සත්ත්වෝද්‍යානය සතුන් කූඩු කර තබා පෙන්වා විනෝදය සපයන තැනක් ද?

2016-05-03 11:50:00       694
feature-top
අපගේ ජාතික සත්වෝද්‍යානය පොදුවේ කවුරුත් හඳුන්වන්නේ දෙහිවල සතුන් වත්ත යන නමිනි. මේ අතර එය තවදුරටත් සතුන් වත්තක් ද එසේ නැත්නම් සත් කනත්තක් ද යන ප්‍රශ්නය මෑතක සිට මතු කරමින් සිටින්නේ පරිසරවේදීන් ය. ඒ තරමට ම පසුගිය කාලය පුරා එහි විසූ සත්වයින් මිය ගොස් තිබේ. ආහාර හීනතාව නිසා හටගත් මන්දපෝෂණය, සතුන් කෙරෙහි සැලකිලිමත් අවධානයක් නොදැක්වීම, අධීක්ෂණයෙන් තොර පරිපාලනය, වෛද්‍ය සේවාවේ දුර්වලතා යනාදි කරුණු කාරණා බොහෝ වටිනා සතුන් එසේ මිය යාමට හේතු වී යැයි පරිසරවේදීහු දිගින් දිගට ම පෙන්වා දුන්හ.

සත්වෝද්‍යාන පිළිවෙළ සංකල්පය අද ඊයේ ඇතිවූවාක් නොවේ. ඈත අතීතයේ ප්‍රභූන් සහ රාජකීයන් සිය සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කිරීමේ අමුණින් ද සත්ව ගාල් පවත්වාගෙන ගොස් තිබේ. කෙසේ වුව ජාතික මට්ටමෙන් සත්වෝද්‍යාන ඇති වීමට පටන් ගැනීමෙන් පසු ඊට පක්ෂව මෙන්ම විපක්ෂව ද අදහස් පළ කෙරිණි.

එතැනදී ඩෙස්මන්ඩ් මොරිස් නම් ප්‍රකට සත්වවේදියා සිටියේ ඊට පක්ෂව ය. ඒ අනුව විපක්ෂ මතධාරීන් ප්‍රධාන වශයෙන් ම එල්ල කළ එමඟින් සතුන් ගේ නිදහස නැති කිරීමට මිනිසාට අයිතියක් නැතැයි යන චෝදනාවට සත්වවේදියෙකු වශයෙන් ඩෙස්මන්ඩ් මොරිස් ලබා දුන් පිළිතුර නිසා එම විපක්ෂ මතවාදය අඩපණ වූවා විය යුතුය. ඒ අනුව වනාන්තරයක ජීවත් වුණත් බොහෝ සත්වයෝ වනාන්තරය පුරාම ජීවත් නොවෙති යි ඔහු පැවසීය. වනයේ සුළු බිම් කඩකට ඔව්හූ බො‍හෝ දුරට සීමා වී සිටිති. එනිසා සත්වෝද්‍යානයක සීමිත බිම් ප්‍රමාණයකට එවැනි සතුන් හුරු කිරීම ලොකු වරදක් ලෙසින් ඔහු දුටුවේ නැත. ඒ හැරුණු කළ වනාන්තරයේ දී විලෝපිතයන්ට ගොදුරු වීමේ අවදානම සහිතව ජීවත් වන මේ සත්තු සත්වෝද්‍යානයකදී සිය සම්පූර්ණ ආයු කාලය ගෙවති. සත්ව සංරක්ෂණය, වඳ වී යෑමට නියමිත සතුන් පුනරුත්ථාපනය , සතුන් ගැන හැදෑරීමට අවස්ථාව ලැබීම, වනාන්තරයකදී මෙන් නොව ආසන්නයට ම ගොස් ඔවුන් නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලැබීම යන මේ වරප්‍රසාදමය අවස්ථා නිසා සත්වෝද්‍යාන පිහිටුවීමේ කිසිදු වරදක් තමන් දකින්නේ නැතැයි එදා, ඊට පක්ෂව‍ූවෝ පෙන්වා දුන්හ.

කෙසේ වෙතත් National Geographics special Investigation unit නම් පාරිසරික මාධ්‍ය ඒකකය වන ජීවී අපරාධ (Wild Life crime) යටතේ නිකුත් කොට ඇති අලුත් ම වාර්තාවට අනුව ඩෙස්මන්ඩ් මොරිස් වැනි ප්‍රකට සත්වවේදීන් සත්වෝද්‍යාන සංකල්පයට පක්ෂව ගෙන ආ තර්ක අභියෝගයට ලක් කොට තිබේ. ඒ මෙසේ ය.

ලෝකයේ වඳ වීමේ අවදානමට ආසන්නව ම වෙසෙන සුමාත්‍රානු ව්‍යාඝ්‍ර විශේෂයට අයත් රාමා නම් ව්‍යාඝ්‍රයා ඉන්දුනීසියාවට අයත් පැරැණි සහ විශාලතම සත්වෝද්‍යානය ලෙසින් සැලකෙන Surabya හී දි මිය ගියේ ය. එම ස්ථානයේ දී ඒ ආකාරයට ම තවත් සත්ව විශේෂ විශාල වශයෙන් මිය යෑම නිසා එය ද අපගේ දෙහිවල සතුන් වත්ත වැටුණු තැනට ම ඇද වැටිණි. ඒ අනුව එය මරණයේ සත්වෝද්‍යානය යන අන්වර්ථ නාමය ද ලබාගත්තේ ය. ‍‍‍‍

සත්වෝද්‍යානයක් වශයෙන් Surabya පවතින්නේ අවම පහසුකම් යටතේය. ඒ අනුව වාර්ෂිකව සතුන් සිය දෙනෙකුවත් මියයෑම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙමින් තිබේ. 2010 දී මසකට සතුන් 25ක් වත් මිය ගොස් තිබේ. එසේ පවසන්නේ ද සත්වෝද්‍යානයේ ප්‍රකාශකයෙකි. 2012 වර්ෂයේ දී මියගිය ජිරාෆ් නම් සත්වයෙකු ගේ උදරයේ තිබී රාත්තල් හතරක් පමණ බරින් යුත් ප්ලාස්ටික් ගුලියක් සොයාගෙන තිබේ. එහි ම විසූ තරුණ සිංහයෙකු කේබල් ජාලයක පටලැවී හුස්ම හිරවීමෙන් මිය ගියේ ය.

තවද අවුරුදු 13ක් වයස සුදු ව්‍යාඝ්‍රයෙකු ආහාර ගැනීමේ දී අනපේක්ෂිත අනතුරකින් දිව තුවාල වීම නිසා මිය ගියේ ය. සාමාන්‍යයෙන් මේ ආකාරයට කූඩු කරන ලද පසුබිමකදීත් එවැනි ව්‍යාඝ්‍රයකු අවුරුදු 20ක්වත් ජීවත් වෙතැයි හඳුනාගෙන තිබේ.

සත්වෝද්‍යාන ආරංචි මාර්ග පෙන්වා දෙන අන්දමට. එහි විසූ ව්‍යාඝ්‍රයන් බොහොමයක් මිය ගොස් ඇත්තේ හෘදයාබාධ වලිනි. කොතරම් ආරක්ෂිතව රැක බලා ගත්තත් එය වැළැක්විය නොහැකි තැනකට පත්ව ඇතැයි ද පැවසේ. කෙසේ වුව මුලින් කී රාමා නම් ව්‍යාඝ්‍රයා මියගොස් තිබුණේ දත්වල ඇති වූ රෝග කාරක ආසාදන තත්ත්වයක් හේතු කොටගෙනය. ඒත් සමගම සතාට දරුණු කැස්සක් හට ගෙන ඇති අතර සතියක් පුරා එයින් දුක් විඳ අවසානයේ දී ඌ මියගොස් තිබේ.

මේ ආකාරයට සත්වෝද්‍යානයේ සතුන් මිය යෑමට හේතුව කුමක් ද? ඊට හේතුව වශයෙන් අවිධිමත් බව මෙන් ම නො සලකා හැරීම් හඳුනාගෙන තිබේ. එවැනි විවේචන යට කී ආයතනයට එරෙහි ව තිබේ. කෙසේ වෙතත් කාලයක් තිස්සේ සත්ව ගහනයේ වූ ඉහළ යෑමක් ද නිරීක්ෂණය කොට ඇති අතර ඊට සාපේක්ෂව පහසුකම් වැඩි කර ගැනීමට ආයතනික පරිපාලනය අසමත් වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් කූඩු තුළ අනවශ්‍ය තදබදයක් සහ තෙරපුමක් හට ගත් බවත්, ඉහත කී ආකාරයට සතුන් මිය යාමට එය ද පැහැදිලි හේතුවක් වී ඇතැයි යනුවෙන් ද තත්ත්වය පිළිබඳව කළ විමර්ශනවලදී හඳුනාගෙන තිබේ.

වනාන්තරයක විසූවත් බොහෝ සතුන් වෙසෙන්නේ සුළු බිම් ප්‍රදේශයක බැවින් සත්වෝද්‍යානයකදී කියන තරම් අසාධාරණයක් සතුන්ට වෙන්නේ නැතැයි එදා ගෙන ආ තර්කය යට කී සිද්ධිවලට අදාළව කරන ලද විමර්ශනවලදී පැහැදිලිව ම ප්‍රතික්ෂේප කොට තිබේ. මේ ආකාරයට වනගත සතුන් රඳවා ගත යුතු නොවේ යැයි එතැනදී පෙන්වා දී ඇත. විශේෂයෙන් ම වනයකදී ඕනෑම සත්වයෙකු තමන් ‍තෝරාගත් පරාසයක නිදහස් ව හැසිරෙන තත්ත්වයක් දැකිය හැකි යි. ඉනුත් තමන්ගේ ශරීර ප්‍රමාණයට සරිලන අයුරින් වනාන්තරයකින් වනාන්තරයකට සිය ඉඩ පරාසය වෙන් කරගන්නා අලි ඇතුන් ඊට සාපේක්ෂව සත්වෝද්‍යානයක දී අත් විඳින්නේ කිනම් පහසුවක් ද යන්න ප්‍රශ්න කිරීමට ලක්වී තිබේ. එමෙන් ම එහි ඇත්තේ කුමන සදාචාරයක් දැයි විමසන තැන දක්වා ම යථෝක්ත ප්‍රශ්න කිරීම දුර දිග ගොස් තිබේ.

මෑතකදී අලි ඇතුන් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයක දී හෙළි වන්නේ වනාන්තර ජීවිතයට සාපේක්ෂව සත්වෝද්‍යාන තුළ දී අලි ඇතුන්ගේ පැටවුන් මිය යාම තුන් ගුණයකින් වැඩි අගයක් ගන්නා බවයි.

එම සමීක්ෂණය සිදු ‍කොට ඇත්තේ ඇ‍ෙමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ සත්වෝද්‍යාන පාදක කරගෙන ය.) මෙවැනි තත්ත්වයක් හමුවේ ඇති කරගත හැකි විසඳුම කුමක් ද? යන්න ද මේ වන විට තියුණු ලෙස සලකා බැලීමකට ලක් වී තිබේ.

සත්වෝද්‍යාන වගකීමක් ඇති බලධාරී ආයතනික ව්‍යුහයක් යටතට පත් කළ යුතුය යන අදහස ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා අතර ඉදිරියෙන් ම තිබේ. ඒ සඳහා උදාහරණයකට ගෙන ඇත්තේ ඇ‍ෙමරිකාවේ ප්‍රධාන පෙළේ සත්වෝද්‍යාන එරට සත්වෝද්‍යාන සහ ජල‍ජ ජෛව සම්මේලනය ට යටත්ව පැවතීම යි. ඒ තත්ත්වයට අදාළව එකී සත්වෝද්‍යාන සිය බලපත්‍රය ලබාගැනීමේ දී ඇ‍ෙමරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත ඉහළ ප්‍රමිතිය වෙනුවෙන් වග වීම එසේ නැතහොත් සිය සත්වෝද්‍යාන එම ප්‍රමිතියට අනුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සහතික වීම අවශ්‍ය වේ. එහෙත් ඇතැම් විචාරකයින් පෙන්වා දෙන්නේ ඒ ඉහළ ප්‍රමිතිය ඔවුන් පෙන්වා දෙන තරම් ම ඉහළ මට්ටමක නැති බවයි. තවද ඒ ඉහළ ප්‍රමිතිය ද පවතින්නේ යට දැක්වෙන අත්තිවාරම මත ම නම් එහි ඇති ඉහළ බව කුමක් දැයි ඔව්හු ප්‍රශ්න කරති.

* ලොව සත්වෝද්‍යාන අදටත් පවත්වාගෙන යන්නේ විනෝද හා ක්‍රීඩා කටයුතු විෂය යටතේ ය.

* ඒ අනුව සතුන් ප්‍රදර්ශනයට විනා ජෛව සංරක්ෂණය වැදගත් ‍කොට සැලකීම් දැකිය නො හැකි ය. (බොහෝ විට සතුන්, ඔවුන් ට ඔරොත්තු නොදෙන තරම් වූ කූඩුවල සිරකොට තබා තිබීම තුළම ඔවුන්ගේ ඒ අරමුණු පැහැදිලි වේ.)

* ඇතැම් සත්වෝද්‍යාන මුළුමනින් ම විනෝදය සහ ක්‍රීඩා අරමුණු ඉස්මතු කරගනිමින් මුදල් උපයන ව්‍යාපාර මට්ටමට ම ඇද වැටී තිබේ.

(මේ චෝදනාව අපගේ සත්වෝද්‍යානය සම්බන්ධයෙන් ද අදාළ වේ.)

මේ තත්වයන්ට එරෙහිව අධ්‍යයනය මුල් කොටගත් සමීක්ෂණ කටයුතුවලට විවෘත, වන ජීවී සංරක්ෂණය, වඳ වී යන සත්ව විශේෂ පුනරුත්ථාපනය කොට නැවත වනාන්තරගත කිරීම (මෙය ලින් ද අල්විස් මෙරට සත්ත්වෝද්‍යානයේ පාලක වශයෙන් සිටියදී ද සිදු කළ බව ඔහුට ගෞරවයක් වශයෙන් ලියා තබමි.) වන ජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම යනාදි අරමුණු වෙනුවෙන් පවත්වා ගෙන යන සත්වෝද්‍යාන ද නැතුවා නොවේ.

කෙසේ හෝ වේවා සත්වෝද්‍යාන සම්බන්ධයෙන් පවත්වා සාම්ප්‍රදායික ආකල්පය (විශේෂයෙන් ම විනෝද හා ක්‍රීඩා කටයුතු) තවදුරටත් පවත්වාගත නොගත යුතු යැයි ක්ෂේත්‍රයේ වියත්හු පෙන්වා දෙති. කැලිෆෝනියා - ලොස් ඇන්ජලීස් විශ්ව විද්‍යාලයන් හි පරිසර විද්‍යා සහ පරිණාමවාදී ජීව විද්‍යා යන පීඨයේ අංශාධිපති වශයෙන් කටයුතු කරන ඩැනයල් බ්ලුම්ස්ටෙයින් පසුගිය දා සිය මතය ගාඩියන් නම් ප්‍රකාශනයට පවසා ඇත. එහි දී ඔහුගේ ස්ථාවරය වූයේ අධ්‍යයනය මුල් කොටගෙන කටයුතු කිරීම සත්වෝද්‍යානයක වගකීම විය යුතු බව ය. එම විභවය තුළ පවතිමින් විනෝදය සඳහා ද බොහෝ දෑ සිදු කළ හැකි යැයි ද ඔහු පෙන්වා දී තිබේ.

නිදර්ශනයක් ලෙස සැන්දියාගො සත්වෝද්‍යානය අල්ආලා (Alala) පක්ෂි විශේෂය සම්බන්ධයෙන් රටවල් 62 ක් තුළ පවත්වන සංරක්ෂණ ව්‍යාපෘතිය පොදුවේ අනාගත සත්වෝද්‍යාන පැවැත්මට ප්‍රබල මඟ පෙන්වීමක් ව්. එසේ ගත් කල සත්වෝද්‍යාන යනු තවදුරටත් ප්‍රදර්ශනය සඳහා සතුන් කූඩු කර තබාගන්නා විනෝද මධ්‍යස්ථානයක් නොවිය යුතු යැයි ක්ෂේත්‍රයේ වියත්හු පෙන්වා දෙති. ඒ තුළ සත්ව සංරක්ෂණය මෙන් ම සතුන්ගේ වනගත පැවැත්ම ද ආරක්ෂා කළ යුතු ය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »