තිස්ස සඟුන්ගේ කරපිටින් ගිය දෙමටමල් විහාරයේ බණ අහන එළදෙනක්

2016-05-13 10:19:00       672
feature-top
විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය, ආම්පන්න වැඩි යුගයක බොහෝ අය පන්සලට යන්නට අකමැතිය. පන්සලට ගිය ද බණ පදයක් අසන්නට කම්මැළිය. ඒ එක තැන බොහෝ වේලා ඉන්නට වන නිසාය. කාර්යබහුල නිසා ඇතැම් විට දෙමාපියන්ට සලකන්න ද වේලාවක් නැත. ඒ මිනිසුන්ටය. නමුත් තිරිසනකු වූ මේ වැස්සිට නම් හුරුපුරුදු වෙලාවට බෝධි පූජා පිංකමට සහභාගි නොවී ඉන්නට බැරිය. ආබාධිත අම්මාට නොසලකා ඉන්නට ද බැරිය. ඉදින් මේ තිරිසන් සත්ත්වයා අද සමාජයට මහඟු පාඩමක් කියා නොදෙන්නේ ද.

දෙසොහොයුරන් වූ තිස්ස කුමරු හා දුටුගැමුණු කුමරු විරසක වූයේ රාජ්‍ය බලය හේතුවෙනි. දුටුගැමුණු කුමරු තිස්ස කුමරුන් සොයා පැමිණි ගමනේදී තිස්ස කුමරුන් විහාරස්ථානයක සැඟවුණේය, අවසන රෝගී වූ භික්ෂුවක කරපිටින් ඔසවාගෙන යන්නා සේ විහාරස්ථ භික්ෂුන් වහන්සේ තිස්ස කුමරුන් රැගෙන ගියහ.

තිස්ස සඟුන් කරපිටින් යාම පාපයකි දුටුගැමුණු මහරජ ඒ දසුන දුටු සැණින් පැවැසුවේය.

මේ අතීත කතාවට අයත් පන්සල පිහිටියේ බුත්තල ඔක්කම්පිටියේය. ඓතිහාසික දෙමටමල් විහාරස්ථානය පිළිබඳව නොදන්නා කෙනෙකු නැති තරම්ය. ඉතිහාසයට අයත් දෙමටමල් විහාරයේ අද වන විට හරි පුදුම දේ සිදුවන්නේය.

අතීතයේ පටන්ම දෙමටමල් විහාරයේ බුදුන් දහම් සඟුන් විෂයෙහි දෛනික පුද පූජා පැවැත්වෙන්නේය. වර්තමානයේ ද සන්ධ්‍යාවේ බෝධි පූජා පිංකම ප්‍රදේශයේ උපාසක උපාසිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි.

සෑම දිනෙකම පස්වරුවේ පැවැත්වෙන බෝධි පූජා පිංකමට තවත් විශේෂිතයෙක් පැමිණෙන්නේය. කාටවත් කරදරයක් නොමැතිව ඇතැම් දිනෙක උඩමළුවට වී බෝධි පූජා පිංකමට සහභාගි වන්නේය. දුරින් හිඳ සාවධානව ධර්මය ශ්‍රවණය කරන්නේය. නොවැළැක්විය හැකි කරුණක් නිසා බෝධි පූජා පිංකම පවත්වන්නට බැරි වුවහොත් එදින නම් ඇය ටිකක් කුපිත වන්නීය. සසර පුරුද්දකට හෝ ධර්මය ශ්‍රවණය කිරීමට දෙමටමල් විහාරස්ථානයට එන මේ තිරිසන් සත්ත්වයා පිළිබඳව අපට තොරතුරු කීවේ දෙමටමල් විහාරයේ විහාරාධිපති මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ගල්ටැම්වත්තේ චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේය.

මේ අපූරු සිද්ධි දාමය පිළිබඳව විහාරවාසී ගල්ටැම්වත්තේ පුණ්‍යානන්ද හිමියන් පවසන්නේ මෙවැනි තොරතුරකි.

මේ කියන වැස්සියි මවු එළදෙනයි පන්සල් වත්තෙමයි ඉන්නේ. කුඩා කාලේ ඉඳලම සවසට පැවැත්වෙන බෝධි පූජා පිංකම ශ්‍රවණය කිරීමට මේ වැස්සි පැටවා එනවා. උඩමළුවේ සිට හෝ බිම වැතිර සිට පූජාව අවසන් වන තුරුම නිසොල්මනේ ගාථා ශ්‍රවණය කරනවා. මම දිනපතාම සවස 6.30 ට තමයි බෝධි පූජා පිංකම පටන්ගන්නේ. හරියටම ඒ වෙලාවට වැස්සි එනවා.

යම් දිනෙක එයට සහභාගි වීමට එන්න ප්‍රමාද වුණොත් වැස්සි දුවගෙන තමයි, පිංකම පැවැත්වෙන තැනට එන්නේ. යම් හේතුවක් නිසා බෝධි පූජා පිංකම පවත්වන්නේ නැත්නම් එදාට වැස්සි ටිකක් සැරපරුස වෙනවා, ගල්වලට අනිමින් එදාට විරෝධය පානවා.

ඒ වගේම තමයි, සමහර දවස්වලට මේ වැස්සිය පන්සල් ගේ ඉදිරියේ රැඳී සිටිමින් මුර කරනවා. විහාර බිමේ බණ අහන වැස්සිය පිළිබඳව තවත් පුවතක් ඇත්තේය. එය නම් මේ සමාජයටම ආදර්ශයකි. අසරණ දෙමාපියන් තනි කර දමන සමාජයක වැස්සියගේ ක්‍රියාව කාට කාටත් හොඳ පාඩමකි.

මේ වැස්සිගෙ මවු වැස්සිට ඇවිදින්න අපහසුයි. පාද ආබාධයක් නිසා. තණකොළ මත වැතිර සිටින මවගේ ඇඟට හොම්බෙන් ඇනලා ඇනලා තමයි, වැස්සි අම්මව නැගිට්ටුවන්නේ. ඊට පස්සේ මවගේ ඇඟට හේත්තු වෙලා ඉන්නවා. මව් වැස්සි, වැස්සිගේ වාරුවෙන් තමයි හිටගෙන තණකොළ කන්නේ. මේක මහා සද්ක්‍රියාවක්.

මේ වැස්සිගෙන් සමාජයට ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියන්නේ ඒ නිසයි. වෙලාවකට අපට හිතෙනව මේ වැස්සි පෙර භවයක විහාරස්ථාන ඇසුරේ දිවි ගෙවූ අයෙක් ද කියා. ගල්ටැම්වත්තේ පුණ්‍යානන්ද හිමියන් පවසන්නේය.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »