විදෙස් ගත වූ මව නිසා ගැහැට විඳින දරුවෝ

2016-03-31 11:40:00       672
feature-top
නිවෙස්වල ඇති ආර්ථික ප්‍රශ්න හමුවේ මව හෝ පියා විදෙස්ගතවීම ඒ සඳහා ඇති එකම සහ කදිම විසඳුම පමණකැයි සිතන බොහෝ දෙනෙක් ඒ සඳහා මග සකස් කර ගනු ලබන්නේ යහපත් කලදසාවක් උදා කර ගැනීමේ බලාපොරොත්තු ගොන්නක් කරපින්නා ගනිමිණි.

එහෙත් දෛවයේ සරදමකින් මෙන් බොහෝ පවුල්වලට එවැනි තත්ත්ව හමුවේ මුහුණදීමට සිදුවන්නේ කිසිවෙකු සිතන පතන ආකාරයේ යහපත් ඉරණම් නොවේ.

බොහෝ විට අසන්නට ලැබෙන්නේ විදෙස්ගත වූ මව එරට දී නොවිඳිනා දුක් ගැහැට විඳිමින් අත පය පවා අහිමිවන අවස්ථා ය. ඉන් නොනවතින ඔවුන් සම්බන්ධයෙන් අසන්නට ලැබෙන්නේ එම රටවල නීතී දැඩි බැවින් විටෙක නීතිය හමුවේ සිරගතවීමට සිදුවන බවයි. එසේම නිවැසියන්ගේ සාහසික වධ බන්ධනයට ලක් ව ජීවිතය පවා අහිමිවීමට ය. එසේම එවන් තත්ත්ව හමුවේ ඉසුරු සොයා පිටරට ගිය මව්වරු නිසාවෙන් ශ්‍රී ලංකාවේ වාසය කරන දරුවන් මුහුණපාන තත්ත්වයන් ද ඉතා සෝචනීය ඒවා වේ.

බොහෝ අවස්ථාවල දි අසන්නට ලැබෙන්නේ මව විදෙස් ගත වූ විට ශ්‍රී ලංකාවේ තනිවන පියා බොහෝ විට මතට හුරු වූ බවයි. එහි අතුරු ප්‍රතිඵල වශයෙන් දරුවන් නිවෙස්වල තනි වෙයි. ගැහැනු දරුවෙකු නම් ඇය ළමා අපචාරයකට, දූෂණයවීමකට ලක්වීමේ ඇති අවකාශය ඉහළ ය. එසේම පියවරු ද ඔවුන්ගේ වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමට මව දුක් මහන්සි වී හම්බ කර එවන මුදල් නිස්කාරණයේ වැය කිරීමටත් වෙනත් විවාහයක් සිදු කර ගැනීමටත් පෙළඹෙයි.

කවර ප්‍රශ්න ඉවසා ගත හැකි වුව ද මිනිස් ජීවිතයක් අහිමිවීම කිසිවෙකුටත් ඉවසා දරා ගත හැකි සිදුවීමක් නෙවේ. එහෙත් ආර්ථික ප්‍රශ්න හමුවේ මව විදෙස් ගතවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයගේ ජීවිතය හෝ මෙරට තනිවන ගැහැනු දරුවන් දූෂණයට ලක්වීම කාට නම් ඉවසිය හැකි ද? තරුණ වියේ දරුවන් දූෂණයට ලක් කරන කාමයෙන් මත් ව හැසිරෙන පුද්ගලයින් සිය අවශ්‍යතාවය ඉටු කරගැනීමෙන් අනතුරු ව ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය ද උදුරාගෙන පළා යාම සුලභව සිදුවන්නකි.

මව විදෙස්ගත වූ විට නිවසේ තනිවන දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය සම්බන්ධයෙන් කිසිදු සහතිකයක් මේ වනතෙක් බිහි වී නොමැත. කොපමණ නෑදෑ හිතවතුන් සිටිය ද සිදුවිය යුතු දෑ කලට වෙලාවට සිදුවන්නේ ඒ සඳහා මුහුණු පාන අයගේ කරුමයකට මෙනි.

බොහෝ අවස්ථාවල දී ආර්ථික ගැටළු හමුවේ පියවරු විදෙස්ගතවීමට වඩා මව්වරු විදෙස්ගතවීම වැඩි බැවින් දෛනික ව පැන නගින ගැටළු සහගත තත්ත්ව විශාල ය. දරුවන්ගේ අධ්‍යාපනයට බාධා, විදෙස්ගත වී හම්බ කරන මුදල් නිසි ලෙස වියදම් කිරීමට මෙරට සිටින දරුවන්ට හෝ පියාට ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැතිවීම හේතුවෙන් ඇය පිටරටවල දී දුක් විඳීම ව්‍යර්ථයක් බවට පත් වෙයි.

ආර්ථික ගැටළු හමුවේ මව්වරු විදෙස් ගතවීම පැලැස්තර විසඳුමක් පමණි. ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමණි විට බොහෝ විට තිබූ තත්ත්වය ද නැති වී යා හැකි ය. ලුණුයි බතුයි කන පවුලක් සිටිය ද ඒ සියල්ල කළමනාකරණය කිරීමේ මනා වූ හැකියාවක් මව සතු විශේෂ වූ හැකියාවකි. එය ඉහළ පැලැන්තියේ වුව ද පහළ පැලැන්තියේ වුව ද වෙනසක් නැත. තමන් ජීවත්වන නිවසින් බැහැර ව තමන්ට කියා වෙන ම නිවසක පදිංචියට ගිය විට දී සිය සැමියාගේ, දරුවන්ගේ අවශ්‍යතා නිසි ලෙස තේරුම් ගැනීමටත් තමා සතු ව ඇත්තේ රුපියල් දහසක් වැනි කුඩා මුදලක් වුව ද එය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට හැකියාව ඇත්තේ මවකට පමණි.

ආර්ථික ප්‍රශ්න හමුවේ විදෙස්ගතවීමට ප්‍රථම වරක් නොව කිහිප වරක් ඔබේ දරුවන් ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් සිතා බලන්න. සිදු විය යුතු දේ සිදු වී හමාරවීමෙන් අනතුරු ව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු ව ඉතිරිවන්නේ දුකක්ම පමණි. දියණිය ස්ත්‍රී දූෂකයින්ගේ ග්‍රහණයට නතුවිය හැකි ය. ස්වාමි පුරුෂයා මත් රකුසාගේ ගොදුරක් බවට පත් විය හැකි ය. තරුණ වියේ පසුවන පිරිමි දරුවන් ආයාලයේ යා හැකි ය. ආර්ථික ප්‍රශ්න හමුවේ ඇති එක ම විසඳුම මව විදෙස් ගතවීම යැයි සිතින බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් වරක් නොව දහස් වරක් සිතා බැලිය යුතු වේ.

එසේ ම විදෙස්ගතවීමෙන් තම සියලු ප්‍රශ්නවලට විසඳිම ලබාගත හැකි ය, යන්න කෙතරම් අසාර්ථක ද යන්න සමාජය දෙස විමසිලිමත් ලෙස බැලීමෙන් ඔබට ම වටහා ගත හැකි ය. මව විදෙස්ගත ව සිටින කාලය අතර තුර දී රස ආහරක්, අලුත් ඇඳුම් වැනි දේ ලබා ගත හැකි ය. එහෙත් ඔබගේ ජීවිතයේ බොහෝ දේ එලෙස ම පවතී. මව විදෙස් ගතවීමෙන් ළඟා විය හැක්කේ තාවකාලික සහ සීමිත අරමුණු කිපියක් සඳහා පමණි.

More News »