ගම් බිම් සුරකින්නට හැදූ සිවිල් ආරක්ෂක බළකාය පරිසරය සුරකින සටනට ඇවිත්

2016-03-16 09:46:00       839
feature-top
අනුරාධපුරයේ රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැනට ලොව ඇති පැරැණිතම වෘක්ෂය ලෙස සලකනු ලැබේ. එමෙන් ම ලොව ප්‍රථම හා ලොව පැරැණිතම අභය භූමිය ලෙස දැනට සැලැකෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ අප රටට බුදු දහම රැගෙන ආ මිහින්තලයයි‍. අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය හා ඒ අවට මහමෙවුනා රක්ෂිතය ඇතුළත් වූ අනුරාධපුරය අභය භූමියත්, ලොව ප්‍රථම අභය භූමිය වූ මිහින්තලේ අභය භූමියත් අප සුරැකිය යුතු ඓතිහාසික ජාතික වස්තු ලෙස හැඳින්වීමට පුළුවන.

එහෙත් මේ ස්ථාන දෙක ම එහි යන එන වන්දනාකරුවන්ගේ ම සමහර ක්‍රියා නිසා ම පසුගිය වකවානුවල විශාල පරිසර දූෂණයකට ලක් වී තිබිණි. ඒ අනුව ඒ ප්‍රදේශවල ගහකොළට පවා තර්ජන එල්ල විය. සමහර වන්දනාකරුවෝ මේ අභය භූමි දෙකේ ම පැරණි ගහකොළවල මුල් ටික, පුරාවිද්‍යා ‍ස්මාරක ටික ගිනි ‍ගොඩවල් ගසා බත් පිසූහ. ගහ කොළවල අතු ඒ ළිප්වලට දැමූහ. සිටුවූ පැළ රිළවු පෙරළා දැමූහ. පොලිසිය මේ පිළිබඳව අවධානය යොමු කළත් පිරිස් බලයේ අඩුකම හේතුවෙන් ඊට බාධා එල්ල විය.

එහෙත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු මේ සුවිශේෂ හා ඓතිහාසික අභය භූමි ප්‍රදේශවල පරිසර සංරක්ෂණය හා පුරාවිද්‍යා ස්මාරක සුරැකීමේ කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බාර විය.

ඒ අනුව මහමෙවුනා උයනේ හා මිහින්තලය පූජා භූමියේ පමණක් නොව, ඒ අභය භූමි ප්‍රදේශවලද අපද්‍රව්‍ය ඉවත් කිරීම, කසළ කළමනාකරණය ගහකොළ සුරැකීම මෙන්ම පුරාවිද්‍යා ස්මාරක සුරැකීම ද දැන් සිවිල් ආරක්ෂක බළකා දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි. පරිසර හිතකාමී පැළ සිටුවීම, තිබෙන ශාක සංරක්ෂණය, ආපදාවට පත්වූ ශාක නැවත සංරක්ෂණය ආදී කටයුතු ද මේ යටතේ සිදු කෙරේ. මෙහිදී ශ්‍රී මහා බෝධිය උඩ මළුවේ හා පහත මළුවේ සංරක්ෂණ හා ආරක්ෂණ කටයුතුවලට ද සිවිල් ආරක්ෂකයෝ පුළුල් ලෙස සහාය දෙති.

ඒ අනුව 1938 මැයි 27 දින ප්‍රකාශයට පත් කළ අක්කර 2500ක් විශාල මිහින්තලේ අභය භූමියේත් අක්කර 8500ක් විශාල අනුරාධපුර අභය භූමියේත් පරිසරය සුරැකීම පිණිස සිවිල් ආරක්ෂකයන්ගේ මෙහෙයවීම මත පාරිසරික සංරක්ෂණ කටයුතු රැසක් දැන් ක්‍රියාවට නංවා ඇත.

මීට අමතරව සිවිල් ආරක්ෂකයන් සිදු කරන ප්‍රධානතම පාරිසරික සංරක්ෂණ වැඩපිළිවෙළ වන්නේ වනජීවී සංරක්ෂණය සඳහා සහාය වීම බව ද අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පෙන්වා දෙයි. ඒ අනුව විශේෂයෙන් අලි මිනිස් ගැටුම අවම කිරීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පූර්ණ සහාය දැක්වීමට සිවිල් ආරක්ෂකයෝ කටයුතු කරති.

මෙහිදී වනාන්තර හා වනජීවීන් ආරක්ෂා කිරීමට සහාය වීම, අලි මිනිස් ගැටුම් සීමා කිරීමට තර්ජන ප්‍රදේශවල විදුලි වැට ඉදිකිරීම සහ නඩත්තු කිරීම ආදිය සිදු කරනු ලැබේ. ඒ අනුව දැනටමත් අලි විදුලි වැටවල් 185ක් පමණ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කරන බවත්, දැනටමත් අලි විදුලි වැට කිලෝමීටර් 3323ක් පමණ ඉදිකර ඇති බවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

2013 වසරේ සිට 2015 ඔක්තෝබර් 31 දක්වා කිලෝමීටර් 1187.3ක් විදුලිවැට ඉදි කිරීමට භාරගෙන තිබේ.

දැනට විදුලි වැට කිලෝමීටර් 1007.5ක් අවසන් කර තිබේ. දැනට කතරගම අන්නාසිගල අයිස්පීල්ල අලි විදුලි වැටත් හා මහනුවර පුවක්පිටිය මීටර් 26ක් දිග අලි විදුලි වැටත් ඉදි වෙමින් පවතින බව සිවිල් ආරක්ෂක දෙපා‍ර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් වජිර කුමාරතුංග මහතා ද පෙන්වා දෙයි.‍‍

මීට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විහාරමහා දේවි උද්‍යානය, කොළඹ ගංගාරාමය අවට ප්‍රදේශය වැනි ස්ථානවල පරිසර සංරක්ෂණය, ගහකොළ සුරැකීම පිණිස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මහා මෙහෙයක් ඉටු කරති.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනෙක් පරිසර සංරක්ෂණ සුරැකුම් වැඩපිළිවෙළ වන්නේ අපද්‍රව්‍ය කළමනාකරණය මඟින් කොම්පෝස්ට් පොහොර නිපදවීමටයි. මේ අනුව අනුරාධපුර රඹෑව සිවිල් ආරක්ෂක බළකාය මඟින් සැල්වීනියා, ගොම, කොළ පොහොර යොදාගෙන කොම්පෝස්ට් නිපදවනු ලැබේ. මෙම කොම්පෝස්ට් පොහොර සිවිල් ආරක්ෂක බළකායේ අනුරාධපුර බල ප්‍රදේශයට අයත් සියලු ගොවිපළවල වගාවන් සඳහා උපයෝගි කර ගැනේ. අනුරාධපුර මැදවච්චිය බළකාය මඟින් පාසල්වත්ත උපකලාපයේ ඉදි කර ඇති කොම්පෝස්ට් නිෂ්පාදනාගාරයේ නිපදවනු ලබන පෙ‍ාහොර මේ අතරින් ඉහළ ම ප්‍රමිතියේ ඇත.

මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර පිළිබඳ අංශයෙන් සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ට මනාව පුහුණුව ලබාදුන් බව සිවිල් ආරක්ෂක බළකායේ අනුරාධපුර ප්‍රදේශය බාර අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රියන්ත විජේකෝන් මහතා පවසයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුව අනුරාධපුර කලාප ප්‍රදේශයේ විවිධ කෘෂිකාර්මික කටයුතු සඳහා අක්කර 550ක් පමණ විශාලත්වයෙන් යුතු ගොවිපළ සකස් කර ඇත. එහි වී අක්කර 220ක් බඩඉරිඟු අක්කර 325ක් පමණ වගා කර තිබේ. මේ සියලු කෘෂිකාර්මික වගාවන් සඳහා යොදනු ලබන්නේ සියයට 80ක් ම කොම්පෝස්ට් පොහොර බව ලුතිනන් කර්නල් විජේකෝන් මහතා කියයි.

ඊට අමතරව රුපියල් 100 ගණනේ කිලෝ 10ක බෑගයක් ඕනෑම අයකුට අලෙවි කිරීම ද කරනු ලැබේ.

මීට අමතරව කතරගම කැබිතිගොල්ලෑව, අම්පාර, වවුනියාව ප්‍රදේශවල ද කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. මේ ප්‍රදේශවල සෑම නි‍ෙවසකම සිවිල් ආරක්ෂක නිලධාරීහු සිටිති. ඒ අනුව මේ පණිවිඩය ස‍ෑම නිවෙසකටම යෑම මඟින් ඒ සෑම නි‍ෙවසකම කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘති සකස් කිරීමට කටයුතු කරමින් පවතින බව ව්‍යාපෘති නිලධාරි උපපොලිස් පරීක්ෂක වික්‍රමපාල මහතා පවසයි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් වජිර කුමාරතුංග මහතා පවසන්නේ අද වකුගඩු රෝගය ඇති කරන ප්‍රධාන විෂ කාරකයක් වී ඇති රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර නිපදවීමට තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උත්සාහ ගන්නා බවයි. ඒ අනුව පසට වස විස නැති කොම්පෝස්ට් පොහොර මඟින් සරු අස්වැන්නක් ලබාදෙන අතර ම, භූගත ජලයට ඇළ - දොළවලට වස විස එකතු වීම ද වළකී.

රටපුරා ම මේ වැඩපිළිවෙළ ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවකි. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද සුදුසු පියවර ගත යුතු ය. දිවයින පුරා පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාවට හා සංචාරක ලෙස වැදගත්කමක් ඇති ස්ථානවල ආරක්ෂාව හා සංරක්ෂණය සැලසීමට ද සිවිල් ආරක්ෂක දෙපා‍ර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඒ අනුව අටමස්ථානය, කතරගම දේවාලය, කතරගම කිරි වෙහෙර, හල්මිල්ලෑව පුරාණ රජමහා විහාරය, හිඳගල පුරාණ රජමහා විහාරය, මහියංගණය රාජමහා විහාරය, සෝමාවතී පූජා භූමිය හා මැදිරිගිරිය වටදාගෙය යන ස්ථානවල ආරක්ෂාවට පරිසර හා පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දෙන සහාය ඉතා ඉහළ මට්ටමක පවතී.

මේ අනුව මීට වසර 10 12කට පෙර මෙරට ගම් බිම් සුරැකීමට ආරම්භ කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දැන් මෙරට සුවිශේෂ පාරිසරික හා පුරාවිද්‍යා ස්ථාන සුරැකීමට, ඒවා සංරක්ෂණයට, එම ස්ථානවල පාරිසරික ප්‍රවර්ධනයට ගන්නා මෙහෙය අපි අගය කළ යුතු වෙමු. ඉදිරියේදී වනජීවී කලාපවල සිදු වන වන අපරාධ, විශේෂයෙන්ම වනජීවී අපරාධ වැළැක්වීම ඇතුළු පරිසර අපරාධ වැළැක්වීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පූර්ණ සහාය ලබාගැනීම කළ යුත්තකි‍. එය රටේ ඉදිරි පාරිසරික පැවැත්මට පිටුබලයක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »