දරුවන්ට බරක් නොදී මිනීපෙට්ටිය ගන්නයි සල්ලි ටික එකතු කළේ

2016-03-23 10:51:00       840
feature-top
අනේ! පුතේ මේ
මගේ මිනී පෙට්ටියේ සල්ලි
කටු ඇනී රිදුම් දෙන
වෙවුලන දෙපා පිරිමදිමින්
මරණයට කාසි එකතු කරන
අම්මා

නිවන් ගමන කල් දමමින්
ජීවිතේ දුක් කන්දරාව
නිවා දමන මරණ මංපෙත
කාසි එකතු කරන
අම්මා

හේරත් ගෙදර ලියනෝරා මාග්‍රට් මාතාව දරුවන් පස් දෙනෙකුගේ ආදර අම්මා ය. මාදම්පෙ ගල්මුරුව පල්ලෙකැලේ ගමේ තමාගේ එක් පු‍තකුගේ ගෙදර වෙසන මේ අම්මාට ඇත්තට ම සලකන්නේ ඒ පුතු පමණ ය. වාසනාවට ඒ පුතුගේ බිරිය ඇය ගේ ලේලියත් මව්ගුණ දන්නා කෙනෙකි.

ආණ්ඩුවේ රස්සාවක් කරන ලොකු පුතා දුටු කාලයක් ඇයට මතක නැත. අනෙක් අයට හරි හමන් රස්සාවක් නැත. ඒ නිසා වත්කමක් ද නැත. එහෙත් දුප්පත්කමත් සමඟ එක්කාසු වූ අවංකකම හා මිනිස්කම ඇති මිල්ටන් පුතා පමණක් ඇය දෙස බැලුවේය. අමාරුවෙන් ගාට ගාටා ඇය මාදම්පෙ ඔහුගේ දුප්පත් පැලේ නිවෙසෙන්නේ ද ඒ නිසාමය.

මගෙ මිල්ටන් පුතාටත් හරි හමන් රස්සාවක් නෑ. තැන් තැන්වල කුලී වැඩ කරලා එයත් ජීවත් වෙන්නෙ. මගෙ ලේලි එයත් හොඳයි. මේ අය මට මොනවා හරි කන්ඩ දෙනවා. මහත්තයා මගෙ සල්ලි පොට්ටනිය සොයා දුන්නෙ නැතිනම් මං මොනවා කරන්නද? මං අමාරුවෙන් හරි මගෙ මරණෙදි අවශ්‍ය පෙට්ටියට සල්ලි එකතු කරනවා. ඒ මගෙ දරුවන්ට ඒකවත් කරගන්ට බැරි නිසයි. ආණ්ඩුවෙ රස්සාව කරන පුතාවත් මාව බලන්ට එන්නෙ නෑ. මට වඩා බාල නිසා මං මහත්තයාට වඳින්නෙ නෑ. මේ සල්ලි බේරා දුන් ඔබතුමාට මහා පිනක් අත්වෙනවා..... පසුගිය 8 වැනිදා දහවල් කාලයේදී වෙන්නප්පුව පොලිසියේ අපරාධ අංශයේ විමර්ෂණ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දසනායක මහතා ඉදිරියේ ඒ මැහැල්ල එසේ කියමින් හඬා වැටුණාය. පොලිස් නිල දරුවන් ඇය සනසනු පෙනිණ.

වෙන්නප්පුව පොලිසියේ අපරාධ අංශයේ විමර්ශන ස්ථානාධිපති පොලිස් පරික්ෂක දසනායක

සාමාන්‍යයෙන් වෙන්නප්පුව පොලිස් වසම තුළ පහුගිය කාලයේ මහමඟදි චේන් කඩා ගැනීම් බහුල විය. එනිසා දසනායක මහතාත් ඉන්දික මහතාත් යතුරු පැදියේ නැඟී ජනාකීර්ණ වේලාවට නගරයේ රවුමක් දෙකක් ගසා සෙනඟ අතර උකුසු ඇස් මානාගෙන යාම සිරිතක් කොට ගත්හ. එසේ යන විට එක්තරා අවුරුදු 80 ක මහලු කතක් පාරේ මැද ඉර දිගේ අත දිගු කරමින් සුසුම් හෙළමින් දිවයනු මේ පොලිස් නිලධාරිනට පෙනිණ. තවත් මොහොතකින් මේ අම්මා වාහනයක හැපෙනු ඇතැයි සිතූ ඉන්දික මහතා වහා පැන අම්මා බේරා ගැනීමට ඇය වෙත දිව ගියේ ය.

අනේ, පුතේ මගෙ සල්ලි පොට්ටනිය අරගෙන අර මිනිහා යනවා. අනේ.... රත්තරන්... පුතේ මගේ සල්ලි.... ඇය ගොත ගසමින් කීවාය. දසනායක මහතාගේ උකුසු ඇස ක්‍රියාත්මක විය. මල්ලක් අතින් ගෙන තවත් කුඩා මල්ලක් කරින් ගත් මිනිසෙකු ලංගම බස් රථයේ එල්ලෙනු ඔහුට පෙනිණ. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරිහු අම්මා මහපාරෙන් ඉවත් කොට බසය ලුහුබැඳ නවතා ගත්හ. පොට්ටනි මිනිසා අල්ලා ගත්හ. අම්මාගෙන් මුදල් පොට්ටනිය උදුරා ගත් මිනිසා බස්වල විරිදු ගයන්නෙකු වීම තවත් සුවිශේෂයකි.

මහත්තයො විරිදු කීවට මිනිස්සු සල්ලි දෙන්නෙ නෑ. ඒ නිසයි අම්මගෙ සල්ලි කොල්ල කෑවේ... විරිදුකාරයා ලජ්ජාවක් නැතිව කීවේය.

මේ අම්මා පොලිසියට පැමිණ තිබුණේ එහෙමය. පොලිස් නිලධාරීන් ඉදිරියේ ඒ අම්මාගේ මල්ල ලෙහා බලනු ලැබිණ. එහි රුපියල් කොළ නෝට්ටු හා කාසි බොහොමයක් විය. ගණන් කැර බැලූ විට ඒ ගණන රුපියල් 16,254 ක් විය.

අම්මාගෙන් මේකා එකපාරම මල්ල උදුර ගත්තාද? දසනායක මහතා සීරුවට ප්‍රශ්න කළේය.

කොස්තාපල් ඉන්දික

නෑ, මහත්තයො මේකා මගෙ ළඟට ඇවිත් ඇහුවා මං කාලද කියලා. මං කීවා නෑ කියලා. මේ බස් ස්ටෑන්ඩ් එකට එහා මළ ගෙයක් තියෙනවා. යමු දෙන්නම ගිහින් එහෙන් කමු කියලා මේකා කීවා. මට මගෙ පෙට්ටිය ගන්න තියෙන සල්ලි නැතිවේවි කියලා හිතුණු නිසා බෑ කීවා. ඒ පාර තමයි මේකා මගෙන් සල්ලි මල්ල උදුරා ගත්තෙ.

විරිදුකාරයා ඇඟ පත හොඳට තියෙන වැඩක් පලක් කැර ජීවත්විය හැකි මිනිසෙකි. පොලිසිය විරිදුකාරයාට එරෙහිව නඩු දැමුවේය. දැන් ඔහු රිමාන්ඩ් බාරයේය. අම්මා ගල්මුරුව ගෙදරය. පොලිසිය වහා ක්‍රියාත්මකව අම්මා පොලිස් වාහනයේ ම රැගෙන ගොස් උසාවියට දමා ඇගේ බඩු සියල්ල ද නිදහස් කැර දුන්නේය.

මේ සිද්ධියේ සමාජයට වැදගත් වන කරුණු කාරණා කීපයක් තිබේ. තමන්ගෙ මව බලු කූඩුවල දමා හිර කරන දරුවන් අත‍ෙර් දුප්පත් මිල්ටන් උසස් දරුවෙකි. පියාත් නැතිව ඇය අනෙක් දරුවන් වෙනුවෙන් හෙළූ කඳුළු, දහදියට ණය ගෙවන්නට ඒ දරුවන් මැළිවීම ජාතියේ ම අවාසනාවකි. මහමෙර වැනි බර දරා දරුවන් ලොකු මහත් කරමින් හැදූ දරුවන්ට කරදර නොකැර නිදහසේ මිය යන්නට තමන්ට අවශ්‍ය මිනී පෙට්ටිය ගැනීමට තැන තැන ඇවිද යන්නට අම්මාවරුනට සිදුවීම මොන තරම් ඛේදවාචකයක්ද?

සමාජ සේවා ඇමතිතුමනි; මෙන්න! කරනවා නම් වැඩක්. මේ අම්මාගේ පිං පඩි කාඩ්පත ද ඒ මල්ලේ ම තිබුණි. පොලිසියේ ඇතැමුන් ගැන නොයෙක් විසමාචාර කතා පැතිර යන මොහොතක මෙවන් මහරු පින්කම් කරන පොලිස් නිලදරුවන් ද අපේ පොලිසියේ සිටීම අපට ආඩම්බරයකි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »