මිරිස්ස මුහුදේ ඩොල්ෆින් මසුන් මැරීම ජයටම

2016-03-14 10:32:00       839
feature-top
ජීවිතය වර්ණවත් කිරීම වෙනුවෙන් මිනිස්සු විවිධ දේ කරති. සොබාදහමේ විස්මිත දේ දකිමින් සිය ජිවිතයට අමුතුම වින්දනයක් එක් කරගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරති. එහෙත් මේ කියන්නට යන්නේ මිනිසුන්ගේ වැරැදි ක්‍රියාකලාප හේතු කරගෙන අපේ රටට විදේශ විනිමය ගලන, ඒ වගේම මිනිසුන්ගේ ආත්මය සුවපත් කරන තල්මසුන් හා ඩොල්ෆින් මසුන්ගේ ජීවිතවලට එල්ල වී ඇති තර්ජන හමුවේ අසරණභාවයට පත් වූ මේ ක්ෂීරපායි සත්ත්ව ප්‍රජාවගේ කතාවයි.

මාතර මිරිස්ස යනු දෙස් විදෙස් සංචාරයකයන්ගේ සිත් ගත් සුන්දරතම වෙරළ තීරයන් අතරින් එකකි. එහෙත් අද වන විට විවිධ පුද්ගලයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරන්නා වූ මේ ක්ෂීරපායි සතුන් දඩයම හේතු කරගෙන මේ සත්ත්ව ප්‍රජාවගේ ජීවිත අනතුරට ලක් වෙමින් පවතී. ධීවර භාෂාවේ හඳුන්වන ලෙස මුල්ලුවා හෙවත් ඩොල්ෆින්ලා මෙන්ම තල්මස්සු ද අද අපේ මුහුදු තීරයෙන් ඈතට යමින් සිටිති. මීට එක් හේතුවක් වී ඇත්තේ ධීවරයන් ඩොල්ෆින් මසුන් මහා පරිමාණ වශයෙන් දඩයම් කිරීමය. අද වන විටත් ඩොල්ෆින් මාළු විශාල මුදලකට විකිණීමේ කටයුත්ත සිදු වෙමින් පවතී. ධීවර කටයුතුවල නිරත වීමේ මුවාවෙන් මේ සතුන් මැරිම සිදු කරන අතර, ඒ දැන හෝ නොදැන බොහෝ ඩොල්ෆින් සතුන් හා තල්මසුන් අද බෝට්ටු එද්දී මුහුදේ ඈතින් ඈතට යන ආකාරයක් දැකගත හැකිය. මේ නිසා මසුන් නරඹන්නට එන සංචාරකයන්ට පවා මේ සතුන් නැරැඹීමේ හැකියාව අහිමි වීමෙන් සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල වී ඇත.

මිරිස්සේ බොහෝ දෙනා සංචාරකයනට නිල් තල්මසුන් හා ඩොල්ෆින් මසුන් පෙන්වීමෙන් විශාල අදායමක් උපයති. මසුන් නැරැඹීම සඳහා ඇදී එන දෙස් විදෙස් සංචාරක සංඛ්‍යාව විශාලය. නමුත් ඇතැම් දෙනා විසින් සිදු කරනු ලබන මේ දඩයමෙන් මසුන් පෙන්වීමෙන් මුදලක් සොයා ගන්නා ජනතාව ගැටලු රැසකට මුහුණ දී සිටිති.

හොරට ඩොල්ෆින් මරන්නෝ දිනකට සතුන් 30-40ක ප්‍රමාණයක් මරා ධීවර බෝට්ටුවලින් රැගෙන එන බව බොහෝ දෙනා පවසති. මේ නිසා මිරිස්ස මුහුදු තීරය අද ප්‍රසිද්ධව ඇත්තේ ඩොල්ෆින් නැරැඹීමට වඩා ඩොල්ෆින් දඩයමට සුවිශේෂිත වූ ස්ථානයක් ලෙසිනි. එපමණක් නොව මෙලෙස ඩොල්‍ෆින් මසුන් දඩයම සිදු කරනුයේ ද ඉතාම අමානුෂික අන්දමිනි. දියඹට යන ඇතැම් ධීවරයෝ ඩොල්ෆින් රෑනක් බෝට්ටුවට ළං වෙද්දී සඟවාගෙන සිටින යකඩ කූරකින් ඩොල්ෆින් සතාගේ හිසට ගසති. සතාගේ අවසානය ඉන් ම සිදු වේ.

තල්මසුන් හා ඩොල්ෆින් මසුන් නැරැඹීම සඳහා සංචාරකයන් රැගෙන යෑමේ කටයුත්ත ව්‍යපාරයක් ලෙසින් පවත්වාගෙන යන්නන් සිය කර්මාන්තය මුහුණ පා ඇති අවදානම පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි.

අපේ ධීවරයන් ඩොල්ෆින්ලා මරණ එක අද වන විට වැඩි වෙලා තිබෙනවා. ඇතැම් අය ඩොල්ෆින්ලා මරන්නේ අනෙක් මාළුන් සඳහා ඇමට දමන්නයි. විශේෂයෙන්ම කෙලවල්ලන් ඩොල්ෆින් මසට ප්‍රියයි. ඒ නිසා ඇතැම් ධීවරයන් ඇමට දැමීමට ඩොල්ෆින්ලා මරද්දී අනෙක් අය කරන්නේ මරලා කූරියෙක් රුපියල් 2500ට-3000ට විකුණන එකයි. මේ සිද්ධී ගැන සමහර පොලිස් නිලධාරි මහත්වරුන් පවා දන්නවා. නමුත් නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

මේ අතරින් තල්මසා ඇත්තෙන්ම අහිංසක සතෙක්. ලෝකයේ අනෙක් තල්මසුන් එක්ක පීනන්න පුළුවන් නමුත් නිල් තල්මසුන් එක්ක පීනන්න බැහැ. මින් නිල් තල්මසා අහිංසක වගේම හරිම බියසුලු සතෙක්. අද අපේ රටට එන ඇතැම් සංචාරකයන් නිල් තල්මසුන් සමඟ කිමිදීමටයි එන්නේ. අපිට එක සැරයක් හෝ සතා එක්ක කිමිදෙන්න පුළුවන් වුණොත් ආයෙත් අපිට ඒ සතා අල්ලන්න බැහැ. නමුත් මේ සතුන්ගේ හැසිරීම් අපි තාමත් හරිහැටි හඳුනාගෙන නැහැ. රජයේ ආයතනවලින් මුහුදේ කිමිදෙන්න බලපත්‍ර දෙනවා. නමුත් ඒකෙන් වෙන්නේ මේ ප්‍රදේශයෙන් මේ සතා ඈතට යන එකයි. මේ කරන්නේ සල්ලි ගරා ගන්න වැඩක් මිස අනාගතයේ මේ සත්ත්වයා ආරක්ෂා කරන වැඩක් නෙමෙයි. මේ වෙනුවෙන් මේ මොහොතේ ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් වැඩි දිනක් යෑමට මත්තෙන් අපට තල්මසුන් හා ඩොල්‍ෆින්ලා ලංකාවෙදි දැකගන්න ලැබෙන එකක් නැහැ. මේ සත්තුත් හරියට ඩයිනෝසරයන් ගානට වැටෙනවා.

බොහෝ දෙනා මේ රස්සාව කරගෙන යන්නේ තමන්ගේ හිතුමතේටයි. මේ අය සතුන් ඉන්න තැන්වලටම ගොස් උන්ගේ ළඟටම යනවා. එයින් වෙන්නේ සතුන් බිය වීමයි. මේ හේතු නිසා අද ඉතා අපහසුවෙන් තමයි තල්මසුන් හා ඩොල්ෆින්ලා පෙන්වන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රස්සාව කරන අයට නිසි පුහුණුවක් ලබා දී මේ සතුන් ආරක්ෂා කරමින් තමන්ගේ රස්සාව කරගෙන යන්න නිසි පුහුණුවක් දෙන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා' යැයි මිරිස්සේ ඈත දිය‍ඹට බෝට්ටුවලින් සංචාරකයන් රැගෙන ගොස් ඩොල්ෆින් හා තල්මසුන් පෙන්වීමේ කර්මාන්තයේ යෙදෙන රංගන මනෝජ් මහතා පැවැසීය.

'මේ සතුන්ගේ ජිවන චක්‍රය දිහා හොඳින් බලන කොට මේ සතුන් මරනවා තියා අල්ලන්නවත් හිතෙන්නේ නැහැ. ඒ තරමටම මේ සතුන් හරිම අහිංසකයි ඒ ‍වගේම සංවේදියි. නමුත් අද වන විට මේ සතුන්ගේ පැවැත්ම දැඩි අවදානමකට ලක් වෙලා. වැඩි දෙනෙක් ධීවරයන් මේ සතුන් ඇමට භාවිත කරනවා. මේ නිසා අපිත් නැති වෙනවා, මේ ගමත් නැති වෙනවා වගේ වැඩක් තමයි අද වෙන්නේ. අපි මේ ගැන නොයෙක් දෙනාට කීවාට ඇති වැඩක් නැහැ. අපි මේ සතුන් සංරක්ෂණය කිරීම සිදු නොකළ හොත් අපි ජාතියේම පවුකාරයක් බවට පත් වෙනවා. මමත් ධීවරයෙක්. එදා අපිට මේ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඒත් අද අපි දන්නවා බොහෝ දෙනාගේ ජීවන වෘත්තිය බවට පත් වෙලා තියෙන්නේ මේ කර්මාන්තය. ධීවර වෘත්තිය අතහැරලා අද මං කරන්නේ තල්මසුන් නැරැඹීම වෙනුවෙන් පහසුකම් සැපයීමේ කටයුත්තයි.

මේ නිසා අපි කියන්නේ අපේ සම්පත් ආරක්ෂා කිරීම උදෙසා අපිම මැදිහත් විය යුතුයි. නැති නම් මේ මිරිස්සත් නැත්තටම නැති වෙනවා. මේ සතුන් නිසා තමයි අද අපි වැඩිපුර ප්‍රමාණයක් සල්ලි හම්බ කරගන්නේ. මේ අයට මේ බව තේරෙන්නේ නැහැ. නමුත් මේ විනාශය මේ විධියටම සිදු වුව හොත් මිරිස්සේ සංචාරක කර්මාන්තය නැත්තටම නැති වෙනවා' යැයි ටී. ප්‍රසංක මහතා පවසයි.

අසංග කෝරළගේ මහතාද තල්මසුන් හා ඩොල්ෆින් සතුන් නැරැඹීම සඳහා සංචාරකයන් යොමු කරවන ආයතනයක ප්‍රධානියෙකි. හෙතෙම අද සිය කර්මාන්තය මුහුණ පා සිටින අනතුර ගැන මෙසේ තොරතුරු විස්තර කළේය.

'ඉස්සර හිටපු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි අද අපිට තල්මසුන් දකින්න ලැබෙන්නේ. මේ ගැන පර්යේෂණ කළ සාගර විද්‍යාඥයන් පෙන්වා දී තිබෙන්නේ නැව් මාර්ගයේ පවතින ගැටලුවක් හේතු කරගෙන නැව්වල හැප්පීම නිසා තල්මසුන් විශාල සංඛාවක් මේ කලාපයෙන් මරණයට පත් වෙනවා.

ඒ වගේම අපේ සංචාරක පිරිස් ඡායාරූප ගැනීම සඳහා තල්මසුන්ගේ ළඟටම යනවා. එවිට බෝට්ටුවල ශබ්දය නිසා මේ සතුන්ට විශාල කරදරයක් ඇති වෙනවා. ඇතැමුන් කිමිදෙන්න හදනවා. ඒ නිසා මේ සතුන් ඉක්මනින් ඉවත් වීම සිදු වෙනවා.

අනෙක් කාරණාව තමයි, මේ කටයුත්ත සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල තිබෙන ඇල්මැරුණු ප්‍රතිපත්තිය. ඒ නිසාත් මේ සතුන්ගේ පැවැත්මට අර්බුද ඇති වෙලා. අලුත් අණ-පනත් සකසා හෝ අවශ්‍ය නීති අකුරට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව පත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ සතුන්ගේ සංරක්ෂණ ක්‍රියාවලි ගැන අපේ රටේ යහපත් ප්‍රතිපත්තියක් නැති වෙලා තියෙන්නේ. මේ රස්සාවේ යෙදෙන විශාල පිරිසක් ඉන්නවා. ඔහුන්ගේ ගැටලු හඳුනාගැනිම මෙන්ම පසු විපරමක් සිදු වෙන්නේ නැතිකම විශාල ගැටලුවක්. මෙය අපි වහාම සකස් කරගත යුතු යි' ද කෝරළේ මහතා පැවැසිය.

මිරිස්ස වනජිවි කාර්යාලයේ ස්ථානභාර වනජීවී නිලධාරී ඒ.පී.ආර්. රවින්ද්‍ර මහතා ද අප හා අදහස් දැක්වීය.

අද වන විට දකුණු මුහුදු කලාපයේ සිටින ඩොල්ෆින්ලා ධීවරයන් විසින් මිනිස් පරිභෝජනය වෙනුවෙන් විශාල ලෙස මරණයට පත් කරනවා. මෙය විශාල ගැටලුවක් බවට අද පත් වෙලා. මේ සතුන් ඉතා අහිංසක සත්ත්ව ප්‍රජාවක් හා ක්ෂීරපායි සත්ත්ව කොට්ඨාසයක් විධියට තමයි සැලැකිම සිදු වන්නේ. අපි මේ ජාවාරම නැවැත්වීම සම්බන්ධයෙන් වෙරළාරක්ෂක බළකාය එක්ක එකතු වෙමින් ළඟදීත් වැටලීම් කරලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා . නමුත් තවමත් මේ කටයුත්ත සිදු වෙමින් පවතිනවා.

මේ සතා වන සම්පත් හා වෘක්ෂ ලතා ආඥා පනත යටතේ ඉතාමත් සංරක්ෂිත සත්ත්වයෙක්. නමුත් පසු ගිය කාලයේ දී ඉතා වේගයෙන් මේ සතුන් මැරීමේ කටයුත්ත සිදු වුණා. ඉදිරියේ දී මේ යාත්‍රා පරීක්ෂා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා' යැයි ද ඔහු පැවැසීය.

සමුද්‍රජීවි අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙසේ අදහස් දැක්වීය.

අද අපේ රටේ සංචාරක ආකර්ෂණය වෙනුවෙන් තල්මසුන් හා ඩොල්ෆින්ලා නිසා මිනිසුන්ගේ පමණක් නොව, රටේ ආර්ථීකටත් විශාල ආදායම් මාර්ගයක් ඇති වෙලා තියෙන්නේ. මේ නිසා මිනිසුන්ගේ සමාජ ආර්ථීක කටයුතු වෙනුවෙන් ද විශාල දායකත්වයක් ලැබෙනවා. නමුත් දැන් දැන් ඩොල්ෆින් සතුන් මැරීම සිදු වෙනවා. මේ නිසා ජාත්‍යන්තර වශයෙන් ද අප අපකීර්තියට පත් වීම සිදු වෙනවා. අපි වහාම මෙය නතර කර නොගත්තොත් රටට විශාල හානියක් වෙනවා. ඒ නිසා අපි මේ ගැන වහාම ක්‍රියාත්මක විය යුතුයි. එසේ නො‍වුණොත් මේ එන සංචාරකයන් පවා අපිට නැති වෙලා යන්න ඉඩ තිබෙනවා' යැයි ඔහු පැවැසීය.

මේ අගනා සාගර සම්පත රැකගැනීම වෙනුවෙන් මේ මොහොතේ වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත්තේය. එසේ නැති වුව හොත් තවමත් අපගේ යැයි කිව හැකි මේ මත්ස්‍ය සම්පත අනාගත පරපුරට දැකීමට වත් නොහැකි වන අයුරින් සදහටම අපට අහිමි වී යෑමට වැඩි කලක් ගත නොවනු ඇත.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »