අවීචි මහා නරකාදියේ වම් ඉවුරේ කළු තෙල් සමග ජීවත්වන මිනිස්‌සු

2016-06-03 10:36:00       672
feature-top
ගංවතුරේ දිග පළල ගැන අමුතුවෙන් කතාකළ යුතු නැත.. ඒ තරමටම මාධ්‍ය මගින් අපේ රටට පමණක්‌ නොව, මුලු ලෝකයටම මේ අසාධාරණ ගංවතුරේ හපන්කම් වාර්තා කළ සහ තවදුරටත් වාර්තා කරමින් පවතී..

ඒ අතර, බලයට කෑදර පක්‌ෂ විපක්‌ෂ දේශපාලකයෝ මාධ්‍ය බදාගෙන පදන් දොඩමින් සිටි අතර මිනිස්‌සු මිනිස්‌සුන්ට උදව් කළේය..

මනුෂ්‍යයෝ මොනතරම් හොඳදැයි සහ ඉතා සුළු පිරිසක්‌ මොනතරම් නරකදැයි කියාදුන් ගංවතුර, විශාල පිරිසකගේ ජීවිත, දේපළ පමණක්‌ නොව වර්තමාණයත්, අනාගතයත් දෙකම සෝදාගෙන බැස ගියේ මුලු රටේම ජනතාවට තවත් අපූරු පාඩම් ගණනාවක්‌ම කියා දෙමිණි..

ආණ්‌ඩුවට සම්බන්ධ සමහර ඇමතිවරු සහ මන්ත්‍රීවරු ගංවතුර ගැලූ ප්‍රදේශවලට පැමිණ තම තමන්ගේ ගෝල බාලයන් සමග දේශමාමක ජනතාව ගෙනා ආහාර, ජලය ඇතුලු ද්‍රව්‍ය බලෙන්ම වගේ රැගෙන ඔවුන්ගේ වගේ බෙදමින් අමු අමුවේ දැමූ බොරු ගොන්පාට්‌ මෙන්ම ඒකාබද්ධ විපක්‌ෂයේ කියාගන්නා කණ්‌ඩායම් ඒ අස්‌සේ අරයාට මෙයාට ඇඟිල්ල දික්‌ කරමින් සියලුදේ අහිමිව නන්නත්තාරවුණු ජනතාවගේ පිහිටෙන් ආණ්‌ඩු බලය ලබා ගැනීම සඳහා පසුබිම සකස්‌කර ගන්නා විළිලඡ්ජානැති ආකාරයද රටේ ජනතාව හොඳින්ම දැක බලා ගත්බව ඔවුන්ගේ කතා බහෙන් අපට වැටහෙන්නේ ය.. අප ඒ ගැන වැඩිදුර කතා නොකරමු.

ඊට වඩා කතාකළයුතු වැදගත් කාරණා බොහෝ ඇත.

තොටළඟ සේදවත්ත ප්‍රදේශයේ තුඩුගල මාවතේ 116 වත්තේ (කැලණිතිස්‌සගම) පදිංවිව සිටින පවුල් 250කට ආසන්න ප්‍රමාණයක ජනතාව මේ දිනවල ගතකරන ඉතාම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු රට කරවන මැති ඇමතිවරුන්ගේත් අවධානය වහාම යොමුවිය යුතුව ඇත.

අප විසින් සියෑසින් දකින ලද, අද අවීච් මහා නරකාදියේ වම් ඉවුර ලෙස සැළකිය හැකි 116 වත්තේ ජීවත් වන්නේ ඔබත් අපත් වන් අපේම රටේ අපේම මිනිස්‌සුය.

ගංවතුරෙන් වූ හානිය සුලුපටු නොවන බව සැබෑය. එහෙත් 116 වත්තේ ජනතාවට වී ඇත්තේ ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇන්නාට වඩා බරපතළ සිද්ධියකි.

ගංවතුරත් සමග පැමිණි විශාල දැවි තෙල් තොගයක්‌a මෙම වත්ත ඇතුලු ප්‍රදෙශයේ සියලුම ගෙවල් ඇතුලු මුලු ප්‍රදේශයම කළු පැහැ ගන්වමින් රැඳී සිටින්නේ යළි කිසිම දවසක මෙම නිවසක මනුෂ්‍යයකුට නම් නවාතැන් ගැනීමට නොහැකිවන පරිදිය..

සාමාන්‍යයෙන් විවිධ ප්‍රමාණයේ ගලින් බැඳි මෙන්ම ලෑලි ගසා හදාගත් ගෙවල් 100කට ආසන්න ප්‍රමාණයක්‌ ඇති 116 වත්තේ ජීවත්වන පවුල් සංඛ්‍යාව 200කට වැඩිබව ඔවුන් පවසති.

හිමිදිරි පාන්දර, මෙම වත්තේ උදවිය තද නින්දේ සිටියදී පැමිණි වතුර කඳ එක්‌වරම තම ගෙවල් යටකර ගෙන ගලා ආ නිසා දරුවන්ගේ සහ තමන්ගේ ජීවිත පමණක්‌ බේරාගෙන ඇඳි වත පිටින් රේල්පාරට ගොඩවුණු මේ මිනිසුන්ගේ හැඳුනුම්පත්, උප්පැන්න සහතිකය, පාසල් දරුවන්ගේ පොත්පත් සහ පාසල් උපකරණ ඇඳුම් පැළඳුම්, වළං, පිඟන්, ඇඳ, පුටු, මේස ඇතුලු සබ්බ සකලමනාවම ගං දියෙන් තෙමී කළු තෙලෙන් නැහැවී විනාශවී ගොස්‌ ඇත.

අප මේ වත්තට යනවිට ගංවතුර බැස ගොස්‌ තිබූ අතර පළාතම කලු දැවි තෙලෙන් නැහැවී ඒ අසළම ඇති කුණු කන්දෙන් සහ වෙනත් ප්‍රදේශවලින් ගසාගෙන ආ කලු තෙලෙන් නැහැවුණු අප්‍රසන්න කැළි කසළ තොග ගනනක්‌ මේ වත්ත මුලුමනින්ම වසා පැතිර අවීචි මහා නරකාදියේ පිටපතක්‌ ලෙස පෙනෙන්නට තිබේ... මේ වත්ත හෝ නිවාස නැවතත් සුද්ධ පවිත්‍ර කිරීම කළ හැකිදැයි අපට සිතා ගැනීමට නොහැක.

මේ වත්තට කළු දැවි තෙල් පැමිණියේ කෙසේදැයි අදටත් පිළිතුරු නැති පැණයකි. ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණය අසළ ඇති 116 වත්තේ පදංචි කරුවන් එකහඬින් පවසන්නේ මෙම තෙල් ගබඩා සංකීර්ණයෙන් මෙම කළු තෙල් එවා ඇති බවයි..

"මහත්තයෝ මේ වත්තේ අපි පරම්පරා ගතව ඉන්න මිනිස්‌සු.. අපිට ගංවතුර ප්‍රශ්නයක්‌ නෑ.. අපි මීට ඉස්‌සරත් ගං වතුරට මුහුන දීලා තියෙනවා.. ගංවතුරත් එක්‌ක එන මඩ ගංවතුර බහින කොටම අපි ඒ වතුරෙන්ම සෝදලා යවනවා.. ඊට පස්‌සෙ අපි ආයෙත් මේ ගෙවල්වලම පදිංචි වෙනවා.. ඒක අපිට හුරුයි.."

"ඒත් මේ අපරාදෙ නම් අහස පොළොව උහුලන්නෙ නෑ.. අපිට හිතන්නෙ මේක ඕන කමෙන්ම කළ වැඩක්‌ කියලා. දැන් අපි ඉන්නෙ කොහෙද මේ දරුවොත් එක්‌ක..? ගෙවල් සෝදලා මේ කළු තෙල් යවන්න බෑ.. ජනාධිපති තුමාට හරි අපේ මේ දුක පෙන්නලා අපිට ඉන්න තැනක්‌ හදල දෙන්න මහත්තයෝ... පින් සිද්ධ වෙනවා.." හිතේ ඇති වේදනාව වචනවලට පෙරළමින් ආර්. ඒ. විනීතා මහත්මිය අපට පැවසීය..

(මෙම දැවි තෙල් මෙම නිවාසවලට පැමිණිම පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට අදාළ ඉහළ නිලධාරීන්ගෙන් වීමසීමට අප විවිධ උත්සාහයන් ගත්තද ඒ කිසිවකු අපට ප්‍රතිචාර දැක්‌වූවේ නැත. ලේකම් තුමියට අදාළයි පැවසෙන 0112564968 අංකයෙන්ද ප්‍රතිචාරයක්‌ නොලැබුණු බව කරුණාවෙන් දන්වා සිටිමි..)

සුජීව රත්නායක පවසන්නේ "මහත්තයෝ මේ බලන්න. කැළනි දුම්රිය මාර්ගයේ ඔරුගොඩවත්ත තෙල් ගබඩාවට කිට්‌ටුව රඡ්ජුපිටිය බෝක්‌කුව තමයි මේ තියෙන්නේ.." දුම්රිය මාර්ග තුනක්‌ යටින් දමා ඇති කැළි කසළ පිරුණු දැවැන්ත බෝක්‌කුවක්‌ පෙන්වූ සුජීව ඔහුගේ අදහස්‌ මෙසේ පැවසුවා..

"කෙළින්ම මේ බෝක්‌කුවෙන් තමයි අපේ වත්තට වතුර උතුරන්නේ.. පහු ගිය ආණ්‌ඩුවෙන් ඇවිදින මංතීරුවක්‌ මේ රේල්පාරට පහළින් හදන්න ගත්තා. ඔය දිගටම ගොඩ කරලා තියෙන්නෙ ඒක. එතකොට මේ බෝක්‌කුවෙන් වතුර යන එක නැවතුණා. මේ ලොකු බෝක්‌කුවෙන් එන වතුර යවන්න ඇව්දින මංතීරුව යටින් පුංචි බෝක්‌කු කටවල් දෙකක්‌ දැම්මෙ.. ඒක හොඳටම මදි. දැන් ඒකත් හිරවෙලා..

ආණ්‌ඩු පෙරළියත් එක්‌ක ඇවිදින මං තීරුව නැවතුණා.. දැන් මේ මහ බෝක්‌කුව පොඩි වැස්‌සටත් උතුරනවා.. ඉස්‌සෙල්ලාම යට වෙන්නේ අපි.. මේ බෝක්‌කුවෙන් වතුර නිදහසේ බැහැල යන්න තිබ්බනම් අපිට මෙච්චර අපරාදයක්‌ වෙන්නේ නෑ.. ඇයි මහත්තයෝ අපි මිනිස්‌සු නෙවෙයිද..? මේ පේන කුණු කන්ද වගේ අපිත් කුණුද? අපේ දරුවෝ දරුවෝ නෙවෙයිද? අනේ මහත්තයෝ අපිව මේ අපායෙන් ගොඩ ගන්න කියල පත්තරේට ලියන්න මහත්තයෝ.." දුක වේදනාවට අමතරව ඔහුගේ හඬ තුළ සාධාරණ කෝපයක්‌ද ඇතැයි මට සිතිණි..

"මෙතන තියෙන කුණු කන්ද, හැමදාමත් අපිට කරන්නෙ කරදරමයි.. අපේ පොඩි අයට හැමදාම ලෙඩ හැදෙනවා.. බළධාරීන්ට කොච්චර කිවිවත් වැඩක්‌ නෑ. අපි ගැන කවුරුවත් බලන්නෙ නෑ.. අර එහා පැත්තේ තියෙන්නෙ පුද්ගලික ආයතනයක්‌. ඒකත් අනවසරයෙන් ගොඩ කරල හදපු බිල්ඩිමක්‌.. ඒගැන කවුරුවත් සොයා බලන්නේ නෑ.. කොළඹ ප්‍රදේශයේ ..... මංත්‍රී ඇවිත් අද හෙටම අපිට වෙන තැනකින් ඉන්න ගෙවල් හදලා දෙන්නම්, අපේ ප්‍රශ්න විසඳලා දෙන්නම් කියලා ගියා.. ඊට පස්‌සෙ පැත්ත පළාතෙ ආවෙ නෑ... සල්ලිවලට ඔක්‌කොම යටයි මහත්තයෝ.." නම හෙළි කිරීමට අකමැති අයෙක්‌ පැවසුවේ එම කතාවයි.. මේ දුක්‌ කතා තව කොතෙක්‌ ලීවත් දුක විනා සැනසීමක්‌ දැනෙන්නේ නැත.

එහෙත්, ඛනිජ තෙල් සම්බන්ධ ඇමතිවරයෙක්‌ මේ සිද්ධියෙන් පසුව එක්‌තරා ගුවන් විදුලි නාලිකාවකින් ප්‍රකාශ කලේ කළු තෙල් ප්‍රශ්නයක්‌ නැති බවත් එය නිකම් කට කතාවක්‌ බවත්ය.. ඒ එතුමාගේ දැණුමේ තරමය.. අප එතුමාට පවසන්නේ 116 වත්තට ගොඩවන්නට අකමැතිනම් ඒ අවට ඇති නිවාසවලට හෝ ගොඩවී බලන ලෙසයි..

අපි ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමා ඇතුලු අදාළ බළධාරන්ගෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉල්ලීමක්‌ කරමු. මේ විපත් සහගත අවස්‌ථාවක්‌ බව සැබෑය. ගංවතුරට, නාය යැමිවලට හසුව අපේ රටේ අපේම ජනතාව විශාල පිරිසක්‌ අසරණව සිටින බවද සැබෑය.. ආණ්‌ඩුවට කළ හැකි සීමාවක්‌ තිබෙන බවද සැබෑය.. අප මස්‌ රාත්තලම දීමට යොජනා කරන්නේ නැත.

එහෙත්, 116 වත්තේ මිනිස්‌සුන්ට මේ කළු තෙල් ප්‍රශ්නයෙන් ගැලවී යන්නට කිසිම හැකියාවක්‌ නොමැතිබව අප ඇස්‌ දෙකෙන්ම දුටුවේය. එනිසා ඔවුනට ඉන්නට තැනක්‌ වහාම අවශ්‍යව ඇති හෙයින් ඔවුන්ගේ අසරණ දරුපැටව් වෙනුවෙන් හෝ අද හෙටම කොහෙන් හෝ නවාතැනක්‌ සදා දීමට මූලිකත්වය දෙන ලෙස අපි මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු..

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »