පිටගංවලින් ආපු බැකෝ පතල්කාරයො රත්නපුරේ සූරගෙන ගියා

2016-08-02 10:41:00       586
feature-top
ලාභය පමණක්‌ පරමාර්ථයෙන් පතල් කැපීමට පිටින් පැමිණි ව්‍යාපාරිකයන්ගෙන්. ඔවුන්ට ඕනෑ මැණික්‌ ටික විතරයි. පොළොවට හෙණ ගහලා ගියත් ප්‍රශ්නයක්‌ නෑ. රෑ දවාලේ මිනිස්‌සු දාගෙන පොළොව හැරූවා. ගල් ටික ගරා ගත්තා යන්න ගියා. කැණීම් කරපු වළවල් වැහිලි මොනවත් නෑ. තව පිරිසක්‌ ලක්‍ෂ ගණන් සල්ලි වියදම් කරලා ඉඩම් බද්දට අරගෙන, මැණික්‌ සංස්‌ථාවෙන් බැකෝ බලපත්‍රයක්‌ අරගෙන මහා විශාලෙට වළවල් කපලා මැණික්‌ නැති තැන පතල අතහැරලා යන්න යනවා. ඒත් කැණීම් කරපු වළ වැහිලි මොනවත් නෑ. එහෙම අතහැර දාපු කැණීම් වළවල් විශාල සංඛ්‍යාවක්‌ රත්නපුරේට ඉතුරු වුණා. අදටත් එහෙම වළවල් මේ ප්‍රදේශවල තියෙනවා. ඒ වළවල් තමයි මේ හැම ප්‍රශ්නයකටම හේතුව.

මෙරට මැණික්‌ පතල් කර්මාන්තය අවුල් ජාලාවක සිර වී තිබෙන්නේය. එනම් පාරම්පරික පතල් කම්කරුවන් කර්මාන්තයෙන් ඈත් වී යන්නේය. ඒ අල්ලපනල්ලේ බැකෝ පතල් තහනම් කිsරීමට ජාතික මැණික්‌ සහ ස්‌වර්ණාභරණ අධිකාරිය තීන්දු කරන්නේය. එකී ප්‍රශ්න කැටි වන විට රත්නපුරේ මැණික්‌ වෙළෙඳපොළ සීග්‍රයෙන් පසුබෑමකට ලක්‌ වෙමින් තිබෙන්නේය. මේ ගැටලු සහගත තත්ත්වයන් ගැන සොයාබැලීමට පසුගිය දිනක අපි රත්නපුරය, ඇහැලියගොඩ ප්‍රදේශවල සංචාරය කළෙමු. එම සංචාරයේදී පතල් කර්මාන්තකරුවන්, පතල් කම්කරුවන් සහ කැණීම් සිදු කර අතහැර දමා ගොස්‌ තිබූ වළවල් සහිත ප්‍රදේශවල මිනිසුන් ද අප සමඟ කතාබහ කළහ. ඔවුන් පෙන්වා දෙන අන්දමට රත්නපුරේ පතල් කර්මාන්තය අගාධයට තල්ලු කරමින් සිටින්නේ පිට පළාත්වලින් පැමිණ බද්දට ඉඩම් ගෙන බැකෝ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් කැණීම් කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ය. ඒ ගැන අප කියනවාට වඩා රත්නපුරේ මිනිසුන්ගේ වචනයෙන්ම ඇසීම ඔබගේ හදවතට වඩාත්ම සංවේදීය. එහෙයින් ඔවුන්ගේ හඬට ගලා යන්නට ඉඩ හැර අපි සවන්දී සිටිමු. පතල් කර්මාන්තයේ ගැටලු ගැන ප්‍රථමයෙන් අපට කරුණු පැහැදිලි කරන්නේ රත්නපුර දිස්‌ත්‍රික්‌ මැණික්‌ ගැරීමේ බලපත්‍රධාරීන්ගේ හා පතල් සේවකයන්ගේ සංගමයේ නිලධාරීන්ය. මේ ඔවුන් කියන කතාවය.

''පතල් කර්මාන්තයට යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමෙන් වැරැද්දක්‌ වෙලා තියෙනවා කියලා අපි පිළිගන්නවා. ඒ සාම්ප්‍රදායික පතල්කරුවන්ගෙන් නෙමෙයි, ලාභය පමණක්‌ පරමාර්ථයෙන් පතල් කැපීමට පිටින් පැමිණි ව්‍යාපාරිකයන්ගෙන්. ඔවුන්ට ඕනෑ මැණික්‌ ටික විතරයි. පොළොවට හෙණ ගහලා ගියත් ප්‍රශ්නයක්‌ නෑ. රෑ දවාලේ මිනිස්‌සු දාගෙන පොළොව හැරූවා. ගල් ටික ගරා ගත්තා යන්න ගියා. කැණීම් කරපු වළවල් වැහිලි මොනවත් නෑ. තව පිරිසක්‌ ලක්‍ෂ ගණන් සල්ලි වියදම් කරලා ඉඩම් බද්දට අරගෙන, මැණික්‌ සංස්‌ථාවෙන් බැකෝ බලපත්‍රයක්‌ අරගෙන මහා විශාලෙට වළවල් කපලා මැණික්‌ නැති තැන පතල අතහැරලා යන්න යනවා. ඒත් කැණීම් කරපු වළ වැහිලි මොනවත් නෑ. එහෙම අතහැර දාපු කැණීම් වළවල් විශාල සංඛ්‍යාවක්‌ රත්නපුරේට ඉතුරු වුණා. අදටත් එහෙම වළවල් මේ ප්‍රදේශවල තියෙනවා. ඒ වළවල් තමයි මේ හැම ප්‍රශ්නයකටම හේතුව. ඒත් අපේ ගම්වල මැණික්‌ ගරන කිsසිම කෙනෙක්‌ එහෙම වළවල් ඉතුරු කරලා යන්නෙ නෑ. අපේ මිනිස්‌සු මැණික්‌වලට නෙමෙයි, ආදරය කරන්නෙ මේ පොළොවටයි. මේ පොළොවෙන් ලැබෙන මැණික්‌වලින් තමයි රත්නපුරේ මිනිස්‌සු ගොඩ ගියේ. අදටත් ජීවත් වෙන්නෙ. රත්නපුරේ ආර්ථිකය රඳා පවතින්නෙ. ඒ නිසා අපේ මිනිස්‌සු පොළොව හූරගෙන මැණික්‌ ගන්නෙ නෑ. භූමියත් ආරක්‍ෂා කරගෙනයි, පතල් කැණීම් කරන්නෙ. අද අපි මැණික්‌ අරගෙන හෙට පදිංචි ගම්බිම් අතහැරලා යන ජාතියේ මිනිස්‌සුත් නෙමෙයි. අපි හෙටත් ජීවත් වෙන්නේ මේ පොළොවේම තමයි. හෙට උපදින අපේ දරුවනුත් ජීවත් වෙන්නෙ මේ පොළොවේ. අපි මේ පය ගහගෙන ඉන්න භූමිය තමයි ලංකාවේ තියෙන වාසනාවන්තම පොළොව. අපේ හිත්වලට ඒක තදින් කා වැදිලා තියෙන්නෙ. ඒ නිසා අපේ මිනිස්‌සු මේ පොළොවට අබමල් රේණුවක තරම්වත් අවැඩක්‌ වෙන විදිහට වැඩ කරන්නෙ නෑ. අපි පතලක්‌ කපන්න මුල පුරන්නෙත් සමන් දෙවි හාමුදුරුවන්ගෙන් අවසර අරගෙනයි. අපි මේ පොළොවට නරකක්‌ කරනවා නම් උන්වහන්සේ ඒකට ඉඩ දෙන්නෙ නෑ. අනිත් එක රත්නපුරේ කියලා හැම තැනම මැණික්‌ නෑ. මේ පොළොවේ මැණික්‌ තියෙන තැන් තියෙනවා. අපි ඒ තැන් දන්නවා. උඩින් පහත් වෙන කල්ලතෝනින්ට මැණික්‌ ඉල්ලම් ගැන මෙලෝ හසරක දැනුමක්‌ නෑ. අපි පතලක්‌ බහින්නෙ හරියටම නියම තැන් බලලා. ඒක තමයි ඇත්ත කතාව.

රත්නපුරේ මැණික්‌ කර්මාන්තය දියුණු කරන්න ඕන කියලා 1990 අවුරුද්දෙ පතල් කර්මාන්තයට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දුන්නෙ ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියයි. ඒ ක්‍රමය ප්‍රායෝගිකයි. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සාම්ප්‍රදායික ක්‍රමයට පතල් කැණීම් කරපු ඉඩම්වල ඉතිරි වන ඉල්ලම් නිධි ගොඩට ගන්න පුළුවන් එකම ක්‍රමය බැකෝ යොදාගැනීම විතරයි. වියදම වැඩි වුණත් ඉක්‌මණින් ඉල්ලම් ටික ගන්න පුළුවන් නිසා මිනිස්‌සු ඒ ක්‍රමයට හුරු වුණා. කෙටි කාලයක්‌ යනකොට මේ ක්‍රමය පතල් කර්මාන්තය තුළ ජනප්‍රිය වුණා. පිට පළාත්වල ව්‍යාපාරිකයොත් ඉඩම් බද්දට අරගෙන මැණික්‌ ගරන්න පටන් ගත්තා. මැණික්‌ සංස්‌ථාවට මේක පාලනය කරගන්න බැරිව ගියා. පිටගම්කාරයො මැණික්‌ ගරාගෙන පතල් වහන්නෙ නැතිව යනකොට, ඒ පතල් වළවල් වහන්න කියලා මැණික්‌ සංස්‌ථාව ඇප මුදල වැඩි කළා. ඒ වැඩි කිරීමත් අපි දරා ගත්තා. ඒත් මැණික්‌ සංස්‌ථාව වළවල් වහලා පොළව යථාවත් කරන එක හරියට ක්‍රියාත්මක කළේ නෑ. දැන් මැණික්‌ සංස්‌ථාව කියනවා බැකෝ යෙදීමෙන් පරිසරයට හානි වැඩියි නතර කරන්න කියලා. මේක හතරබීරි කතාවක්‌ නේ මහත්තයො... බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ නිසා කරන්න දෙයක්‌ නෑ. කියන දේ අහගෙන ඉන්න වෙනවා.

බලපත්‍රය ලබාදෙන්නෙ මැණික්‌ සංස්‌ථාව නම් බලපත්‍ර හිමියන් පාලනය කරගැනීම මැණික්‌ සංස්‌ථාවේ වගකීමක්‌. ලබා දුන්නු බලපත්‍රයට අනුව පොළොව හාරගෙන කරන දේ හොයාබැලීම සංස්‌ථාවේ රාජකාරිය. ඒකට තමයි රජයෙන් පඩි ගෙවාගෙන නිලධාරීන් පත් කරලා තියෙන්නෙ. 2002 අවුරුද්දෙ කැණීම් කරපු වළවල් අදටත් තියෙනවා. 2002 අවුරුද්දෙ ඇප මුදල අද ආර්ථිකයට ගැලපෙන්නෙ නෑ කියලා අපි පිළිගන්නවා. ඒවා ඉතිං පතල් කර්මාන්තකරුවන්ගේ ගැටලු නෙමෙයි, මැණික්‌ සංස්‌ථාවේ නොහැකියාව. අධිකාරියම තමයි ඇප මුදල් තීරණය කරලා තියෙන්නෙ. ඇපයක්‌ තියාගන්නෙ පතල්කරුවා පතල වැහුවේ නැති නම් සංස්‌ථාව විසින් පතල වසා දාන්න. ඔය අතහැර දමා තියෙන කිසිම කැණීම් වළක ඇප මුදල් සංස්‌ථාව නිදහස්‌ කරලා නෑ. ඒවා සංස්‌ථාව භාරයේ තියෙනවා. එහෙම තියෙන ඒකෙ වළ වහලා පොළව යථාවත් කිරීමේ වගකීම සංස්‌ථාවටත් තියෙනවා. එහෙම එකේ කැණීම්වලින් පසු පොළොව යථාවත් කරන්නෙ නෑ කියලා බලපත්‍ර දීම නතර කිරීමට මැණික්‌ සංස්‌ථාව කටයුතු කරනවා නම් එක සංස්‌ථාවේ මෝඩ වැඩක්‌.

පතල් කර්මාන්තයේ නැති මැණික්‌ පමණක්‌ මිලදී ගන්න කෝටිපති ව්‍යාපාරිකයන්ට කර්මාන්තයට කොච්චර තහංචි වැටුණත් ඒවා ගැටලු නෙමෙයි. ඒ අයට මැණික්‌ කර්මාන්තය තිබුණත් එකයි, නැතත් එකයි. මේ ගැටලුව නිසා අසරණ වෙලා ඉන්නේ අපි වගේ පුංචි මිනිස්‌සු. බැකෝ පතල් තහනම් කරනවා කියලා දැන් අවුරුදු දෙකක්‌ වෙනවා. 2014 නොවැම්බර් මාසේ තමයි අලුත් බැකෝ ලයිසන් දෙන එක නතර කළේ. එදා ඉඳලා මේ දක්‌වා මේ කර්මාන්තය ඉදිරියට පත්වාගෙන යන්න තවම කිසිම විකල්පයක්‌ හඳුන්වා දුන්නෙ නෑ. දැන් ගහෙන් ගෙඩි එන්න වගේ මැණික්‌ සංස්‌ථාව කියනවා, වැඩ කරගෙන යන බැකෝ පතල්වල මාස දෙකක්‌ ඇතුළතදී ඉල්ලම් අරගෙන ගරලා ඉවර කරන්න ඕන කියලා. සංස්‌ථාව කියන සුනංගුවට මැණික්‌ ගරන්න බෑ. ඒකට කාල වේලා ඕනෑ. ඒ නිසා මේ කර්මාන්තය ගැන හිතලා පටන්ගෙන තියෙන පතල් කරගෙන යන්න හරි තව අවුරුද්දක්‌, දෙකක්‌ අවසර දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

පටන්ගෙන තියෙන පතල් වැහිලා ගියොත් අපි ඉවරයි. අපේ සියලු සේසතම යොදවලා තියෙන්නෙ ඒ පතල්වලට. බැකෝ පතලක්‌ ලේසියෙන් කරන්න බෑ. විශාල වියදමක්‌ දරන්න ඕනෑ. සාම්ප්‍රදායික පතල් කැපීම පතල්කරුවන්ට ලාභයි. ඒත් සාම්ප්‍රදායිකව පතල් කපලා මැණික්‌ ගන්න බැරි තැන් තියෙනවා. අවුරුදු ගණන් දෙපාර, තුන් පාර සාම්ප්‍රදායික විදිහට පතල් බැහැලා මැණික්‌ ගන්න බැරි තැන්වලට තමයි බැකෝ දාන්නේ. ඒ තැන්වල මැණික්‌ ගන්න අනිවාර්යයෙන්ම බැකෝ දාන්න වෙනවා. එහෙම නැතිව වෙන විකල්ප නෑ. ඒත් මහා පරිමාණ ව්‍යාපාරිකයො මැණික්‌ සංස්‌ථාවේ අවසරය ඇතිව අලුත් ඉඩම්වලටත් බැකෝ දැම්මා. බැකෝ පතල් කර්මාන්තයට කිසිම ප්‍රතිපත්තියක්‌ තිබුණේ නෑ. මෙච්චර ඉක්‌මනට මේ හෙණ ගෙඩිය පාත් වුණේ ඔය ගැටලු නිසා තමයි.

ඕනෑම කර්මාන්තයක දියුණු අවස්‌ථාව යාන්ත්‍රික අවස්‌ථාව. අපිත් බැකෝවලට හුරු වුණේ කර්මාන්තයේ දියුණුවක්‌ දකින්න ඕන නිසයි. අනිත් එක රත්නපුරේ හැම පතලකටම මිනිස්‌සු බැකෝ බලපත්‍ර ගන්නෙ නෑ. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ බැකෝ පතල් හැට ගානයි තිබුණේ. ලංකාවේම බැකෝ බලපත්‍ර තියෙන්නෙ අනූවක්‌ විතර. මැණික්‌ තියෙනවා කියලා හරියටම නිශ්චිත ඉඩමකට විතරයි බැකෝ බලපත්‍රයක්‌ ගන්නේ. බැකෝ ලයිසන් එකක්‌ අරගෙන පතල් පටන් ගන්නම රුපියල් ලක්‍ෂ දහයක්‌ විතර යනවා. ඒ නිසා මිනිස්‌සු අවධානමක්‌ ගන්න කැමති නෑ. මේක වාසනාව මත රැදුණු කර්මාන්තයක්‌. කොච්චර සල්ලි වියදම් කළත් කරන පුද්ගලයන්ට පින නැති නම් මැණික්‌ ලැබෙන්නේ නෑ. අනිත් එක තමයි පතල් කර්මාන්තයට කම්කරුවො අඩු ප්‍රශ්නය. හැදෙන කොල්ලො පතල්වල වැඩට එන්නෙ නෑ. ගාමන්ට්‌ තියෙනවා, තේ µeක්‌ටරි තියෙනවා. ඒ කර්මාන්තශාලාවලින් ගෙවල් ගාවටම ඇවිත් ළමයින්ව අරගෙන යනවා. ඒ නිසා තරුණ පරම්පරාව පතල් රස්‌සාවට එන්නෙ නෑ. මේ සියලු ගැටලුවල අවසානය පතල් කර්මාන්තයේ පරිහානියයි. ඒත් තවම අපි පරක්‌කු නෑ. යම්කිසි නිශ්චිත ප්‍රතිපත්තියකට අනුකූලව කර්මාන්තය ගැන දැන උගත් පිරිසක්‌ සම්බන්ධ කරගෙන ඔවුන්ගේ නිර්දේශය මත බලපත්‍ර නිකුත් කරන ක්‍රමයකට මැණික්‌ හා ස්‌වර්ණාභාරණ අධිකාරිය යන්න ඕනෑ. එහෙම වුණහම මේ පොළවට ආදරය කරන මිනිස්‌සු පරිසරයට හානියක්‌ වෙන විදිහට වැඩ කරන්නෙ නෑ. මීට පෙර වැරැදියට බැකෝ පතල් කැණීම් කරපු අය බ්ලැක්‌ ලිස්‌ට්‌ කරන්න ඕනෑ. අවුරුදු පහකට වැඩි සාම්ප්‍රදායික බලපත්‍ර ඇති අයට සුදුසු ඉඩම්වලට පමණක්‌ බැකෝ බලපත්‍ර ලබාදීමේ ප්‍රතිපත්තියක්‌ හදන්න ඕනා. කුඹුරු ඉඩම්වලට මැණික්‌ ගැරීමේ බලපත්‍ර නිකුත් කිරීමට පෙර ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිසි අවසරය ගත යුතු ක්‍රමවේදයක්‌ සකස්‌ කරන්න ඕන. වළවල් වහන්නෙ නැති අයට ඊළඟ අවුරුද්දේ බලත්‍රය නොදී ඉන්න ඕනෑ. එතකොට මේ කර්මාන්තයේ ඉන්න අය නිවැරැදිව නීත්‍යනුකූලව කැණීම් කරගෙන යයි...''

පතල් කම්කරුවන් කියන කතාව...

පතල් කර්මාන්තයේ දුක්‌විඳින මිනිසුන් පතල් කම්කරුවන්ය. ජීවිත අවධානමත් තුරුලු කරගෙන බඹ ගාණක්‌ මහ පොළොව යටට බහිනවා යනු මරුවා සමඟ සටනකි. එහෙත් ජීවන ගමන යැමට මං නොමැති තැන මිනිසුන් ඕනෑම අවධානමක්‌ භාර ගන්නේය. ඒ මිනිසුන්ගේ හැටිය. එල්ලාවල ප්‍රදේශයේ පතලකින් මතු වූ මේ මිනිසුන් දැන් අපට කියන්නේ වෘත්තීයේ අවධානමටත් වඩා රස්‌සාව නැති වී යාමේ අවධානම ප්‍රබලව දැනෙන බවය.

zඅපේ ගෙවල්වල බතක්‌ ඉදෙන්නෙ පතලක්‌ බැස්‌සොත් විතරයි. එහෙම නැතිව අපිට තේ, පොල්, රබර් වතු නෑ. අපේ ජීවිත රැඳිලා තියෙන්නෙ පතල් රස්‌සාව මත. පතල් අයිතිකරුවන් ඒ අයගේ ආර්ථිකය හදාගෙන ඉවරයි. දැන් ඒ අයට කර්මාන්තය තිබුණත් එකයි, නැතත් එකයි. කර්මාන්තය වැටෙනවා කියන්නේ අපේ ජීවිත කඩාවැටීමක්‌. බැකෝ පතලක වැඩ කරනකොට එක පාර ලොකු මුදලක්‌ අතට ගන්න පුළුවන්. අපි ගෙයක්‌ දොරක්‌ හදා ගත්තෙ පතල් රස්‌සාවට බැකෝ ආවට පස්‌සෙ. තට්‌ටු පතල් රස්‌සාවේදී මුදල් එන්න කාලයක්‌ යනවා. බැකෝ පතල්වල වැඩ කරනකොට නිතරම අතේ සල්ලි ගැවසෙනවා. අනිත් එක හැමදාම උදලුවලින් පතල් කපන්න බෑ. අපිත් වයසට යනවා. හැමදාම මහන්සි වෙන්නත් බෑ. බැකෝ පතල්වලදී කරන්න තියෙන්නෙ ගරන එක විතරයි. මහන්සි වෙන්න තියෙන කාලයත් අඩුයි. ඒත් සාමාන්‍ය පතලකට වඩා අපිට ආදායමක්‌ ලැබෙනවා. දැන් හැදෙන කොල්ලොත් බැකෝ පතල්වල වැඩ කරන්න කැමතියි. තට්‌ටු පතලක්‌ කිව්වොත් පැත්ත පළාතකට එන්නෙ නෑ. තට්‌ටු පතලක වැඩ කරන පස්‌ දෙනාම, බැකෝ පතලකත් වැඩ කරනවා. බැකෝ යන්ත්‍ර දැම්මා කියලා සේවකයො අඩු කරන්න බෑ. ඒක සංස්‌ථාවේ නීතියක්‌. බැකෝ දාලා වළ වහනවා නම් පොළවට කිසිම හානියක්‌ වෙන්නේ නෑ. අර කුරුඳු කෑල්ල තනිකරම බැකෝ දාගෙන මැණික්‌ ගරපු ඉඩමක්‌...Z සෝමතිලක අපිට විශාල වත්තක්‌ පෙන්නුවේය.

ප්‍රදේශවාසීන්ගේ අදහස්‌...

ඒ කුරුඳුවත්ත අපට දර්ශනය වූයේ ඇහැලියගොඩ, එල්ලාවල ප්‍රදේශයේදීය. කුරුඳුවලට අමතරව වත්ත පුරා තවත් අමතර

බෝග රැසකි. රඹුටන්, දූරියන්, අඹ, ගස්‌ලබු පළතුරු බෝග තැන, තැනය. නෙත ගැටෙන අයුරින් සරුසාර ගොවිබිමකි. එමෙන්ම එල්ලාවල ප්‍රදේශයේ මග දිගට පසු කර ගිය කුඹුරු යායවල් අතරින් බොහෝමයක්‌ බැකෝ පතල් කැණීම් කර පසුව යථාවත් කළ ඉඩම් බව ප්‍රදේශවාසීන් අපට කීවේය. රත්නපුර දිස්‌ත්‍රික්‌යේ වැඩිපුරම බැකෝ පතල් කරගෙන ගියේ ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේය. එම ප්‍රදේශයේ පතල් කරගෙන ගිය බහුතරය රත්නපුර දිස්‌ත්‍රික්‌කයේම පතල්කරුවන්ය. පිට පළාත්වලින් පැමිණ පතල් කැණීම් කළ කිහිපදෙනෙකි. අවසානයේ ඔවුන් ගමට වතුර වළක්‌ ඉතිරි කර මැණික්‌ ටික ඩැහැගෙන යන්න ගිය බව ද ගම්මුන්ගේ අදහසය. එල්ලාවල ප්‍රදේශවාසීන්a පමණක්‌ නොව, අතහැර දමා තිබූ මැණික්‌ පතල් සහිත රත්නපුරයේ බොහෝ ප්‍රදේශවල මිනිසුන් අපට පෙන්වා දුන් යථාර්ථය ද එයයි.

රත්නපුරේ මැණික්‌ කර්මාන්තය අද ඊයේ පටන් ගත්ත එකක්‌ නොවේ. ඉතිහාසය විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ රත්නපුරය ලංකාවේ පිහිටි නගරයක්‌ නිසා ලෝ ප්‍රකට වූවාට වඩා ලංකාව රත්නපුරය නිසා ප්‍රසිද්ධ වූ බවයි. ලංකාව රත්නද්වීපය ලෙස ව්‍යවහාරවීමට ද රත්නපුර නගරයේ මැණික්‌ ව්‍යාපAතිය හේතු වූ බවට පිළිගත හැකි සාධක තිබේ. සපරපුර, සපරගම්, සපරග්ග්‍රාම යන නම්වලින් හඳුන්වනු ලැබූ රත්නපුර ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා ජනාවාසව පැවතිණි. බලංගොඩ මානවයාගේ උපන් භූමිය රත්නපුරයයි. එහෙයින් සබරගමුව යනු අපේ ඉතිහාසයේ කැඩපතකි. මේ රන් පොළොව ආරක්‍ෂා කරගැනීම අප කාගේත් යුතුකමකි. එමෙන්ම මිනිසුන් කියන විදිහට පතල් කැපීමෙන් පරිසරයට විශාල හානියක්‌ සිදු වේ නම් මේ වන විට රත්නපුරයක්‌ නැත. එමෙන්ම ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ පාලනය මත සීතාවක ගඟේ මැණික්‌ පොකුරු කඩන විදිහට දැන් ගඟ මහ මුහුදක්‌ විය යුතුය. එහෙයින් පොළව යට තිබෙන මැණික්‌ රටේ ආර්ථිකයට සම්පතක්‌ කරගැනීම රටට යහපතකි. එමෙන්ම ලෝකය තාක්‍ෂණයෙන් ඉදිරියට යන යුගයක රටක්‌ හැටියට යල් පැන ගිය ක්‍රමවල සිරවී සිටීම අපගේ දූපත් මානසිකත්වය ලෝකයාට ප්‍රදර්ශනයක කිරීමකි. එහෙයින් රටක්‌ හැටියට මේ සියලු ගැටලුවලට විසඳුම් සෙවිය යුතුය. එය සිදු විය යුත්තේ පරිසරයට හානියක්‌ නොවන අයුරිනි. මන්ද මිනිසාගේ පැවැත්ම රඳාපවතින්නේ අවට පරිසරය මත බැවිනි.

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »