අනතුරුවලට අත වනන තැන නොතැන කහ ඉරි

2016-03-03 10:43:00       848
feature-top
පදික මාරු හෙවත් මහා මාර්ග හරහා ගමන් කිරීමේදී පදිකයන් භාවිත කළ යුතු කහ ඉරි ගැන පදිකයන් මෙන්ම රියැදුරන්ද දැඩි අවධානය යොමු කළ යුතුය. එහෙත් අද එවැන්නක් සිදු වන්නේද? පදික මාරුවේදී පදිකයාට සැලසෙන ආරක්ෂාව ප්‍රමාණවත්ද? එමෙන්ම වර්ණ සංඥා සහිත කහ ඉරි මතින් පදික මාරුව (පෙලිකන් පදික මාරු) සිදු කරද්දී පදිකයාට ලැබෙන කාලය ප්‍රමාණවත්ද? යන්න ගැන එක් එක් පාර්ශ්වයන් තුළ ඇත්තේ විවිධාකාර මතයන්ය. මේ සම්බන්ධව විද්‍යානුකූලව විසැඳුම් ඉදිරිපත් කළ යුතුමය.අද අපි ඒ සම්බන්ධයෙන් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රෙය් වගකිව යුතු කිහිපදෙනකුගෙන් ඒ ගැන කරුණු විමසුවෙමි.

 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

අමල් කුමාරගේ

මේ සම්බන්ධයෙන් දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රවාහන විශේෂඥයා අපි හමුවුණෙමු. ඒ මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම්දාම කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ ය.

පදිකයන් මහා මාර්ගය හරහා මාරු වන කහ ඉරි තිබෙන සෑම ස්ථානයක්ම පදිකයාට මෙන්ම වාහනය පදවන රියැදුරාටත් පැහැදිලිව පෙනෙන ස්ථානයක් විය යුතුයි. කහ ඉරක් සෑම විටම නීත්‍යනුකූල කහ ඉරක් වන්නේ කහ ඉරකට අදාළ නිර්ණායක තිබෙන්නේ නම් පමණයි. මෝටර් රථ වාහන ආඥා පනතේ කහ ඉර සම්බන්ධව පැහැදිලිව දක්වා තිබෙනවාත උදාහරණයක් ලෙසින් කහ ඉරක පිහිටුමට පෙර පදික මාරුවක් හෙවත් කහ ඉරක් ඉදිරියෙන් ඇති බවට රියැදුරන් දැනුවත් කර තිබිය යුතුයි. එම දැනුවත් කිරීමේ පුවරු පිහිටුවා තිබිය යුත්තේද කහ ඉරට සැලකිය යුතු දුරකින්. එමෙන්ම අදාළ පූර්ව දැනුම් දීම් පුවරුවල ප්‍රමාණය වර්ණය ආදිය සියල්ල නිවැරැදි නොවන්නේනම් එය නීත්‍යානුකුල කහ ඉරක් වන්නේ නැහැ. ඊට අමතරව කහ ඉරට දෙපසින් මෙන්ම මාර්ගයේ මැදත් දික් වූ z අකුරට සමාන ලෙසින් මාර්ගය අයිනේ සලකුණු දක්වා තිබිය යුතුයි. මීට අමතරව තවත් නිර්නායක කිහිපයක්ම තිබෙනවා. මෙයින් එකදු නිර්ණායකයක් හෝ අඩු නොවී තිබීම අත්‍යවශ්‍යයි. එකක් හෝ අඩුවුවහොත් එය නීත්‍යනුකූලව පිළි ගන්නට බැහැ.

ලංකාවේ මේ එකදු සලකුණක් හෝ නොමැති කහ ඉරි තිබෙනවා. ඒ හරහා මාර්ගය මාරු වීම ඉතාම අනතුරුදායකයි. එසේම කහ ඉරි පිහිටුම් ස්ථානද නිවැරැදි විය යුතුයි. ඇතැම් විට වංගුවක කහ ඉරක් ස්ථාපිත කර තිබෙනවා. අැතැම් විට කන්දක් නැඟ අවසානයේ ස්ථාපිත කර තිබෙනවා. මේ කරුණු නිසා කහ ඉරි අනාරක්ෂිත තත්ත්වයට පත් වෙනවා.

වර්තමානයේ බොහෝ විට පදික මාරු නිර්මාණය කරන්නේ වාහන සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් වාහන අධික සංඛ්‍යාවක් තිබෙන නිසා එහි වරදක් නැහැ. නමුත් තවත් පැත්තකින් බැලූ කල පදිකයන් මාරු වීමට අැති ස්ථානය විශේෂ බවත් සැලකිය යුතු වෙනවා. එසේම වාහන ගමනාගමනය ට අවහිර නොවන පරිද්දෙන් හා පදිකයාටත් ප්‍රමුඛතාව ලබාදෙන ලෙස පදික මාරු ස්ථාපිත විය යුතු වනවා. එසේ නොමැතිව අවහිරතා ඇති වන බව සලකමින් පදික මාරු ස්ථානයන් වෙනස් කිරීම හෝ බස් නැවතුම් පොළ වෙනස් කිරීම හෝ කිරීමෙන් සිදු වන්නේ පදිකයන් තවත් මීටර 20ක් 30ක් මාර්ගයේ ගමනෙහි යෙදීම පමණයි.

වාහන හිමියන් නඟන චෝදනාවක් වන්නේ පදිකයන් මාර්ගයේ හැම තැනකින්ම මාරු වෙන නිසා කහ ඉර සම්බන්ධයෙන්ද එතරම් සැලකිල්ලක් නොමැති බවයි. එහෙත් එම චෝදනාව පදිකයන්ට පමණක් නඟන්න බැහැ. අද මාර්ගය දෙපස අවහිර වන සේ රථවාහන නවතා තිබෙනවා. පදිකයන් ගමන් ගන්නා පදික වේදිකාවේ පවා වාහන නවතා තිබෙනවා. එවිට පදිකයන් ගමන් කරන්නේ කොහොමද යන්න ගැන කතාවක් නැහැ.

මංසන්ධියක් අසල වාහන නවත්වන්න බැහැ. අවම වශයෙන් මීටර් 25ක් දුරක් හෝ ඒ සඳහා තිබිය යුතුයි. නමුත් අද මංසන්ධි අසල ත්‍රිරෝද රථ කෙතරම් ගාල් කර තිබෙනවාද? මේ සියල්ලම එකම ජාලයක කොටස් මිස වෙන් වශයෙන් සලකන්නට බැහැ. මංසන්ධියක් අසල එසේ රථ ගාලක් තිබුණු විට කහ ඉරක් හරහා පාර මාරු වෙන කිසිවෙක් දැක ගන්නට බැහැ. එවිට අනතුරු සිදුවීම සාමානය දෙයක්.

පදික මාරුව රාත්‍රී කාලයේ ඉතා පැහැදිලිව දර්ශනය විය යුතුයි. එසේ නොමැති වූ විට අනතුරු සිදුවීම සාමාන්‍යයයි. අපේ රටේ තිබෙන ක්‍රමවේදය අනුව අනතුරක් සිදුවුණු විට කරන්නේ රියැදුරාට දඩ ගැසීම දඬුවම් කිරීම පමණයි. ඒ හැරෙන්නට එතැන අනතුර සිදුවීමට බල පෑ වෙනත් හේතූන් ඇත්දැයි සොයා බලන්නේ නැහැ. අනතුරක් සිදුවීමට පදිකයා හෝ රියැදුරා ඍජුවම වගකිව යුතු වනවා. ඒ හැරෙන්නට කහ ඉර ස්ථාපිත කර තිබෙන ස්ථානයේ ඇති අඩුපාඩු දෝෂ ඇත්දැයි කිසිවකු සොයා බලන්නේ නැහැ. මේ නිසා යළිත් එතැන අනතුරු සිදු වෙනවා.

නීත්‍යනුකූලව ස්ථාපිත නොකරනු ලබන කහ ඉරක් කුමන ස්ථානයක ස්ථාපිත කළත් අවදානම වැඩියි. අද පදික මාරුවක් අවදානම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පවතින නීතියට පදිකයාත් රියැදුරාත් දෙ‍දෙනාම ගරු කළ යුතුයි. පවතින නීතියට ගරු නොකර අලුත් නීති සම්පාදනය කර වැඩක් නැහැ.

පදික මාරුවක් ස්ථාපිත කිරීමට පෙර 'ආරක්ෂක විගණනයක්' (Safety audit) කළ යුතුයි. එම ස්ථානයේ පදික මාරුවක් ස්ථාපිත කිරීමෙන් අනතුරු සිදු විය හැකිද? රියැදුරන්ට පදිකයන් නිසි පරිදි දර්ශනය වෙනවාද? වාහනයක් නවත්වා ගැනීමට ප්‍රමාණවත් දුරක් කාලයක් පවතීද? මෙවැනි නිර්ණායක රැසක් ඔස්සේ එම විගණනය කළ යුතු වෙනවා. එසේ නොමැතිව රෝහල හෝ පාසල හෝ කියා ඒ අසලම පදික මාරුවක් යෙදීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. එය මුළුමනින්ම අනතුරුදායකයි. පාසලක් රෝහලක් ආසන්නයේ කහ ඉරි යෙදීමේදී බොහෝ දේ පරීක්ෂා කළ යුතු වනවා. නමුත් එම විගණනයන් නිසි පරිදි සිදුවන බවක් පෙනෙන්නට නැහැ. ආබාධිතයන්ට වගේම අබල දුබල අයට යම් විශේෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක විය යුතුයි. නමුත් මූල්‍ය ගැටලු මත ඒවා සියයට සියයක්ම ඉටු කිරීමට අපහසුතා තිබෙන්නට පුළුවන්.

කෙසේ වුවත් වර්තමානයේ පවතින වර්ණ සංඥා සහිත පදික මාරු හරහා ගමන් කිරීමෙන් ආරක්ෂාව සලසා ගත හැකි බවක් පෙනෙනවා. පදිකයන්ට එහිදී ප්‍රමාණවත් වේලාවක් තිබෙන බව කිව යුතුයි. පදික මාරුවකට පැමිණි විට තමන්ට නියමිත සංඥාව ලද විගස මාර්ගය හරහා මාරු වී යා යුතුයි. දැනට පදික මාරුවන්නන්ට තිබෙන වේලාව වැඩි මිසක් අඩුයි කියා කියන්නට බැහැ. ආකල්පමය වශයෙන් වෙනස්වීමක් අපේ රටට අවශ්‍යයි.

කහ ඉරි හෙවත් පදික මාරු හරහා වැඩි පිරිසක් ගමන් ගන්නේ කොළඹ නගරය තුළයි. කොළඹ මහ නගර සභාවේ රථවාහන හා නිර්මාණ සැලසුම් අධ්‍යක්ෂ ඉංජිනේරු නිහාල් වික්‍රමරත්න මහතා පවසන්නේ කොළඹ නගරයේ සියලු මාර්ග (බේස්ලයින් පාර ගාලු පාර හැරෙන්නට) පදික මාරු නිසි පරිදි ස්ථාපිත කර ඇති බවයි.

නියෝජ්‍ය පොලිස්පති

අමරසිරි සේනාරත්න

එසේම නගරයේ පදික මාරු 775ක් තිබෙන බවත් වර්ණ සංඥා සහිත පදික මාරු (පෙලිකන් පදික මාරු) 74ක් තිබෙන බවත් ඔහු පවසයි. වර්ණ සංඥා සහිත පදික මාරු හරහා යාමේදී ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබෙනවා. පදික මාරුව හරහා ගමන් කළ යුතු දුර අනුවයි වේලාව ලබා දී ඇත්තේ. අන්තර්ජාතික පිළිගත් ප්‍රමිතිය වන්නේ තත්ත්පරයට මීටර් 1.2ක් ගමන් ඛළ යුතු ආකාරයෙන් කහ ඉර සඳහා පදිකයන්ට වේලාව ලබා දීමයි. නමුත් අපි පදිකයන් දෙස බලා එයටත් වඩා වැඩි වේලාවක් ලබා දී තත්ත්පරයට මීටරයක් දක්වා වේලාව වැඩි කර තිබෙනවා. එම වේලාව ඊට වඩා වෙනස් කරන්න බැහැ. ඩුප්ලිකේෂන් පාරේ මීටර් 9 ක් යාමට තත්ත්පර 12ක් ලබා දී තිබෙනවා. දැනට තිබෙන අඩුම දුරකට ලබා දී ඇති අඩුම කාලය එයයි.

පදික මාරුවට ආ විගස අනෙක් සියලු කාර්යයන් පසෙක ලා පදික මාරුව හරහා යාමට කටයුතු කළ යුතුයි. නමුත් බොහෝ අය දුරකථන කනේ තියොගෙන. තවත් අය මිතුරු මිතුරියන් සමඟ කතා බහ කරමින් ඉන්නවා. සෙසු පිරිස් කහ ඉර හරහා යන විට තමයි යන්න මතක් වෙන්නේ.

පදික මාරුවෙන් අධික පිරිසක් ගමන් ගන්නා ස්ථාන සඳහා පදික මාරුව ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා ගුවන් පාලමක් හෝ භූගත උමඟක් යෙදිය යුතු වනවා. බොරැල්ලේ උමං මාර්ගයක් යෙදුවේ ඒ අනුවයි. කොටුව,මරදාන ගුවන් පාලම් යොදා ඇත්තේ ඒ අනුවයි. නමුත් ආරක්ෂාවට වඩා කම්මැළිකමයි ආකල්පමය වෙනසක් නැතිකමයි පදිකයන්ගේ සිරිත වී ඇත්තේ. පොඩ්ඩක් බලන්න කොටුව ටෙලිකොම් ආයතනය සමීපයේ ගුවන් මඟී පාලම මතින් කීදෙනෙක් ගමන් කරනවාද කියා.

බොහෝ විට කහ ඉරි තිබෙන ස්ථානයන් වෙනස් කරන්නට වෙන්නේ පදිකයන්ගේ ආකල්පමය වෙනසක් නැති නිසයි. කොළඹ 07 කොළඹ මහ නගර සභාව ඉදිරිපිට මාර්ගයේ කහ ඉර තිබෙන ස්ථානය ආරක්ෂාකාරීත්වය වැඩි කිරීම සඳහා පුරහල මංසන්ධියෙන් මඳ දුරක් මාර්ගය ඇතුළට ගෙන ගියා. දැන් කිසිවෙක් ඒ හරහා යන්නේ නැහැ. දැන් අපට සිදුවෙලා තියෙන්නේ යලි පෙර තිබුණු ස්ථානයට පදික මාරුව ගෙන යන්නයි. කොළඹ 07 ශා. බ්‍රිජට් විදුහල අසල පදික මාරුවක් තිබුණත් නිදහස් මාවතේ පැත්තෙන් එන කිසිදු අයෙක් පදික මාරුවට එන්නේ නැහැ. මාර්ගය හරහා අපරීක්ෂාකාරීව ගමන් කරනවා. මේ ආකාරයට තිබෙන අපරීක්ෂාකාරී මාරුවීම් වළක්වන්න අපි ආරක්ෂිත වැට ගැහුවා. ඒත් උඩින් යනවා. ඒක වළක්වන්න වැටේ ග්‍රීස් ආලේප කරා. මේ කිසිවකින් පිළියමක් නැහැ. ආකල්පවල වෙනස්කම් අවශ්‍ය වෙනවා. තමන්ගේ ආරක්ෂාවට මීටර් 10ක් 15ක් එහාට මෙහාට යන එක ගැන හැඟීමක් නැහැ.

මේ තත්ත්වය වළක්වන්න බැරිම නිසා අපි දැන් පදික මාරු මංසන්ධිය අසලටම ගෙන ඒමට තීරණය කර තිබෙනවා. එවිට අවම වශයෙන් රියැදුරන්ට පදිකයා හොඳින් දර්ශනය වනවා. පදික මාරුවක් නොමැති ස්ථානයකදී වාහනයක ගැටුණොත් වන්දියක් හෝ ලබාගැනීමට හැකියාවක් නැහැ. බෙහෝ දෙනා මේ බව දන්නේ නැහැ.

එසේම බොහෝ දෙනා පැමිණි විගස පදික මාරුවේ බොත්තම තද කර තමන්ට සංඥාව ලැබෙන්නත් පෙර මාර්ගය හරහා යනවා. වාහන ගමන් නතර කර පදික සංඥාව ලැබෙනතෙක් හිඳ මාර්ගය හරහා යාමට කවුරුත් නැහැ. මේ නිසා කොළඹ මහජන පුස්තකාලය ඉදිරියෙන් අපි ව්‍යාපෘතියක් ආරම්භ කළා. කැමරාවක් සවි කර පදිකයා සිටිනවානම් පමණක් පදිකයාට ගමන් කිරීමට හැකියාව ලැබෙන ආකාරයට. එය සාර්ථකයි. ඒ කැමරා මේ වන විට බොහෝ ස්ථානවල සවි කර තිබෙනවා.

පිටකොටුවේ බෝගහ අසලින් දිනකට 125000ක් පමණ පිරිසක් මාර්ගය හරහා යනවා. ඒ සඳහා ගුවන් පාලමක් යෝජනා වී තිබෙනවා. එමෙන්ම බම්බලපිටියේ සහ කොල්ලුපිටියේ දුම්රිය ස්ථානයේ සිට ඍජුවම ගාලු පාරට සම්බන්ධ වෙන්න ලෝක බැංකු ව්‍යාපෘති යටතේ අපි කටයුතු කර තිබෙනවා. එමෙන්ම මරදාන දුම්රිය ස්ථානයට මාර්ගය හරහා නොගොස් භූගත උමඟක් යෙදීමටත් අප කටයුතු කරමින් සිටින්නේ.

කොළඹ මහ නගර සභාවේ රථවාහන හා නිර්මාණ සැලසුම් අධ්‍යක්ෂ
නිහාල් වික්‍රමරත්න

කහ ඉරක් රියැදුරන්ට රාත්‍රී කාලයේ ඉතා හොඳින් දර්ශනය වන ආකාරයට පුළුල් විදුලි සංඥා ලබා දීමේ ව්‍යාපෘතියක් අප මේ වන විට අරඹා තිබෙනවා. ඒ අනුව තුම්මුල්ල හන්දියේ සිට නුගේගොඩ දක්වා එම ව්‍යාපාතිය අප ආරම්භ කර තිබෙනවා.

නමුත් කහ ඉරකදී රියැදුරා පදිකයාටත් පදිකයා රියැදුරාටත් ගරු කරන තාක් මේ ගැටලුව තිබෙන බවයි පෙනෙන්නේ.

රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පවසන්නේ පදිකයන්ගේ ආරක්ෂාව සලසා දීමට පොලිසිය විශේෂ සැලැසුම් ක්‍රියාත්මක කරනු ලබන බවයි. කහ ඉරකින් වුවද මාර්ගය හරහා යාමේදී පොලිසිය උපරිම වශයෙන් ඒ සඳහා කටයුතු කරන බවත් වර්ණ සංඥා සහිත පදික මාරුවේදී ප්‍රමිතිය අනුව ලබා දී ඇති කාලය රෝගියකු වයෝවෘද්ධ අයකු වැනි අයට ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී පොලිසිය උපරම සහාය ලබා දෙන බවයි. එසේම පොලිසියට ලැබෙන පැමිණිලි අනුව පදික මාරු මෙන්ම බස් රථ නැවතුම්පොළද අවශ්‍ය පරිදි ස්ථාන වෙනස්කම් සිදු කරනු ලබන බවත් ඒ මහතා පවසයි.

කොළඹ නගරයේ මෙන්ම අනෙකුත් ප්‍රෙද්ශවලද එවැනි වෙනස්කම් අවශ්‍ය වූ අවස්ථාවලදී සිදුකර ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

පදිකයන් සැම විටම කහ ඉරි මතින් ගමන් කරන්නේ නම් රියැදුරන් වඩාත් ඒ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයිද පවසන සේනාරත්න මහතා පදික මාරු අනාරක්ෂිත ලෙසින් ඇත්නම් ඒ පිළිබඳව අදාළ ආයතන දැනුවත් කර පිළියම් යොදනු ලබන බවත් කීය.

එහෙත් බොහෝ විට සිදුවන්නේ පදිකයන් පදික මාරු මඟ හැර අනාරක්ෂිත ලෙසින් මාර්ගය හරහා යාම නිසා මේ කිසිවකු සම්බන්ධයෙන් පැමිණිලි නොලැබීම බවත් ඔහු පවසයි.

දිනකට දහස් ගණනක් පොලිස් නිලධාරීන් මාර්ගයේ රාජකාරි සඳහා යොදවා ඇති අතර බොහෝ පදිකයන් නීතියට ගරු කරන්නේ පොලිසිය දුටු විට පමණක් වීම නිසා ගැටලු පවතින බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

මේ විද්වතුන්ගේ අදහස් වලින් අපට පෙනී යන්නේ ආකල්පමය වශයෙන් වෙනසක් සිදුවනතුරු කහ ඉරේ ගැටලුවට විසැඳුමක් සොයා ගත නොහැකි බවයි. කහ ඉර පෙනි පෙනී පදිකයන් එයින් මෙපිටින් පාර හරහා යනු අපට පෙනේ. එමෙන්ම පදිකයා කහ ඉරේ ගමන් කරද්දී නොනවත්වා යන වාහනද අපට දැකගත හැකිය. මේ දෙදෙනා දෙදෙනා ගැනම සිතිය යුතුය. එමෙන්ම රටේ බොහෝ ස්ථානවල ස්ථාපිත කර ඇති අනාරක්ෂිත පදික මාරු වහාම ආරක්ෂිත බවට පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියත් පළාත් මාර්ග අධිකාරිත් පියවර ගත යුතුය. එසේ නොවුවහොත් කහ ඉරේ නීතියත් කතාවත් දෙකම තවත් කතාබහක්ම පමණක්ම වනු ඇත.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »