ජනතාව සතුටින් සිටින නිසා අපේ දුක සතුටක් වෙනවා

2016-05-17 12:09:00       672
feature-top
රෝද පුටුවට ලෙඩ ඇඳට සීමා නොවී ඉන් එහාට ලොව දකින රණවිරුවෝ පවසති

අත්තිඩිය මිහිඳු සෙත් මැඳුර විශේෂ දක්ෂතා සහිත රණවිරුවන්ගේ සුවදුක් බැලීමට ඉකුත් දා අපි එහි ගියෙමු.

පුනරුත්ථාපන අධිකාරි බ්‍රිගේඩියර් තිරුණාවුකරුසු මහතාගේ ආරාධනය පරිදි ගිය අපට මුලින් ම හමුවූයේ සේනා විධායක කර්නල් අයි.ජී.ආර්.ජී. බෝගොඩවත්ත මහතා ය. ඉන්පසුව මිහිඳු සෙත් මැදුරේ වෛද්‍ය මේජර් රවීන්ද්‍ර මහතා සමඟ සෙත් මැදුරට ගියෙමු. සියලු පහසුකම් සහිත මිහිඳු සෙත්මැදුර අවට පරිසරය මෙන් ම ආබාධිත රණවිරුවන් සඳහා ඇති පහසුකම් ද ‍බලමින් ඉදිරියට ගිය අපි දෙමහල් ගොඩනැඟිල්ලේ නේවාසික රණවිරුවන් හතළිස් පස්දෙනා බලන්නට ගියෙමු. රණවිරුවන් සිවු දෙනකු නේවාසිකව හිඳින කාමරයක සිටි එක් රණවිරුවකු ළඟ අප නතර වුව ද ඔහුට අප ගැන වගක්වත් නැති තරම් ය.

සේනා විධායක
කර්නල් බෝගොඩවත්ත

වෛද්‍ය මේජර් රවීන්ද්‍ර සුපුරුදු ලෙස ඔහුගේ අතට තම ගෙල රැඳි වෙද නළාව ළං කළේ ය. ඔහු කිහිපවරක් නළාව අල්ලා බැලීය. ඔහු මුවග නැඟුණේ සිහින් හසරැල්ලකි. ඉන් පසු ඔහු මොන මොනවා ද මුමුනන්නට වූයේ ය‍. ඒ කියන කිසිවක් අපට පැහැදිලි නැත.

සර් කැමති නෑ ඒසී එකට. ඒකයි අද හිත හොඳ නැත්තේ. කෝප්‍රල් සුනන්ද එසේ පවසා ඒසී යන්ත්‍රය වසා දැමුවේ ය.

අද උදේ ඉඳලම හිත හොඳ නැහැ සුනන්ද එසේ පවසා යළිත් ඇඳ මත හිඳින ඔහුගේ පපුව සෙමෙන් අත ගාන්නට වූයේ. දැන් ඔහු සන්සුන් ය.

සමහර වෙලාවට සර් හෑන්ඩ් ෆයිට්වලට කැමතියි.

සුනන්ද ඔහුගේ අත අල්ලා ගත්තේ ය.

ඔහු සුනන්ද හා හරි හරියට ගැටෙන්නේ ය. ඔහු ජයග්‍රහණයේ සතුටින් ඉපිළෙන්නේ ය. එහෙත් ‍එදෙස බලා සිටින කාගේවත් මුහුණුවල සතුටක් නැත.

මේ තමයි බලලත් නිලධාරි II නන්ද කුමාර. ඔහු අනතුරට පත්වුණේ 2007 වසරේදී මන්නාරමේ අඩම්පන්වලදී. එම අනතුරින් ඔහුගේ දෑස් පේන්නේ නැතිව ගියා. කන් දෙකම ඇහෙන්නේ නැහැ. ස්නායු පද්ධතියට හානි වී තිබීම නිසා ඔහුට ඇවිදින්නට බැහැ. කතා කිරීමටත් අපහසුයි. ඔහුගේ දෑත් ක්‍රියාකාරියි. මුලින් ම ඔහු හිටියේ රාගම රණවිරු සෙවණේ. මෙම ස්ථානය විවෘත කළාට පස්සේ ඔහු මෙතැනට ආවා. ඔහුත් අපත් අතර සන්නිවේදනය අපහසුයි. ඔහු‍ගේ බිරිය ඔහු බැලීමට එනවා. ඒ ආවාහම ඇය ඇඟිල්ලෙන් නන්දකුමාරගේ පපුවේ ගංගා කියලා ලියනවා. ඊට පස්සේ ඇය ඔහුට කවා පොවා ඔහුගේ කටයුතු කරනවා. ආපසු යන්න පෙර ඇය නැවත ඇඟිල්ලෙන් ඔහුගේ පපුවේ ගංගා කියලා ලියලා අතින් මකනවා. එවිට ඔහු දන්නවා ඇය යන්න ගිය බව වෛද්‍ය මේජර් රවීන්ද්‍ර වීරසිංහ පවසන්නේ ය.

යුද්ධයේදී ආබාධිත වූ නන්දකුමාරගේ අද දවස ගෙවෙන්නේ එසේ ය. ඔහු අසලට පැමිණෙන නිලධාරීන්ව ඔහු ‍ හඳුනා ගන්නේ නිල ඇඳුමේ උරහිසේ ඇති තරු අතගෑමෙනි. නන්ද කුමාරගේ වයස අවුරුදු හතළිස් හයකි. ඔහු මේ අනතුර සිදුවීමට පෙර කඩවසම් තරුණයකුව හිඳින්නට ඇත. ජවයෙන් යුද්ධ කරන්නට ඇත. එහෙත් යුද්ධය දිනා අවසන් වනවිට ඔහු සදාකාලික ආබාධිතයකු වී ලෙඩ ඇ‍ඳේ ය.‍ ඔහු පමණ ද? නැත. ඔහු සේ ම නොවුණ ද යුද බිමේදී අනතුරට පත්වී ආබාධිත තත්ත්වයෙන් පෙළෙන්නෝ තවත් බොහෝ ය.

ඔබ දැන් නිදහස පිළිබඳව උදම් අනන්නෙහිය. බස් රියේ මඟතොටේ පමණක් නොව උතුරේ සිට දකුණටත් දකු‍ෙණ් සිට උතුරටත් රට වටේත් නිදහසේ යන්නට එන්නට පුළුවන් යැයි උදම් අනන්නේ ය. මේ නිදහස රටට ලබාදීමට ජීවිත පරිත්‍යාග කළ සෙබළුන් නිලධාරීන් පිළිබඳව ඔබට දවසට කී වරක් මතකට නැ‍ෙඟ් ද? මිය ගිය වුන් මෙන් ම යුද්ධයේදී දිවි පරදුවට තැබූ මවුබිමේ නිදහස වෙනුවෙන් සදාකාලික ආබාධිත භාවයට පත්වූ මේ යුද විරුවන් ගැන ඔබට සිහිපත් වනවාද? ඔබ ඔබේ හෘදය සාක්ෂියෙන් විමසන්න.

යුද බිමට තම තාරුණ්‍යය ගෙවා දැමූ ඔවුන් අද දවස ගෙවනා අයුරු දැක බලාගැනීමට පසුගිය දිනක අපි මිහිඳු‍ සෙත් මැදුරට ගියෙමු.

බලලත් නිලධාරි II නන්දකුමාර තාමත් හිත හයිය නිලධාරියෙක්. ඔහුගේ වැඩිමල් පුතා යුද හමුදා‍ කොමාන්ඩෝ බළකායට බැඳිලා ඉන්නේ. ශාරීරික දුබලතා තිබුණට මේ අය අසරණයෝ නෙමෙයි. ඔවුන් විශේෂ දක්ෂතා තියෙන අය. කර්නල් බෝගොඩවත්ත මිහිඳු සෙත් මැදුරේ දිවි ගෙවන්නන් පිළිබඳව අප හා තොරතුරු පවසයි.

සැබැවින් ම ඔවුහු වීරයෝ ය. හිත හයිය මිනිස්සු ය. ඇතැමෙකු දුටු සැණින් හිත ගැස්සෙන්නේ ය.

කොහොමද මේ අයගෙ විස්තර අසන්නේ?

ඒ තරම් සංවේදී වෙන්න එපා. අපි යුද හමුදාවේ සෙබළු. මම මේ තත්ත්වයට එන්න කාලයක් ගියා. මට කතා කරන්න බැරිව හිටියේ. තවමත් අතේ ආබාධයක් තියෙනවා උත්සාහය, ක්‍රමවත් වෛද්‍ය ප්‍රතිකාර, වෙදකම හෙදකම නිසා අද මං හොඳින් ඉන්නවා.

ලුතිනන් කර්නල් සරත් කුමාර අප සමඟ යන ගමනේදී පවසන්නේ ය.

උදෑසන කාලයේ ඇතැමුන්ට ‍ෙභෟත චිකිත්සක ප්‍රතිකාර ලබාදෙන්නේය. ඒ සඳහා වෙනමම ඒකකයක් මිහිඳු සෙත් මැඳුරේ වෙන්කර ඇත. අප එහි යන විටත් කිහිප දෙනෙක් ම භෞත චිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටියහ.

කෝප්‍රල් මධුශංක විසි හතර හැවිරිදි ය. ඔහුට 2009 වසරේ මාර්තු මස 28 දා පුදුකුඩුඉරුප්පුවලදී මෝටාර් එකක් වදින විට වයස අවුරුදු දහ අටකි.

අපි ඉදිරියට යමින් හිටියේ. යුද්ධය දිනන්න පුළුවන් බව අපි දැනගෙන හිටියා. ඒ කාලේ හමුදාවට බැඳුණේ එන ඕනෑම අනතුරක් බාර ගන්න ලෑස්තිවෙලා‍. මං යුද හමුදාවට බැ‍ඳෙන්න ආශා කළා‍. මට මෝටාර් එක වැදුණට පස්සේ අනුරාධපුර රෝහලට එවල තියෙනවා. ඇත්තම කියනවා නම් මං දන්නෑ මට මොනවද වුණේ කියලා.‍

වෛද්‍යවරු කිව්වා මගෙ ඔළු කට්ට ගැලවිලා තිබුණේ කියලා. දැන් මහලා තියෙන්නේ (ඔහු හිසේ දරුණු තුවාල කැළලක් පෙන්වන්නේ ය.) මම මෙහෙට ආවේ රෝද පුටුවේ. අත පය හොලවන්න බැහැ. වැලමිට ගාවින් අත් එකට ඇලිලා. මේ අතේ ලොකු තුවාලයක් තිබුණා. නමුත් මෙහෙට ආවට පස්සේ තමයි ප්‍රතිකාර ලැබිලා දැන් මට මෙහෙම හරි ඉන්න පුළුවන්. මගෙ ගම මහියංග‍ණේ. අම්මා තාත්තා නංගිලා දෙන්නෙක්, මල්ලි ඉන්නවා. මං යාළුවෙලා හිටපු ගෑනු ළමයා මට තුවාල වුණාට පස්සේ වෙන කෙනෙක්ව විවාහ කරගෙන. මාසයකට සැරයක් විතර අපට ගෙදර යන්න ලැබෙනවා. සිංහල අවුරුද්දටත් ගමේ ගියා.

මධුශංක පවසන්නේ හිනැහෙමිනි. යුද්ධයේදී ලැබූ බිහිසුණු අත්දැකීම් හෝ තමන්ට සිදුවූ අනතුරු වල දිග පළල පිළිබඳව ඔවුන්ට වගේ වගක් නැත.

කළ නොහැක්කක් නොමැත ඒ ඔවුන්ගේ ජීවිතයේ තේමා පාඨය වැනි ය.

මේජර් ඉබ්‍රහිම් මේ ‍ඊට හොඳම උදාහරණයයි.

මගෙ පවුලේ සීයා, තාත්තා, බාප්පා, අයියලා හැමෝම පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ. මං ඉගෙන ගත්තේ කොළඹ සහිරා විද්‍යාලයේ. මගෙ යාළුවෝ දෙන්නෙක් එක්ක තමයි මම හමුදාවට බැදුණ්. දෙදහස් අටේ දෙසැම්බර් 14 යාපනේ කිලාලිවල දි කාල තුවක්කු ප්‍රහාරයකට ලක්වුණා. කිලාලිවල ඉදිරි ආරක්ෂක වළල්ලේ අපි හිටියේ. ඒ කාලේ වෙනකොට පුනරින් අල්ලලා තිබුණේ නැහැ. මුහමලේ කියන්නේ පටු ප්‍රදේශයක්. වැඩි පිරිසක් හිටියේ නැහැ. වේලාව සවස හතරට විතර ඇති. කොටි එල්ල කරපු කාලතුවක්කු වෙඩිල්ල වැදුණේ ගහකට. මට මතක තුවාල වෙලා බිම වැටෙනවා විතරයි. ඒ වැටෙන කොට මුහුණ පැත්තකට ගියා මතකයි. පපුව කඩාගෙන ගියා වගේ දැනුණා. සුමානයකට විතර පස්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා මතකයි. මැෂින්වල ආධාරයෙන් හිටියේ. මගේ ඇ‍ඟේ තිබුණ තුවාල තරම දැනගෙන හිටියේ නැහැ. වෛද්‍යවරු තමයි කිව්වේ පෙණහැල්ල තුවාලයි, ඉළ ඇට, කොඳු ඇට කැඩිලා කියලා. ඉන් පස්සේ හමුදා රෝහලට, එතැනින් රාගම රණවිරු සෙවණට ආවා. මගේ ස්නායු පද්ධතියට හානි සිදුවෙලා තියෙන්නේ. දැන් ඇවිදින්න බැහැ. රෝද පුටුවට හුරු වෙන්න කාලයක් ගියා. අවුරුදු හතරකට විතර පස්සේ තමයි රෝද පුටුවට පුරුදු වුණේ.

මේජර් ඉබ්‍රහිම් පවසන්නේය. ඔහුගේ අත්දෙක ක්‍රියාශීලීය. මේ නිසා ම ඔහු තම ආබාධිත බව පසෙකලා කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පිළිබඳ බාහිර උපාධිය හැදෑරුවේ ය. දැන් ඔහු උපාධිධාරියෙකි.

හමුදාවට මගේ කැමැත්තක් තිබුණා. අපේ අවශ්‍යතාවටත් වඩා රටේ අවශ්‍යතාව ගැන හිතලා තමයි මං හමුදාවට බැඳුණේ. ඒ වෙලාවේ එය අපි කළ යුතුම දෙයක්. යුද්ධය දිනුවා කිව්වම පුදුම සතුටක් දැනුණා. එහෙත් දෙමළ මිනිස්සු එක්කවත් කා සමඟවත් තරහක් මගේ නැහැ.

ඉබ්‍රහිම් එසේ පවසා පරිගණකය වෙත දෑස යොමු කරන්නේ ය.

මේ හැම කෙනෙකු ම තම අවශ්‍යතාවටත් වඩා එකල රටේ අභිමානය, ඒකීයභාවය හා ගෞරවය රැකීම පිණිස යුද හමුදාවට එක් ව‍ූවෝ ය.

ඔවුන් යුද බිමේදී පමණක් නොව අද ද තනි නැත‍. ආබාධිත තත්ත්වයෙන් සිටිය ද යුද හමුදාව හා රජය ඔවුන් කිසි විටෙකත් තනිකර නැත. ඒ තනි නොකිරීම නිසා ම ඔවුන් තම දක්ෂතාව එළිදැක්වීමට සූදානම් ය.

මිහිඳු සෙත්මැදුරේ ඔවුන් වෙනුවෙන් ඉංග්‍රීසි, භාෂාව හා පරිගණක ආදී පාඨමාලා ද, සංගීතය හැදෑරීමට ද මායා චිත්‍ර ඇඳීමට ද ක්‍රීඩාකිරීමට පහසුකම් සලසා ඇත්තේ ය.

මේජර් චන්ද්‍රකුමාර ඔබට මතක ඇති. ඔහු රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ හත්වැනි තැනට තේරුණේ ය. ඔහුගේ බෙල්ලෙන් පහළ සියලු කොටස් අක්‍රීයය.

මං කටින් පින්සල අල්ලා චිත්‍ර අඳින්න හුරු වුණා. අර තියෙන්නේ එහෙම ඇඳපු එකක්. (සහායක නිලධාරියා චන්ද්‍රකුමාර ඇඳි තැඹිලි ගෙඩි තුනක චිත්‍රය පෙන්වයි.) ඒත් ඒක හරි අමාරුයි මගෙ බෙල්ල රිදෙනවා. මං ඒක අත් හැරියා. ඊට පස්සේ තමයි සින්දු කියන්න පුරුදු වුණේ‍. මං ළඟදී සීඩී එකක් කරනවා. දැනටමත් එහි වැඩ කොටසක් අවසානයි.

2007 සැප්තැම්බර් මාසේ තමයි යාපනේ මුහමලේ දී තුවාල වුණේ. තුවාල වෙලා ඇඳට වැටිච්ච මුල් කාලේ මට හරිම කලකිරීමක් තිබුණා. කේන්තියක් වෛරයක් තිබුණා. නමුත් දැන් මගෙ හිතේ ඒවගේ හැඟීම් නැහැ. අපිට මෙහෙම වුණේ රට වෙනුවෙන් ඉදිරියට ගිය නිසා. රටේ ජනතාව නිදහසේ ඉන්න බව දැනෙන කොට මේ දුක සතුටක්්‍්. තවමත් මේ තුවාලවලින් වේදනාව දැනෙනවා.

චන්ද්‍රකුමාර එසේ පවසන්නේ ද හිනැහෙමිනි.

කෝප්‍රල් සම්පත්, කෝප්‍රල් සූරියබණ්ඩාර, කෝප්‍රල් ප්‍රනාන්දු, 2009 වසරේ යුද්ධය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබිය දී තුවාල වූ අයය. ඔවුන් අද‍ ‍රෝද පුටුවේ ය. එහෙත් රෝද පුටුවට මිහිඳු සෙත් මැදුරට පමණක් සීමා නොවී ඉන් එපිට ජීවිතය දැකීමට ඔවුන් උත්සාහ දරන්නේ ය. කෝප්‍රල් කුමාර රෝද පුටුවේ සිට නැටීමට හපනෙකි.

අපි බලාපොරොත්තු වෙනවා සංගීත කණ්ඩායමක් හදන්න. මේ අය අතර දක්ෂතා තිබෙන අය ඉන්නවා. චන්දිමාල් ප්‍රනාන්දු මහතා තමයි අපට සංගීත භාණ්ඩ ලබාදුන්නේ. ඔහුගේ අධීක්ෂණය යටතේ සරත් ගුණරත්න මහතා පැමිණ ගායනය වාදනය අපේ විරුවන්ට උගන්වනවා. මිහිඳු සෙත් මැදුර ආරම්භ කර මේ වනවිට වසර පහක් වෙනවා. මේ ආයතනයේ සේවය කරන්නෙත් යුද්ධයේදී තුවාල ලැබූ ආබාධිත අය.

කර්නල් බෝ‍ෙගාඩවත්ත පවසන්නේ ය.

මිහිඳු සෙත්මැදුරේ වෙසෙන යුද හමුදා නිලධාරීන් හා සෙබළුන් අතර නාවික හමුදා සෙබ‍ෙළක්ද වෙයි. ඔහු 1999 අවුරුද්දේ දෙසැම්බර් 18 දා මඩකලපුවේදී බෝට්ටුවක සේවයේ යෙදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ අයෙකි.

‍මගෙ අයියත් නාවික හමුදාවේ හිටියේ. මං ඒ ආසාවට තමයි හමුදාවට බැදුණේ. දැන් ‍මගෙ වයස අවුරුදු 30 යි. අවුරුද්දට ගමේ ගියා. ගම නුවර ගලගෙදර. යාළුවෝ මාව බලන්න ඇවිත් නාවලා පිරිසුදු කරලා මාව සතුටු කරලා ගියා. මං මායා චිත්‍ර අඳිනවා. ඒකට මං ආසයි.

දිසානායක පවසන්නේ ය. ඔහුට ද ඇවිදීමට නොහැකි ය. කෝප්‍රල් තිලක් කුමාර අනතුරට ලක්වූයේ යුද්ධය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී ය.

මගෙ ගම ගාල්ල. මං හමුදාවට බැඳුණේ ආසාවට. යුද්දේ ඉවරවෙන්න දවස් නවයක් තියෙද්දී තමයි පුදුකුඩුඉරිප්පුවලදී තුවාල ලැබුවේ. එතකොට මට වයස අවුරුදු 19 යි. මට මතක 2009 මැයි දහය මං තුවාල වුණා කියලා. වු‍ෙණ් මොකද්ද කියලා මතක නැහැ. කොහොම හරි සිහිය ආවට පස්සේ තමයි දැන ගත්තේ යුද්දේ දිනලා කියලා. ඇත්තටම සතුටක් දැනුණා. ඉස්සර මට ඇවිදින්න අමාරුයි. නමුත් දැන් ඇවිදින්න පුළුවන්. දැන් මට මගේ වැඩ තනියම කරගන්න පුළුවන්.

තිලක් පවසන්නේ ය.

තිලක් මේ ළඟදී විවාහ වුණා. ඒ අතර ඔහුගේ යාළුවෝ පවසන්නට වූහ.

කොහොමද යාළුවුණේ,? අපි ඇසුවෙමු.

මෙතැනින් එළියට ගියාම තමයි යාළුවුණේ. එයාට කඩයක් තියෙනවා. එයාගේ ගෙදරින් කැමති වුණා. අපි බැන්දා.

ඔහු පවසන්නේ සතුටිනි.

මිහිඳු සෙත් මැදුරට ගිය විට අපි මදක් පසුබා ගියෙමු. ඒ මේ රණවිරුවන් දුටුවිට ඔවුන්ගෙන් යමක් අසන්නේ කෙසේ ද කියාය. යුද්ධය විසින් ආබාධිත තත්ත්වයට පත් කළ මේ තරුණ ජීවිත කෙසේ ‍තම ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් විඳගන්නවා ඇද්ද? ඒ අපට හිතුණු හැටි ය. එහෙත් අප දුටුවේ ඊට වඩා බොහෝ වෙනස් පුද්ගලයන්ය. ඇවිදින්නට පුළුවන් අය හා දෑස් පෙනෙන අය අවට පරිසරය විඳිති. ගහකොළ පරිසරය තුළ ඔවුහු ජීවත් වන්නෝ ය. දිය අගල්වල පිපි නෙළුම් මල් මෙන් ම අත්තිඩිය කුරුලු පාරාදීසයට එන කුරුලු දසුන් ද නරඹති. දෑස් නොපෙනෙන අය වැස්ස වහලයට වැටී බිම වැටෙන හඬ දිය අගලට වැටෙන හඬ, සවනට ළං කර ගන්නාහ. දෑත් සක්‍රීය වූවෝ චිත්‍ර අඳින්නට, සංගීත භාණ්ඩ වාදනයට හුරු වන්නාහ. ඔවුන් දවස ගෙවන්නේ එසේ ය. ආබාධිත වුව ද, සදාකාලික ආබාධිත වුව ද ඔවුන් මානසිකව වැටී නැත. ඒ නොවැටීමම කෙතරම් අගේ දැයි දැනෙන්නේ ඒ මුහුණුවල ඇති ප්‍රබෝධය දුටු විට ය.

අපි යුද හමුදා සෙබළුන්... නිලධාරීන් ඒ ඔවුන්ගේ අභිමානයයි. රටේ අභිමානයයි.

නිවෙස්වලට ගිය ද ඇතැම් විට මෙතරම් වෙදකමක් හෙදකමක් ඔවුන්ට නොලැබෙනු ඇත. මේ අයට කිසිවකින්වත් අඩුවක් කරන්නට යුද හමුදාව සූදානම් නැත. ගමට යන විට මිහිඳු සෙත් මැදුරෙන් ම ඔවුන්ව ගමට ගෙන යන්නේ ය. සහායට උපස්ථානයට ද පිරිස වෙති. වෛද්‍ය පහසුකම් තිබේ. සියල්ල මතින් ගොඩ නැ‍ඟෙන මේ තරුණ ජීවිත දිරිමත් කිරීමට ඔබටත් ඔවුන් වෙනුවෙන් යමක් පරිත්‍යාග කිරීමට‍ සිතෙනු ඇත. ඊට ද අවස්ථාව නැත්තේ ම නොවේ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »