දරුවන්ට එපා වූ මවුපියන්ට දරුවකුත් - පියකුත් වූ බුදු පුතෙක්

2016-05-11 10:56:00       672
feature-top
හිනා කටක් පුරවා ගත් ඇය කාමරයේ කවුළුව තුළින් අප දෙස බලා හිඳින්නී ය. තෙල් ගා මනාව පීරූ කෙස් වැටිය පිටුපසට වන්නට බැඳ, කහ වර්ණ පසු බිමේ රතු පාට පුංචි මල් වැටුණු චීත්ත ගවුමකින් සැරසී සිටින ඇය ගේ පියකරු මුහුණ සීදේවී ය. සිරියාවන්ත ය.

මේ අත්තම්මාගේ රුව මට සිහි කරන්නේ මීට වසර ගණනකට පෙර මිය ගිය මගේ අත්තම්මා ය. අපේ තනිකම මකමින්, ‍ගහ කොළ ගැන, සතා සිවුපාවා ගැන, මේ ලෝකය ගැන පුදුම හිතෙන කතාන්දර අපට කියා දෙමින් මිනිසුන් සමඟ ජීවත් වෙන හැටි ඉගැන්වූ ඇය අප හැර ගියේ නොසිතූ මොහොතක ය.

කැලණියේ ඥානසිරි හාමුදු

මගේ අත්තම්මාට මෙන් ම මේ අත්තම්මාටද දශක නවයකට ආසන්න කාලයක් ජීවිත් වීමේන් ලද අත්දැකීම් ඇත. එහෙත් ඇයට ඒවා බෙදා හදා ගන්නට, ජීවිතය ගැන දැනමුතුකම් දෙන්නට ලෝකය ගැන පබැඳුණු රස කතන්දර කියා දෙන්නට කෙනෙක් නැත. ඇය වට කොට ගෙන ආදරයෙන් ඇයට තුරුලුව ඒ කතන්දර අහන්නට දරු මුනුපුරන් ද ඇය සමීපයේ නැත.

කුසින් වැදූ දරුවන් සේ ම, ඒ දරුවන්ගේ දරුවන්ද ඇතත් අද ඇය ඔවුන්ගෙන් බොහෝ දුරස් ය. නැත, ඔවුන් ඇය දුරස් කරලා ය. අද ඇයගේ තනියට හිඳින්නේ ඇයවන්ම වයොවෘද්ධ අම්මලා ය. කෑම බීම, බේත් හේත්, ගතට වස්ත්‍ර අඩුවක් නැතත්, දරුවන්ගේ උණුසුම, ඇල්ම බැල්ම නැතිව ගෙවෙන හැම තත්ත්පරයකම දරුවන් දකිනු රිසියෙන් ඇයගේ හද දවන වේදනාව මහමෙරක් තරම් ය.

මගේ පුතාලා සේනාධීරලා. හොඳ රස්සා කරන, රටේ දැන උගත්තු. දේපළත් යහමින් තියෙනවා. ඒත් පුතේ.... මම මෙහේ

ඇස් අගට මතුවුණු කඳුළක් ඇඟිලි තුඩට එක් කර ගනිමින් ඇය අප හා පවසන්නී ය. ඒ ද දරුවන්ගේ නමට නොහොඳක් කරන අදහසින් නොවේ. දරුවන්ගේ වාසගමින් ඇය ඔවුන් හඳුන්වා දුන්නේ සමාජයේ ඉහළ තැනක් ඔවුන්ට හිමි බව කියන්නට මිස අම්මාට සලකන හැටි මේ යැයි ලොවට කියන්නට නොවේ.

දරුවන් උස් මහත් කොට සමාජයේ තැනකට ගෙන එන්නට මේ අම්මා ගේ ගතින් වැගිරුණු දහදිය බිඳු මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැකි ය. ඇය පමණක් නොවේ.

ඉසබෙලා වැඩිහිටි නිවස්නයේ වෙසෙන බොහෝ වයෝවෘද්ධයන්ගේ කතාව ද ඊට නොවෙනස් වේ. දූ පුතුන්ට බරක් වුණත්, මේ අහිංසක මවුපියන්ගේ බර කරට ගන්නට ඉදිරිපත් වුණේ ද තවත් ආදරණීය මවකගේ පියෙකුගේ සෙනෙහසින් හැදී වැඩුණු පුත්‍ර රත්නයකි.

ඒ සාමාන්‍ය පුතෙකු ද නොවේ. බුද්ධ පුත්‍රයෙකි. කැලණියේ ඥානසිරි හාමුදුරුවෝ , ඉසබෙලා වැඩිහිටි නිවස්නයේ වයෝවෘද්ධ මවුපියන්ට රැකවරණය දෙන්නේ උන්වහන්සේ ය. ඒත් මේ අම්මලා තාත්තලාට නම් උන්වහන්සේ අපේ තාත්තා ය.

ආගමික කටයුත්තකට වේවා රාජකාරියකට වේවා නිවාසයෙන් පිටට වැඩම කරන උන්වහන්සේ නැවත නෙත ගැටෙන තුරු මේ අම්මලා තාත්තලා බලා හිඳින්නේ තාත්තා කෙනෙකු ගෙදර එනතුරු බලා ඉන්නා දරුවන් මෙනි. උන් වහන්සේ ඇස ගැටෙත්ම ආන් තාත්තා එනවා යි ඔවුන් සතුටට පත් වන හැටි උන්වහන්සේ අප සමඟ කීවේ උපේක්ෂා සිතිනි.

මේ අම්මලා, තාත්තලා හරිම අහිංසකයි. හරිම සංවේදීයි. ආදරයෙන් වචනයක් කතා කළත් ඇති. හරිම සතුටට පත් වෙනවා. දාන මානවලට මොනතරම් රස මසවුළු ලැබුණත් මම ගමනක් ගිහින් ආපසු එන විට අරගෙන එන ටොෆියක්, කෙසෙල් ගෙඩියක් තරම් වෙනත් කිසි දෙයක් මේ අ‍යට වටින්නේ නෑ.

ඥානසිරි හාමුදුරුවෝ ඉසබෙලා වැඩිහිටි නිවාසය බාර ගන්නේ අහම්බයෙනි. දානමය කටයුත්තකට විහාරයෙන් බැහැර වැඩි අවස්ථාවක මේ වැඩිහිටි නිවාසය දැක බලා ගන්නට උන්වහන්සේට අවස්ථාව උදා වේ . ඒ මීට වසර දහයකට පමණ පෙරය.

එදා එහි මවුපියවරුන්ට කුස පිරෙන්නට අහරක් හෝ තිබුණාදැයි උන් වහන්සේට වූයේ සැකයකි. මේ ආකාරයට දින කිහිපයක් ම එහි වැඩි ඥානසිරි හිමියන්ට තවත් දිනෙක දැක ගන්නට ලැබුණේ හාල් හුණ්ඩුවක් ළිප තබා වෑංජනයට පතෝල කරලක් උයන ආකාරයකි.

එය මවු පියන් අට දෙනකුට පමණ පිසුණ ආහාරයකි. දරුවන්ගේ නිවෙස්වල පිසෙන රස මසවුළු අනන්තවත් කුණු කූඩයට යද්දී වැදූ අම්මලා‍ටත්,හැදූ තාත්තලාටත් යාන්තමින් පණ නළ රැක ගන්නට ආහාර සැකසුණේ එලෙස ය.

එකල මෙහි වූ සමහර වැඩිහිටියෝ මානසික රෝගීහු ය. හිඳි තැනම මල මුත්‍ර කරගනිමින්, හිඳිතැනම ඒවා විසුරුවා දමමින් අපවිත්‍ර කිරීමට තරම් මනසින් ලෙඩ වූවෝ ය. මේ අසරණයින් දැක ඥානසිරි හිමියන්ගේ හිත උණු වුණි. මේ මවුපියන්ට පිළිසරණ වෙමින් ඔවුන් රැක බලා ගන්නට තමන්ට හැකි නොවේදැයි උන් වහන්සේ කල්පනා කළහ. මීට කලකට පෙර වූ රිය අනතුරක් නිසා පාදයක් අහිමිව, ගතින් යම් තාක් දුර්වල වුවද උන්වහන්සේ ගේ ශක්තිමත් සිත එය තමන්ට කළ හැකි බවම පසක් කළේ ය. ටික දිනකින් මේ පින්වත් බලාපොරොත්තුව සඵල කරමින් ඉසබෙලා වැඩිහිටි නිවස්නයේ වැඩිහිටියන්ගේ රැකවරණය උන්වහන්සේ වෙත ලැබුණි.

මෙහේ හිටපු සමහර අම්මලා, තාත්තලාගේ දරුවෝ වත් පොහොසත්කම් ඇති අය. තමන්ගේ නිදහස ගැන හිතලා මවුපියෝ අතරමං කරලා. මම මුලින්ම කළේ ඒ දරුවො හොයාගෙන ගිහින් මවුපියන්ගේ වටිනාකම පෙන්වා දීල ඒ අය ඔවුන්ට බාර කිරීමයි. ඇත්තටම මම සමහර අයට තදින්ම අවවාද කළා. නැවත මේ වැඩිහිටියො නොසලකා හැරියොත් ගමේ අයගෙන් ම දඬුවම් ලැබෙන බව පෙන්වා දුන්නා.

එසේ උන්වහන්සේ ඔවුන්ගේ වැරදි නිවැරදි කරන්නට වෙහෙසුණහ. ඥානසිරි හිමි, විටෙක මනෝ වෛද්‍යවරයෙකි. මේ නිවස්නයේ සිටි මානසික රෝගීන් සුවපත් වූයේ උන්වහන්සේගේ ප්‍රතිකාරවලිනි. අද ඔවුහු තමන්ගේ වැඩකටයුතු හැකි පමණ පිළිවෙළින් කර ගන්නට, එකිනෙකා සමඟ දුක සැප බෙදා ගන්නට පුරුදුව සිටිති.

ඉසබෙලා වැඩිහිටි නිවාසයේ මවු පියවරු රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අය වෙති. ආගම් බේද එහි නොවේ. කතෝලිකයන් සේ ම බෞද්ධයන් ද මෙහි සමඟියෙන් වෙසෙති. සිය සහෝදර ස්වාමීන් වහන්සේලා සමඟ මෙන් ම ප්‍රදේශයේ දායක දායිකාවන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් මේ මවු පියවරුන්ගේ ආහාර වේල, බේත් හේත් ටික , ප්‍රමාණවත් වස්ත්‍ර සපයා දෙන්නට උන්වහන්සේ දරන කැපවීම සැබැවින් ම ප්‍රශංසනීය ය.

ඉසබෙලා වැඩිහිටි නිවස්නයේ මවු පියවරු කුසගින්නේ නොසිටිති. කිලිටි වස්ත්‍ර නොහඳිති. ගත වෙර සිඳී ගිය ද ඔවුන් පිරිසිදු ය.කුඩා බිම්කඩක වුව ප්‍රමාණවත් ලෙස ඉඩ පහසුකම් සලසා ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ලබා දීමට ඥානසිරි හිමියන් කටයුතු කර ඇත.

‍දාන මාන නොලැබෙන දිනයන් හි මෙහි ආහාර පිසෙන්නේ වියපත් මවු පියවරුන් ගේ ද සහයෙනි. කඩපොළට ගොස් ඒ සඳහා ඇවැසි හාල් සිල්ලර ගෙන එන්නේද ඥානසිරි හිමියන් ම ය. ඒ මවුපියන්ගේ ආහාර ටික අඩුවකින් තොරව සකසනු සඳහා ය. පාදයක් නොමැති වුව ද අප හිමියන් ගේ ගමන කඩිසර ය. නිරන්තරයෙන් මවු පියන්ගේ දුක සැප සොයා බලන්නට උන්වහන්සේ නිවස්නය පුරා ඇවිද යන ආකාරය අප සිත ඇති කරන්නේ පුදුමයකි.

උදේ සවස ආගමික වතාවත්වල නිරත කරවමින් රිදුණු සිත් හදා ,මේ වයෝවෘද්ධයන් අාධ්‍යාත්මිකව සුවපත් කරන්නට උන්වහන්සේ අමතක නොකරති. සියල්ලන් සහභාගි කරවමින් දෛනිකව බුද්ධ පූජාව සඳහා ගිලන්පස, උදේ දහවල දානය පූජා කිරීම, පොහෝ දින නිවැසියන් අෂ්ටාංග සිල් සමාදන් කරවීම, බෝධි පූජා පිංකම් පවත්වමින් ඔවුන්ගේ මනස සුවපත් කරවීම ඉසබෙලා වැඩිහිටි නිවාසයේ නිරන්තරයෙන් සිදු කෙරෙන ආගමික කටයුතු ය.

අපේ හාමුදුරුවෝ අපට පිහිට වුණා. කිසි දේකින් අඩුවක් කරන්නේ නෑ. උන් වහන්සේගේ ආදරය , කරුණාව ළඟ අපේ දුක අමතක වෙනවා. රට පුරාම තියෙන ආගමික සිද්ධස්ථානවලට අපව අරගෙන යනවා. පිං කම් කරවනවා.

අනේ අපිට පින් කරන්න අවස්ථාව දෙන උන් වහන්සේ දිව්‍යලොකයේ ම උපදින්න ඕනෑ. මම ප්‍රාර්ථනා කරන්නෙත් ඇඟේ වෙර වීරිය නැතත් බොහොම දුරකතර ගෙවාගෙන ආගමික සිද්ධස්ථානවලට යමින් මේ කර ගන්නා පින් බලෙන් ලබන ආත්මේකදිවත් මගේ දරුවන්ට මාව එපා වෙන්න එපා කියලයි. මේ නිවහනේ වෙසෙන සෝමාවතී අම්මාගේ බලාපොරොත්තුවය ඒ. ඇයට අවුරුදු අසු පහකි.

ඒකනායක මෙම වැඩිහිටි නිවාසයට ආවේ සිය මෑණියන් මිය යෑමත් සමඟ ය. මියෙන තුරු අම්මා බලාගත් ඔහුට අප ස්වාමීන් වහන්සේට මෙන් ම පාදයක් අහිමි ය. අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගත් දරුවන් දෙදෙනෙකුගේ මවකගේ ජීවිතය බේරා දෙමින් මීට වසර ගණනකට පෙර ඇයට වකුගඩුවක් දන් දුන් ඔහු අදද නි‍රෝගී ය.

අපේ හාමුදුරුවෝ හැම මොහොතකම මට අත්හැරීමේ වටිනාකම ගැන කියලා දෙනවා. ආදරෙන් කරුණාවෙන් සලකනවා. උන්වහන්සේ හැම මොහොතකම අපට ආදර්ශවත් ලෙස ජීවත් වෙනවා.අපේ හාමුදුරුවන් ගේ රැකවරණය ලැබීම පෙර පිනක්.

ඔහු සිය සිතිවිලි දිග හැරියේ එලෙස ය.

ජාඇළ ඒකල ගම්පහ පාරේ පිහිටි ඉසබෙලා වැඩිහිටි නිවාසයේ මවු පියවරුන් දස දෙනක් පමණ ජීවිතයේ සැඳෑ සමය ගෙවති. මසකට වරක් හෝ වෛද්‍යවරයකු කැඳවා ඔවුන්ගේ රුධිර පරීක්ෂණ, රුධිර පීඩනය පරීක්ෂා කරවමින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බලන්නට ඥානසිරි හිමියෝ අමතක නොකරති. උන්වහන්සේට ඒ සඳහා උපකාර වන්නේ රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය චින්තක රත්නායක මහතා ය.

අසරණ මවුපියන් ගැන මෙන් ම දායක දායිකාවන් වෙනුවෙන් ද තමන් වහන්සේගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කරන්නට උන්වහන්සේ අමතක නොකරති. ඔවුන්ගේ මරණයක දී, පින්කමක දී , මුහුණ දෙන දුෂ්කර අවස්ථාවන් හි දී උන්වහන්සේ නොඅලස් සිතින් ඔවුන්ට පිහිට වෙති. භාවනා වැඩ සටහන් මෙහෙයවමින් බෞද්ධයින් හට පමණක් නොව අන්‍ය ආගමිකයින්ටද අාධ්‍යාත්මික සුවය සලසති.

මේ අම්මලා තාත්තලාගේ හිත් හදන්න නම් ,ඒ අයගේ සිතුම් පැතුම් හඳුනා ගන්න ඕනෑ. අසනීප වුණාම කැත කුණු අතගාන්න ඕනෑ. මෙතන ඉන්න හුඟක් අය මානසිකව වැටුණු අයයි.

ඒ අයට ආදරෙන් කතා කරන්න ඕනෑ. ඒ වගේම මේ වැඩිහිටියන්ට දානයක් දෙන අයගේ බලාපොරොත්තුව මොකක්ද කියලා හිතන්නත් ඕනෑ. ඒ අය බලාපොරොත්තු වෙන්නේ පින්. ඒ නිසා පුණ්‍යාණුමෝදනා දී ඒ අය ධාර්මිකව සතුටු කරන්න ඕනෑ. ඥානසිරි හිමියෝ පවසන්නේ එලෙස ය.

ගමින් ගමට වැඩම කරමින් දුෂ්කර වෙහෙර විහාර සංවර්ධනයට හැකි උපරිම ලෙස දායක වීම , දිළිඳු දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදා දීම, දුෂ්කර ප්‍රදේශවල රෝහල් සඳහා භික්ෂු උපස්ථාන මැඳුරු විවෘත කිරීම, රෝහල් සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීම, අසරණ රෝගීන්ට සංග්‍රහ කිරීම , ගම් නියම් ගම් පුරා අාධ්‍යාත්මික වැඩමුළු පැවැත්වීම, දහම් පාසල් සඳහා පොත් පත් පාසල් උපකරණ ප්‍රදානය කිරීම, ධර්ම සන්නිවේදන සම්මන්ත්‍රණ පැවැත්වීම, ඥානසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් නිරන්තරයෙන් සිදු කෙරෙන පින්කම් අතර සුවිශේෂී ය.

උන්වහන්සේ ගේ චරිතය අපට වඩාත් වටින්නේ කායික දුබලතා අමතක කොට, තමන් වහන්සේගේ කාලයත් ශ්‍රමයත් මිනිසුන් වෙනුවෙන් දායාද කරන බැවිනි. උන්වහන්සේගේ චිත්ත ශක්තිය, බුද්ධ පුත්‍රයකු ලෙස වූ සංඝ සෝභන ගුණය ආදර්ශයක් ම වන බැවිනි. සිතේ ධෛර්යය මඟින් කළ හැකි දේ අසීමිත බව උන්වහන්සේ ක්‍රියාවෙන් පෙන්වා දෙති.

මේ රටට ජාතියට ඇවැසි වන්නේ ද එවැනි කරුණාබර මිනිසුන් ය. මේ සියලු යහපත් දේ සාර්ථක කරගන්නට උන් වහන්සේට අනුශාසකත්වයෙන්, අනුග්‍රාහකත්වයෙන්, උපකාර කරන මාබිම පිරිවෙනේ සිරි සුමන ස්ථවිර, ඉසින් බැස්සගල රජමහා විහාරාධිපති ආචාර්ය කඩවත්ගම පියරතන හිමි, කරපික්කඩ ජිනරතන හිමි, මෙන්ම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ කෘතවේදීව සිහිපත් කරන්නට උන්වහන්සේ අමතක නොකරති.

එ මෙන්ම වැඩිහිටි නිවහනේ කටයුතුවලට නිරන්තරයෙන් දායකවන එල්. එම්. පෙරේරා මහත්මිය ඇතුළු ප්‍රදේශයේ සියලු ගම් වාසීන්ගෙන් ලැබෙන උපකාරද අමතක නොකරති. උන් වහන්සේ මේ සියලු දෙනා සිහිපත් කරන්නේ කෘත ගුණ සැලකීමේ වටිනාකම සිහිපත් කරවමිනි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »