අපරාධ 250ක සැකකරුවන් අල්ලා දී...
සම්මාන පිට සම්මාන ලබන ආඩම්බරකාර ග්‍රේරෝ

2016-03-09 11:02:00       841
feature-top
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් දෙපාර්තමේන්තුව අපරාධ මැඬලීම සඳහා ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. ඒ සඳහා පොලිස් නිලධාරීන්ට මහඟු දායකත්වයක් සපයන පිරිසක් ද වෙති. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ අගනා සම්පතක් වන පොලිස් නිල සුනඛයෝය.

පොලිස් දෙපාර්තමේන්තුව සතු 300කට ආසන්න නිල සුනඛයන් අතරින් සුවිශේෂ වූ චරිතයක් හැටියට නිල සුනඛ ග්‍රේරෝ නම් කළ හැකිය. පාණදුර කොට්ඨාසයේ හොරණ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ග්‍රේරෝ 2015 වර්ෂයේ සාර්ථකව අපරාධ විසඳූ නිල සුනඛයාට හිමි සම්මානය හා නිලධාරියාට හිමි සම්මානය ඔහුගේ ස්වාමියා වූ ඉරෝෂ් දුමින්ද (පො. කොස්තාපල් 44839) විසින් දිනා ගැනීමට පසුගියදා සමත් විය.

මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති පුහුණුව අවසන් කළ නිල සුනඛයන් 43 දෙනෙකුගේ විසිර යෑමේ උත්සවයේදී මේ සම්මානය පිරිනැමිණි. පිට පිට දෙවැනි වතාවටත් සම්මානයෙන් පිදුම් ලැබූ ‍ග්‍රේරෝ සුනඛ ධේනුව පොලිස් දෙපාර්තමේන්තුව සතු මිල කළ නොහැකි සම්පතකි. වයස අවුරුදු පහයි මාස පහක් පමණ වන ග්‍රේරෝ මිනීමැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ ආදි නොයෙකුත් අපරාධ 250කට ආසන්න ප්‍රමාණයක් සාර්ථකව විසඳීමට සිය දායකත්වය සපයා ඇත. ඒ අතර මිනීමැරුම් 12ක් වේ. ග්‍රේරෝගේ ස්වාමියා වන කොස්තාපල් ඉරෝෂ් දුමින්ද ග්‍රේරෝ ගැන ‍අප හා තොරතුරු විස්තර කළේ මෙසේය.

2011 නොවැම්බර් මාසේ තමා ග්‍රේරෝව නෙදර්ලන්තයෙන් ලක්ෂ 10ක මුදලකට ලංකාවට ගෙනාවේ. ඒ එක්ක තවත් සුනඛයන් 100ක් ගෙනාවා. මම ඒ වන විට හොරණ පොලීසියේ බිංගෝ කියන නිල සුනඛයාගේ ස්වාමියා හැටියට සිටියේ. ඌ වයසට ගිහින් නැතිවුණා. 2012. 02. 01 වැනිදා තමයි මට ග්‍රේරෝව අස්ගිරිය නිල සුනඛ පුහුණු කොට්ඨාසයේදී හම්බ වුණේ. ග්‍රේරෝට යම් දෙයක් ඉක්මනින් තේරුම් ගැනීමේ සුවිශේෂ හැකියාවක් තියෙනවා. මාස හයේ නේවාසික පුහුණුවෙන් සමත් වී ග්‍රේරෝ සමඟ මම නැවතත් හොරණ පොලීසියේ සුනඛ අංශයට පැමිණියා. ඒ 2012 සැප්තැම්බර් මාසේ.

ග්‍රේරෝ අපරාධ විසඳීමට දායක වෙමින් පොලිස් දෙපාර්තමේන්තුවටත්, සමස්ත රටවාසීන්ටත් සිදුකළ සේවයෙහි දක්ෂතා ගැන ද දුමින්ද හෙළි කළේය.

2012 දෙසැම්බර්වල බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ ත්‍රීපුද්ගල ඝාතනයක් වුණා. අම්මයි තාත්තයි පුතයි ඝාතනය කර තිබුණා. නයිලෝන් ලණුවකින් බෙල්ල හිර කරලා තාත්තව මරලා තිබුණේ. ඒ ලණු කෑල්ල ග්‍රේරෝට ඉවට දුන්නා. සිද්ධිය වෙච්ච ආසන්නයේම ගෙදරකට ගියා. ග්‍රේරෝ ගෙදර ඇඳ උඩට නැඟලා ඉඳගත්තා. ගෙදර අයිතිකාරයා හැංගිලා සිටියේ. මිනිහව හොයාගෙන අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරද්දි සියල්ල හෙළි වුණා.

දුමින්ද අදහස් ප්‍රකාශ කරනුයේ තමාගේ රාජකාරි සගයාගේ දක්ෂතා පිළිබඳ නිහතමානි ආඩම්බරයක් ද සිතේ සඟවාගෙනය. තිරිසන් සත්ත්වයකු මෙවන් දස්කම් විස්කම් පෙන්වීමට පුරුදු පුහුණු කිරීම ද ලේසි පහසු කර්තව්‍යයක් නොවේ.

මාස ‍හයේ පුහුණුවේදී මුල් මාස දෙක ස්වාමියා හඳුනාගන්න, ළංවෙන්න, ආදරය කරන්න, කීකරුකම තමා පුහුණු කරන්නේ. එය අවබෝධ වෙනකල් පුහුණු කරලා ඉන්පසු මාස දෙක අණ වචනයට කීකරු කිරීම පුරුදු කරනවා. එහිදී පොඩි පොඩි වචන හරහා පුරුදු කිරීම් කරනවා. එන්න කිව්වාම එන්න, යන්න කිව්වාම යන්න ආදි වචන හරහා එම පුහුණුව කරනවා.

අවසන් මාස දෙක ඉව කිරීම සඳහා පුහුණු කිරීම. එහිදී ස්වාමියා සැඟවුණාම සොයන්න, ඉවක් ඔස්සේ යන්න, භාණ්ඩයක් සඟවා සොයන්න පුරුදු කරනවා. ඒවා සොයා ගත්තාම, හඳුනා ගත්තාම ඌට හොඳින් කතා කර, ආස කෑම ජාති දී සැලකීම පුහුණුවේදී අත්‍යවශ්‍ය සාධක. මේ සියලු දෑවලදී ග්‍රේරෝ ඉතා ඉක්මනින් අවබෝධ කරගැනීම සිදුකළා. එය ග්‍රේරෝගේ සුවිශේෂ හැකියාවක් ලෙස සැලකිය හැකි බව ද ඔහු පැවැසීය.

ග්‍රේරෝ කළ විශිෂ්ට ගණයේ මිනීමැරුම් අපරාධයක් විසඳීමේ හපන්කමක් ද ඇයගේ ස්වාමියා අපට පැවැසීය.

2013 බේරුවල බංගලාවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 85ක ආච්චි අම්ම කෙනෙකු අයන් එකක වයරයකින් ගෙල සිර කර ඝාතනය කර තිබුණා. වයර් එක දුන්නා ග්‍රේරෝට ඉව කරන්න. රෑ නවයට විතර දුන්නේ. ග්‍රේෙරා් අතරමඟ නතරවෙවී පාන්දර දෙක විතර වෙනකල් ගියා. කිලෝමීටර් 6ක් පමණ දුර ගියා. ගේකට ගිහිල්ලා ඇඳක් උඩ නතර වුණා. මිනිහව අල්ලගෙන ප්‍රශ්න කරද්දී කුඩු බොන්න සල්ලි අරගන්න ආච්චිව මරපු බව හෙළි කළා. රු. 30000ක් තමයි අරන් තියෙන්නේ.

නුවරඑළිය දිසා බාර නියෝජ්‍ය පොලිස්පති පත්මසිරි මුණසිංහ මහතා අතින් ‍ෙකාස්තාපල් ඉරෝෂ් දුමින්ද මහතා සම්මානය ලබද්දී.

මෙවැනි කතාන්දර රාශියක් තිබෙන බව ප්‍රකාශ කරන දුමින්ද 2014 දී බේරුවල සිංහල හා මුස්ලිම් අය අතර වූ නොසන්සුන්කාරි වාතාවරණය අතරතුරදී මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු තමාම, තම වෙළෙඳ සල ගිනි තැබීමේ සිද්ධියේ සුලමුල සොයා ගැනීමට ඒ අවට තිබුණු පිලිස්සි නොතිබුණු ගිනි කූරක් හරහා ලබාදුන් හෝඩුවාව ද සඳහන් නොකරම බැරි දස්කමකි.

2007 පොලිස් සේවයට එක්වූ කොස්තාපල් ඉරෝෂ් දුමින්ද පවසනුයේ හොරණ නිල සුනඛ අංශයේ කල් ගෙවන ග්‍රේරෝ ඉතාම ආඩම්බරකාරයකු ලෙස ප්‍රකට බවය. ස්වාමියාට දැඩි ළෙන්ගතුකමක් දක්වන ග්‍රේරෝ දුමින්ද නිවාඩු ගිය විට කෑම බීමෙන් ද වැළකී සිටී. උදේට කිරි වීදුරුවක් හා පාන් බාගයක් ද සවස 4.30ට ඩෝග් ෆුඩ් ලෙසින් හඳුන්වන වියළි ආහාර ග්‍රෑම් 500ක් ද දෛනික ආහාර වේලට ඇතුළත් වේ. ඊට අමතරව විටමින් සහ කැල්සියම් වර්ග ලබා දෙයි.

අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා කරන සේවය නිසා ග්‍රේරෝගේ ආරක්ෂාව ගැන ද දැඩි අවධානයක් යොමුකර ඇති වග දුමින්ද පැවැසීය. ග්‍රේරෝගේ කූඩුවට අඩි 75ක් පමණ ඈතින් වන්නට අඩි 8ක උසකින් යුත් යකඩ දෑල් ආවරණයක් ගසා තිබේ. ඒ සඳහා රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් වැය වී ඇත. එය පාණදුර කොට්ඨාසයේ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතාගේ අදහසක් අනුව සහකාර පොලිස් අධිකාරි ජී. ජේ. නන්දන මහතාගේ අධීක්ෂණයෙන් සිදුකරන ලද්දක් බව ද හේ පැවැසීය. ඒ ගැන ගෞරව පූර්වකව කතා කළ දුමින්ද ග්‍රේරෝගේ සේම තමාගේ ද සියලු රාජකාරි ගැන, සුවදුක් ගැන සොයා බලා උපදෙස් දෙන හොරණ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ‍එම්. ටී. ඩී. පත්මකුමාර මහතා හට ද ස්තුති කිරීමට අමතක නොකළහ.

ශ්‍රී ලංකා පොලිස් සේවය වෙනුවෙන් අපරාධ විසඳමට, අපරාධකරුවන් කොටු කරගැනීමට දායකත්වය සපයමින් සමස්ත රටවැසියන්ට තවත් කාලයක් සේවය කිරීමට ග්‍රේරෝට සහ ඔහුගේ ස්වාමියාට හැකියාව ශක්තිය ලැබේවයැයි අපි ප්‍රාර්ථනා කරමු.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »