දස්කම් පිරි ආබාධිත දරුවකුට පාසල් ගණනාවකින් කෙණෙහිලි

2016-05-02 09:55:00       673
feature-top
 ඉපදී වසර තුනක් යනකල් වචනයක්වත් කතා නොකළ දරුවා පස්සේ කථික තරගයෙන් පළමු තැන ගත්තා

 පාසල් ගමන පටන් ගත් දා සිට පාසල් ප්‍රධානීන් දරුවා පාසල් 5කට මාරු කළා

ඉසුරුපායෙනුත් සාධාරණයක් ඉටුවුණේ නෑ

උණහපුළුවාට උගේ පැටියා මැණිකක් කියන කතාව මට මතක් වුණේ මේ අතිශය සංවේදි කතාව ඇහුවට පස්සේ. දරු සෙනෙහස වෙනුවෙන් මවුවරුන්ගේ ඇඟේ දුවන රතු ලේ කිරට හැරෙන්නෙත් මේ සෙනෙහස නිසාමයි. එදා අතීත පටාචාරවන් ඇඟේ ඇඳිවතත් නොමැතිව වීථියක් වීථියක් පාසා දිව ගියේ හදවතේ නොසිඳෙන මෙවන් දරු සෙනෙහසින්. මේ එවන් වූ තවත් පටාචාරාවක්. සිය දරු සෙනෙහස උගසට නොතැබූ මේ නූතන පටාචාරාව අද වීථියක් වීථියක් පාසා උමතුවෙන් දිව යන්නේ සිය ආබාධිත එකම පුතුට පාසලක් ලබා ගැනීමේ අරමුණෙනි.

මාස තුනක් පමණ ජීවත් වෙතැයි වෛද්‍යවරුන් අපේක්ෂා කළ සිය ආබාධිත දරුවා වෙනුවෙන් සාගරය පරදවන තරමට කදුළු බිඳු දහඩිය බිඳු හෙළමින් ඇය ජීවිත දානය දුන්නාය. දරුවා උස්මහත් වෙද්දී ඔහුගේ නෙත් පාදා දෙන්නට ඇය පාසලක් සෙව්වාය. සෑම පාසලකින්ම දරුවා ප්‍රතික්ෂේප කරද්දි මේ මව පොළොවේ පස් කමින් හඩා වැටුණේ කරුමයට සාප කරමිනි. මේ අනුවේදනීය කතාව අප ඔබ හමුවේ තබන්නේ කියවා රස විඳින්නට නොව හිත් පිත් ඇති අයගේ දෑස් හැරීමටය. එමෙන්ම නොමිලයේ අධ්‍යාපනය ලබාගෙන ඒ හරහා සුර සැප විදිමින් තවත් අසරණයෙකු පාගා දමන කුහක මිනිසුන්ගේ නිරුවත හෙළිකරන්නටය. මේ ඇගේ කතාව ඇගේ වචනයෙන්මය.

ගස් ගල්වලට පණ තිබුණානම් මගේ කතාව අහලා ඒවත් උණුවෙනවා ඇය කතාවට සමාරම්භයක් සැපයුවේ හදේ තෙරපෙන දැඩි වේදනාව පිට කරමිණි.

අපි පදිංචි වෙලා ඉන්නේ අනුරාධපුරයේ මහ විලච්චියේ පාරේ. චතුරංග යසස් මගේ දරුවට අවුරුදු දෙකේදි මගේ මහත්තයා අපි දෙන්නව හැර ගියා. මම දරුවා උස් මහත් කළේ නොවිඳිනා දුක් විඳලා. මගේ දරුවා අවුරුදු තුනක් යනකම් කතාබහ කළේ නැහැ. පස්සේ ටිකෙන් ටික කතාබහ කරන්න පටන් ගත්තා. එක ඇහැක් නොපෙනෙන බව තේරුම් ගත්තේ ඉස්කෝලෙට ඇතුළු කළාට පස්සේ. එයාට මූණෙ පැත්තක ආබාධිත තත්ත්වයක් තිබුණා. ඒ නිසා කණ්ණාඩියක් පවා පාවිච්චි කරන්න අපහසු වුණා. දරුවා එක වසරෙදි ඇතුළත් කළේ පේමාඩුව සිද්ධාර්ථ විදුහලට. ඒ 2012 දි. මගේ දරුවා තුන වසර වෙනකම් හොඳට ඉගෙන ගත්තා.

සාමාන්‍ය ළමයි එක්ක ඉඳලා එක වසරෙදි හැම විෂයකටම ඒ සමාර්ථ්‍ය ගත්තා. දෙකේ තුනේ පන්තියේ හැම විෂයකටම ලකුණු 75 ට වඩා අරගෙන අනිත් ළමයින්ට වඩා හොඳින් සමත් වුණා. මුලදි කතා නොකළ මගේ දරුවා පස්සේ කථික තරගයකදි ළමයි 100කගෙන් පළමු වෙනියා වුණා. උදේ හතරට නැගිටලා පාඩම් කරනවා. දරුවා ගත්තු හැම සහතිකයක්ම අද මගේ ළඟ තියෙනවා. මෙහෙම ඉගෙන ගනිමින් හිටි මගේ දරුවට ඉස්කෝලෙන් ප්‍රශ්න මතුවුණේ 2015 වසරේදි. දරුවගේ ඇහක් පේන්නේ නැහැ. ආබාධිතයි කියලා ගුරුවරු විදුහල්පති හිරිහැර කරන්න පටන් ගත්තා. ගුරුවරු දරුවාට පහර දෙන්න පටන් ගත්තා. හවස් වරුවේ දරුවා ලවා පන්ති කාමර අතු ගාව ගන්නවා. දණ ගස්සවගෙන අකුරු ලියවනවා. දරුවා පාසල් යන්න බැහැ කිය කියා අඬන කොට මගේ වැඩේ දරුවගේ හිත හදන එකයි. ගුරුවරුන්ගේ හිරිහැර ඉවසන්න බැරිම තැන මගේ දරුවගේ පාසල් ගමන නතර වුණා. මේ ඇගේ දරුවාගේ වේදනාබර කතාවේ මූලාරම්භයයි.

කතාවේ දෙවැනි පරිච්ඡේදය ඇරැඹෙන්නේ එතැන් සිටය.

ඊට පස්සේ ඒ පාසලෙන් මම දරුවා අස්කරගෙන ඔයාමඩුව කාශ්‍යප විදුහලට දැම්මා. මාස තුනක් මගේ දරුවා ඒ පාසලට ගියා. දවසක් විදුහල්පතිතුමා මට එන්න කිව්වා. මට නාම ලේඛනය පෙන්නලා කියනවා බලන්නකෝ ළමයා මාස තුනටම දවසයි ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ. මම ඇහුවා එහෙම වෙන්න කොහොමද කියලා. ඒක මම දන්නේ නැහැ .මේ දරුවට උගන්වන්න බැහැ අරගෙන යන්න කියලා. මම එදා දරුවා අස් කරගෙන ගිහින් පොළොවෙ හැපි හැපි ඇඬුවා. මට ඕන වුණේ මගේ දරුවට කෙහොම හරි උගන්වන්න. මම හිතට ධෛර්යය අරගෙන අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලේ විශේෂ ඒකකයට ළමයා අරගෙන ගියා.

ඒ අය මගේ දරුවගේ සහතික බලලා කිව්වේ අපරාදේ මේ දරුවා මේ පාසල් වලට දාන්නේ. මේ දරුවා දක්ෂයි. ආබාධිත දරුවොත් එක්ක ඉගෙන ගත්තොත් මේ දරුවා පසුගාමී වෙනවා. ඒ නිසා අම්මේ මේ දරුවා සාමාන්‍ය දරුවන් එක්ක ඉගෙන ගන්න දාන්න කියලා. ඒ කතාව ඇත්ත. පස්සේ මම රියෙන්සි අලගියවන්න අඳ ගොලු බිහිරි විදුහලට දරුවා ගෙන ගියා. දරුවගේ ඒ සහතික දැක්ක ඒ මහත්වරුත් කිව්වේ ඒකමයි. දැන් මගේ දරුවට පාසලක් නැහැ. පාසලක් ලැබෙනකල් මම පහ වසර පොත් ගෙනත් දීලා දරුවට උගන්වනවා. මේ අතරේ මට කොහොම හරි ඕනැ වුණේ දරුවට පාසලක් හොයාගන්න. මම අනුරාධපුර කලාප කාර්යාලයට පළාත් අධ්‍යාපන කාර්යාලයට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට ගිහින් අඬ අඬා මගේ දුක කිව්වා. කකුල් ගෙවෙනකම්ම. පළාත් අධ්‍යාපන කාර්යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ මහත්තයෙක් මට කිව්වා ළමයව ගහලා හරි සිද්ධාර්ථයට යවන්න කියලා .

මම කිව්වා අනේ මහත්තයෝ මගේ දරුවට ගහලා මම කොහෙමද අකමැත්තෙන් ආයිත් ඒ පාසලට යවන්නේ. පුළුවන් නම් මම ත්‍රීවීලර් එකකින් මහත්තයව එක්කගෙන යන්නම්. මහත්තයම විදුහල්පතිට කියලා දරුවා බාර දෙන්න කියලා. ඒ මහත්තයා ඒකට කැමති වුණේ නැහැ. පස්සේ මම කිව්වා පුළුවන්නම් මගේ දරුවා බෝගස්හන්දියේ තක්ෂිලාවට දාලා දෙන්න කියලා. ඒකට ඒ අය කැමති වුණේ නැහැ. පස්සේ පැයක් විතර ඒ අය සාකච්ඡා කරලා මට කිව්වා ඔයාගේ දැඩි කැමැත්තටයි මේක දෙන්නේ. ආයිත් ප්‍රශ්නයක් වුණොත් මේ පැත්ත පළාතේ එන්න එපා කියලා. මගේ අසරණකමට මම හා කියලා ඒ පාසල බාර ගත්තා.

නිදහස් අධ්‍යාපනය සැමට උරුම රටේ සිය ආබාධිත දක්ෂ දරුවාට පාසලක් සොයමින් ඇය ගිය ගමන් මගේ එක් වේදනාත්මක කඩඉමක් මෙසේ අවසන් වුවද, ඇගේ කතාවේ ඇස් ඇරිය යුතු කතා පුවත් හෙළිදරව් වන්නේ දැන්ය.

2016 වසරේ ජනවාරි මාසයේ මම මගේ දරුවා තක්ෂිලාවට ගෙන ගියා. විදුහල්පති කිව්වා සතියක් ගෙදර තියාගෙන දරුවා ගේන්න කියලා. මම ආයිත් සතියකට පස්සේ දරුවා ඉස්කෝලෙට එක්කගෙන ගියා. එතනදි විදුහල්පතිතුමා මට අඬගහලා කිව්වා කිසිම හෙයකින් කිසිම ගුරුවරයෙකුට හෝ ගුරුවරියකට විරුද්ධව රාජකාරීමය වශයෙන් කටයුතු කරන්නේ නැහැකියලා ලියුමක් ලියලා අත්සන් කරලා දෙන්න කියලා. මම ඒ කිසිම දේකට විරුද්ධ වෙන්න ගියේ නැහැ. විරුද්ධ වෙලා මට දැන් යන්න තැනක් නැහැ. මාසයක් හොඳට මගේ දරුවා ඒ පාසලට ගියා. ඊට පස්සේ මා දකින වාරයක් වාරයක් පාසා විදුහල්පතිතුමා මට අඬගහලා අර ආකාරයේ ලියුම් ලියවලා අත්සන් කරව ගත්තා. ලියුම් 18-20 ක් විතර අත්සන් කරවගත්තත් මම ඒ ඇයි කියලා ඇහුවෙත් නැහැ. මේ වෙනකොට සඳුදයි බදාදයි සෙනසුරාදයි ශිෂ්‍යත්වයට පාසලේ අමතර පන්ති පැවැත්වුවා. මගේ දරුවට ඒවට සහභාගි වෙන්න දුන්නේ නැහැ. දරුවා ඉගෙන ගන්න ආස නිසා අඬඅඬා ශිෂ්‍යත්ව අමතර පන්තියට යන්න ඇහුවත් දරුවට ඒවට යන්න දුන්නේ නැහැ. මම හරියට අසරණ වුණා.

දරුවා එහෙන් අඬනවා. දුක කියන්න යන්න තැනක් නැහැ. ලියුම් ලියලත් සැනසීමේ ඉන්න නොදී දවසක් විදුහල්පතිතුමා අඬගහලා මට කිව්වා අම්මේ ඔයාගේ දරුවා අබාධිතයිනේ. ඒක පෙර කළ පවක්. සතියකට දවස් දෙකක් දරුවා ඉස්කෝලෙ එව්වහම ඇති. මම දරුවට සමාජය හුරු කරවන්නම් කියලා.හැම විෂයකටම ඉහළම ලකුණු ගන්න මගේ දරුවට සමාජය හුරු කරවන්න දෙයක් නැහැ. මගේ දරුවා දක්ෂයි. මට දරුවත් එක්ක වහබීලා දෙන්නා එක්කම මැරෙන්න හිතුණා. පස්සේ මම අඬ අඬා මගේ දුක ඒ පාසලේ ගුරුවරියකට කිව්වා. එයා මට කිව්වා අම්මේ ඔයා සද්ද නැතිව වෑන් එකකින් දරුවා කොහොම හරි පාසලට එවන්න. අපි බලා ගන්නම්. හැබැයි ඔයා එන්න එපා කියලා. පස්සේ මම දරුවට වෑන් එකක් හෙව්වා. හරිම අමාරුවෙන් පාසල් ගුරුවරු ගෙනියන වෑන් එකක් හොයා ගත්තා. ඒකේ යන ගුරුවරු මඟින් බැස්සහම මම මගේ දරුවා ඒ වෑන් එකට අතරමඟින් නග්ගනවා. මෙහෙම මාසයක් යන්න ලැබුණේ නැහැ. වෑන් එකේ සර් දවසක් මට හම්බවෙන්න කිව්වා. මම හිතුවා වෑන් සල්ලි ඉල්ලන්න කියලා. පස්සේ මට කිව්වා අම්මේ සල්ලි ප්‍රශ්නයක් නැහැ. ටීචර්ලා කැමති නැහැ මේ දරුවා මේ වෑන් එකේ යනවට.ඒ නිසා මට දරුවා නවත්වන්න වෙනවා කියලා. මගේ මුළු ජීවිතයම කඩා වැටුණා වගේ දැනුණා. මේ කතාවේ තවත් වැදගත් තොරතුරු ඇය අනතුරුව හෙළිදරව් කළාය.

අබාධිත දරුවෙකුට පවා ඉගෙනීමේ අයිතිය මෙන්ම විභාග අයිතිය පැහැර හැරීමට නොදෙන වත්මන් අධ්‍යාපන ක්‍රමයේ මෙවන් දේ මෙසේ සිදුවෙතැයි කාට නම් කෙසේ අපේක්ෂා කළ හැකි ද? විභාග කොමසාරිස්තුමනි මේ ඔබේ දැඩි අවධානයටයි.

පෙබරවාරි මාසේ වෙනකොට දරුවන්ගේ ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර පුරවන්න දෙමවුපියන්ට පාසලට එන්න කියලා තිබුණා මගේ දරුවට හැරෙන්න. ලොකු සර් කියලා තිබුණා චතුරංග ඔයාගේ අම්මට එන්න කියන්න ඕනැනැහැ කියලා. පස්සේ මම හිත හදා ගත්තා. මගේ දරුවා ආබාධිත වුණත් දක්ෂයි. එයාට ශිෂ්‍යත්වය ලියන්න ඕනෙ නැහැ. කොහොම හරි මම දරුවා සාමාන්‍ය පෙළ හොඳට කරවනවා කියලා. ඒත් ඒකත් කරන්න මගේ දරුවට පාසලක් ඕනෙ. අන්තිමට මට යන්න තිබුණු එකම තැන ඉසුරුපාය විතරයි. මම සිදුවුණු හැම දේම ලියාගෙන පහුගිය මාර්තු 02 දා දරුවත් අරගෙන ඉසුරුපායට ගියා, අධ්‍යාපන ඇමැතිතුමා හමුවෙන්න. ඇමතිතුමා හමුවෙන්න දුන්නේ නැහැ. මාව යොමු කළා ප්‍රාථමික අංශ ප්‍රධානිට. එයා මගේ ලියුම කියවලා කිව්වා මෙහෙම දේවල් ගුරුවරු කරන්නේ නැහැ, ඔයාට මානසික ලෙඩක් තියෙනවා .

ඒ නිසා දරුවා පාසලට යවන්න කියලා. මම අඬ අඩා කිව්වා මම මේතරම් දුරක් ආවේ මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ කියලා. මෙහෙම අඬ අඩා ඉන්නකොට තවත් මහත්තයෙක් ඇවිත් කිව්වා අම්මේ ඔයා දැන් යන්න. සතියකින් අපි සහනයක් දෙන්නම් කියලා. සතියක් දෙකක් නෙමේ මාර්තු අග වෙනකනුත් කිසිම උත්තරයක් නැහැ. මම ආයිත් දරුවත් එක්ක ඉසුරුපායට ගියා. ඒ යද්දි අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් කියලා කැටවලට සල්ලි එකතු කරන මල්ලිලා වගයක් හම්වුණා. මම ඒ අයට මගේ දුක් ගැනවිල්ල කිව්වා. ඒ අය කිව්වා අම්මේ අපි මාධ්‍ය සාකච්ඡාවක් තියමු කියලා. මාධ්‍ය හරහා මේ දේ ගියාට පස්සේ 2016.03.04 දිනයට තැපැල් කරපු ලියුමක් ගෙදරට ආවා. මට ඒක ලැබුණේ 10 වැනිදා. ඒකේ තිබුණේ ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර පුරවන්න දෙපාරක් දැනුම්දුන්නා . ඇයි ආවෙ නැත්තේ කියලා. අපිට දින ගණන් පරක්කු වෙලා මෙහෙම ලියුම් එන්නේ නැහැ. ඒ නිසා මට සැකයක් ආවා. මම පියුම් මහත්තයා හොයාගෙන ගියා. එයාගෙන් මම අහද්දි එයා පිළිගත්තා ලියුම පාසලෙන් දුන්නේ ඊයේ කියලා. ප්‍රශ්නයක් වුණොත් එයා උත්තර දෙන්න ලෑස්තිත් කිව්වා.

පස්සේ මම ජනාධිපති කාර්යාලයට ගියා මගේ කතාව කියලා දරුවට සාධාරණයක් හොයාගෙන. එතැන හිටිය මිස් කෙනෙක් මට කිව්වා ඔයාගේ ප්‍රශ්නෙ කියන්න චැතම් වීදියට යන්න කියලා. එතැන හිටිය මහත්තයෙකුට මගේ දුක් ගැනවිල්ල කියලා මම ඉල්ලුවා නිවාඩුවෙන් පස්සේවත් යන්න මගේ දරුවට පාසලක් දෙන්න කියලා. ඒ මහත්තයා මට අවසානෙදි කිව්වා ඔයාලා කියන කියන විදියට පාසලක් දෙන්න බැහැ. පරීක්ෂා කරලා බලලා කවදා හරි පාසලක් දෙන්නම් කිව්වා. මට දරුවත් එක්ක මැරෙන්නම හිතුණා . ඇයි මේ තරමට මගේ හිඟන දරුවා ඉස්කෝලවලින් ප්‍රතික්ෂේප කරන්නේ කියලා. මගේ දරුවා ආබාධිත වුණාට ඉගෙන ගන්න හරිම දක්ෂයි.

මට ඕන ඒ දරුවා රටේ හොඳ තැනකට ගේන්න. මගේ දරුවත් මාත් දැන් නොමැරී සිය දහස් වාරයක් මැරි මැරී ඉපදෙනවා. වෛද්‍යවරුන් ජීවත් කරන්න බැහැ කිව්ව දරුවෙකුයි මම මේ ජීවත් කරන්නේ. කොළඹ සොයිසා රෝහලේ මේ දරුවා ඉපදුණේ සීසර් සැත්කමෙන්. ඉපදුණු ගමන්ම දරුවා දැම්මේ නොමේරු ළදරු ඒකකයට. මම දැන ගත්තේ පස්සේ. දරුවට තදබල හෘදය රෝගයක් තිබුණා. වෛද්‍යවරු දරුවා ගොඩ ගන්නම බැහැ කිව්වා. ජීවත් වීමේ සම්භාවිතාව සියයට 25 යි කිව්වා . දරුවා ළමා රෝහලට දැම්මා . මමත් බලෙන් ටිකට් කපාගෙන දරුවත් එක්කම එතැනට ගිහින් අඬ අඬා වැදලා දොස්තර මහත්වරුන්ට කිව්වා මගේ දරුවා ජීවත් කරලා දෙන්න කියලා. අම්මේ මේ දොස්තර ඇතුළෙත් ඉන්නේ මනුස්සයෙක්.

අපි වෛද්‍යවරු වුණාට දෙවිවරු නෙමේ. අපිට අම්මගේ දුක හොඳට තේරෙනවා. අපි උත්සහ කරලා බලමු කියලා ඒ මහත්වරුන්ම පෞද්ගලික රෝහල්වල ඉන්න දොස්තරවරුන්ට මගේ දරුවා පෙන්වුවා, දෙවිවරු වගේ. මම අඬ අඬා දරුවව ඔපරේෂන් කරන්න ඉල්ලුවා. වෛද්‍යවරු ඒ අවදානම ගන්න ලෑස්ති වුණේ නැහැ. මම දරුවා රෝහල්වලට ගෙනියන්නේ අතේ පඬුරක් ගැට ගහලා. ඔහොම පෙන්නද්දි හාස්කමකින් වගේ කොළඹ ඇපලෝ රෝහලේදි දරුවට එකෝ පරික්ෂණයක් කරලා දොස්තර ශිවකුමාර මහත්තයා මට කිව්වා හරි අමාරුයි. ඒත් පොඩි අවස්ථාවක් තියෙනවා . දෙවියො අහක බලන්නැහැ කියලා. නමුත් ඊට කලින් දරුවට විෂබීජයක් ගිහින් නිව්මෝනියාවට ආවා. දැඩි සත්කාර ඒකකයේ දවස් 22 ක් කෘත්‍රීම ස්වසනයෙන් හිටියා.

දරුවා මාස තුනයි ජීවත් වෙන්නේ කියපු දවසේ ඉඳලා මම දරුවට සුදු ඇඳුම් ඇන්දෙව්වේ නැහැ. ඔපරේෂන් එකට දරුවට සුදු අන්දවලා ගන්ද්දි මම කෑගහලා ඇඬුවා එපා කියලා. පස්සේ දොස්තර මහත්වරු සුදු ඇඳුම උඩින් නිල් පාට ඇඳුමක් අන්දවලා ඇපලෝ රෝහලේ බුදු මැදුර ගාවට මාවයි දරුවවයි එක්කගෙන ගිහින් දරුවා මගේ අතට දීලා කිව්වා අම්මේ ආගම සිහිකර හොඳ හුස්මක් අරගෙන දරුවා අපේ අතට දෙන්න කියලා. මට සියයට 75 අවදානම මතක් වුණා. ඒත් දරුවට කිසි කරදරයක් වුණේ නැහැ. ශල්‍යකර්මය සාර්ථක වුණා. අවුරුදු පහක් දරුවා හැදුණේ අනුරාධපුර රෝහලේ. එදා දෙවියෝ පිහිට වෙච්ච මගේ අහිංසක දරුවගේ මූණ බලලා කොහොමද අද මේ වගේ දේවල් කරන්නේ............. ඇගේ කතාව අවසන් කර අපි එක තිතක් නොව තින් පේළියක්ම තබන්නේ මේ කතාව මෙතැනින් අවසානයක් දකින්නට නොවේ.

සැමට සම අධ්‍යාපන අවස්ථා උරුම යැයි කියන්නේ ආබාධිත දරුවෙකුට එක් විදියකයටත් සාමාන්‍ය දරුවෙකුට තවත් විදියකට සලකන්නටත් නොවේ. විදුහල්පති පුටුවේ වාඩි වී තේජස පෙන්වමින් අතීතය අමතක කරන්නට අප අධ්‍යාපනයේ පාඩම් කියා දෙන්නේ නැත. මෙවන් වූ අතළොස්සක් හමුවේ ගුරු දෙවිවරුද අප අතර ඕනැතරම් සිටිති. නොමිනිසුන් අතර මිනිසුන්ද සිටින මෙවන් යුගයක

ගරු ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, අධ්‍යාපන ඇමැතිතුමනි, විභාග කොමසාරිස්තුමනි, උතුරු මැද පළාත් අධ්‍යාපන ඇමැතිතුමනි, අනුරාධපුර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි මේ ඇගේ කතාවයි. මේ දරුවා වෙනුවෙන් සාධාරණය හා යුක්තිය ඉටුවේවායි යන්න අපේ ද පැතුමයි. ඇගේ කතාව පාඨක ඔබේ ද අවධානය පිණිසයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »