හැම දෙයක්ම වතුරේ ගියා ඉස්කෝලේ යන්න විදිහක් නෑ

2016-06-02 01:47:00       671
feature-top
ගං වතුර ඇවිත් යන්නට ගියේ ය. ඒ ලොකු පොඩි සැමටම අලුත් දිවියක් ගෙවන්නට රුදුරු අණක්ද දෙමිනි. හිතන්නට බොහෝ දේ ඉතිරිව ඇතත් තවමක් එළියක් වැටෙන සලකුණක්වත් දකින්නට නොමැති මේ ජීවිත ගෙවෙන්නේ තවමත් අඳුරේය. පුංචි පැටවුද බලා ගත් අත ඔහේ බලාගෙන සිටිති. සට සට ගා දෙනෙතින් කඩා හැෙලන කදුළු බිඳු බොහෝ දේ කියන්නට වෙර දැරුවත් ඒවා මුවින් පිට කිරීමට ඔවුනට අවසර නැත. සුදු ඇඳුම් ඇඟලාගෙන එහා මෙහා යන පුංචි එවුන් දෙස බලා සිට හූල්ලනවා විනා වෙන දෙයක් කරන්නට මේ පැටවුන්ට ශක්තියක් නැත.

දිගු සිහිනයක් දැක අවදි වූවා සේ මේ පුංචි පැටවුන්ට අද ඉතිරිව ඇත්තේ පාසල් කාලයේ රසබර අතීතය පමණි. සිදු වූ දේ සිතා ගන්නටත් නොහැකි ලෙස මේ දරුවන් අකුරු කළ යුගය මහා ගං වතුරත් සමඟ ගසා ගෙන ගොස් හමාරය. ආදරයෙන් තුරුලු කරගත් පොත් බෑගය මහා ගං වතුරත් සමඟ නොපෙනෙන ඉමක් කරා ගසා ගෙන ගොස් ඇත. වට රවුම් අකුරින් හැඩ වැඩ කළ පොත පත මහා ගං වතුරට දියවී ගොස් හමාරය. පාසල් යන්නට හැඩ වැඩ වුණු සුදු ඇඳුම කළු පැහැ ගැන්වී ඇත. රට වටේ දුවමින් කළ හපන්කම් වෙනුවෙන් ලද සහතිකපත් තිබූ ඉසව්වක් වත් සොයා ගන්නට නොමැත. ගං වතුර වඩාත් රුදුරු වුයේ පුංචි පැටවුන්ටය. පුංචි මල් වැනි මේ සිත් පිත් ගං වතුරින් තළා පෙළා දමා ඇත්තේ කිසිදු හිතක් පපුවක් නැත්තා සේය..

රටේ තොටේ ගං වතුරින් අනාථ වූවන් බොහෝමයක්ම දිගු නින්දෙන් අවදි වූවා සේ දැන් සැරසෙන්නේ නොපෙනෙන මානයක වූ දිවියක් අරඹන්නටය. එහෙත් එය ඔවුනට තවමත් සිහිනයකි.

අම්මේ මම ඉස්කොලෙ යන්නැද්ද? ..නොගියොත් ටීචර් බණියිනේ!

අනේ මගේ පොත් ටික කෝ? මම දැන් ඉස්කෝලෙ යන්නේ කොහොමද? ගංවතුරින් අනාථ වූ මේ ජීවිත නැවතත් මැරි මැරී උපදින්නේ දරුවන්ගේ මෙවන් වදන් හමුවේය.

මහා ගංවතුර තර්ජනයන්ට ලක්වූ කොළඹ තදාසන්න ප්‍රදේශ වන වැල්ලම්පිටිය, කොළොන්නාව, කඩුවෙල, කැලණිය මෙන්ම රට වටේම පුංචි එවුන්ට පාසල් දොරගුළු වැසී ඇත්තේ පාසල් ඇඳ ගෙන යන්නට සුදු ඇඳුමක්තියා පාට ඇඳුමක්වත් නොමැති නිසාය. ලියන්නට කිසිදු පොතපතක් නොමැති නිසාය. ඔවුන්ගේ පාසල් පොත් බෑග පිටින්ම ගසා ගෙන ගොස් තිබූ නිසාය.

මගේ දරුවෝ දෙන්නා ඉගෙන ගත්තේ ප්‍රෙස්බිටේරියන් විදුහලේ. ලොකු දුව මේ ගමන සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. පොඩි දුවත් හතරේ පන්තියේ හොඳට ඉගෙන ගන්නවා. ඒත් අද මේ දරුවන්ගේ කිසිම පොතක් ඉතුරු වෙලා නැහැ. දරුවො දෙන්නා ඉගෙන ගන්න පොත් වතුරට දියවෙලාම ගිහින්. අද ඒවා එකතු කරලා කුණු ගොඩට දැම්මා. දරුවන්ගේ සහතික හොයා ගන්නවත් නැහැ. පාන්දර නැගිටින කොට වතුර මට්ටම වහල උසට ඇවිත්. දෙපාරක් හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. දරුවො දෙන්නගේ ජීවිතයි වටින්නේ. ඒත් දැන් අපිට දරුවෝ ඉස්කෝලෙ යවන්න විදියක් නැහැ. ඉස්කෝලෙ මැඩම් කිව්වා දරුවන්ව පාට ඇඳුම් අන්දලා හරි එවන්න කියලා. ඒත් දරුවන්ට පාට ඇඳුමක්වත් නැහැ. අද මගේ දරුවෝ හරිම අසරණයි. දරුවන්ගේ හැම දෙයක්ම හොරු අරන් ගියා වගේ. ඉනෝකා චාන්දනි පවසයි. සිය ජීවිත මෙන්ම දරුවන්ගේ ඉගෙනීම කොතැනින් අරඔන්නට දැයි ඇයට නොතේරේ. අද ඉනෝකා වැනි සුවහසක් දෙමවුපියන් ළතැවෙන්නේ රුදුරු ගංවතුරෙන් දරුවන්ට ලියන්නට පෑනක්, පැන්සලක් හෝ මකනයක් පවා ඉතිරි කර නොමැති තැනය. ඉනෝකාගේ මෙන්ම බොහෝ දෙමවුපියන්ගේ දරුවන් අකුරු කළ පොත් පත් අද කසළ ගොඩට එක්වි හමාරය. උපන් දා සිට දරුවන්ට අලුත් ලෝකයක් තනන්නට වෙර දරන දරන මොවුනට අද අලුතින්ම නැගී සිටින්නට සිදූවී ඇත.

අපේ දරුවො දිහා බලන්න මේ වෙන තෙක් කිසිම කෙනෙක් ආවේ නැහැ. දරුවන්ට පොත් පත් එකතු කරනවලු. අලුත් පොත් පත් ඇඳු‍ම් දුන්නලු. අනේ අපිට නම් මේ වෙනකම් පොත් පත් තියා කන්න බොන්න දෙයක්වත් ලැබුණේ නැහැ. ඒ ගොල්ලන්ගේ පොත්පත් නැතිව දරුවෝ අඬනවා. දරුවෝ අඬනකොට අපිත් අඬනවා. ඒ ගොල්ලො සනසන්න අපි ළඟ කිසිම දෙයක් නැහැ. අඩුම තරමින් එකතු කරපු පොත්පත් ටිකක් වත් ලැබුණොත් ඉස්කෝලෙ යන්න මේ දරුවන්ට හිත හදා ගන්න පුළුවන්. ඒ ෆාතිමා ය.

ෆාතිමා මෙන්ම දරු දුක ඇති ඔවුන්ට හඬන්නට කදුළු නැත. අඬ අඬ ඉඳලා දැන් මොනවා කරන්නද. අපිට දැන් නැතිවෙන්න තවත් දෙයක් නැහැ. මේක අපිට විතරක් ඇතිවුණු දෙයක් නෙමේ නිසා කොහොම හරි නැගිටින්න උත්සහ කරනවා. ඒත් මේ දරුවන්ට අනාගතයක් තියෙන්න ඕනෑ. අපේ දරුවන්ගේ ඇස් පාදන්න කවුරු හරි උදව් කළොත් ලොකු පිනක්. ෆාතිමාගේ පවසන්නීය.

ගංවතුරින් මේ පුංචි එවුන්ගේ පොත පත පාසල් ඇඳු‍ම අහිමි කළද පාසල් අහිමි වූයේ නැත. හෙට දින කවරකුගෙන් හෝ පොත පත ලැබී පාසල් ගියද සිදුවූ අමිහිරි මතකයන් අමතක කිරිමට මේ දරුවන්ට නොහැක. සිදුවූ වේදනාබර අතීතයට තිතක් තබා විභාගයට මුහුණ දිම මේ දරුවන්ට ලොකු අභියෝගයකි. මම මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. ගංවතුරින් මගේ කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. පොත් බෑග් එක බලාගෙන ඉන්දෙද්දි වතුරේ ගහගෙන ගියා. අවුරුදු ගානක් ලියපු නෝට්ස් විතරක් නෙමේ ගත්තු සහතිකත් වතුරේ පෙනි පෙනී ගහගෙන ගියා. ඒ දුක වචනයෙන් කියන්න බැහැ. යාළුවො උදව් කරයි. ඒත් මම කොහොමද හිත හදාගෙන පාඩම් කරන්නේ. කිසිම කෙනෙක් මේ වෙනකම් අපිට පොතක්වත් කන්න බොන්න දෙයක්වත් දෙන්න ආවේ නැහැ...... ඒ දිනේත්‍රි නිමංජිය. දිනේත්‍රි වැනි දරුවන් අද බලා සිටින්නේ ඉගෙන ගන්නට පොත් හෝ ලැබෙනකම්ය.

අපිට රජයෙන් අච්චු පොත් දෙනවලු. ඒත් තාම ලැබුණේ නැහැ. මේ පුංචි එවුන් හඬඟා කියන්නේ රජයේ මාමලාටය.

අවසානයේ බිත්ති හතර පමණක් ඉතිරි වූ මේ පිරිසට තවත් නැති වෙන්නට දෙයක් ඉතිරිව නැත. දරුවන්ගේ පොතපත පමණක් නොව ගෙදර තිබූ සියල්ල කසළ ගොඩක් බවට පත්ව ඇත. ඇඳ පුටු අල්මාරි විදුලි උපකරණ පමණක් නොව කන බොන පිඟාන පවා කසළ ගොඩට එක්වී හමාරය. අවසානයේ තමන්ට උරුම වූ බිත්ති හතර පමණක් හෝ සුද්ද පවිත්‍ර කර අලුත් ජීවිතයක් ගැට ගසා ගන්නට මේ ඇත්තනට ඇවැසිය.

අපි නැති බැරි උදවිය ‍නොවේ මහත්තයෝ. මගේ දරුවා යන්නේ ජාත්‍යන්තර පාසලකට. අද දරුවගේ කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. මගේ දරුවා ඒවා තාම දන්නේ නැහැ. එයා ආච්චිලාගේ ගෙදර ඉන්නේ. මම අවුරුදු පහක් රට හිටියා දරුවො වෙනුවෙන්. අවුරුදු පහේම හම්බකරපුවා එක දවසෙන් නැතිවුණා. අපේ විතරක් නෙමේ දරුවන්ගේ අනාගතයම විනාශ වුණා. දරුවා ඉස්කෝලෙ යවන්න ඕනැ. ඊට කලින් තියෙන හැටියට ගේ අස්කරගන්න ඕන. ඒ සහජාන්ය. දුකේ සැබැ ප්‍රතිරූපය දකින්නට මේ දසුන් හොඳටම ප්‍රමාණවත්ය.

කඳවුරකට නොගොස් දිවි ගැට ගහ ගන්නන්ට ගංවතුර ආධාර කිසිවක් ලැබෙන්නේ නැත. සියල්ල පොදි පිටින් යන්නේ එකම තැනකට බව බොහෝ දෙනා චෝදනා නඟති. වැල්ලම්පිටිය, කොළොන්නාව, කැලණිය ආදි ප්‍රදේශවල බොහෝ දෙනා මැරි මැරි ඉපදෙති. ඒ සියල්ල පසුපස සුළු ලාභය තකා කටයුතු කරන අවස්ථාවාදීහූ‍ද ඕනැ තරම්ය. වැල්ලම්පිටිය ඇතුළු මේ ප්‍රදේශවල අද ගජරාමෙට විකිණෙන්නේ නිවෙස් පිරිසුදු කෙරෙන කොහු ඉදල්ය.

ඇතුළටම ඇවිත් බලන්නකෝ අපේ ගෙවල්වල ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මේ ගෙවල් ආයිත් ගොඩගන්න බැරි තරමට විනාශ වෙලා. අපේ නෑයො තමයි අපිට උයලා කන්න බොන්න දෙන්නේ. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් දුක කිව්වා. අඳින්න ඇඳුම් ඉල්ලුවාම කියනවා ඒවා දෙන්න නම් කඳවුරුවල ඉන්න ඕනෑ කියලා. සමහර තැන්වල දරුවන්ට පාසල් බඩු බෙදලා තියෙනවා. ඒත් වැල්ලම්පිටියේ ලංසියා වත්තේ කාටවත් ලැබුණේ නැහැ.අපි ඉස්කෝලෙ විදුහල්පති සර්ට කිව්වහම සර් කිව්වේ ග්‍රාම සේවක ළඟට ගිහින් ලියාපදිංචි වෙන්න කියලා. පොතක් පතක්වත් නැතුව කොහොමද අපි මේ දරුවන් ඉස්කෝලෙ යවන්නේ. දුන්නොත් දෙයක් ගන්නවා ඇරෙන්න කටක් ඇරලා ඉල්ලන්න අපිට බැහැ. ආණ්ඩුවට තමයි සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්. ඒ තවත් පියෙකි.

ගංවතුර හරහා බොහෝ දෙනාට බොහෝ දේ මෙන්ම අත්‍යවශ්‍ය දේත් නොලැබුණු බව අවිවාදයෙන් පිළිගැනීමට සිදුව තිබේ. ගංවතුර සැමට සැලකුවේ ලොකු පොඩි බේදයක් නොසලකාය. බොහේ දෙනා ගංවතුර වෙනුවෙන් ආධාර කළේද උතුම් මනුෂ්‍යත්වය වෙනුවෙනි. එහෙත් මනුෂ්‍යත්වය වෙනුවෙන් පිදූ ආධාර අද තැනින් තැනය. අද අවශ්‍ය වන්නේ නොලැබුණු තැන් කරා ඒ ආධාර ගලා යෑමය. මල් වැනි මෙම දරුවන්ගේ අනාගතය ගොඩ නැඟිය යුතු වන්නේ අපමය. රටේ අනාගතයද ගොඩ නැඟිය යුතු වන්නේ ද අපමය. හෙට දින රටට පූදින්නට වෙර දරන මල් වැනි දරුවන් රැක ගැනීමේ වගකීම ඇත්තේද අප අතේය. රට දරුණු ව්‍යසනයකට පත්වූ මොහොතක මනුෂ්‍යත්වයේ නාමයෙන් පිස ගත් බත් පත පිදුවා සේ පාසල් යන්නට පොතක් පතක් ඉල්ලන මෙම දරුවන්ටත් පිහිට වීම ඔබේත් අපේත් යුතුකම වන්නේ ය.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »