වෙසක් උත්සවය විකුණනු ලැබේ

2016-05-16 11:29:00       672
feature-top
වෙසක් උත්සවය බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වය හා පරිනිර්වාණය යන කාරණා සිහිකොට බෞද්ධ ජනතාව විසින් පවත්වන ආගමික උත්සවයකි. හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ උත්සාහයන් නිසා වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත්කර ගැනීමට හැකිවූ අතර, වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත්කිරීමට සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් මැතිතුමාට හැකියාව ලැබිණි. එමෙන්ම වෙසක් දිනයේ වැඩිපුරම ඇසෙන්නේ ද කලාසූරී අල්හාජ් මොහිදීන් බෙග් සූරීන් ගායනා කරන බොදු ගුණ ගීත වෙයි. විශේෂත්වය නම් මේ තිදෙනාම ඊනියා සිංහල-බෞද්ධයන් නොවීමයි. බෞද්ධකම හා ජාතිකත්වය ගැටලුවක් කරගන්නා අයට පෙන්විය හැකි හොඳම උදාහරණ තුනක් එමඟින් මූර්තිමත් වී තිබේ.

බුදුන් වහන්සේ සිය ධර්මය දේශනා කිරීමට සුදුස්සන් මුලින්ම සෙවූ අතර උන්වහන්සේට හමුවූයේ පස්වග තවුසන් පමණි. මක්නිසාද යත් තමුන් අවබෝධකරගත් දෙය ගැඹුරු දර්ශනයක් හෙයින් එය තේරුම් ගැනීමට යම් බුද්ධිමට්ටමක් තිබිය යුතු බව උන්වහන්සේ අවබෝධ කොටගෙන සිටියහ. නමුත් කනගාටුවට කාරණාව නම් වර්තමානයේ බෞද්ධ යැයි කියාගන්නා අය, උපතින් බෞද්ධයන්, සැබෑ බෞද්ධයන් සහ බෞද්ධ අනුකාරක මූලධර්මවාදී ත්‍රස්තයන් වශයෙන් කොටස් තුනකින් යුක්ත වීමයි. වෙසක් උත්සවය තවත් නත්තල් උත්සවයක් බවට පත්වෙමින් පවතින්නේ මෙකී තුන් වර්ගයාගේ කුළල්කෑ ගැනීම නිසාය. වෙසක් උත්සවය ද සිංහල අවුරුද්ද මෙන් ඉංගිරිසි ආණ්ඩුව සමයේ බිහිවුණු තවත් උත්සවයකි. එයට පාදක කරගත්තේ ද නත්තල් උත්සවයයි. එතුවක් එය පැවැතියේ සැරසිලි සහිත උත්සවයක් ලෙස නොව ආගමික මුහුණුවරක් ගත් පින්කම් දිනයක් ලෙස ය.

බුදුන් වහන්සේ කුසලය යනු කුමක්ද පින්කම හා පවුකම අතර වෙනස පැහැදිලිව දේශනා කර ඇත්තාහ. අද වෙසක් උත්සවය නාමයෙන් බොහෝවිට කෙරෙන්නේ පින්කම් නොවේ. දන්සල අවසානයේ මහා මධුපානෝත්සවයකි, දන්සල ආරම්භයේ බුද්ධං සරණං ගච්්ඡාමී ගීතය වැයෙන නමුත් පාන්දර ජාමයේ එහි අවසානයේ ඇසෙන්නේ බීමතින් චොකා බයිලා වලට නටන තරුණයන්ගේ හඬ පමණි. තොරණ පෙන්වා මුදල් යටිමඩි ගසා ගනිති, වෙසක් කූඩු, නිර්මාණ/සැරසිලි නැරඹීමට මුදල් අය කරති, කානිවල් පවත්වති, මාරක ළි‍ෙඳ් මෝටර් සයිකල් ධාවනය කරති. කලකට ඉහත වෙසක් උත්සවය අහිංසක උත්සවයකි. මුදල අරමුණු කොටගෙන, ආයතනයේ නම ප්‍රසිද්ධ කිරීමට දන්සල් දුන්නේ නැත. ධනවතුන්ගේ ආධාරවලින් තොරණ නිමවිණ. එසේ පැවැති උත්සවය වාණිජකරණය වීම අපේ අනාගත පරම්පරාවට වූ මරු පහරකි.

මක්නිසාද කිවහොත් පිටකොටුවේ අද දවසේ වෙසක් බකට්, විදුලි ආලෝක සැරසිලි, වෙසක් කූඩු ආදි සියල්ල ප්ලාස්ටික් වලින් නිමවා හෝ චීනයෙන් ගෙන්වා අලෙවි කරනු ලබයි. බහුතරයක් දෙනා ඒවා මිලයට ගෙන දරුවන්ට ලබා දෙන්නේ කරදරවලින් නිදහස් වීමටය. ඒත් අපේ ළමා කාලයේ අහල වතු පහරමින් අඹ ගස්වලට වගකියමින් යන්නේ උණ ගස් සොයන්නටය. ඉන්පසු ඒවා කපා වියළෙන්නට දමයි. ට්වයින් නූල් හෝ ඔට්ටපාලු වලින් ගැටගසන වෙසක් කූඩුවට අලංකාරය එක් කරන්නේ සව් කඩදාසියයි. අටපට්ටම්, දහඅටපට්ටම්, බෝල කූඩු, තරු, නෙළුම් මල් ආදිය සියල්ල දෑතේ මහන්සියෙන් හැදෙන නිර්මාණ වෙයි. අද පරම්පරාවට අටපට්ටමක් ඇමිණීම අතිශය වෙහෙසකර කටයුත්ති. ඔවුන් සතුටුවන්නේ කඩෙන් ගෙන ආ බකට්වලට බල්බ් දමා එල්ලීමෙන් පමණි. ඒත් වැටමාර කෝටුව තුනට පළා, එය මත පහනක් රඳවා එය පාර දෙපස සිටුවා රාත්‍රියේදී දැල්වූ කල එන රමණීය ආලෝකය, ගුප්තමය ආස්වාදය විදුලි බුබුළුවලින් ලැබෙන්නේ නැත. සමාජය අතිශයින් වේගවත්ය. ඔවුනට කූඩු හදන්නට සරසන්නට වෙලාවක් නැත. ළමා ළපටින් සමඟ වෙසක් සමරන්නට කාලය නැති නිසා කඩෙන් ගෙනැවිත් විදුලි බල්බ වැලක් එල්ලයි. වෙසක් ළමයින්ගේ උත්සවයක් වී තිබිණි. ඒත් අද එය වෙළෙඳුන්ගේය.

දන්සල් දීම අතින් නම් බෙහෙවින් සතුටුවිය හැකි තත්ත්වයක් පවතියි. මහ මඟ යන්නන්ට බලෙන් ඇදගෙනගොස් කෑම බීම ලබා දෙන එකම රට ශ්‍රී ලංකාව විය හැකිය. එමෙන්ම ඒ ආහාර ගත් අයෙකු අසනීප වූ බවක් කිසි දිනෙක අසා නැත. දන්සල් දෙන්නන් අදාළ පොලිසීයේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ ලියාපදිංචි විය යුතු යැයි නියමයක් පැනවූවද, මෙතුවක් කල් දූෂිත ආහාර ලබාදුන් බවට ආරංචි මාත්‍රයක් හෝ නොමැත. එලෙසින්ම පොසොන් සමයේ අනුරාධපුරයේ පැවැත්වෙන දන්සල් වන්දනාකරුවන්ට මහඟු සත්කාරයක් බව නොකිව මනාය. මීට කලෙකට පෙර ධනවතුන්, ඉහළ මධ්‍යම පාන්තිකයන් දන්සල් වැඳීමට ලජ්ජාශීලී ස්වභාවයක් පෙන්වූවද, දැන් දැන් දන්සල ආරම්භවත්ම කෝටි ගණන් වටිනා වාහනවලින් පවුල් පිටින් පැමිණ මුලින්ම ආහාර ගන්නේ ඔවුන්ය.

විශේෂයෙන් කිවයුතු තවත් කාරණාවක් නම් වෙසක් සමයේ හැමටම අවහිරයක් වන නලා ශබ්දය යි. පදික වේදිකාවේ විකිණීමට ඇති එක්තරා නලා වර්ගයකින් පිටවන අමිහිරි හඬ වෙසක් බලන්නට යන සියලු දෙනාට හිරිහැරයකි. තරුණ කොලු කුරුට්ටන්, ළමා ළපටින් මෙවැනි නලා මිලයට ගෙන විනෝදයට එහා යන නිසා පසුගිය වසරවල පොලීසිය ඊට මැදිහත් වී එය පාලනය කළ බවත්, එසේ හෙයින් මවුපියන් දරුවන්ට කෙළි බඩු ලබාදීමේදී එය හොඳින් පරීක්ෂා කර බලා, එයින් අන් අයට හිරිහැර නොවන්නේ යැයි සිතෙන්නේ නම් පමණක් රැගෙන දිය යුතුය. වෙස්මුහුණු, සොම්බි වෙස් මුහුණු ආදිය කිසිසේත් බෞද්ධ සංස්කෘතිය හා පෑහෙන්නේ නැත. එලෙසින්ම මේ ප්ලාස්ටික් වෙස් මුහුණු හා ප්ලාස්ටික් කෙළි බඩු හරහා සිදුවන පරිසර දූෂණය ඊට වඩා විශාලය. පෙර ගැමියා වෙසක් උත්සවය සැමරුවේ පරිසර හිතකාමී ලෙස ය. උත්සවයෙන් පසුව පරිසරයට බැහැර වෙන සියල්ල ස්වභාවයෙන් දිරාපත් වන දෑ වූ අතර වර්තමානයේ වෙසක් දිනයට පසුදා කොළඹ නගරය අපායක සිරි ගනියි. තැන තැන දැමූ බීම කෝප්ප, කිරි පැකට්, ආහාර ආදිය නිසා අපවිත්‍ර වන පරිසරය පිරිසුදු කිරීමට පවිත්‍රකරණයේ යෙදෙන අය හට අමතර වෙහෙසක් දැරීමට සිදුවෙයි. එමනිසා දන්සල් පවත්වන සියලුම දෙනා අවට පරිසරය පිරිසුදුව තබාගෙන එම කටයුතු සිදුකරනවා නම් ඉතා අගනේය.

වෙසක් දිනයේ සිල් සමාදම් වීමට බොහෝ දෙනා දක්වන්නේ කැමැත්තකි. ඇත්තටම එය ඉතාම උතුම් කටයුත්තකි. එදිනට සියලු රූපවාහිනී නාලිකාවලින් ඇසෙන්නේ බුදු වදන් ය. නමුත් වර්තමානයේ රූපවාහිනීයෙන්, ගුවන් විදුලියෙන් මෙන්ම පන්සලෙන් පවා ඇසෙන්නේ බුදු වදන් නොව ඒ ඒ භික්ෂූන්ගේ අභිමතය පරිදි දෙසා වදාරන ධර්ම කාරණාය. ඇතැම් භික්ෂූන් තමා රහත්භාවය ලබා ඇතැයි නන් දොඩවන අතර තවකෙක් ඒ භික්ෂුව එසේ රහත්භාවය ලබා නැතැයි කෝපයෙන් යුක්තව ප්‍රකාශ කරයි. දෙපිරිසේම අරමුණ ජනතාව අතර ජනප්‍රිය වීමට උත්සාහ කිරීම මිස ධර්ම ඥානය ලබා දී ධර්මය අවබෝධ කරවීම ගැන හාංකවිසියක් හෝ වුවමනාවක් නැත. එසේ හෙයින් මේ ධර්ම කාරණා හෝ ධර්මය දේශනා කිරීමේදී සියලු භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේගේ ධර්මය දේශනා කිරීමට කටයුතු කරන්නේ නම් මැනවි. කෙසේ නමුත් භික්ෂූ ශාසනය ශීඝ්‍රයෙන් පරිහානියට ලක්වෙන ආකාරයේ සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වන නිසාත්, අල්පශ්‍රැත භික්ෂූන් විසින් කරන ත්‍රිපිටක පරිවර්තන හරහාත් බුදුදහමට නැතිනම් දර්ශනයට සිදුවන හානිය මෙතෙකැයි කිව නොහැකිය. එසේම මේ කාරණා සම්බන්ධව රජය, අග්‍රාමාත්‍යවරයා මීට ටික කලෙකට පෙර පැවසූයේ රට තුළ නැවත ධර්ම සංඝායනාවකට කටයුතු සූදානම් කරන බවකි. එය එසේ සිදුවන්නේ නම් සියලු ශාසන හිතකාමීන්ගේ සතුටට හේතුවනු ඇත. මක් නිසාද යත් පිරිසුදු ථෙරවාද බුදුසමය තවමත් ලක්දිව තුළ ආරක්ෂිතව ඇතැයි යන විශ්වාසය ලෝකවාසීන් තුළ ඇති බැවිනි. එමෙන්ම තවත් කාලයකට ධර්මය සහ විනය අපේ ශාස්තෲන් වහන්සේ විය යුතුය.

බුදුන් වහන්සේගේ උත්පත්තියෙන් වසර 2500ක් පිරීම බුද්ධ ජයන්තිය ලෙස සැමරුවා සේම, පසුගිය රජය සිය රාජ්‍ය කාලය තුළ අලුතින් සම්බුද්ධත්ව ජයන්තිය නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරවූයේ ප්‍රසිද්ධිය අරමුණු කොටගෙනය. ඒ සම්බුද්ධත්ව ජයන්තියේ යෝජනා කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූයේ නම් අද වන විට මෙරට ධර්මය ලොවටම බෙදාහරින මධ්‍යස්ථානයක් වී තිබිය යුතුය. විනයවත් සංඝරත්නයක් ඇතිවී තිබිය යුතුය. නමුත් අරමුණකින් තොරව කරන කටයුතු නිසා හෑල්ලු වන්නේ බුද්ධ වචනය බැවින් මහානායක යතිවරුන් ප්‍රමුඛ සියලු නිකායන් හි භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් උත්තර සංඝ මණ්ඩලයක් පිහිටුවා රටේ බුද්ධ ශාසනයේ ව්‍යාප්තියට, පැවැත්මට, ආරක්ෂාවට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද කතිකාවතක් සකස් කළ යුතුය. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බැවින් මෙහි සිදුවන සියල්ල ලෝක අවධානයට පාත්‍ර වන්නේ බෞද්ධ ලේබලය යටතේය. එසේ හෙයින් අධිකරණයට අපහාස කිරීම්, ගිනිතබාගැනීම්, අලි-ඇතුන් වංචනික ලෙස ළඟ තබාගැනීම්, නිධන් හෑරීම්, මන්ත්‍ර ශාස්ත්‍ර හා ගුප්ත විද්‍යා කටයුතු නිසා හෑල්ලුවට ලක්වන්නේ බුද්ධ ධර්මයයි. මෙවන් වටිනා ධර්මයක් ලද රටක ජනතාව හැසිරෙන අයුරු ගැන ලෝකවාසීන් හිතන අන්දම අමුතුවෙන් කිව යුතු නැත. එබැවින් මේ වෙසක් සමයේ සිට හෝ බෞද්ධ ජනතාව අලුතින් හිතන්නට පටන් ගන්නවා නම් අනාගතය යහපත් වනු ඇති.

බුදුන් වහන්සේගේ තෙමඟුල අරබයා පැවැත්වෙන මෙකී උලෙළෙහි ආගමික ස්වරූපය වෙනස් වෙමින් පැවතීමට වර්තමාන පරිභෝජනවාදී සමාජ ක්‍රමය හේතු වුණු බව පෙනෙන්නට ඇත. පන්සල විසින් සිය දායකයා වෙත ධර්මයෙන් අනුශාසනා කරනු වෙනුවට ඔහුගෙන් හිඟා කෑම විලාසිතාවක් කරගෙන ඇත. පොහොය දිනකට ඔබ ශ්‍රී ලංකාවේ ඕනෑම පුරාණ ප්‍රසිද්ධ විහාරස්ථානයක් වෙත යන්න. ස්ථිර වශයෙන්ම එහි ආධාර පිණිස ටිකට් පත් නිකුත් කිරීම, ගඩොළු හෝ පිඟන් ගඩොළු විකිණීම, පූජා භාණ්ඩ විකිණීම ආදිය සිදුවන අයුරු ඔබට දැකගත හැකිය. මෙම විහාරස්ථාන මීට වසර තිහකට පෙර සිටම මෙම ක්‍රියාවලින් අඛණ්ඩව පවත්වාගෙන යන අතර එම විහාරස්ථානවලින් ගමට වන සේවයක් නොමැත. නමුත් පූජ්‍යස්ථාන විගණනයට ලක් නොවන හෙයින් මේවායේ ආදායම්වලට සිදුවන දෙය ගැන ඇත්තේ සැකයකි.

මීට බොහෝ කලෙකට පෙර පන්සලක් වෙත යමක් පූජා කරනවා මිස විකුණන සිරිතක් නොපැවතිණි. ඇතැම් භික්ෂූන් වහන්සේ ඉඩකඩම් මිලයට ගැනීම්, ව්‍යාපාර පවත්වාගෙන යෑම් පමණක් නොව යහමින් මුදල් පරිහරණය කරති. එසේම ප්‍රසිද්ධ භික්ෂූන් හට අධි සුඛොපභෝගී වාහන පවා ඇත. එබැවින් ජනතාව පමණක් නොව වෙළෙන්දෝ ද භික්ෂුව යැයි කිසිදු විශේෂ සැලකිල්ලක් නොකොට සිය වෙළෙඳාම් කටයුතු සිදුකරති. වෙසක් සමය, පොසොන් සමය හා කඨින පින්කම් සමය ආසන්නවත්ම කිසිදු ධර්ම ග්‍රන්ථයක සඳහන් නොවන පූජා එනම් කප්රුක් පූජා, තෙසැත්තෑ ඥාන පූජා, අසූහාරදහසේ පහන් පිංකම්, ගිරිභණ්ඩ පූජා ආදී වශයෙන් පවත්වමින් සිය දායකකාරකාදීන්ගෙන් මුදල් අය කරයි. වෙසක් පමණක් නොව ආගමම ව්‍යාපාරයක් කරගෙන ඇති සමාජයක සිදුවන ඇතැම් කනගාටුදායක සිදුවීම් දෙස බෞද්ධයන්ට මුනිවත රකිමින් බලා හිඳිනවා හැර වෙන විකල්පයක් නොමැත. මක්නිසාද භික්ෂුව විවේචනය කිරීමේ අයිතියක් ගිහියාට නැතැයි යන අවවාදය නිසාය.

නගරයේ වෙසක් සමයේ මෙසේ ධර්මය, භික්ෂුව හා ජනතාව තොග වශයෙන් විකිණෙද්දි ඇතැම් ඈත ගම් දනව්වල භික්ෂූන් වහන්සේ පිළිවෙත් පුරමින්, ජනතාවට උදව් කරමින්, ධර්මය ආරක්ෂා කර ගනිමින් නොවිකිණී වාසය කරති. උන්වහන්සේ ශ්‍රේෂ්ඨය. ආදර්ශවත්ය. එසේ හෙයින් මේ සංකර ව්‍යාපාරික මාෆියාවලින් අසරණ ගැමියන් හෝ රැකගත යුතුය. ගමේ අහිංසක මිනිසුන්ට නගරයේ මිනිසුන්ට ඇති ධර්ම කාරණා ගැටලු නැත.

සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට වැඩියේද, අනිමිසලෝචන පූජාව කළේ ද? අහසින් ගමන් කළේ ද යන්න උගත් නාගරිකයාට ගැටලුවක් වන මුත් අහිංසක ගැමියාට පව් වැඩ කළොත් අපායේ යන බවත් හොඳ වැඩ කළොත් දිව්‍ය ලෝකයේ යන බවත් හැර වෙන දැනීමක් නැත. එබැවින් වෙසක් නාමයෙන් කරන මහා පරිමාණ දන්සල්, මහා පරිමාණ ධාතු වන්දනා ව්‍යාපාර ආදිය ගැන අවබෝධයක් නැත. තක්කඩි මිනිස්සු සර්වඥ ධාතූන් යැයි පෙන්වමින් කොහේ හෝ ඇති යමක් පෙන්වා අසරණ මිනිසුන්ගේ රුපියලට තට්ටු කරති. ශ්‍රද්ධාව හේතුවෙන් පවසන ඕනෑ දෙයක් පිළිගන්නා ජනතාව ඒ ගැන කථා නොකරන්නේ පව් සිද්ධවෙන නිසාය. චේතනාව කර්මයට හේතු වන බව බුදුන් වහන්සේ දෙසූහ. එබැවින් බුදු වදන අනුව ජීවත් වන්නාට දෙලොව යහපත සැලසෙන අතර වංචාකාරයන්ට සොබාදහමෙන් දඬුවම් ලැබෙනු ඇත.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »