මැජික් පෙන්නා රටක් පුදුම කළ දිවියෙන් සමුගෙන රටම කම්පා කළ පුංචි මැජික් ශූරයා

2016-04-28 11:50:00       672
feature-top
  යන්න වෙලාවක් අපි හැමෝටම තියෙනවා මයේ පුතේ....

ඒත් හීනෙකින්වත් ඔයාගේ තාත්තත් මාත් හිතුවේ නැහැ

අපේ හැම බලාපොරොත්තුවක්ම සුණු විසුණු කරලා

ඔයා මෙච්චර ඉක්මනට අපේ කූඩුවෙන් ඈතට ඈතට නොපෙනි පියඹලා යන්න යයි කියලා

තමාගේ ඇකයේ උන්නු අවුරුදු දහ හතරක් වයසැති මේ පුංචි යසිත අලුත් අවුරුදු සඳ ලබන්නටත් පෙර අම්මා තාත්තා පුංචි මල්ලි වගේම චූටි නංගිවත් දාලා යන්නම යන්න ගියේ එයාගෙම ලෝකයට. පුංචි යසිත හැමවිටම හැමෝම අරුම පුදුම කෙරෙව්වා. යසිත කළ කී දැයින් හැමෝම පුදුම වුණා වගේම හැමෝගෙම නෙත් අදහා ගත නොහැකි අයුරින් යසිත ලෝකය හැර ගියේත් හරියට මැජික් බලයෙන් ඔහු කරන සෙල්ලමක් වගේ.

මගේ පුතා ලංකාවේ හිටිය ළාබාලම මැජික් ශූරයා. දක්ෂ මැජික් ශූරයනුත් එයා පරාජය කළා. අපේ එකම බලාපොරොත්තුව වුණේ එයා ලංකාවේ දක්ෂතම මැජික් ශූරයා කරවන්න. අපේ හැම සතයක්ම වියදම් කළේත් පුතා වෙනුවෙන්. ඒත් ඒ හැම දෙයක්ම පුතා පෙන්වපු මැජික් වගේ ඇස්බැන්දුමක්ම වුණා.

දරුවගේ මරණය තවමත් නොවිසදුණු අභිරහසක් වගේ. මරණ මොහොත වෙනකම්ම මගේ පුතාට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. අන්තිම දවස වෙනකම්ම ඉස්කෝලේ ගියා. ඉගෙන ගන්න දක්ෂ වුනාට මෙදාපාර වාර විභාගයෙන් ලකුණු ටිකක් අඩුවුණා. ඒත් එයාට හිතේ දුකක් තිබුණේ නැහැ. යාළුවොත් එක්ක හරිම සතුටින් ගෙදර එන ගමන් ගිහින් තියෙන්නේ ඉස්කෝලෙ අල්ලපු වත්තේ කාමරංකා ගහේ ගෙඩි කඩන්න. පුතාට ඉඳලා හිටලා හතිය ටිකක් තියෙනවා.

ඒ වෙලාවට බේත් කරලක් උරනවා. එදා පුතා කාමරංකා ගෙඩි එකොළහක්ම කාලා. අපි එදා වේල හම්බකරගන්නේ අතුරුගිරිය පොලීසිය ඉස්සරහා රෑ කොත්තු කඩයක් කරලා. මගේ පුතාට කඩයේ කොත්තු ගහන්න වගේම තේ හදන්න කැෂියර් වැඩේ කරන්නත් හොඳට පුළුවන්. එදත් පුතා කඩයේ ඒ වැඩ කළා. පහුවෙනිදා මම අවිස්සාවෙල්ල රෝහලේ හිටිය මගේ තාත්තා බලන්න යන්න සූදානම් වුණා.

පුතත් යන්න හැදුවා. එයා යන්න හදන කොට දුවත් යන්න හැදුවා. පස්සේ මම දෙන්නවම දාලා ගියා. ඒ කේන්තියට පුතා දවසෙම කරලා තියෙන්නේ නිදාගෙන ඉන්න එකයි. එදා කඩයට විකුණන්න ගෙනාපු පෑන් කේක් දහයක්ම මෙයා කාලා තියෙනවා.

මම ගෙදර ආවට පස්සේ පුතාව නැගිට්ටුවලා බත් කන්න දුන්නා. බල මාළුයි, පරිප්පුයි, රතු අලයි එක්ක බත් කාලා මෙයා එදා කැම හරිම රසයි කිව්වා. හැමදාම අපිට තේ හදලා දෙන්නේ පුතා. එදත් ඒ වගේම අපිට තේ හදලා දුන්නා. නංගිගේ ඇඟපත පවා හෝදලා ගත්තේ පුතා.

එදත් මම හරිම මහන්සියි කිව්වහම පැයක් විතර මගේ කකුලේ තෙල් ගෑවා. පහුවෙනිදා උදේ වෙනකොට පුතාට ගොඩාක් අමාරු වුණා. පපුව රිදෙනවා කිව්වා. තාත්තට ඉක්මනට අඬගහලා මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කිව්වා. අපේ ත්‍රී වීලර් එකෙන්ම ඔරුවල රෝහලට ගෙනිච්චා.

හොඳට රෝහලට බැහැලා ගිය මගේ පුතා හිටිහැටියෙම රෝහලේදි ඇදගෙන වැටුණා. ඒ අය පුළුවන් තරම් ප්‍රතිකාර කළා දරුවා ගොඩ ගන්න. පස්සේ සිහිය පවා නැති වුණා. අන්තිමට එතැනින් දරුවා ගොඩගන්න කියලා දොස්තරවරු හෝමාගම රෝහලට ගෙනිච්චා. හෝමාගම රෝහලේ මැෂින් එකේ දවසක් සිහිය නැතිව හිටියා.

දොස්තරවරු කිව්වා මෙයාට ගොඩාක් අමාරුයි කියලා. විෂ වෙන මොනවාහරි දෙයක් ආහාරයට ගත්තද කියලා සැරින් සැරේ ඇහුවා. අපිට ඊට දින දෙකකට කලින් දරුවා කාමරංකා කාපු කතාව මතක් වුණේම නැහැ. ඒත් කාමරංකා නිසා දරුවගේ සිනි මට්ටම අඩු වෙලා තියෙන්න ඇති.

ඒත් ඒක දරුවගේ ජීවිතයට නරක විදියට බලපායි කියලා කොහොම හිතන්නද? රටක් පුදුමයට පත් කළා වගේම 11 වැනිදා මගේ රත්තරන් පුතා අපිව දාලා යන්නම ගියා ඒ යසිතගේ මව පද්මලතාය. තවමත් ඇගේ පපුවේ පත්තුවුණු ගින්න නිවී නැත.

තවමත් යසිත පුංචි පුතුගේ උණුසුම මේ ගේ පුරාය. යසිතගේ දස්කම් දැක්වූ දහසක් වටිනා මැජික් බඩු දකින මොහොතක් මොහොතක් පාසා මේ මවගේත් පියාගේත් මතකය අලුත් වෙයි. සිය සොහොයුරු පණ මෙන් රුකි මාජික් බඩු යසිතගේ පුංචි මල්ලීට කිසිදා නොලද අවුරුදු තෑගිය. ඒත් මේ පුංචි හිත් වලට අයියා නොමැකි අඩුව දැනෙන්නේ දැන්ය.

මගේ පුතා දක්ෂ මැජික් ශූරයන්වත් පරාජය කළා. වසර දෙකක්ම පිට පිට යොවුන් මැජික් ශූරයා වුණා. ඒ වගේම සිරස ආයතනයෙන් කළ පොඩ්ඩන්ට පුළුවන් වැඩ සටහනේ අවසන් දාහතර දෙනාට තේරුණා. මගේ පුතා ඉගෙන ගත්තේ කොරතොට සෝමානන්ද විදුහලේ. එයා පාසල ගැන හරිම උනන්දුවෙන් හිටියේ.

ඉස්කෝලේ ප්‍රාථමික අංශයට වතුර නැහැ කියලා මෙයා මාර්තු මාසේ 24 වැනිදා මැජික් සංදර්ශනයක් කරලා සල්ලි එකතු කරලා දුන්නා පුංචි මල්ලිලාට වතුර අරන් දෙන්න කියලා. පාසලෙන් ඒ වෙනුවට තෑග්ගක් පවා දුන්නා. ඒකත් පුතා ගත්තේ නැහැ.

පස්සේ මගෙන් ඇහුවා තාත්තේ වතුර ගත්තහම ඒක විවෘත කරන්න මට කියයිද කියලා. මේ සංදර්ශනයට ගහපු බැනර් එක පුතාට හිතට ඇල්ලුවේ නැහැ. ඒක පොඩියි කියලා මගෙන් සල්ලි ඉල්ලගෙන එයාම අලුත් බැනර් එකක් ගැහුවා.

මේ ළඟදි දවසක් මට කියනවා තාත්තේ පුංචි මල්ලිලාගේ පංති ඉස්සරහා මඩ වෙනවා, අපි කොහොම හරි වියදම් කරලා සිමෙන්ති ටිකක් දාලා හදලා දෙමු කියලා. තවත් පාසල් කිහිපයකටත් මේ වගේ නොමිලේ මැජික් සංදර්ශන කරලා සල්ලි හොයලා දුන්නා.

මගේ දරුවගේ දස්කම් අගයපු ශ්‍රී ලංකා මැජික් කවයෙන් මේ මාසයේ එයාට ඉන්දියාවේ සංචාරයක් පවා සූදානම් කර තිබුණා. එයා ඒකට යන්න හරි ආසාවෙන් හිටියේ.

ළඟදි දවසක් මට කිව්වා තාත්තේ ත්‍රී වීලර් එක පිටි පස්සේ ගහන්න ලොකු පුතා නැත්නම් ඔක්කොම ඉවරයි තාත්තේ කියලා. මගේ දරුවා අපි හැමෝටම තාත්තෙක් වුණා. ගෙදර හැම දේම කරන්නේ එයාගේ අතින්. සමහර දවසට උයලා අපිට බතුත් බෙදලා දෙනවා කන්න. හරිම අහිංසකයි.

එයාගේ වගේම අපෙත් ලොකු උවමනාවක් තිබුණා මෙයාව ඒ අංශයෙන් ඉදිරියට යවන්න. එයා ඉල්ලපු හැම දෙයක්ම ලක්ෂ ගණනින් වියදම් කරලා අපි කොහොම හරි අරන් දුන්නේ මේ වගේ දුකක් ලබන්නද? අපේ ඒ හැම බලාපොරෙත්තුවක්ම නැතුවුණා වගේම රත්තරන් පුතෙකුක් අපිට නැතිවුණා. ඒ යසිතගේ පියා කුමාරය.

ඒ තාත්තාට අම්මාට සහෝදර සහෝදරියන්ට මෙන්ම ඥාතීන්ටද යසිතගේ වියෝවීම තවමත් නෙත් අදහා ගත නොහැකි ඇස් බැන්දුමක් වැනිය. ඔහු මැජික් බලෙන් මායා බැන්දුම් කළා සේ ඔවුහු තවමත් සිතන්නේ මෙයත් යසිතගේ ඇස්බැන්දුමක්දෝ කියාය.

ඒත් යසිත ඒ සියල්ලම හැර බොහෝ දුර ගොස් හමාරය. ඒ හේතුවක් නොමැති මරණයක සටහනක් පමණක් ඉතිරි කරමිනි. මේ අම්මාට තාත්තාට වියෝවූ දරුදුක මැදින් තවත් දරු දෙදෙනෙකුගේ අනාගතය ගොඩනගන්නට ඉතිරිව තිබේ. පුංචි පුතා අයියා මෙන් ඉදිරියට යවන්නට දැන් මේ පියාට අවශ්‍යයය.


More News »