මඟීන්ගේ පහසුව වැඩිකරන ඉලෙක්ට්‍රොනික කාඩ් පතක්
මඟීන් අනුව නොව ධාවනය වන වාර ගණන අනුව ආදායම

2016-05-09 10:48:00       671
feature-top
අලුත් ම සංඛ්‍යා ලේඛන අනුව කොළඹ නගරයේ වාහනවල සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 10 15 අතරවේ. මේ අනුව අද කොළඹ හා මහනුවර ඇතුළු ප්‍රධාන නගරවල වාහන තදබදය නිසා මුළු රටේ ම සියලු කටයුතුවලට බාධා පැමිණෙමින් තිබේ.

මේ වාහන තදබදයට ප්‍රධාන හේතුව පෞද්ගලික වාහන රැසක් කොළඹට පැමිණීමය. මෙරට බස් ධාවනය විධිමත්ව හා මහජනතාවට සුව පහසු ලෙස යා හැකි පරිදි සකස් නොවී තිබීම නිසා පෞද්ගලික වාහන විශාල ලෙස නගරයට ඒමට ප්‍රධාන හේතුවක් වී තිබේ. අද අපේ රටේ පෞද්ගලික බස් 22000 ක් හා ලංගම බස් 5500 ක් ධාවනය කරනු ලැබේ.

ජනාධිපති කාර්යාලීය උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ (සෙමා) ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන මහතා පවසන පරිදි මීට වසර 10 කට පෙර මෙරට පොදු ප්‍රවාහන සේවාව මෙරට ජනතාවගෙන් සියයට 60 ක් පමණ පාවිච්චි කළහ. නමුත් දැන් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නේ සියයට 40 ක් පමණි. මේ නිසා බස් හිමියන්ගේ ආදායම ද අඩු වෙමින් තිබේ.

මේ අනුව මෙරට පොදු ගමනාගමනය විශේෂයෙන් බස් ධාවනය විධිමත් කිරීමට හා මගී පහසුව වැඩිකිරීමට නව වැඩපිළිවෙළක් අවශ්‍යතාවක් දැන් ඇති වී තිබේ. එම අවශ්‍යතාව ඉටු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයට උපදෙස් දී ඇත. එහි සභාපති අශෝක අභයගුණවර්ධන මහතා පවසන පරිදි ඊට සුදුසු නව වැඩපිළිවෙළක් දැන් සකස්කර ඇත. ඒ අනුව මෙරට සියලු ම බස් මාර්ගවල ධාවනය කරන බස් සඳහා ආදායම ලබාදීම බස්වල නංවාගන්නා මගීන් ගණන අනුව නොව බස් රථ එම මාර්ගවල ධාවනය කෙරෙන වාර ගණන අනුව සිදුකෙරේ‍. ඒ සඳහා ඒක කේන්ද්‍රීය ක්‍රම උපාය වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවේ. ඒ අනුව පෞද්ගලික හා ලංගම බස් රථ වලට නියමිත මාර්ගය සඳහා ස්ථිර කාල සටහනක් සකස් කෙරේ. බස් රථය ආරම්භ කරන ස්ථානය අතරමැදි ස්ථාන 2 ක් හා අවසන් කරන ස්ථානවලට අදාළ වේලාව එහි අඩංගු ය. සියලු ම බස් රථ මෙම කාල සටහන අනුව ස්ථිරවම ධාවනය කළ යුතු ය. රාත්‍රියට ද කාල සටහන ක්‍රියාත්මක ය.

නව ක්‍රමය අනුව බස් රථවල මගීන් ගමන් කිරීමේදී මුදල් අය කරනු ලබන්නේ නව ඉලෙක්ට්‍රෝනික කාඩ්පතක් මගිනි. එම කාඩ් පත පහසු මුදලකට ඕනෑම නගරයකින් ලබාගැනීමටත් එය නැවත නැවත රීලෝඩ් කිරීමටත් හැකි ය. එම ඉලෙක්ට්‍රොනික කාඩ්පත නැති මගී ජනතාවට බස් රථයේ කොන්දොස්තර මහතාට ‍මුදල් ගෙවීමට පුළුවන. එයින් ඔහු තම බස් රථයේ ඇති ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයෙන් අවශ්‍ය මුදල අදාළ ගිණුමට යවනු ලැබේ.

මෙම ඉලෙක්ට්‍රොනික කාඩ්පත් මගින් විවිධ මගීන් බස් රථවලට කොන්දොස්තරවරුන්ගේ .ඉලෙක්ට්‍රොනික ප්‍රතිග්‍රාහක යන්ත්‍රවලට බැර කරන මුදල් බැංකුවක වෙන ම ගිණුමකට යවනු ලැබේ.

මෙම බස් රථ ධාවනය වන වාර ගණන හා නංවා ගන්නා මගීන් ප්‍රමාණය කොන්දොස්තර මුදල් හෝ ඉලෙක්ට්‍රොනික කාඩ්පත් මගින් මුදල් ලබාගන්නා ආකාරය යනාදිය පිළිබඳව බස් රථයේ හා ප්‍රධාන බස් නැවතුම් පළවල ඇති CCTV හා GPS යන්ත්‍ර මගින් අධීක්ෂණය කරනු ලැබේ.

අශෝක අභයගුණවර්ධන මහතා පවසන පරිදි මේ නව ක්‍රමය දැනටමත් ජනාධිපතිතුමාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් මාර්ගවල ක්‍රියාත්මක කෙරේ. මැද මහනුවර - දිගන, මහනුවර - පේරාදෙණිය, මහනුවර - කරල්ලියැද්ද මාර්ග ඒ අතර වෙන බව අභයගුණවර්ධන මහතා පවසයි.

නව වැඩපිළිවෙළ අනුව මෙලෙස බස් රථවල ඉලෙක්ට්‍රොනික කාඩ්වලින් බැර කරන මුදල් සියල්ල පිළිබඳවත් සිදුවෙන ගමන් වාර පිළිබඳවත් අධීක්ෂණය කිරීමට මෙහෙයුම් මැදිරියක් මෙහෙයුම් නිලධාරි හා පරිපාලන නිලධාරි ආදී තනතුරු කිහිපයක් ඇති කිරීමට යෝජිත ය.

සෑම දිනකම මෙලෙස මෙම එක් එක් මාර්ගයෙන් ලැබෙන ආදායම හා ඒ මාර්ගයේ දුවන බස් රථ හා ඒ එක් එක් බස් රථය දුවන වාර ගණන සොයා බලා ඊට අදාළව එක් එක් බස් රථයට අදාළ ආදායම ලබාදෙනු ලැබේ.

මේ ක්‍රමය අනුව බස් රථ වැඩි වාර ගණනක් සෑම මාර්ගයකම වැඩිපුර ධාවනය කිරීමට අවස්ථාව සැලසේ. ඒ අනුව මගී ජනතාවට නම් ගමන් බිමන්වලට දැනට වඩා පහසුවක් ලැබේ. ඒ සමඟම බස් රථවලට වැඩිපුර මගින් පටවන්නේ නැති බැවින් බස් රථවල නිතර අලුත්වැඩියා ඇති නොවේ. බස් රථ අතර තරගයක් නැති නිසා රිය අනතුරු අවම වේ. රාත්‍රියේ පවා මේ බස් කාල සටහනක් අනුව ධාවනය වන නිසා මගී පහසුව වැඩි වී බස් රථවල ආදායම වැඩිවේ.

ඒ සමඟම පෞද්ගලික වාහනවල යන මඟී ජනතාව ද මේ නව වැඩපිළිවෙළ යටතේ බස් රථවල ගමන් කිරීමට යොමුවීම මගින් වාහන තදබදයද අඩුවී බස් රථවලට ද වැඩි ආදායමක් ලැබෙනු ඇතැයි අශෝක අභයගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මේ කාලීන අවශ්‍යතාවක් වූ නව බස් රථ ගමනාගමන වැඩපිළිවෙළ රට පුරාම ව්‍යාප්ත කිරීම රටේ සියලු මගී ජනතාවට ප්‍රයෝජනවත් වැඩපිළිවෙළකි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »