සතුන් මරා කොහි අප මේ දුවන්නේ

2016-08-01 10:55:00       596
feature-top
යම් ජාතියක ශිෂ්ටත්වය මැනිය හැකි වන්නේ ඒ ජාතිය තම සත්ත්ව වර්ගයාට සලකන ආකාරය අනුව යැයි ඉන්දියාවේ මහා අහිංසාවාදී නායක මහත්මා ගාන්ධිතුමා පැවැසීය. එසේ ම ඒදඬු, පාලම් තැනැවුවෝ ද, මංමාවත් සැකසුවෝ ද, වන උයන් හා තුරු ලතා තැනුවෝද, සතුන්ගේ රැකවරණ සකසා දුන්නෝ ද, ඒ හැම මතු මෛත්‍රී බුදුන් දකිත්මැයි මෛත්‍රී වර්ණනාවෙහි සඳහන්ය.

ඒ එසේ වුවත් ජාතියක් හැටියට අප සතුනට සලකන්නේ කෙසේදැයි අප අපගෙන් ම ඇසිය යුතු පැනයකි. අතීතයේ ඇළක දොළක වගුරක සිටි මගුරෙක්, ලූල්ලෙක් ඉඳහිට අල්ලාගෙන කෑ මුහුදු කරවල හැටියට සතියකට වරක් හාල්මැස්සන් හොද්දක්, මැල්ලුම් මුට්ටියක් සමඟ බත් කොරහක් ගිල දැමූ අපේ මුතුන් මිත්තෝ දහදිය වගුරා ගොවිකම් කළහ. එනිසා ඔවුනට ලෙඩක් දුකක් හෙම්බිරිස්සාවක්වත් තිබුණේ නැත. ඔවුනගේ බත රස කළේ තිබ්බටු මැල්ලුමක් හෝ වෑංජන කීපයක් පමණි. බො‍හෝවිට මාංශ භක්ෂක ‍නොවූ ඔවුහු ශාක භක්ෂක‍යෝ පමණක් ම වූහ. ගෙදර හදන වස්සා හා එළදෙන ඔවුනට ගෙදරම දරුවන් මෙන් වූහ. ඔවුන් මිය ගියත් කුසගින්න සඳහාවත් සතුනට හිංසා කළේ නැත. සහල් හෝ වෙනයම් දෙයක් තම්බා රත් කළ වතුර ඔවුන් එකහෙළා බිමට හැලුවේ ද නැත. එවන් සංස්කෘතියක් තිබූ අයගේ පරපුරින් පැවැත එන අය අද කරන්නේ හදකම්පා කරවන දේය.

අද ඔවුහු රට පුරා බ්‍රොයිලර් කුකුළන් හදති. දවස් 45කදී රසවත් මසවුලක් නිර්මාණය කරනවා යැයි කියමින් රූපවාහිනී පෙට්ටිවල මහ ප්‍රචාරයද කරති. එම දවස් 45තුළම උන්ට ලැබෙන‍්නේ එකම කෑම වේලකි. වතුර උගුරකි. ලෝකයේ ජන ව්‍යාප්තියට සරිලන ආකාරයට මේ දැවැන්ත සත්ත්ව ඝාතක සමාගම් දැන් දවස් 35කට මේ සත්ත්ව මාංශ සූදානම් කරති. අලුත් අවුරුද්දට, නත්තලට මේ විදියට දිවි දෙන සතුන් ප්‍රමාණය කෙතෙක්දැයි සිතා ගත නොහැකි තරම්ය. ඌරන් මරන්නේ බුදුන්ගේ කාලයේ චුන්ද සූකරයා මැරූ ආකාරයට නොවේ. ඊටත් වඩා දස වධ පමුණුවමිනි.

දවස් තිස් පහේදි “මැෂින්” එකෙන් ඇඹැරී යන කුකුළාගේ කුසේ ඒ වන විටත් කෙමිකල්ය. නොදිරවපු ආහාරය. මේවා කෑ ගමන් ම අපේ අවුරුදු 8 කෙල්ලෝ ලොකු මහත් වෙති. පිටරටවල ලොකු සතුන් පවා “මැෂින්වලට” යන්නේ අමු අමුවේ ම බව සනාථ කරන වීඩියෝපට අපට පෙන්වා දිය හැකිය.

මා මෙවැනි එළැඹුවක් සඳහා මෙහෙය වූ ආසන්නම අත්දැකීම අනුරාධපුරය නම් අපේ ශ්‍රී විභූතියේ දහම්දීපයේ පැරැණි අගනුවරින් ලැබීම ම මහත් කම්පාවකි.

අනුරාධපුර දුම්රිය අංගනයට කිට්ටුව වැටී තිබූ රූස්ස ගස් අතර ද අඹ ගස් පේළියේ ද පහුගිය කාලය පුරාම කොකුන් රංචු වශයෙන් ගැවැසිණ. මේ සත්තු එහි කූඩු තනා දරු පැටවුන් රකිමින් කාටවත් කරදරයක් නැතිව ජීවත් වූහ. හිටි අඩියේ අපේ මනුසතා මේ රූස්ස ගස් පේළිය ම කපා බිම හෙළුැවේය. එහි කූඩුවල සිටි පුංචි පැටවු බිම හෙළූ අතු ඉති අතර එල්ලී සිටියහ. මේ පැටවු 100 - 150 කට වැඩි ප්‍රමාණයක් තුෂ්නිම්භූතව යන එන මගීන් දෙස බලා ඉතා ම හැඟුම්බරව ශබ්ද නැඟූහ. එය කිසියම් අනියත ශෝකී ස්වරයක් ම වීය.

අදාළ නිලධාරිහු බෝලය අතින් අත පාස් කරමින් එහි වගකීම තම අතට නොගත්හ. ඔවුහු ‘බරබ්බරස්’ බේරා ක්‍රිස්තුන් වහන්සේට කුරුසිය දඬුවම නියම කළ පිලාත් රජු මෙන් අත් පිසදා ගත්හ.

තුෂ්ණිම්භූතව බිම වැටී සිටි මේ අහිංසක කොක් පැටවුන් බල්ලන්ගේ බළලුන්ගේ ගොදුරු බවට පත්වූයේ මේ අතරය. වන ජීවිය ද මුනිවත රැක්කේ පුදුමාකාර ලෙසිනි. මේ පිළිබඳව මාධ්‍ය හා පරිසර සංවිධාන විමසූ විට එක්තරා බලධරයෙක් කීවේ ගස්වල සිටි ඒ සතුන්ගේ වසුරු, මැරුණු පැටවුන් හා පිහාටු බිම වැටීම හා ඒවා අසුලා ඉවත් කිරීමට සිදුවීම තමනට කරදරයක් බවය. ජරාජීර්ණ වූ පසු තමන් හැදූ වැඩූ මාපියන්ටත් එසේ සලකන ඇතැමුන් සිටිනා රටක සතුන්ට කරුණාවක් බලාපොරොත්තු වීම ඉබිබන්ගෙන් පිහාටු ඉල්ලීමකි.

සතුනට නිද‍හසේ සිටීමට සකසා ඇති අභයභූමියදී පවා මිනිසාගේ නොනිසි ආක්‍රමණය නිසා සතුනට වේදනා විඳීමට සිදුවීම කනගාටුදායකය. බොහෝ කරුණු කිව හැකි වුණත් එක් කාරණයක් මතු කරමින් මේ පිළිබඳව ඔබට ඉඟියක් සපයමි.

අලි ඇතුන් බොහොමයක් සිටිනා උඩවලවේ වනෝද්‍යානය තුළට තවමත් කිරි හරක් පට්ටි ඇතුළු කිරීම සිදුවේ. ඒවාට මුනිවත රකින නිලධරයනට කිරිහට්ටි හා වෙනත් දහසින් බැඳි පියලි ලැබීමත් එලෙසම ක්‍රියාත්මකය.

වනෝද්‍යානය තුළ ජීවත්වන අලි ඇතුන්ගේ රසවත් ම ආහාරය තෘණ වර්ගය. මේ තෘණ වර්ග පහසුවෙන් තම හරකුන්ට ලබාදීමට කිරි හරක් පට්ටි හිමියෝ වන උයනට එම සතුන් ඇතුළු කරති. අලි ඇතුනට හිමි තණ පත් ඊළඟට උලා කන්නේ මේ හරකුන්ය. ඒ අතර ඒ සත්තු ගොම තැන් තැන්වල දමති. සාමාන්‍යයෙන් අලි ගැන යම් පමණකින් හෝ දන්නා කෙනෙක් ඇත්නම් ඒ සතුන් ගොම රැඳි තණ බිම ළගින්වත් සොඩය පොවන්නේ නැති බව උගත යුතුය. එනිසා අහිංසක අලියාට තණ පත් අහිමි වේ. බොහෝ විට තම ආහාරය නොලැබී කුසගින්නේ සිටීමට ද සිදුවේ. මීට අමතරව කිරිපට්ටිකරුවන්ගේ කුලීකරුවන් මේ වනය තුළට මී හරක් ද දක්කති. වනෝද්‍යානය තුළ මඳක් ඈතට වන්නට තිබෙන වැව්වල මාළුන්ට ඊළගට මළපුඬුව ඇමිණෙයි. ඔවුහු තහනම් ක්‍රමවලට ‘ඩයිනමයිට්’ ආදිය ගසා රිසි සේ මේ වැව්වල මාළු මරති. ස්වාභාවික ලෙස වැඩෙන මේ මාළුන් කොරළි, ලූලන් ආදිය අති විශාලය. මාළු පැටවුන්, ජලජ ශාක මේ නොමිනිස් ක්‍රියාකාරකම්වලට විනාශ වී යයි. මේ නිසා තමන්ගේ අභය භූමියේ වැවක වතුර ටික බොන්නට එන්නට හා, මුව, මීමිනි ආදින් බියවෙයි. මේ මිනිසුන් අලි ඇතුනට වහංවී වනෝද්‍යානය තුළට යන්නේ අපූරු ආකාරයකිනි. එළියේ වැටේ තැනකින් සිදුරු හදාගන්නා මිනිස්සු තම සතුන් එතැනින් උයනට ඇතුළු කැර මී හරක් අතර තමන් සිවුපාවුන් මෙන් සතුන් අතරින් වනයට අත් පා බිම තබා සතර ගාතයෙන් ඇතුළු වෙති. හැමදාමත් එහෙමය. සතුන්ගේ ආහාර වේල නැති කිරීමද සත්ත්ව හිංසාවකි.

එක්තරා අවස්ථාවක පිටරටින් දෙහිවල සත්වෝද්‍යානය නැරැඹීමට පැමිණි ගහකොළට සතා සීපාවාට කැමැති දරුවෙක් එහි කූඩුවක ලැග සිටි කොටියකු දැක චිත්‍රයක් ඇන්දේය. ඒ දරුවා ඇඳ තිබුණේ කොටියාගේ දෙනෙතින් කඳුළු කැටියක් ගලන ආකාරයකි. ඉංගිරිසියෙන් ‘‍ෙම් කොටියා අඬනවා’ යැයි අකුරු ලියා තිබිණ. ඒ එම සතුන් ගාල් කැර තබන පුංචි කූඩු ඔවුනට නොසෑහීම නිසා ඇතිවූ වේදනාව යැයි කුඩා දරුවා ලියුවේය. අක්කර 22ක් පුරා පවතින දෙහිවල සතුන් වත්තේ මෙතෙක් පාලනයට පත් හොඳම පාලකයා ලින් ද අල්විස් මහතා ය. නරක ම පාලකයා පහුගිය කාලයේ සිටි අනුර ද සිල්වා ය. 12 කූඩු පේළිය නමින් ප්‍රසිද්ධ කොටි රඳවන කූඩු එදා එහෙම තිබුණත් අද තත්ත්වය මැදිහත්ව කියන විට වෙනස්ය. ප්‍රමිතියට නැති කූඩු එදා තිබුණු බව ඇත්තකි. දරුවා දැක තිබුණේ ඒවා විය හැකිය. අද ව්‍යාඝ්‍රයන්ගේ කූඩුව සඳහා අක්කර 1/4 පමණ වෙන් වී ඇත. විදේශීය කුරුල්ලන්ට ද, දේශීය කුරුල්ලන්ට ද, සෑහෙන ඉඩකඩක් තිබේ. චිම්පන්සියාට ද එවැනි ඉඩකඩක් ඇත. දැන් සිටින වැඩ බලන අධ්‍යක්ෂිකාව මාධ්‍යයට සැඟැවී නොයෑම රටේ හා සතුන්ගේ ද වාසනාවකි. එහෙත් සත්ත්ව හිංසාව ගැන කතා කරන විට මට අතීතය හා හෘද රේඛාව අඳින්නට සිදුවේ. ඒවාට මල්සිංහ මහත්මිය කලබල විය යුතු නැත. වැඩබලන මේ කාලයේදි ඔබේ වැඩ ටික තරමක් හෝ සුබය.

පාලක තනතුරු දෙකක් හිමි පුද්ගලයන් දෙදෙනකුගේ අම‍නෝඥ වැඩ නිසා අහිංසක සතුනට හිරිහැර සිදුවන්නට පුළුවන. පැස්බරා අම්මා කාලයක සිට බිත්තර දමනවාය. ඒවා නවීන ක්‍රමවලට රක්කන්නට ගිහින් වැඩ වරද්දා ගත් අවස්ථා අනන්තය. මේ බිත්තර රැක්කවීම ප්‍රමුඛ කොටගෙන නිලධාරින් ගහ මරා ගන්නට යෑම සතුන‍ගේ පැත්තෙන් සුබදායක නොවේ. පැස්බරා මවට කෙසේ හෝ දරුවන් දෙදෙනෙකු ඉතිරිවීම වැදගත්ය.

රාත්‍රියට සතුන් වත්තේ ප්‍රධාන ගේට්ටුව නොවසා තිබීම හේතුවෙන් අවස්ථා ගණනාවකදි ගමේ දඩෝරි බල්ලන් රැළක් මෙහි ඇතුළු වී සතුන් මරා දැමීමක් සිදු වී තිබිණ. එමතුද නොව මේ සතුන් වත්තේ ඇතැමකුගේ නිල නිවාසවල ඇති කරන බල්ලන්ගෙන් ද සතුනට කරදර විපත් සිදුවූ අවස්ථා ඇත.

ප්‍රිය උපදවන සතුන් වූ ‘මාරා’ දෙන්නා විනාශ වූයේ ඒ අයුරිනි. කලකට පෙර මීමින්නන් රැඳි සතුන්වත්තේ කූඩුවට පැමිණි බලු රැළක් මෙහි සිටි සතුන් 13 දෙනා ම කෑ පුවත එදා පත්තර ඉහළින් වාර්තා කරනු ලැබිණ. ඊට අමතරව ‘‍චෝගම්’ නම් ව්‍යාපෘතියකට දියවන්නාව අසබඩට ගෙන ගිය පිනි මුවන් දියවන්නාවේ කිඹුලන් විසින් කා දැමිණ.

මේ මීමින්නන් ඉතා සංවේදි සුළු කම්පනයකින් හෝ මිය යන සත්ත්ව කොටසකි. දැන් දැන් වාර්තා වන්නේ මීමින්නන් සියල්ල බල්ලන් මරා කෑ පුවත තරමක් සාවද්‍ය බවය. ඒ සතුන් විනාශ වූයේ ඇතැම් සේවකයන්ගේ කුමන්ත්‍රණයක් නිසායැයි කියැවේ. කොටි දත්, කොටි හම් හා වෙනත් සතුන්ගේ දළ ආදිය ද සොරකම් කිරීම ද එදා සිට ම සතුන් වත්ත තුළ සිදුවූ බවද නොරහසකි. දැන් ඒවා පාලනය කිරීමක් සිදුවී ඇති බව දනිමු.

කැලෑ අශ්ව පැටියා කලකට පෙර තෙමී නැහී ගියේය. දුර්ලභ සත්ත්වයකු වන ‘කළු රයිනෝ’ පැටියාටද මෙලෝ හැර යන්නට සිදුවිය. කැලෑ අශ්ව පැටියා ලැබුණේ වැසි කාලයකදීය. එය සත්ත්ව උද්‍යාන බලධාරීන් දන්නා කරුණකි. ඔවුන් ආවරණ ස්ථානයක් පැටියාට හා මවට තනා දීමට කලට වේලාවට උත්සුක වූයේ නැත. එනිසා පැටියා තෙමී නැහුණේය.

ඇමේසන් වනාන්තරවල හා ඒ කලපු ගංඟා ආශ්‍රිතව සිටින කිඹුලන් ගිල දමන, ජගුවර් වැනි ලොකු සතුන් ගිල දමන ඇනකොන්ඩාට මෙහිදී ලැබෙන්නේ දවසකට කුකුළන් 4 - 5 දෙනෙකි. අනෙක් කුකුල්ලු ගේට්ටුවෙන් ඉගිලී යති. එනිසා ඇනකොන්ඩා ගැහැනු සතා පිරිමි සතාව ගිල දැම්මේය. ඒ කුසගින්න නිසාය. පිරිමියා ඉන්නා කාලේ ලැබුණු ඇනකොන්ඩා පැටවුන් සිටියත් උන්ද ජීවත් වන්නේ සුළු ගොදුරු ලබමිනි. ඇතැම් පාලකයන් සිටිනා කාලේ සමහර දේවලට පරීක්ෂණ නතර කැරිණ. ඇනකොන්ඩා කතාවද එහෙමය. සුදු නයා හොරකම් කරපු සේවකයාට දඬුවම් ලැබුණේය. එහෙත් ලෝකයේ බරපතළ විස සහිත මිනිසකු වුවත් ඉතාම ක්ෂණයකදි මරණයකට පත් කළ හැකි ‘කොමඩෝ ඩ්‍රැගන්’ නම් සත්ත්වයා සතුන් වත්තෙන් පැන යන්නට තරම් නොසැලකිල්ලෙන් ක්‍රියා කළ සේවකයාට පරීක්ෂණ පැවැත්වුණේ නැත.

කොමඩෝ ඩ්‍රැගන් නම් මේ සත්ත්වයා නැදිමාලේ ඇළක සිට පසුව අල්ලා ගත්තේ ජනතාවගේ මඟ පෙන්වීම පරිදිය.

සතුන් වත්ත ගැන මට කියන්නට සිදුවුණේ සත්ත්ව හිංසාව නොව සත්ත්ව කරුණාව පැවැතිය යුතු තැනක සිදුවන තවත් හිංසාවන් ම කියාය. එහෙත් ඇතැමෙකු මෙය සතුන්ගේ සිර කඳවුරක් බව කියන කතාව මට එකවරම පිළිගත නොහැක.

මෙය සතුන් පිළිබඳ අධ්‍යාපන මධ්‍යස්ථානයකි. ඒ දැනුම අපේ දරුවනට බෙදන ගමන් සතුනට කාරුණික වීමද වැදගත්ය. වසරකට සාමාන්‍යයෙන් ජනතාව ලක්ෂ 13ක් පමණ සතුන් වත්ත නරඹන බව දැනගන්නට ඇත.

සතුන් කෛරහි දයාවෙන් කරුණාවෙන් සැලකීම අපේ මිනිස්කමට අගයකි. සතා, සීපාවා, ගහකොළට පෙම් බඳින සැබෑ කරුණාවන්ත මිනිසුනට කවරදාවත් වරදක් සිදු නොවේ. සතුන් වෙනුවෙන් ඔබ නඟන කඳුළ ‍ලෝකය ජීවත් කරවයි. කුඩා මී මැස්සකුගෙන් වවුලන්ගෙන් පවා ඊට උදාහරණ සැපයිය හැකිය. මී මැස්සන් නැති වුණොත් මිහිතලය අනාථය. හේතුව ගස් වැඩෙන්නේ පරාග පෝෂණයෙනි. මී මැස්සන්ගේ පාද තුඩග මේ පරාග පෝෂණයට උපකාරී වෙයි. ඊට අමතරව වවුලෝ හැමතැන ගෙඩි විසුරුවති. ගස් නැති ලෝකයක් මිනිස් වාසය අහිමි කරන බව කුඩා දරුවෝ ද දනිති.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »