දරුවන් පස් දෙනාම ලොකු මහත් කළේ මේ රස්සාවෙන්

2016-06-07 09:13:00       844
feature-top
ඇය පී.ඩී සිරියාවතී.වයස අවුරුදු හැත්තෑහයයි. පදිංචිය වැල්ලම්පිටිය ප්‍රදේශය. වසර හැටකට වැඩි කාලයක් තිස්සේ කොටුව බෝධිරාජ මාවතේ බුලත්විට විකුණන ඇය අපේ ඇස ගැසුණේ අහම්බයෙනි. කොටුව බෝධිරාජ මාවතේ බෝධීන් වහන්සේ සෙවණ කොටගත් බොහෝ සුළු ව්‍යාපාරිකයෝ හිදින්නාහ. ඇයද බෝධින් වහන්සේගේ සෙවණ ලබමින් වසර ගණනාවක් තිස්සේ බුලත් විට විකිණිමේ යෙදෙන්නීය.

මට අවුරුදු දහයක් විතර ඇති අම්ම‍ාගේ අතේ එල්ලිලා බුලත් විට විකුණන්න එද්දී‍. අපේ පවුලේ තව සහෝදර සහෝදරියෝ හිටියා .දැන්නම් ඒ කවුරුවත් ජීවතුන් අතර නැහැ. ඒ කාලේ කොළඹ හරි වෙනස්. මේ දැන් වගේ සෙනඟ නැහැ. අපි මේ ඉන්න තැනත් ඒ වගේ. දැන්නම් පිටකොටුවෙ ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනඟ. මට යාන්තමට වගේ මතකයි අම්ම ශත ගානටත් බුලත් විට විකුණනවා. ඒ කාගේ එහෙම වුණාට දැන් බුලත් විටක් රුපියල් විසිපහක් වෙනවා. දැන් බුලත් ගණන්. දුන්කොළ, පුවක් හැමදේම ගනන්. එත් මම මගේ රස්සාව කරගෙන යනවා.ඇය පවසන්නේ හිනැහෙමිනි.

ඇගේ වයස අවුරුදු හැත්තෑ හයක් වුවද ඇය බෙහෙවින් කඩිසරය.ඇගේ දෑත් ඊටත් වඩා කඩිසරය. ඇය විට ඔතන අතරේම විට මිලට ගන්නට පැමිණෙන අයට ඒවා විකුණයි.

මට දැන් ඔය පරණ දේවල් හුඟක් අමතකයි. මම කෙල්ල කාලෙත් මේ පිටකොටුවේ බුලත් විට විකුණුවා. මට ක‍ාගෙන්වත් කරදරයක් තිබුණෙත් නැහැ. මම කසාද බැන්ද කෙනත් සුළු රස්සාවක් කළේ. අපිට දරුවෝ පස් දෙනයි. අපි මේ රස්සාවෙන් තමයි දරුවන්ව ලොකුමහත් කර ගත්තේ. මගේ අම්මා මැරිලා අවුරුදු හතලිහකට වැඩියි. මහත්තයත් මැරිලා අවුරුදු අටක් විතර වෙනවා. මම හිතන්නේ අම්මා කාලයක් මෙතැන හිටපු නිසා තමයි මටත් කරදරයක් නැතිව මෙතැන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. දැන් මගෙ දරුවෝ ලොකුයි. ඒ ගොල්ලොත් සල්ලී කාරයන් නෙමෙයි. මම ඉන්නේ මගෙ නංගිගෙ දුව ළඟ. මම උදේ පහ විතර වෙනකොට මෙතැනට එනවා. මාකට් එකෙන් බුලත් පුවක් ගන්නවා‍‍. බුලත්අතක් රුපියල් එකසිය පනහක් එකසිය හතලිහක් විතර වෙනවා. පුවක් එක එක ගණන් වලට තියෙනා. මේ දවස්වල නම් පුවක් රුපියල් පහට හයට තියෙනවා. දුන්කොළ මිටියක් රුපියල් දාහයි.කාලයක් තිස්සේ මගෙන් විට ගන්න පුරුදු වෙච්ච අය ඉන්නවා. සාමාන්‍යයෙන් දවසට රුපියල් හයසියක් හත්සියක් සොයා ගන්න පුළුවන්කම තියෙනවා. වයසට ගියාට මම තවමත් බුලත් විට විකුණන්න එන්නේ දරුවන්ට කරදර කරන්න අකමැති නිසයි.

සිරියාවතී අම්මා එසේ පවසන්නේ තවත් බුලත් විටක් හැඩට ඔතන අතරේය.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »