වහලක් නැති කඩයක්

2016-04-09 10:21:00       672
feature-top
දුවන පලතුරු කඩෙන් පවුල රකින ලොලිතා

හිමිදිරියේම ගමන පිටත් වූයේ ලංකාගමට යාමටය. ඇය අපට හමු වූයේ මහමෝදර මහ රෝහල අසලදීය. ඇය රෝද සවිකර සකස් කර ගන්නා ලද කරත්තයක් ගාලු පාරේ තල්ලු කරමින් සිටියාය. කෙසෙල්, ඇපල්, මිදි, පේර, බූන්දි, කඩල, රටකජු ආදි පලතුරු රසකැවිලි එහි එක පෙළට අසුරා තිබිණි. ඇය මහමෝදර මහ රෝහල අසල කරත්තරයේ වෙළෙඳාම් කරන්නට පටන්ගෙන වසර දහඅටකට වැඩිය. ඇය කේ. ලොලිතාය. වයස අවුරුදු පනස් තුනකි.

මම අවුරුදු දහයක් රට හිටියා. කුවේට්, ඩුබායි ආදි රටවල හිටියා. අන්තිමට හිටියේ සිංගප්පූරුවේ. මගේ දරුවන්ට ඉගැන්නුවේ ගෙවල් දොරවල් හදාගත්තේ ඒ ලැබුණ මුදල්වලින්, දරුවෝ බලාගත්තේ මගෙ අක්කලා අම්මා තමයි. දරුවන්ව විවාහ කරලා දුන්නා. ඊට පස්සේ ජිවත් වෙන්න ක්‍රමයකුත් ඕනනේ. මං මේ රස්සාව පටන්ගත්තා. මගෙ මහත්තයා ග‍ඟේ දැල් දාලා මාළු අල්ලනවා. මං තාමත් හම්බ කරන්නේ දරුවන්ට. මං කැමැති නැහැ දරුවන්ට බරක් වෙන්න. කොහොමත් මම මේ ව්‍යාපාරයෙන් දවසට රුපියල් හයසියයක් හත්සියයක් විතර හොයා ගන්නවා. අතේ සල්ලි නැති වෙලාවට ණයට බඩු ගෙනැල්ලා තමයි විකුණන්නේ. වැස්ස වෙලාවට මෙහෙම බිස්නස් කරන්න අමාරුයි. උදේට ආවාහම මං හවස් වනතුරු ඉන්නවා. අව්ව වෙලාවට හෙවණක්වත් නැහැ. ලොලිතා පවසන්නේ කනගාටුවෙනි.

ඇය මහමෝදර රෝහල අසලට එන්නට පෙර තම පුංචි ව්‍යාපාරය කරගෙන ගියේ ගාල්ල බස් නැවතුම් පොළේය. එය එහි ස්ථිර එකක් කරගැනීමට ඇයට නොහැකි වූවාය. ඉන් පසුව ඇය මහමෝදර රෝහල අසලට ආවාය. සියඹලාගහවත්තේ පිහිටි තම නිවසේ සිට මහමෝදර රෝහල අසලට ඇති දුර කිලෝමීටරයකට වැඩිය. ජනාකීර්ණ ගාලු පාරේ උදෑසනම ලොලිතා තම පුංචි කරත්තය තල්ලු කරගෙන දිනපතාම මහමෝදර රෝහල අසලට එන්නාය.

මේක තල්ලු කරගෙන එන ගමන පහසු නැහැ. උදව්වටවත් කෙනෙක් නැහැ. නමුත් මට මේ පුංචි ව්‍යාපාරය අත්අරින්නත් බැහැ. මං ජීවත්වෙන්නේ මේ ලැබෙන තුට්ටු දෙකෙන්. අඩුම තරමේ මට කඩ කාමරයක්වත් ලැබෙනවානම් මීට වඩා හොඳට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඒ ලොලිතාගේ බලාපොරොත්තුවය.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »