට අනුව බොරුවක් වෙයි. හැට පැන්නත් උඩින් ගමන් නැත යනුවෙන් රාජාට අනුව මේ කියමන වෙනස් වෙයි. ඒ කෙතරම් වයසට ගියත් මේ හස්තියා පෙරහරකට ගමන් කිරීමකට යාමට වුව වාහනයකට නඟින්නේ නැත. ගමන පයින්මය. සාමාන්‍යයෙන් කැලයේ වුව හස්තියකු දිනකට ආහාර හා ජලය සොයා ගැනීමට හැතැප්ම 22 - 24ක් ගමන් කරන අවස්ථා ඕනෑ තරම්ය.

ධර්ම විජය වෙද මහතා ද පවසන පරිදි ඇතෙකු වාහනයක රැගෙන යාම, එම සතාට කරන බලවත් හිංසාවකි. තට්ටුව සහිත දිග ලොරිවල පටවාගෙන යාමේදී එම සතා විවිධ දුෂ්කරතාවට පත්වෙයි. වාහනයේ ගැස්සීම්, තිරිංග තද කිරීම්වලදී ඇතිවන පීඩන තත්ත්වයන් සත්ත්වයාට දරාගත නොහැක. මහලු වයසේ මේ තත්ත්වය වඩාත් බරපතළය. දැවැන්ත ශරීරය පාලනය කැර ගනිමින් අසීරුතාව පැවැසිය නොහැකිව ඉතා ආයාසයෙන් මෙසේ යන ගමන්වලින් ඇතා ලෙඩ රෝගවලට ඉක්මනින්ම ලක්ව පරමායුෂ ද අඩු වී යනු ඇත. සමහර අබලන් ලොරි නිසා සත්ත්වයන් මරණයට ද පත්විය හැක. සියඹලන්ගමුවේ මහ වන ඇතා ලොරි තට්ටුව කඩාගෙන වැටී මියගිය ශෝකජනක අවස්ථාව ඔබට මතක ද?

ඒ බව දන්නා නිසාදෝ නුවර දළදා පෙරහරට මතු නොව රත්නපුර මහ සමන් දේවාල පෙරහර, කැලණි පෙරහර, ගම්පහ සාම විහාර පෙරහර, කඩුවෙල රන්කඩු දේවාල පෙරහර, හා වාද්දුව පෙරහරට සහභාගි වන මේ ඇතා ඒ ගමන්වලට නැදුන්ගමුවේ සිට යන්නේ පා ගමනිනි. මට මහලු වයසේ බැරි ය පෙරහර පෙර සේ කියන්නාක් මෙන් දැන් නැදුන්ගමුවේ රාජා දළදා පෙරහරට පමණක් ගෙන යන්නේ නම් මැනැවි. මා එසේ කීවේ ඇතාගේ ජවය, ප්‍රතාපවත් බව අඩු වී ඇතැයි යන වැරැදි ආකල්පයකින් නොවේ. විශ්‍රාම යන වයසේ කෙනෙකුට තරුණ වැඩ එලෙසම කළ නොහැකි නිසාය.

මෙවරත් දළදා කරඬුව වැඩමවන්නට නැදුන්ගමුවේ රාජා පයින්ම ගමන් කළේය. දිය නා පිරිසුදුව නැදුන්ගමුවෙන් ගමන් අරඹා ස්ථාන හතරක රාත්‍රියට නවත්වමින් විවේක ගනිමින් හස්තියා පෙරහරට වැඩමවා ගැනීම මෙතෙක් සිදු විය. ඒත් මේ ඇතා ගමන් ගන්නා මාර්ගයේ ඊට ඉදිරිපසින් ඇතාට පෙනෙන මානයේ බරපතළ අනතුරක් සිදු වූ බව පසුගිය දා වාර්තා විය. සී. සී. ටී. වී. කැමරා මඟින් ප්‍රවෘත්ති විකාශනයන් හිදී රූපවාහිනී නාලිකා මෙය ප්‍රදර්ශනය කළේය. සමහර විට මේ ගමනේදී ඇතා නවතා තබන්නේ මඟතොට පන්සල්වලය. නැත්නම් පාර අයිනේ. ඉඩකඩ ඇති ස්ථානයකය. ඇත් ගොව්වා ද ගිමන් හරියි. ඇතාට ආරක්ෂාව අහිමි වන්නේ මෙවන් තැනකදීය. නැදුන්ගමුවේ රාජාට බිරිඳක් හෝ දරුවන් නැත. මේ සතාගේ ජීවිත කාලයේදීම එවැනි පසුබිමක් නොහැදීමට ධර්මවිජය මහතා කල්පනා කළේ අලියා ඉන් දුර්වල විය හැකි යැයි කියමිනි.

අති උත්තම පූජා වස්තුවක් වැඩමවන මේ සතා රැකගැනීම ජාතියක් වශයෙන් අප කළ යුතු උදාර වැඩකි. ඒ සඳහා රජය මෙවර ඉදිරිපත් වීම සතුටකි. ඇතා දළදා මාලිගයට එන තුරු ඇතුට ආරක්ෂාව ලබාදීමට වනජිවි ඇමැතිවරයා ඉදිරිපත් විය.

ලණුකඩේ ඇතින්න නම්වර ලත් අනුලා නම් කෙණරක් මීට දින තුන හතරකට පෙර අම්බලන්ගොඩ නගරයට නුදුරු තැනෙක හිටි අඩියේ ක්ලාන්තව වැටුණාය. මේ කෙණෙරගේ අයිතිකාරයා කඩුවෙල පැත්තේ කෙනෙකි. කෙණරට අවුරුදු 75 කි. වයස නිසාම ක්ලාන්තව මේ සතා මහ පාරේ ඇද වැටෙන ශෝකි දසුන් අසල පිහිටි ආයතනවල සී. සී. ටී. වී. කැමරාවල සටහන් වී තිබේ.

ඇත්තටම මේ සතුන් වනයේ නම් මෙතරම් කාලයක්වත් ජීවත්වන්නේ නැත. ඒ වන සතුන් උන්ට කන්නට ළපටි කොළ දල්ලක්වත් වනයේ ඉතිරි නොකරන නිසාය. විශාල වන පෙත් වනය කපා දැව සංහාරය කැර උන්ට අයිති බිම නැති කරන නිසාය. ජීවත්වන හීලෑ අලි ඇතුනට ද ප්‍රමාණවත් ආහාර සොයා ගැනීම අපහසු කරුණකි.

දළදා පෙරහරට අප කුඩා කාලයේ අලි ඇත්තු 120 - 130 ක් අනිවාර්යයෙන්ම සහභාගි වෙති. ඒත් දැන් එහෙම ඇතුන් තබා අලිවත් නැත. මෙවරත් අවසාන රන්දෝලි පෙරහරට නිලංග දෑල බණ්ඩාර නිලමේ තුමා අමාරුවෙන් සොයා ගත් අලි ඇතුන් 75ක් සහභාගි කරගන්නට බලාපොරොත්තු වන බව කියයි. කතරගම වාසනාත්, දළදා මාලිගාවේ ඉන්දිරාජාත්, නැදුන්ගමුවේ රාජාත් අහිමි වූ කල අපට දළදා කරඬුව වැඩමවන්නට ඇතෙක් පෙනෙන මානයක ඇත්තේ නැත. පුළුල් පිටක් හා කරඬුව තබන්නට තරම් නියමිත උසක් සහිත මෙවන් විශේෂ ශ්‍රේණියේ ඇතෙකු රැකගන්නට එනිසා අපට තවත් වගකීම් වැඩි වේ. දළදා පෙරහර ඇරැඹු විමලධර්මසූරිය රජතුමා අද සිටියානම් ඔහු තරම් අද ශෝක වන කෙනෙක් නැත. කැලයේ අලි ඇතුන් ද රැකගැනීමට අපට වැඩපිළිවෙළක් ද නැත. මේ ප්‍රශ්නය පරිසරයට ගහට කොළට සංස්කෘතියට ආදරය කරන සුවහසක් දනන් හද පාරවයි. ඒ සංවේදී හදවත් බලවත් ප්‍රකම්පනය කරන්නකි.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »