වහලක් නැති කඩයක්
පරණ මෝටර් සයිකල්වලින් සල්ලි හොයන චන්ද්‍රකුමාර්

2016-05-10 10:52:00       672
feature-top
පංචිකාවත්ත, ජයන්ත වීරසේකර මාවත ප්‍රසිද්ධ වාහන අමතර කොටස්වලට මෙන්ම මෝටර් සයිකල් සෑදීමට. හොයා ගන්න අමාරුම වාහන අමතර කොටසක් ඇත්නම් කවුරුත් අහන්නේ පංචිකාවත්තේ බැලුවේ නැද්ද කියලා. ඉකුත් දිනෙක වහලක් නැති කඩයක් සොයාගෙන යාමේදී ඔහුව හමු වූයේ අහම්බෙන්. පෑලියගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පදිංචි චන්ද්‍රකුමාර් ජයන්ත වීරසේකර මාවතේ මෝටර් සයිකල් අමතර කොටස් විකුණන්නෙක්.

ඉස්සර මං ගෙදර මේ වැඩේ කරගෙන ගියේ. මට මෝටර් සයිකල් හදන්නත් පුළුවන්. ඒත් බයිසිකල් හදනවට වඩා කරන්නේ අමතර කොටස් විකුණන එක. මගෙ ළඟ තියෙන්නේ අලුත්ම අලුත් අමතර කොටස් නොවෙයි. මේවා පරණ මෝටර් සයිකල්වලින් ගත්ත කොටස්. මම පරණ සයිකල් මිලට අරගෙන ඒවායේ කොටස් වෙන් කරගන්නවා. හොඳ ඒවා විකුණන්න තියාගෙන වැඩකට නැති කොටස් යකඩවලට විකුණනවා.

මේ තියෙන්නේ එහෙම විකුණන්න දාලා තියෙන යකඩ කදන්. දැන් යකඩ කිලෝ එකක් රුපියල් පහළොවයි. යකඩ විකුණලා ඉස්සර වගේ ලාභයක් ලබන්නත් බැහැ. මං මේ ව්‍යාපාරය ආරම්භ කරපු මුල් කාලේ හොඳට හම්බ කරගත්තා. ඉස්සර නිතර නිතර මේ හරියට මිනිස්සු එනවා. ඒත් දැන් එහෙම නැහැ. දැන් අමතර කොටස් හොයාගෙන එන පිරිස අඩුයි. සමහර දවස් තියෙනවා හිස් අතින්ම ගෙදර යන.

මම මෝටර් සයිකල් අමතර කොටස් පරණ ඒවා විකුණුවාට ඒවා ගන්න එන අයගේ මුහුණ බලලා විකුණන මිල ගණන් තීරණය කරන්නේ නෑ. මං මේ රස්සාව කරගෙන යන්නේ සාධාරණව. සාමාන්‍යයෙන් උදේ නවය වෙනකොට කඩේ අරිනවා. හවස 5.30 වෙනකොට වහනවා.

ඔහු කඩය අරිනවා යැයි කියන්නේ අමතර කොටස් තබා ඇති මඟ අයිනේ ඇති ලෑලි පෙට්ටිය ඇර, පරණ යකඩ ගොඩක් බදු අබලන් මෝටර් සයිකල් කිහිපයක් දෙපසින් තබා ගැනීමය. ඉන් අනතුරුව ප්ලාස්ටික් පුටුවක වාඩි වී කවුරුන් හෝ එනතුරු දූවිලි වැදෙමින් අව්වට පිච්චෙමින් ඔහු පුටුවට වී සිටී.

චන්ද්‍රකුමාරගේ කඩය යැයි කීවාට කිසිවෙක් ඔහුව ඒ ප්‍රදේශයේ නොදන්නවා වන්නට පුළුවන. එහෙත් පංචිකාවත්ත ජයන්ත වීරසේකර පාරේ තම්බිගේ කඩේ නාදුනන්නෙකු නැති තරම්ය.

මම දවසට රුපියල් පහළොස්දාහ විසිදාහ හොයපු දවස් තිබුණා. ඒත් දැන් එහෙම නැහැ. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් තාමත් ඉස්කෝලේ යනවා. වෙන කරන්න රස්සාවක් නැහැ. දිනපතාම උදේට ඇවිත් මෙතැනට වෙලා ඉන්නවා. වැස්සහම තෙමෙනවා. අව්වට වේළෙනවා. මේ තමයි අපේ ජීවිතය.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »