ගංවතුරේ සැඟැවුණු කඳුළු

2016-05-30 10:29:00       677
feature-top
තමන් ජීවිත කාලයක් පුරා උදේ හවා දුටු කඳු වළල්ල තම නෑසියන්, හිතවතුන් නැති කැර ගෙවල් දොරවල් ද සමතලා කරමින් බිමට පාත්වෙතැයි ඔවුහු කවරදාවත් නොසිතූහ. තමන්ට පිරිසුදු පානීය ජලය ලබාදෙන රිදී දිය කඳුරු හා දිය උල්පත්වලින් සාර ඒ රමණීය කඳු පියස දෙස බැලු ඇතැම් ගැමියෙකු ඉරිමා උදයේම පිබිද කන්දේ දෙවියන්ට වැඳ දවසේ කටයුතු ආරම්භ කළ හැටි ද අපට මතකය. කන්දේ දෙවියන්ට බාරහාර වූ දේවාල තැනු ඇතැමෙක් ද ඒ අතර සිටිති.

ගංවතුරේ ගසා ගිය ඒ ජීවිතවල දෝංකාරය දැන් ඔබට ද අතැඹුලක් සේ දැනෙන්නේය. අරණායක එළඟිපිටිය, රාමසර කන්ද, බුලත්කොහුපිටිය, කඩුවෙල මේ හැම තැනෙකම වූ ඇඳිවත පමණක් හිමි වී අසරණව අවතැන් වූ ජනතාවගේ ශෝකාලාපය ඔබ දැන් මාධ්‍ය හරහා බොහෝ සේ කියවා ඇති බව අපි දනිමු. එහෙත් ඒ දන්නා දේ අතර නොදන්නා දේ ගැන ද විපිලිසර වෙමින් ඒ හෘදයාංගම තතු විත්ති බලමින් හද සසල කළ අප්‍රකට කතා ලියන්නට අපට සිතේ. මේ මහා සැඬ වතුරේ ගසා ගිය පාසල් දරුවන්ගේ උප්පැන්න, බෑග්, පෑන්, පැන්සල්, පාසල් ඇඳුම් හා ඔවුන්ගේ මාපියන්ගේ ගේ, දොර, ඉඩමේ ඔප්පු තිරප්පු, සැම හා ගෙතුණු අනුවේදනීය පුවතට එහා ගිය යමක් අපි ඔබට කියමු.

අරණායක සාමසර කන්දේ සිදුවූ තවත් සංවේගදායි පුවතක් මට ඇසිණ. මේ සියලු සිදුවීම් අනුවේදනීය වූවත් මේ සිද්ධියේ තාත්තා කඩපිලට ගොස් සිටියදී තම අඹු දරුවන් යට කරගෙන මහ කන්ද නිවසත් සමතලා කරගෙන බිමට පාත්වී තිබේ. දරුවන් නැති සොවින් කලෙක පටන් දේවාල පල්ලි පන්සල් ගානේ බාරහාර වූ ඒ යුවළට සිටියේ අවුරුදු 1 1/2ක සිඟිත්තෙකි. හුරතල් බස් තෙපළමින් සිටි මේ පුංචි පුතා එදා අම්මාත් සමඟම පස් යට සැඟැවුණේය. පියා තමන්ගේ නිවෙස පිහිටි ඉසව්ව පස් කන්දකින් වැසි ගිය හැටි සහන කණ්ඩායම් නායකයන්ට පෙන්වමින් හිස් අහසට අත් ඔසවා කිරි දරුවකු මෙන් හැඬීය.

සහන කණ්ඩායම්වල භට පිරිස් ඒ ස්ථානය හාරන විට තම පුංචි එකම දරුවාගේ මළසිරුර හමු විය. ඔහු ඒ සිරුර මල් වට්ටියක් මෙන් අතට ගෙන හඬමින් ඒ මේ අත දිව්වේය. අනෙකුත් සිරුරු සමඟ ඒ බිලිඳු සිරුර වළ දාන විට ඒ තාත්තා නොසිටියේය. මේ මොහොතේත් ඒ තාත්තා කොහිවේදැයි නිසැකවටම කියන්නට කාටවත් බැරිය.

මේ ඉතා හෘදයාංගම පුවතකි. නාය යාමට හසුව මියගිය එක්තරා කුඩා පවුලකි. ඒ පවුලේ අම්මා, තාත්තා, අක්කා, මල්ලිලා දෙදෙනා හා ඥාති මාමා කෙනෙක් ද වූහ.

පවුලේ බාල දරුවා (මල්ලි) අක්කාට හඬ ගෑවේ, අක්කේ එන්න ප්ලේන් එකක් කන්දට එනවා කියමිනි. ඒ කන්ද බුර බුරා නාය යන්නට මුලින් නැඟුණු ශබ්දයයි. ගැමියන්ගේ කතාවලින් එය පැහැදිලිය. මෙය ඇසුණු ගෙතුළ සිටි මාමා දරුවනට කෑ ගැසීය.

ගේ ඇතුළට වෙන්න මොකක්ද? අමුතු ශබ්දයක් යැයි කියමිනි. කන්දේ පස් දෙගොඩ තලාවිත් ඒ ගෙදර පැත්තක්ම වැසී ගියේය. රූපවාහිනිය තිබු අබියස වැටුණු මුලින් කියැවුණ ඇමතුම ලැබු අක්කා ගල් පස් අතර හිර විය. ඇගේ අත්පා හා ශරීරය ගෙදර කැබිනෙට්ටුව පෙරැළී ගල් හා පස් සමඟ තද විය. යම්තම් මුහුණ හා කෙස් රොදක් පමණක් පස් අතරින් ඉහළට පෙනෙන්නට තිබිණ. මල්ලී හා ගෙදර පියා පස් අතර මිහිදන් වූහ. අම්මා හා අනෙක් මල්ලී ගෙදර පසුපස කොටස පසින් නොවැසුණු නිසා බේරිණ. ඥාති මාමා ද බේරුණේය.

ඔහු සහන කණ්ඩායම් වෙත දිව ගියේය. යුහුසුලුව ක්‍රියාත්මක වූවත් අවු. 16ක පමණ මේ වසරේ සාමාන්‍ය පෙළට පෙනී සිටින සෞම්‍යා නම් මේ දැරිය පස් ගල්වලට යට වී ඇති අන්දම දුටු ඔවුනට ඇය බේරාගැනීම සඳහා මහත් සටනක් කරන්නට සිදු විය.

දැරිය හඬ ගා ඥාති මාමාව තමා බේරාගන්න යැයි කීවාය.

මාමා එබසට දුවේ, අපිත් යට වුණත් දුව දාලා යන්නෙ නෑ. බේරාගන්නවා. කියමින් ඇය අස්වැසුවේය. සහන කණ්ඩායම්වලට ඇය බේරා ගැනීමට ඇගේ යට වූ හිස පිටුපස පසින් මතු කැර ගැන්මට ඇගේ දිගු කොණ්ඩය කැපීමට අවශ්‍ය විය. කතුරක් පිහියක් සොයා ගත නොවුණු නිසා ඒ කෙස් රොද කැපුණේ වක් පිහියකිනිි.

ඒ දරුවා දැන් සුවපත් වෙමින් සිටියි. ඇගේ පියා හා මල්ලී නායට හසුවීමෙන් මිය ගියහ.

ඒ නායයාම්වල දහසක් මිනිසුන් අසරණ කළ කතාවේ තෝරා ගත් පුවතකි. දැන් මා ඔබට කියන්නට යන්නේ කැලණි ගඟ පිටාර යාමෙන් මහ ගංවතුර ගලා ඒමෙන් වැල්ලම්පිටිය කොලොන්නාව ප්‍රදේශවාසීන් අතර සිදුවූ දුක්මුසු සිදුවීම් කීපයකි.

මෙහි ජීවත්වන ජනතාවගෙන් බහුතරයක් ධනය යහමින් ඇත්තෝ නොවෙති. එදිනෙදා යමක් කැර ජීවනෝපාය සලසා ගත් පිරිස් බොහෝය. පාසල් වෑන් රථයක් එළවා හෝ ත්‍රිවිලරයක් කුලියට පදවා ජීවිතය ගැට ගසා ගත්, කඩයප්පන් සාදා කඩ පොඩිවලට දමා කීයක් හෝ සොයා ගත් බොහෝ දෙනාගේ ගේ දොර දැන් ගංවතුරට යටවෙලාය. ඔවුන්ගේ ජීවන ක්‍රමයන් ඒ වතුරේ ම ගිලී ගොසිනි. කුඩ්ඩන් ජයට ම වැඩ පටන්ගෙනය. එහෙත් කොළොන්නාව වැල්ලම්පිටිය පොලිසි මේ වන තෙක් කිසිම ගංවතුර හොරෙකු අල්ලාගෙන නැත. ඇඳිවත පමණක් හිමි ඇතැම් පවුලක් අපිරිසුදු ගංවතුරේ පීනාගෙන දුර බැහැර ඥාතී නිවෙස්වලට ගොස් එනවිට ගේ මිදුලේ ඉඩ ඇති පුංචි කොනක නවතා තිබූ ත්‍රිවිලරයේ රෝද තුන ම ගලවා ගෙන ගොස් තිබිණ.

කොළඹ පත්තර කන්තෝරුවක දිගුකාලයක් සේවය කළ දැනට විශ්‍රාමික නෞෂාඩ් මොහිදීන් මහතා අපට අපූරු කතාවක් කියයි.

මීට අවුරුදු 15 කට පමණ පෙරයි මං පුංචි ගේ දොරක් හදාගෙන මෙගොඩ කොළොන්නාවට ආවේ. මේ කාලය තුළ විටන් විට පොඩි පොඩි ගංවතුරට අපිත් කොටු වුණා. මහ වැස්සක් ආවා ම මෙහෙම වතුර ඇවිල්ලා දවස් දෙක තුනකින් බැහැලා යනවා. ඒත් ගිය සඳුදා (16 දා) ආපු ගංවතුර සතියක් ගිහිල්ලත් බැස්සෙ නෑ. තාමත් තැන් තැන්වල වතුර. මගේ ගෙදර සියල්ලම යටවුණා. සියලු බඩු මුට්ටු වතුරේ. පොඩි ගෙදරක් වුණාට මං උඩ තට්ටුවක් හැදුවා. ඒකෙ මාත් මගෙ තරුණ දූවරු දෙන්නත් මගෙ බිරියත් කොටුවෙලා හිටියා. අපට කෑම බීමවත් නැතිව දවස් 1 1/2 ක් විතර හිටියා. නාවික හමුදාව සහන කණ්ඩායම් ප්‍රධාන පාර ළඟින් එහාට මෙහාට බෝට්ටුවලින් යනවා. මං ඉන්නෙ ප්‍රධාන පාරේ සිට මීටර් 200 ක් විතර ඈත තවත් කුඩා ගෙවල් සමූහයක් මැද්දෙ. මහ ගංවතුරට මේ ගෙවල් සියල්ල ම යටවුණා. ඒ මිනිසුන්ගෙ පොඩි පොඩි කඩ, ත්‍රිවිල් බඩු මුට්ටු වතුරේ ගහගෙන ගියා. දවස් දෙකක් විතර ය‍න‍කොට අපට තේරුණා මෙහෙම ඉඳලා වැඩක් නෑ. මැරුණත් මේ වතුරට බැහැලා කොහොම හරි ගිහින් නෑ ගෙයකටවත් යන්න ඕනෑ කියලා. මං එච්චර උස මිනිහෙක් නොවේ. අඩි 5 යි අඟල් 2 යි. මගෙ බිරියත් දරුවොත් එහෙමයි. මගෙ පුතා පිටරට. එයා යන්තම් මේ කරදරෙන් බේරුණා. ඇඳගෙන සිටි ඇඳුම් මාරු කරගන්නවත් අපට ඇඳුම් නැතිව ගියා. මං මීටර 200 ක් විතර ඈතින් ගිය බෝට්ටුවකට කෑ ගැහුවා. ඒත්, ඒ අය කියලා කී දෙනෙක් බේරගන්නද? මගේ පොඩි දූට අවුරුදු 20 යි. ලොකු දූට අවුරුදු 21 යි. එයා ජාත්‍යන්තර පාසලක උගන්වනවා. මේ ගංවතුර එනකොට පොඩි දුව H.N.B බැංකුවෙ සම්මුඛ පරීක්ෂණයට ගිහින් රස්සාවට යන්න ලියුමත් ඇවිත්. ගංවතුර නිසා එයාට යන්නත් බෑ. රස්සාව නැතිවෙයි කියන බයට H.N.B. එකට දැනුම් දෙන්නවත් යන්න ඕනෑ කියලා මං දරුවන් එක්ක අර වතුරට බැස්සා. අපේ හිස විතරයි වතුරෙන් උඩ තිබ්බෙ. මගෙ නෝනා ටිකක් මහතයි. එයාට ඇවිදගන්නවත් බෑ. අසනීප ගානේ හිටියෙ.

ප්‍රධාන පාරට මීටර 200 ක් වුණාට අපට මේ සැඩ ජල කඳ එක්ක වාරු වෙවී පාරට එන්න හැතැප්ම 200 ක් යනවා වගේ දුරක් වුණා. මෙහෙම එද්දි සිංහල මල්ලිලා කීප දෙනෙක් කෙසෙල් කොට හා ලී දාපු පාරුවක් පැදගෙන අපේ පැත්තට ආවා. ඒකෙ ආපු මල්ලිලා අපේ ළඟදි පාරුවෙන් වතුරට බැහැලා මගේ නෝනාව පාරුවට දැම්මා. දැන් ඒ අයත් පාරුව තල්ලු කරනවා. මාත් දූලාත් ඒ පස්සෙන් එනවා. මේ විදියට පැය 1/2 ක් විතර අපි ඒ පාරුව තල්ලු කරගෙන ආවා. එහෙම ඇවිත් අපි හිඟන්නන් වගේ අපේ නෑ ගෙදරකට ආවා. H.N.B බැංකුවටත් කාරණේ දැනුම් දුන්නා. මේක මං මුහුණ දුන්නු අතිශය කම්පනීය ම සිදුවීමක්.... ඔහු කීය.

මේ මහා විපත කන වැකුණු සැණින් මේ රටේ සමාජ ක්‍රියාකාරීන් හා මාධ්‍ය ජාලය ඔවුනට සහන සැපයීමේ ක්‍රියාමාර්ග යුහුසුලුව ගැනීම සතුටුදායකය. භික්ෂූන් වහන්සේලාද ක්‍රියාත්මක වූහ. සමහරු තම ශ්‍රමයෙන් දායක වූහ. මිනිසුන් මතු නොව සතුන් ද බේරා ගත්හ. සත්ගුණවත්තු බහුල වූහ. රජය ද ක්‍රියාත්මක විය. ඒ අතර තවත් පිරිසක් සූක්ෂමව ක්‍රියාත්මක වූහ. ඒ ගංවතුර හොරුය. නාය යාමෙන් විපතට පත් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ සහන මලු කොල්ල කන පිරිස් ද ඇතිවූහ. ඒවා වෙන ම කතාය. එහෙත් ඒ ගැනත් එකක් දෙකක් හෝ සඳහන් කිරීම වටී.

ගංවතුරේ තැන් තැන්වල කොටුවූ මිනිසුන් අතර එක්තරා පියෙක් තම දරුවන් සියල්ලන් ම පිටත්කැර යවා තම නිවසේ වටිනා බඩු මුට්ටු රැක ගනිමින් වතුරට යවූ නිවසේ සිටියේය. රාත්‍රියේ බෝට්ටුවක් ගංවතුරේ පාවී ආයේය. මේ සිදුවීම කඩුවෙලට කිට්ටු ප්‍රදේශයකින් වාර්තා වූ එකකි. එහි නැඟ සිටියේ සහන නිලධාරින් නොවන බව අර ගෙහිමියාට ඒත්තු ගියේය. එසැණින් ඔහුට ගණදෙවි නුවණක් ද පහළ විය. ළමයිනේ, නැඟිටපල්ලා, නැඟිටපල්ලා, අපට බෝට්ටුවලින් කෑම ගෙනැල්ලා.ඔහු කෑ ගැසීය

බෝට්ටුව ඉක්මනින් හරවා ගත් ගංවතුර හොරු පලා ගියහ. කඩුවෙල නගරය පසුගිය දින කිහිපයේ ම දිස් වූයේ එකම ගං තලයක් ලෙසිනි. බෝට්ටුවකින් පැමිණි මැරයන් පිරිසක් වතුරින් යට වී මඳක් පමණක් ගොඩනැගිල්ල පෙනුණු එක්තරා ප්‍රධාන පෙළේ සුපර් මාකට් එකක වීදුරුවල හැප්පිණි. ඒ බෝට්ටුව හප්පා තිබුණේ මත්පැන් ගබඩා කර ඇති කොටස පිහිටි අද්දර වීදුරු තට්ටුවටය. මත්පැන් බෝතල රුපියල් ලක්ෂ 10ක පමණ හොරා ගත් ඔව්හු පිම්මේ පැන ගියහ. සුපර් මාකට් ආයතනයේ බඩු සියල්ල ගංවතුරේ දෝරෙ ගලා ගියේය.

අනුන්ගේ දුකේදි, කඳුළෙදි ඔවුන් සතු දේත් පැහැර ගන්නා ගංවතුර හොරු වැනි නරුමයන් සිටින රටක අතරින් පතර බෝසත් ගුණ දම් රකින මිනිසුන් ද නැතිවා නොවේ. මේ මහා ව්‍යසනයේදි විවිධ ක්‍රියාකාරකම්වලින් මේ අහිංසකයනට උදව් කළ ඒ මිනිසුන් ඇත්තට ම උදාරය.

කැලණි ගඟ උඩ සිටි එක්තරා තරුණයෙක් එහි දවසක් තුළ වතුරේ ගසා ගිය පොල් ගෙඩි 500 ගණනක් දැලකින් එකතු කළේය. නයි, මුගටි ගසාගෙන ගිය ගංවතුරේ එක පියස්සේ රණ්ඩු නැතිව සිටියහ. රතු, නිල්, කොළ පාට පක්ෂවල සිටි අය බේද නොතකා සහන වැඩවල එකාවන්ව යෙදුණහ.

වැල්ලම්පිටියේ පැරැණි නිවෙස් සාදා තිබෙන්නේ අඩි 7 - 8 පමණ තරප්පු පෙළක් සකසා ඉන් උස් බිමකය. අලුත් නිවෙස් සැදුණේ බිම් මහලෙහිය. පැරැන්නෝ කැලණි ගඟ වසර 10 - 15 ත් යන විට විශාල ගංවතුරක් ගෙනෙන බව ප්‍රායෝගිකව දැන සිටි බව ඉන් හෙළිවේ. දැන් බොහෝ අසරණ පිරිස් ලැගුම් ගන්නේ ඒ පැරැණි නිවෙසියන්ගේ ආශිර්වාදයෙන් එම නිවෙස්වලය.

අපි කානු උඩත් ගෙවල් සදමු. කැලණි ගඟට ගලා යන ඇළ මාර්ග වසා සංවර්ධන කරමු. මෙවැනි මහා විපත්තී එනිසා අප වෙත ළඟා කැර ගැනීමට හැකිය. ගංවතුරේ කඳුළු අපට කියන්නේ එවන් ගොන්කම් දේශපාලනය නිසාවත්, ඡන්ද බලාගෙනවත් නැවත නොකරන්න කියාය.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »