තුවක්කුවට පුරුදු දෑත් ඉඳිකට්ටට නූලට පුරුදු වූ වගයි

2016-04-04 11:51:00       673
feature-top
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රථම ඇඟලුම් කම්හල අද අනුරපුරදී විවෘත වෙයි

අතීත යුද්ධයේදි අපේ ගම්බිම් සුරැකීමට මෙන් ම සටන් බිමට ද එක්වූ සිවිල් ආරක්ෂක සෙබළු දැන් ප්‍රථම වරට මෙරට ඇඟලුම් නිපැයුම් ක්ෂේත්‍රයටත් අවතීර්ණ වී සිටිති.

ඒ අනුව එදා ටී 56 ට ඒ.කේ. 47ට මෝටාර් විදින්නට පුරුදු පුහුණු වූ සිවිල් ආරක්ෂක බළකායේ අත් අද ඉදිකට්ටට නූලට ජුකී මැෂිමට මනාව පුරුදු පුහුණු වී ඇත.

ඒ සිවිල් ආරක්ෂක බළකාය දැන් මෙරට හා පිටරට ප්‍රමුඛතම කර්මාන්තයක් වන ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ වීම මඟිනි.

ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉදිකළ ප්‍රථම ඇඟලුම් කර්මාන්ත ශාලාව සී.එස්.ඩී. ඇපරල්, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් පරිදි අනුරාධපුරය රඹෑවේ ඉදිකර ඇත. එය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3)උදේ 10ට විවෘත කෙරේ. මීට අමතරව තවත් මෙවැනි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ඇඟලුම් කම්හලක් විලච්චියේදී විවෘත කිරීමට නියමිත බව අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

මේ කටයුතු මෙහෙයවන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුරාධපුර වවුනියාව අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රියන්ත විජේකෝන් මහතා පවසන පරිදි මේ ඇඟලුම්හලේ ප්‍රධාන පරමාර්ථය සිවිල් ආරක්ෂක දෙපාර්ත‍ෙම්න්තුවේ 40,000 ක්වූ සිවිල් ආරක්ෂක සෙබළුන්ට අවශ්‍ය නිල ඇඳුම් සකස් කිරීමයි.

මේ ඇඟලුම් කම්හලේ දැනට 50 දෙනෙක් ඒ නිල ඇඳුම් මැසීමේ පුහුණුව ලබා ඇඳුම් මැසීමට සූදානම්ව සිටිති. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රථම වරට ඉදිකළ එම දෙපාර්තමේන්තුවට සේවකයන් 50ක් සේවය කරන ප්‍රථම ඇඟලුම් කම්හල මෙසේ අද ජාතියට පිරිනමනු ලැබේ. මේ අවස්ථාවට දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ද එක්වෙන බව ප්‍රියන්ත විජේකෝන් මහතා කියයි.

මෙහි මැෂින් 40 ක් තිබෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් 50 ක් ඇඟලුම් සකස් කිරීමට මනාව පුහුණු කර මේ රාජකාරියට සූදානම් කර තිබෙනවා. මේකේ සේරම මහන්‍නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම්. සිවිල් ආරක්ෂක දෙපාර්තම්න්තුව් 40,000 ක් ඉන්නවා. ඒ අයට වාර්ෂිකව නිල ඇඳුම් දෙකක් ලැබෙනවා. ඒ නිල ඇඳුම් 80,000 හා ඊට අමතරව තවත් විවිධ නිල ඇඳුම් අපට අවශ්‍යයි. මේ සේරම මැසීමටයි අපි මේ ගාමන්ට් එක හැදුවේ. මේ නිල ඇඳුම් මැසීමට අපට රු. ලක්ෂ ගණනක් පිට පෞද්ගලික ආයතන වලට දෙන්න වුණා. දැන් ඒ මුදල අපට ඉතිරි වෙනවා. මේක රටටත් අපේ දෙපාර්තමේන්තුවටත් ලොකු සෙතක් ශක්තියක්. ලුතිනන් කර්නල් ප්‍රියන්ත විජේකෝන් අප සමඟ පැවසුවේ ඔවුන්ටත් කළ නොහැක්කක් නොමැති බව පවසමිනි.

ඒ මහතා පවසන පරිදි මේ ඇඟලුම් කම්හලින් සිවිල් ආරක්ෂක නිලධාරින්ට ඇඟලුම් ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳව මනා පුහුණුවක් ද ලැබේ. ඒ අනුව ඉදිරියේදි තම දෙපාර්තමේන්තුවට ඇඟලුම් පුහුණු පාඨමාලාවක් වුවද ආරම්භ කිරීමට හැකිවෙතැයි සිවිල් ආරක්ෂක දෙපාර්ත‍ෙම්න්තුවේ අධ්‍යක්ෂ මේජර් වජිර කුමාරණතුංග මහතා ද පවසයි.

රට සුරකින්නට රටේ ගම් බිම් ආරක්ෂා කිරීමට මුලින් යුද පුහුණුව ලැබූ සිවිල් ආරක්ෂක සෙබළුන්ට දැන් රටේ ලෝකේ ඕනෑම තැනක ගොඩක් වැඩ කිරීමට පුළුවන්.

ඒ අනුව රටපුරා කෙත් බිම් ‍‍ගොඩ ඉඩම් අක්කර 8000 ක් පමණ අස්වැද්දීමට සිවිල් ආරක්ෂකයෝ පෙරමුණ ගෙන සිටිති. ඊට අමතරව නිවාස ඉදිකිරීමට ද ඔවුන් කටයුතු කර ඇත. රණවිරු නිවාස 1000 ක් පමණ ඔවුන් ඉදිකර ඇත. ඒ සමඟම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නාට්‍ය කණ්ඩායම සංගීත කණ්ඩායම් හා නැටුම් කණ්ඩායම් ප්‍රවීණතා රැසක් පෙන්නුම් කර ඇත. නාට්‍ය කණ්ඩායමට රාජ්‍ය සේවා කෙටි නාට්‍ය තරගාවලියේ දමිල මාධ්‍ය දෙවන ස්ථානය ද ලබා ඇත. මීට අමතරව අනුරපුර සඳ හිරු සෑයට අවශ්‍ය ගඩොල් කැපීම අටමස්ථානයේ හා මිහින්තලා අභය භූමියේ පරිසරය සුරැකීම ද සිවිල් ආරක්ෂකයෝ සිදුකරති.

සිවිල් ආරක්ෂකයන් අලුතින්ම එක්වන වෘත්තීය කර්මාන්ත ක්ෂේත්‍රය වන්නේ ජුකී මැෂින් පුහුණුව ලත් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයයි. ඒ අනුව දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවකයන් විශ්‍රාම යාමෙන් පසුව වෙනත් රැකියා සොයා ගැනීම ද ඉතා පහසුය. ඒ මෙවැනි පෙර පුහුණුව ඇති බැවිනි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇඟලුම් පිළිබඳව දැනුමක් ඇති අයට අපි අපේ නිල ඇඳුම් මැසීම පිළිබඳව මාසයක පුහුණුවක් ලබා දුන්නා. පුහුණුව දුන්නෙත් අපේ ම අය. මේ වැඩපිළිවෙළ ඉදිරියට ම ගෙන යාමටයි අප සැලසුම් කර ඇත්තේ. යැයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අනුරපුර අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රියන්ත විජේකෝන් මහතා පවසයි.

රටට වැඩක් වෙන රටට ආදායම ලබාදෙන රණවිරු හදවත් සුවපත් කරන මෙවැනි උතුම් වැඩපිළිවෙළකට අපිත් අපේ සුබ පැතුම් එක්කරමු.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »