ලාහුගලත් නැතිකර අලි-මිනිස් ගැටුමත් ඇතිකරන හැඩඔය වාරි ව්‍යාපෘතිය

2016-08-10 11:36:00       661
feature-top
පසුගිය කාලය මුළුල්ලේම ක්‍රියාත්මක  කෙරුණු මහාපරිමාණ අක්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව අවතැන්වූවා පමණක් නොව වනජීවී රක්ෂිතවල පැවැත්මට දැවැන්ත තර්ජන ද එල්ල විය. කිසිදු කාලයක නොවූ විරූ ලෙස සිදු වූ මෙම ක්‍රියාවලියට අලුතින් එක්වෙමින් තිබෙන ව්‍යාපෘතිය වන්නේ හැඩ ඔය වාරි ව්‍යාපෘතියයි. මෙහි මූලික පරමාර්ථ ඉතාම යහපත් වුව ද එය ක්‍රියාත්මක කිරීමට යෝජිත ආකාරය පිළිබඳව පරිසර ක්‍රියාකාරීන් වන අපට ගැටලු මතුව තිබේ. මෙම ව්‍යාපෘතිය පරිසරයට, වනජීවී වාසස්ථානවලට හා වනජීවීන්ගේ පැවැත්මට බාධාවක් නොවන පරිදි ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. එහෙත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා හා නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සවුදි අරාබියෙන් ලැබෙන මුදල් ආධාර යටතේ දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට යෑමෙන් සමාජයීය, ජෛව විද්‍යාත්මක හා පාරිසරික ගැටලු බොහොමයක් උද්ගත විය හැකි බව පෙනෙන්නට තිබේ. පසුගියදා මෙම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පොතුවිල් හිදී පැවති රැස්වීමේ දී අදාළ ව්‍යාපෘතිය කෙසේ හෝ ක්‍රියාත්මක කරන බවට ජනතාවට පොරොන්දු වී තිබේ.

හැඩ ඔය ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තාව Feasibility report on Heda oya reservoir project නමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් 2006 ඔක්තෝබර් මාසයේ දී සකස්කර අවසන් කර තිබිණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නැංවීමට යෝජිත හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන් සමාජයීය හා පාරිසරික බලපෑම් බොහොමයක් උද්ගත විය හැකි බව අප විසින් සිදු කරන ලද අධ්‍යයනවල දී අනාවරණය වී තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල හා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ලාහුගල, පානම හා පොතුවිල් යන ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා වාරි ජලය සැපයීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇත. ව්‍යාපෘතියේ මූලික අරමුණ යහපත් වුව ද එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැලකිල්ලට ගත් විට ගැටලු ගණනාවක් පැනනගින බව පෙනී ගොස් තිබේ. ඒ අතුරින් ප්‍රධාන වන්නේ අලි – මිනිස් ගැටුම වර්ධනය වීමත් සමග මතු වන සමාජයීය ගැටලුය. ජනතාවගේ වගාබිම් විශාල ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතියට යටකිරීමට සිදුවීමෙන් බොහෝ ගොවි ජනතාවක් අවතැන් වීම තවත් ගැටලුවකි. මීට අමතරව රක්ෂිත වනාන්තර මධ්‍යයේ වනජීවී වාසස්ථාන විනාශ කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබීම අනෙක් ප්‍රධාන ගැටලුවයි.

හැඩඔය ව්‍යාපෘතියේ ස්වභාවය
මෙම ව්‍යාපෘතිය සිදුකරන සමස්ත ප්‍රදේශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනයවන ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය තුළත් එහි මායිමේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඹුක්කන රක්ෂිතය තුළත්  ලාහුගල යෝජිත රක්ෂිතය තුළත් පිහිටා තිබේ.

මෙම වාරි ව්‍යාපෘතියට අදාළ ජලාශය ඉදිකෙරෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් සියඹලාණ්ඩුව ප්‍රදේශයේය. හැඩ ඔය හරහා තැනෙන කිලෝ මීටර 3.9 ක් දිග හා උස මීටර 25 ක් පමණවන වේල්ලක් මගින් ජලය එක් රැස් කර හෙක්ටයාර 476 ක (අක්කර 1175) ප්‍රමාණයෙන් යුත් හැඩ ඔය ජලාශය ඉදි කරනු ලැබේ. ජලාශයේ ධාරිතාව අක්කර අඩි 119,000 කි.

වනජීවී වාසස්ථානවලට ව්‍යාපෘතියෙන් සිදුවන බලපෑම
ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරනු ලබන ඉඩම් හා වාරි ව්‍යාපෘතියට සමගාමීව සකස් කරනු ලබන ඇළ මාර්ග පද්ධතිය, මහා මාර්ග පද්ධතිය ව්‍යාප්තව ඇත්තේ සෙංගමුව හා රද්දැල්ල යන ප්‍රධාන අලිමංකඩ හරහාය. කුඩුම්බිගල – පානම අභය භූමිය හා කුමන ජාතික වනෝද්‍යානයේ සිට අලි ඇතුන් වියළි කාලවල දී ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානට, රොට වැව, බක්මිටියාව වැව ආදී ප්‍රදේශවලට සංක්‍රමණය වන්නේ සෙංගමුව හා රද්දැල්ල වනාන්තර ප්‍රදේශ හරහාය. විශේෂයෙන් ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් යන වියළි මාස කිහිපය තුළ දී මෙම සංක්‍රමණයන් සිදු වේ. මීට අමතරව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යෝජනාවකට අනුව ගල්ඔය ජාතික වනෝද්‍යානය, ගල්ඔය නිම්න නිරිතදිග අභය භූමිය, සාගමම් අභය භූමිය, බක්මිටියාව වැව හා රොට වැව ආශ්‍රිත ප්‍රදේශවල සිට ලාහුගල-කිතුලාන ජාතික වනෝද්‍යානය හරහා කුඩුම්බිගල-පානම අභය භූමිය හා කුමන ජාතික වනෝද්‍යානය දෙසට අලින්ගේ සංක්‍රමණික මාර්ගය විහිදී ඇති සෙංගමුව හා රද්දැල්ල ප්‍රදේශ අලි මංකඩක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ සූදානමක් පවතී. ඒ සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් මේ වන විට ඒකාබද්ධව ක්‍රියාවට නැංවෙමින් තිබේ. නමුත් මේ තත්ත්වයට විශාල බාධකයක් හැඩ ඔය ව්‍යාපෘතියෙන් සිදු විය හැකිය.

අලිමංකඩ හරහා කොන්ක්‍රීට් ඇළ මාර්ග පද්ධති බිහිකිරීම, වගාබිම් ඇති කිරීම, මාර්ග පද්ධති සකස් කිරීම ආදිය හේතුවෙන් අලිමංකඩ සම්පූර්ණයෙන්ම අවහිර විය හැක. මේ තත්ත්වය අලින්ගේ වාසස්ථාන ඛණ්ඩනය වීමටත් අලි – මිනිස් ගැටුම වර්ධනය වීමටත් ඉතා දරුණු ලෙස බලපෑ හැකිය. ලාහුගල ප්‍රදේශයේ පවතින අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අද වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගම්මාන මායිම් වන පරිදි විදුලි වැටක් ඉදිකර අලිමංකඩ ක්‍රමානුකූලව විවෘත කර ඇත. නමුත් මෙම ව්‍යාපෘතියත් සමඟම එය ප්‍රතිඵල රහිත තත්ත්වයකට පත් විය හැකි අතර අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා තවත් විශාල මුදලක් වැය කර විදුලි වැටක් ඉදි කිරීමට හා එය පවත්වාගෙන යෑමට සිදු වේ. එසේ නොවුණහොත් මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන ප්‍රතිලාභ ලබාගැනීමට නොහැකි වනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ලාහුගල-කිතුලාන ජාතික වනෝද්‍යනය තුළ පිහිටි මහ වැව ප්‍රතිසංස්කරණය කිරීමට යෝජිතව ඇත. මහ වැව යනු අලින්ගේ ප්‍රධාන ආහාර බිමකි (ගොදුරු බිමකි.). මහ වැවේ වැඩෙන බොරු පන් මෙම ප්‍රදේශයේ අලින්ගේ ප්‍රධාන ආහාරය වේ. මේ නිසා මෙම ප්‍රදේශයේ අලි-ඇතුන්ට ආහාර සඳහා ගැටලු මතු නොවේ. නමුත් යෝජිත ව්‍යාපෘතිය යටතේ මහ වැවේ වැව් බැම්ම උස් කර රඳා පවතින ජල ධාරිතාව වැඩි කිරීමත් සමඟ සිදුවන්නේ බොරු පන් විනාශ වීමයි. එවිට අලින්ට පෝෂක ශාක හිඟයක් ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. එබැවින් ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීමට මෙම ව්‍යාපෘතිය හේතු විය හැකිය. මෙම ව්‍යාපෘතිය යටතේ ජලාශය ඉදිකිරීම සඳහා මොනරාගල දිස්ත්‍රික්කයේ වගා බිම් හෙක්ටයාර් 476 ක් ජලයෙන් යටකර දැමීමට නියමිතය. එම වගා බිම්වලට විකල්පයක් ලෙස හා අවතැන් වන හා වගාබිම් අහිමි වන ජනතාවට නව වගා බිම් හා ජනාවාස ලබා දීම සඳහා සෙංගමුව හා රද්දැල්ල ආශ්‍රිතව පිහිටි වනාන්තර ඉඩම් හෙක්ටයාර් 678ක් එළිපෙහෙළි කිරීමට සිදු වේ. මෙය ව්‍යාපෘතියේ ඉතා හානිකර තත්ත්වයකි.

හැඩ ඔය මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි මරගල කඳුවැටියෙන් ආරම්භ වී පහළට ගලා එන ඔයකි. මෙම ඔයේ සම්පූර්ණ ජලාධාර ප්‍රදේශය වර්ග කිලෝ මීටර 604 කි. හැඩ ඔයේ ජල පෝෂක ප්‍රදේශ අතුරින් බොහොමයක්ම (යෝජිත හැඩ ඔය ජලාශයට හැඩඔය වාරි ව්‍යාපෘතියෙන් අවතැන් වන අලි – ඇතුන් ඉහළින් පිහිටි) එළිපෙහෙළි කර වගාබිම් බවට පත්කර ඇති අතර ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට ගොදුරු වීමට ඉඩකඩ ඇත. එබැවින් හැඩඔය හරස් කර වේල්ලක් ඉදිකිරීමෙන් ඉතා කෙටි කාලසීමාවක් තුළ දී රොන්මඩින් පිරී ගොස් බලාපොරොත්තු වන ප්‍රතිලාභ ලබාගැනීමේ දී ගැටලු මතුවිය හැකිය. මේ නිසා ව්‍යාපෘතිය සඳහා වැය කරන අති විශාල මුදලට හා වගාබිම් යටකිරීමට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රතිලාභ හිමිවේ ද යන්න ගැටලුවකි. වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනයවන වනාන්තර බිම් තුළ හා එහි මායිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඉදිරියේ දී රක්ෂිත වනාන්තර අනවසරෙන් අල්ලා ගැනීම වර්ධනය වීමට මේ තත්ත්වය හේතුවිය හැකිය. වර්තමානය වන විට ද රද්දැල්ල හා සෙංගමුව ප්‍රදේශවල වනාන්තර ඉඩම් අනවසරෙන් අල්ලාගෙන එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීම ඉතා සීග්‍රයෙන් සිදු වේ. එම තත්ත්වය වර්ධනය වීමක් මෙම ව්‍යාපෘතියෙන් සිදු විය හැකිය. ඒ සඳහා ව්‍යාපෘතියත් සමගම වනාන්තර තුළ ඉදිකෙරෙන මාර්ග පද්ධති හා ඇළ මාර්ග පද්ධති රුකුලක් විය හැක.

යෝජිත ව්‍යාපෘති බිමේ වත්මන් හානිකර ක්‍රියා
ඒ.එල්.එම්. අතාවුල්ලා හා රවුෆ් හකීිම් යන මහත්වරුන්ගේ සහයෝගය මත සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර, බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප්‍රදේශයේ අක්කර 1000ක් පමණ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන එළිපෙහෙළි කර නීති විරෝධී ලෙස මහා පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කර තිබේ. සාගම වැවේ හා පන්නල් ඔයේ ප්‍රධාන ජල පෝෂක වනාන්තර ප්‍රදේශයක් හා අලි – ඇතුන් ඇතුළු ව සුවිශේෂ ජෛව ප්‍රජාවකට රැකවරණය සලසන මෙම රක්ෂිතයේ තෘණ භූමි හා වනාන්තර එළිපෙහෙළි කරමින්, වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින්, වගාබිම් ව්‍යාප්ත කිරීම කෙරී ඇත. මේ නීති විරෝධී වගා බිම්වලට ද මෙම ව්‍යාපෘතිය යටතේ වාරි ජලය ලබාදීමට නියමිතය. ඒ හේතුවෙන්ම රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කරමින් අනවසර වගා බිම් ව්‍යාප්ත කිරීම ද මේ වන විට  සීග්‍රයෙන් ක්‍රියාත්මක කරමින් තිබේ.

වන සංරක්ෂණ ආඥා පනතට අනුව 2010 ඔක්තෝබර් 01වන දින අංක 1673/45 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 47136ක් වන බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතය ප්‍රකාශයට පත් කර තිබේ. මෙම වන රක්ෂිතය, ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානයට මායිම් වන අතර ඉතා විශාල අලි ගණනකට රැකවරණය සලසන ප්‍රදේශයකි. මෙම වනාන්තරය හා තෘණ බිම් එළිපෙහෙළි කර වගාබිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් ඒ ආශ්‍රිත ව පිහිටි සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ යන ගම්මානවලට පිවිසීමෙන් මේ වන විට අලුතින් අලි – මිනිස් ගැටුමක් උද්ගතවෙමින් තිබේ. මෙවන් හානිකර තත්ත්වයන් ඇති කිරීමට පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් රජයේ වගකිව යුතු අමාත්‍යාංශ භාරව කටයුතු කරන ඇමතිවරුන්ගේ සහයෝගය ලබා දීම පිළිබඳව අපි කනගාටු වෙමු.

වත්මන් රජයේ යහපාලන ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම
මෙවර ජනාධිපතිවරණයේ දී -මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්” මැයෙන් ඉදිරිපත් කළ වත්මන් ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සොබා දහම රැක ගැනීම කොටසෙහි සඳහන් වන්නේ රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කර ඒවායේ සුරක්ෂිතතාව පිළිබඳව වග බලා ගැනීමට කටයුතු කරන බවය. නමුත් හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන් ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය ඇතුළු ආරක්ෂිත වනාන්තර වැනසීමට පිඹුරුපත් සැකසීමෙන් පෙනී යන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කරන බව ය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තවදුරටත් සඳහන් වන්නේ සංවර්ධන වැඩසටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් ඇගයීම අනිවාර්ය කරන බව යි. නමුත් හැඩ ඔය වාරි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනතාවට පොරොන්දු දීමට හෝ සවුදි අරාබියෙන් මුදල් ආධාර වෙන් කර ගැනීමට ප්‍රථමයෙන් කිසිදු ආකාරයක පරිසර බලපෑම් ඇගයීමක් සිදුකර නොමැත. ජනාධිපතිවරණයට ප්‍රථම ජනතාවට ඉදිරිපත් කළ වත්මන් ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද වන විට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොකිරීමෙන් පෙනී යන්නේ එම ලේඛනය ජනතාව මුළා කිරීමට පමණක් භාවිත කළ එකක්  බවය.

මෙවර මහ මැතිවරණයේ දී වත්මන් රාජ්‍ය බලය හිමි එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ -මාස 60 කින් අලුත් රටක් හදන පංච විධ ක්‍රියාවලියට” අනුව අලි – මිනිස් ගැටුම පාලනයට ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් වේ. නමුත් හැඩ ඔය ව්‍යාපෘතිය හරහා සැලැසුම් කෙරෙන්නේ අලි – මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය කිරීමකි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් කර ඇත්තේ අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බවය. මේ සියල්ල හැඩ ඔය වාරි ව්‍යාපෘතිය ඉදිරියේ පුස්සක් බවට පත් වී ඇත.

ව්‍යාපෘතියට අදාළ නීතිමය තත්ත්වය
මෙම ව්‍යාපෘතියේ ස්වභාවය හා එය ස්ථානගත කරන ප්‍රදේශයේ ස්වභාවය සැලකිල්ලට ගත් විට මෙය පාරිසරික අණපනත් ගණනාවකට යටත් වන බව පෙනී යයි. ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය තුළ හා එහි මායිමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත ව ඇති බැවින් 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට යටත් වේ. මෙම පනතේ 2අ වගන්තියට අනුව, ජාතික වනෝද්‍යානයක් තුළ යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කළ හැකි වන්නේ කළමනාකරණ සැලැස්මකට යටත් ව පමණි. එය වනජීවී කළමනාකරණ සැලැස්මක් මිස වෙනත් භෞතික සංවර්ධන සැලැස්මක් නොවේ. ඊට පරිබාහිරව සංවර්ධන කටයුතු සිදු කළ නොහැකිය. එය සිදු කළ හැකි වන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ මූලික පරමාර්ථය වන වනසතුන් හා වෘක්ෂලතා ආරක්ෂා කිරීම යන කාරණාවට එකඟ ව පමණි.

ජාතික වනෝද්‍යානයක් තුළ මීට පරිබාහිර සංවර්ධන කටයුත්තක් සිදු කිරීම මෙම පනතේ 6 වන වගන්තිය උල්ලංඝනය කිරීමකි. එම වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක අවසර පත්‍රයක් යටතේ සංචාරක කටයුතුවල නිරත වීම හැර අනෙක් ඕනෑම මානව ක්‍රියාකාරකමක් නීති විරෝධී වේ. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට මෙම පනතේ 6(4) වගන්තියට අනුව වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට ලක් කළ හැකිය.

මෙවන් නීතිරීති ජාතික වනෝද්‍යාන ලෙස ප්‍රකාශයට පත් කරන සුවිශේෂ වනජීවී වාසස්ථාන ආරක්ෂා කිරීමට තිබිය දී ගාමිණී විජිත් විජයමුණි සොයිසා හා රවුෆ් හකීම් යන අමාත්‍යවරුන්ට රිසි සේ මේවා වැනසීමේ හැකියාවක් නොමැත. ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය තුළ හා එහි මායිමේ ක්‍රියාත්මක කිරීමට යෝජිත හැඩ ඔය වාරි ව්‍යාපෘතියට මෙම නීතිරීති සියල්ල වලංගු වේ. වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ වසර කිහිපයක් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා මේ නීතිරීති පිළිබඳව නොදැන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම හාස්‍යයට කරුණකි.

විකල්ප දෙසට යොමු විය නොහැකි ද?
යෝජිත හැඩ ඔය ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන්නේ ලාහුගල, පානම හා පොතුවිල් ගම්මාන සංවර්ධනය කිරීමයි. මෙම ගම්මාන සංවර්ධනය කිරීමේ දී වාරි ජලය හා පානීය ජලය ලබා දීම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය ලෙස අවබෝධ කර ගෙන තිබේ. ඒ සඳහා විකල්ප බොහොමයක් පවතී. සංවර්ධනය කළ යුතු ගම්මාන ආශ්‍රිත ව ප්‍රධාන ජල ප්‍රභව 03ක් පවතී. එනම් හැඩ ඔය, කරඳ ඔය (ජලධාර ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 422) හා විල ඔය (ජලධාර ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 484) යි. මෙම ජල මූලාශ්‍ර ආධාරයෙන් ජල අර්බුදය පවතින ප්‍රදේශවල වැව් පද්ධති සකස් කිරීමෙන් වාරි ජලය හා පානීය ජලය සැපයීමේ හැකියාව ඇත. එහි දී ප්‍රධාන ගංගාව හරස් කර වැව් ඉදි කිරීම වෙනුවට ජල හැරවුම් උපයෝගි කර ගෙන ජලය වැව්වලට පිරවීම සිදු කළ හැකිය. එමගින් රොන් මඩ පිරීමෙන් ඇති වන හානිය ද අවම කර ගත හැකි වනු ඇත.

වගා කළ හැකි ගොවි බිම් විශාල ප්‍රමාණයක් ජලාශයට යට කිරීම වෙනුවට වගා බිම් ආශ්‍රිතව කුඩා වැව් ඉදි කර ජලය රඳවා ගැනීම සිදු කළ හැකිය. එමගින් හැඩ ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වන ජනතාවට විකල්ප ඉඩම් ලෙස වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර ලබා දීම වෙනුවට එම බිම් අලින්ගේ ගැවසුම් ප්‍රදේශ ලෙස ඉතිරි කර තැබීමේ හැකියාව ඇත. අනවශ්‍ය ලෙස ගොවි බිම් ජලාශයට යට කර දැමීම ද එමගින් පාලනය කර ගත හැකිවනු ඇත. සැලසුම් සහගතව මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමෙන් ලාහුගල, පානම හා පොතුවිල් ප්‍රදේශවල පවතින වාරි ජල ප්‍රශ්නය හා පානීය ජල ප්‍රශ්නය විසඳා ගත හැකි අතර ඒ සඳහා ඉතා අධික මුදලක් වැය කිරීමට ද සිදු නොවේ. එවිට මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට නියමිත ඇති දැවැන්ත මුදලේ අතිරික්ත කොටස මෙම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා යෙදවීමේ හැකියාව තිබේ.

එවන් විකල්පයකට යොමු නොවී පාරිසරික, සමාජයීය හා ජෛව විද්‍යාත්මක ගැටලු මතුවන සහ අධික මුදලක් නිකරුණේ වැය කරන හැඩ ඔය වාරි ව්‍යාපෘතිය තිරසාර ව්‍යාපෘතියක් බවට පත් කර ලාහුගල, පානම හා පොතුවිල් ගම්මාන සංවර්ධනය කිරීම සඳහා යොදවන ලෙස වගකිව යුත්තන්ට අවධාරණය කර සිටිමු.




Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »