අනුන්ගේ බඩවියත වෙනුවෙන් දහඩිය වගුරා ගොවිතැන් කරන හාමුදුරුවෝ

2016-04-18 11:45:00       672
feature-top
වියළි සුළඟ කාෂ්ටක පොළොව සිසාරා හමා යන්නේ, ගිම්හානයේ කටුකත්වය පිළිබඳ චිත‍්‍රයක් මවා පාමිනි. ඉදින් මේ ගිම්හාන සුළෙඟත් සමඟින් වියළී ගිය මහ පොළොවේ, මහ සරුසාරෙට වැඩුණු එළවළු කොරටුවක් අප නෙත ගැටෙන්නේ, ගල්ගමුව කංකානියාගම ප‍්‍රදේශයෙනි. සරුසාරෙට වැඩුණු එළවළු කොරටුවේ සිටිය යුතු සුපුරුදු ගොවි මහතා වෙනුවට අප දකින්නේ කසාවතින් සැරසුණු හිමි නමකි.  සත්තකින්ම මේ අප දකින්නේ සත්‍යයක්ද? නොඑසේ නම් ඇස් බැන්දුමක්ද? හිමි නමක් කර්කශ මහ පොළොව හා ගැටෙමින් ගොවිතැන් බත් කරනු දකින අපි උන්වහන්සේ සමඟින් කතාවට මුලපිරුවේ මෙහි සැඟවුණු කටුකත්වය පිළිබඳ වටහා ගැනීමටයි.

වටේම ඉන්න මිනිස්සු ගොඩක් අසරණයි. ඒ මිනිස්සුන්ට පන්සලේ ඉන්න හිමිවරු ජීවත් කරන්න පුළුවන්කමක් නෑ. පන්සලේ සාමණේර හිමිවරු විසි එක් නමක් ඉන්නවා. ඒ අයගෙ හැම දෙයක්ම ඉටු කරන්නෙ මමමයි. ඒ නිසාම මම ගොවිතැන් කරනවා. ගඩොල් කපනවා. කාටවත් බරක් නොවී ජීවත් වෙනවා. අවුරුදු දොළහක් තිස්සේ මේ දුක මම විඳින්නෙ හිතේ අසතුටකින් නම් නොවෙයි.
මෙහෙම කතා කරන ගල්ගමුව කංකානියාගම විහාරයේ නායක හාමුදුරුවෝ වන සංගප්පාලයේ අමරවංශ හිමි අපට කියන්නේ උන්වහන්සේ සාමණේර හිමිවරුන් රැුක ගැනීම උදෙසා කරන සටන පිළිබඳවය. පියකු අපමණ දුක් උසුලමින් තම දරුවන් උස් මහත් කරන්නාක් මෙන්ම, උන්වහන්සේ ද තම ශිෂ්‍ය හාමුදුරුවරු රක්ෂා කරන්නට වෙහෙසෙන්නාහ. ඒ අපමණ වූ දයා අනුකම්පාවෙන් බරිත වූ හදවත නිසාය.

කුරිරු වූ යුද්ධයේ සෙවණැල්ල මිනිස් ජීවිත ගිලගෙන තිබුණු යුගයක මේ විහාරස්ථානය ඇරඹීමට අමරවංශ හිමියන්ගේ සිත යොමු වන්නේය. ඒ උන්වහන්සේගේ මේ මිනිසුන් පිළිබඳව ළතෙත් බව නිසාමය. එදා මෙදා තුර අසරණකමේ පත්ලට වැටුණු මිනිසුන් සමූහයක් නිජබිම කරගත්, ගල්ගමුව කංකානියාගම ප‍්‍රදේශය අතහැර දමා යන්නට උන්වහන්සේ කිසි විටෙක උත්සාහ නොකළේය. විවිධ හේතුන් මත තමන් කරා පැමිණෙන අසරණ දරුවන්, ශාසනයට ඇතුළත් කර ගැනීමට තරම් උන්වහන්සේ කාරුණික වූහ. එසේ පැමිණෙන බොහෝ දෙනකුගේ මවුපිය දෙදෙනාගෙන් කවරකු හෝ අහිමිය. සමහරකුගේ මවුපිය දෙදෙනාම අහිමිය. ඉදින් ඒ දරුවන්ට සිටින එකම රැුකවරණය වන්නේ අමරවංශ හිමියන්ම පමණය. සාමණේර හිමිවරුන්ට තම අවශ්‍යතා කියන්නට කිසිවකුත් නොමැතිය.

කුසගිනි දැනෙද්දී කෑමට යමක් ඉල්ලන්නට කිසිවකුත් නොමැත. ඒ සෑම අවශ්‍යතාවක්ම පවසන්නේ නායක ස්වාමීන් වහන්සේටය. ඉදින් උන්වහන්සේට තිබූ බරපතළම අර්බුදය බවට පත් වන්නේ මේ හිමිවරුන්ව රැුක බලා ගැනීමය. ඔවුනගේ කුස පිරවීමය. ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමය.
ගමේ ඉන්න මිනිස්සුන්ට දානය සපයන්න තියා එදා වේල හොයාගෙන කන්න වත්කමක් නැහැ. මේ මිනිස්සු ඒ තරමටම අසරණයි. ඉතින් පන්සලේ  හිමිවරුන්ට දානය
හදාගන්නෙත් මමමයි. ඒත් ඒ සඳහා මුදල්  ඕනේ. ඒකට විකල්පයක් හොයද්දී ළඟපාත තියෙන රජයේ ඉඩමක වගා කටයුතු කළොත් හොඳයි කියලා හිතුණා. ඒ නිසා මම වගා කරන්න පටන් ගත්තා. දැන් අවුරුදු දහයක් තිස්සේ මම වගා කරනවා. රජයේ ඉඩමට අමතරව පෞද්ගලික ඉඩමකත් වගා කරගන්න මට දීලා තියෙනවා. එළවළු, තල, කුරක්කන් මේ හැමදේම වවා ගන්නවා. කාටත් කරදරයක් නැතිව ජීවත් වෙනවා කියන සතුටත් එක්ක ශිෂ්‍ය හාමුදුරුවන්ට උගන්වා ගැනීමේ සතුටක් මට තියෙනවා.

වසර දහයක් තිස්සේ අමරවංශ හිමියෝ ගොවිතැන් කරති. හේන් කොටති. වන සතුන්ගෙන් ඒ බවභෝග රැුක ගන්නට පැල් රකිති. මේ ජීවිතය ජය ගැනීමට දරන වෙහෙස කටුක වුව ද ඒ කටුකත්වය සතුටකට හරවා ගනී. ඉදින් නිවන් දකින්නට පෙරුම්දම් පුරන අපේ බුද්ධ පුත‍්‍රයන් අතර පාරමී දම් පුරන්නට කිසිසේත් උන්වහන්සේට සිදු නොවන්නේය. ඒ උන්වහන්සේ කරන කුසලේ බලය  අතිමහත් වන නිසාමය.
මේ දවස්වල වවලා තියෙන්නේ. එළවළු. තව දවස් කිහිපයකින් කන්න වැහි පටන් ගන්නවා. එන්න තියෙන්නෙ මාස් කන්නය. මේ වැස්සත් එක්ක අක්කර තුන හමාරක විතර තල හරි කුරක්කන් හරි දානවා. මේ මොනාටවත් පොඩි හාමුදුරුවරු එකතු කර ගන්නෙ නැහැ. උන්වහන්සේලා ඉගෙන ගන්නවා. මේ හැමදේම මම තනියම කරගන්නවා.

අමරවංශ හිමියෝ සසරේ බර අඩුකර ගන්න හිතාගෙන සිවුරේ බර දරාගත්ත ද උන්වහන්සේට මහා බරක් හිසේ දරාගන්නට සිදු වූහ. ඒ, ශිෂ්‍ය හාමුදුරුවරු විසිඑක් නමකගේ අනාගත වගකීම හිමිවීමත් සමඟය. මේ වගකීම වෙනුවෙන් උන්වහන්සේ දිවා ? වෙහෙසෙන්නාහ. නගරයේ වෙසෙන හිමිවරුන්ට මෙන් උන්වහන්සේට යාන වාහන නොමැත. සුව පහසු කුටි නොමැත. දාන මාන ලබා දීමට දායකයන් නොමැත.
දහස් ගණනින් ආදායම් ලැබෙන වතු පිටි නොමැත. වැසි කාලයට ගොවිතැන් කටයුතුවල යෙදෙන උන්වහන්සේ වියළි කාලයේ දී ගඩොල් කපන්නේය. ඒ ශිෂ්‍ය හිමිවරුන්ගේ කුස පුරවන්නටය.

පායන කාලෙට මං ගඩොල් කපනවා. පොඩියට මැටි පාගාගෙන මමම තනියම ගඩොල් ටික හදා ගන්නවා.  කාටත් කරදරයක් නෑ. පොඩි උන්නාන්සේලාට කරදර කරන්නෙත් නෑ. නිවාඩු දවසට වතුර ටිකක් ගහ ගන්න උදව් කරනවා. දායකයන්ට කරදර කරන්නත් බෑ. මේ පොඩි හිමිවරුන්ගෙ අවශ්‍යතා ඉටු නොකරත් බෑ. ඉතින් මම ටිකක් දුක් විඳිනවා. ඒත් ඒ දුක මට සතුටක්. මම සාමණේරවරුන්ගේ කුස පුරවනවා. උගන්වනවා. රැුක බලා ගන්නවා. එක දවසක් පත්තරේක මේ ගැන තොරතුරක් දැකලා නුගේගොඩ පැත්තෙ මහත්තයෙක් ඇවිත් පන්සල හදලා දුන්නා. පස්සෙ වරින් වර පිනට කැමැති අය ඇවිත් හාල්, පිටි, සීනි, තේ කොළ එහෙම දීලා යනවා. ඒ හැමෝටම ගොඩක් පින්.

සැප වාහනවල යමින් එමින්, දායක කාරකාදීන්ගේ නොමසුරු සහයෝගය ලබා ගනිමින්, සුඛ විහරණයෙන් යුතු ජීවිත ගත කරන අපේ සමහර යතිවරු ගත කරන ජීවිතවලට වඩා සංගප්පාලයේ අමරවංශ හිමි ගත කරන ජීවිතය කෙතරම් අල්පේච්ඡුද?

More News »