ගිනියම් වැල්ලේ, මඩ වතුරේ අකුරු ඇහිඳින ශාන්තිපුරම් දරුවෝ

2016-08-04 01:05:00       586
feature-top
මන්නාරම් වැල්ල විචිත්‍ර ය. එහි එක් පසෙක සීන් වැල්ල ගිනි අව්වේ දිලිසෙයි. තව කොටසක් මඩ තලියකි. අනෙක් පසින් ජලයෙන් යට වූ ගොඩ බිමයි. මේ බිම මත තන්හි තන්හි ගෙවල් පිහිටා තිබේ. ගෙමිදුලෙහි දුව පනින දරුවන්ට එහි ඇත්තේ වැලි ද, මඩ ද, වතුර ද කියා වෙනසක් නොමැත. ඊට ‍ෙහ්තුව එය ඔවුන්ගේ ජීවන පරිසරයෙහි කොටසක් වී තිබීම ය. මෙසේ අපට දෘශ්‍යමාන වන්නේ මන්නාරම නගරයට කිලෝ මීටරයක් පමණ දුරින් සයුර ඔබ්බෙහි පිහිටි ශාන්තිපුරම් ගම්මානය යි.

එහි පිහිටි නිවාස පද්ධතියෙන් වැඩි සංඛ්‍යාවක් ලෑලි ගෙවල් ය. කොන්ක්‍රීට් ගල් යොදා ගෙන අඩක් නිමා කළ නිවාස ද, සම්පූර්ණයෙන් නිම කළ නිවාස ඉඳහිට ද දක්නට ලැබේ. මෙහි ජීවත්වන දරුවන්ට අකුරු ඉගෙනීම සඳහා පිහිටුවා ඇති එකම ආයතනය ශාන්තිපුරම් ද්‍රවිඩ මිශ්‍ර පාසලයි. එය පිහිටා ඇත්තේ ද පහත් බිමක ය. විදුහල අවට ද බොහෝ විට ජලයෙන් පිරී පැවතීම නිසා, දරුවන්ට පාසලට පැමිණීමට සිදුවන්නේ දණක් උසට නැගි වතුරේ ය. වියළි පරිසරයත් පවතිනුයේ ඉඳහිට ය. මන්නාරම නගරය සහ වෙරළ අතර ‍බිම් තීරුව පහත් බිමක් වන නිසා, වඩදියට ද, අහස් දියට ද නිතර බිලිවෙයි. එහෙත් මෙහි ජීවත් වන්නන් හට එය අත හැර යන්නට තැනක් නොමැත.

එනිසා දුප්පත්කම ද සොබාවික පරිසරයේ හිරි හැර ද විඳගෙන ජීවත්වෙති. කඩින්කඩ පැමිණෙන දරුවන්ගෙන් විදුහල පවත්වා ගෙන යෑම අසීරු වූ යුගයක් තිබිණ. යුද්ධයේ කළු දුමාරය ද ඉගෙනීම් පරිසරයට බාධා කළේ ය. එහෙත් මේ සියලු ව්‍යසන මැද ශාන්තිපුරම් විදුහල දරුවන්ගේ ඇස් පෑදීම සඳහා සෙමෙන් හිස ඔසවමින් සිටී.

එම විදුහලට ගිය අප පිළිගන්නා ලද්දේ ප්‍රාථමික පන්තිවල සිසු සිසුවියන් පිරිසක් විසිනි. ඉන්පසු ඔවුහු පන්ති කාමරයකට අප කැඳවා ගෙන ගිය හ. බිත්තියෙහි තැනින් තැන දරුවන් විසින් නිර්මාණය කරන ලද සිතියම් ය. පාසල් සහ අවට පරිසරයේ සමාජීය තොරතුරු එහි ඇත.

“මේ තියෙන්නෙ දිනපතා ඉස්කෝලෙට එන ළමයින්ගෙ ගෙවල්. මේ තියෙන්නෙ කඩින් කඩ එන ළමයින්ගෙ ගෙවල්” ජෙසිකා දියණිය එහි පැමිණි අමුත්තන්ට බිත්තියෙහි ඇති සිතියම් වල තොරතුරු විස්තර කරයි. තවත් සිසු සිසුවියෝ තමන්ගේ වාරය එන තෙක් අප ඉදිරියෙන් පේවී සිටිති.

“ඉස්කෝලෙ දුප්පත් වුණාට වැඩ හරි ක්‍රමානුකූල යි.” කිසිවකු මුමුනනු ඇසිණ.

ශාන්තිපුරම් විදුහල කටුක බිම්කඩක සොඳුරු තක්සලාවක් බවට පත් කිරීම සඳහා සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූයේ යුනිසෙප් සංවිධානයයි.

ශාන්තිපුරම් පාසලේ ඉගෙනුම් ඉලක්ක සහ පරිසරය වැඩි දියුණු කිරීම එහි අරමුණු විය.

පශ්චාත් යුද සමයෙහි විවිධ ගම්මානවලින් පැමිණි පිරිස් ශාන්තිපුරම්හි පදිංචි වූහ. ඔවුන් වැඩි දෙනකුගේ ජීවනෝපාය ධීවර කර්මාන්තයයි. කුලී වැඩ කරන්න පිරිස් ද සිටිති. තුන්වැනි වර්ගයේ ප්‍රාථමික පෝෂක පාසලක් හැටියට එය ආරම්භකර ඇත්තේ 2003 ඔක්. 1 දා ය. ආරම්භක සිසුන් සංඛ්‍යාව 30 කි‍. ස්ථිර ගොඩනැඟිලි දෙකකින් පාසල සමන්විත විය. ලෝක ආහාර සංවිධානය විසින් මුළුතැන් ගෙයක් නිර්මාණය කර දෙන ලදී.

“සමහර ළමයින් ආවේ කඩින් කඩ එන අයත් මඟදී හැලෙනවා. ඉගෙනීමේ උනන්දුවක් තිබුණෙ නැහැ. සෞඛ්‍යාරක්ෂිත පුරුදු තිබ්බෙත් නැහැ. අපි ගම්වලට ගිහින් මූලික අධ්‍යයනත් කළා. එහිදී ගැටලු කිහිපයක් හඳුනාගත්තා. පාවහන් නොමැතිකම හරිහැටි ආහාරයක් නොලැබීම, දෙමාපියන්ගේ නොසැලකිල්ල, වැඩිහිටියන්ගේ වැඩවලට හවුල්කර ගැනීම, වැඩි කාලයක් ජලයෙන් යට වී තිබීම යනාදී හේතු අපි හඳුනාගත්තා. අපි ඒවාට පිළියම් යෙදුවා. මේ වනවිට තිබෙන ප්‍රගතිය ගැන සෑහීමකට පත් වෙනවා.”

හිටපු විදුහල්පතිනිය විජායි පවස යි.

පාසලේ හා දරුවන්ගේ ආරක්ෂාව සඳහා මුල දී තාප්පයක් හෝ වැටක් නොතිබිණි. වැසිකිළි ප්‍රමාණවත් නොවීය. උප්පැන්න සහතික නොමැති දරුවන් 10 දෙනෙකු ද අතරමග පාසල හැර ගිය දරුවන් 25 දෙනෙකු ද හඳුනා ගැනිණ. එම ගැටලු නිරාකරණය කිරීමට පියවර ගැනිණ. මේ වනවිට එහි සිසුවියෝ 45 දෙනෙක් ද සිසුහු 49 දෙනෙක් ද ඉගෙනුම ලබති. ගුරු භවතුන්ගේ ගණන 7 කි.

දරුවන්ගේ පැමිණීම අධීක්ෂණය, ඔස්සේ දිනපතා පැමිණීමේ වැදගත්කම පිළිබඳ දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීම අඛණ්ඩ ව සිදු කෙරේ. දරුවන් පාසල් හැරයෑම අධීක්ෂණය කිරීම සඳහා සහභාගී ග්‍රාමීය ඇගයුම් ක්‍රියාවලියක් දියත් වේ.දෙමවුපියන්, ගුරුවරුන් හා දරුවන්ගේ සහභාගිත්වයෙන් පස් අවුරුදු පාසල් සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵල ලෙස පාසල හැර ගිය දරුවන් නැවත කැඳවා ගැනීම සඳහා පොත් බෑග්, ලිපි ද්‍රව්‍ය, පොත්පත් සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදීම සිදුවිය.

පාසල ඇර ගිය වැඩිහිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම, දෙමාපියන් හට ගැළපෙන ජිවනෝපායන් වෙනුවෙන් අමුද්‍රව්‍ය, මූල්‍ය සහය ලබාගත හැකි ආයතන හඳුන්වා දීම, පාසලේ ඉගෙනුම් ක්‍රියාවලිය දියුණු කිරීම සඳහා ග්‍රාම නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී යනාදීන්ගේ සහයෝගය ලබාගැනීමම ද මේ වැඩපිළිවෙළට ඇතුළත් විය.

අත්සෝදා දිවා ආහාරය ගැනීමේ පුරුද්ද ශාන්තිපුරම් දරුවන්ට ලැබීම විශේෂ සිදුවීමකි. එවන් පුරුද්දක් ඔවුන් ජීවත්වන පරිසරයෙන් ලැබී නොතිබිණ. එහෙයින් අත් සේදීමේ සින්ක් සවිකර ඇති ස්ථානය සිසුන් ප්‍රිය කරන තැනකි. දිවා ආහාරය ලබාදීමේ දී මුළුතැන්ගෙයි සෞඛ්‍යාරක්ෂිතතාව පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කෙරේ. එහෙත් විදුහල් පරිසරයෙන් මිදී යළි නිවෙස වෙත යන දරුවන්ට ජීවත්වන්නට සිදුවී ඇත්තේ කටුක පරිසරයක ය. ඇතැම් විට දෙමවුපියන් නිවසට එනතුරු බාල සොයුරු සොයුරියන් රැක බලා ගැනීම ඉවුම් පිහුම් කිරීම බාර වන්නේ සිසු දරුවන්ට ය.

ඇතැම් නිවසක කුල‍ී වැඩ සො‍යාගෙන දුර පළාතකට ගිය පියාණන් ආපසු නොපැමිණීම නිසා පියාගේ වගකීම් ඉටු කිරීමට සිදුවීමෙන් පාසල් ජීවිතයට ආයුබෝවන් කියූ සිසුවෝ ද සිටිති.

පාසලෙන් ලැබෙන දිවා ආහාරය හැරුණු විට, විස්කෝතුවක් හෝ කහට උගුරක් හෝ මිස වෙන කිසිවක් නොලැබී පසු දා පාසලට එන දරුවෝ ද සිටිති. එහෙත්, ගුරු මණ්ඩලයේ කැපවීම හා උනන්දුව නිසා, එක වසර සිට නවය වසර දක්වා ක්‍රමවත් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව ශාන්තිපුරම් විදුහලේ දරුවන්ට ලැබී ඇත. අධ්‍යාපන වරම අහිමි වූ සිසුන් විශාල පිරිසක් වෙනුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 ක ද වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් 17 ක ද මෙබඳු වැඩ සටහන් යු‍‍රෝපා සංගමය, ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගිතාව යටතේ ක්‍රියාත්මක කරයි.


Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks

More News »