කතුන්ට නිවන් මඟ පෙන්වන දෙකඳුවල භික්ෂුණී ආරාමය

2016-02-25 11:16:00       862
feature-top
(බුද්ධ ශාසනයේ කාන්තාවන් මහණ වීමෙන් පසුව හඳුන්වන නාමය පිළිබඳ විවිධ බෞද්ධ නිකායන්ගේ ඇත්තේ විවිධ මත ය. නමුත් දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානය ඇතුළු එහි ප්‍රධාන භික්ෂූණී වහන්සේ ඔවුන් හඳුන්වන්නේ භික්ෂුණිය හෙවත් මෙහෙණිය යන ආමන්ත්‍රණයෙනි. එබැවින් මේ ලිපියේ දී උන් වහන්සේලා හඳුන්වා ඇත්තේ එසේ බැව් කරුණාවෙන් සලකන්න.)

කනන්විල ග්‍රාමය පාමුල පිහිටියේ සුන්දර කඳුවැටියකි. කඳු ගැටය තරණය කරන්නේ කහ පැහැති සිවුරකින් බබළන තරුණ භික්ෂුණියකි. ක්වරම භික්ෂුණිය කඳු ගැටය අතරින් නොපෙනී ගියා ය.

විපිළිසර වූ සිත එක්තැන් කරන්නට මෙන් වටපිට බැලූ කල අප අසල වූ පුවරුව දෙසට මා දෙනෙත යොමුවූයේ ඉබේම ය.

දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානය

හොරණ - මහරගම ප්‍රධාන මාර්ගයේ කනන්විල හන්දියෙන් බැස එහි දකුණුපස පිහිටි අතුරු මාර්ගයෙන් හැරී සැතපුම් දෙකක් පමණ ගිය තැන හමුවන්නේ කඳුගැටයේ සැඟව ඇති භික්ෂුණියන් වාසය කරන මේ දහම් පුහුණු මධ්‍යස්ථානයයි.

මාඉන්නළුවේ ධම්ම ශාන්ති මෙහෙණිය

වන ගහන මේ ප්‍රදේශයේ තැනින් තැන හු‍ෙදකලාව තනා ඇත්තේ ලැඟුම් කුටි කිහිපයකි. ඒ කුටිවල කිසිම කෙනෙක් සිටින වගට ලකුණක් වත් නොවේ.

දහම් පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන කුටිය අර තියෙන්නේ

තවත් ඉහළට විහිද යන පියගැටපෙළ ආසන්නයේ ම තිබෙනා කුටිය පෙන්වූයේ අප සමඟ ගිය එක් අයෙකි. එහි වැඩ වාසය කළේ දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන භික්ෂුණීන් වහන්සේ වන මාඉන්නළුවේ ධම්ම ශාන්ති ය.

මේ ස්ථානය ආරම්භ කරලා තියෙන්නේ 1992 වසරේදියි. ඒ නැදිමාලේ කිරම විමලජෝති නායක හාමුදුරුවන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. සිව්පිරිසටම භාවනා කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පැවැත්වුණු මේ භාවනා මධ්‍යස්ථානයේ තාවකාලික පැවිද්දත් සිදුවුණා. ඒ වගේම ත්‍රිපිටකය හැදෑරීමත්, ධර්මය හැදෑරිය හැකි විවිධ වාර්ෂික පුහුණු වැඩසටහන් ආදියත් ක්‍රියාවට නැඟුණා. ධර්මය හදාරන විදේශීය භික්ෂූන් වහන්සේලාටත් මේ ස්ථානය විවෘතව තිබුණා. මුලින් ම භික්ෂූන් වහන්සේලාගේ ආරාමයක් ලෙස ආරම්භ වුණු භාවනා මධ්‍යස්ථානයට අපේ පැමිණීම සිද්ධ වෙන්නේ 2005 වසරේදියි. ඒ පැමිණීමත් සමඟ කාන්තාවන්ට දවස් දහයේ භාවනා වැඩසටහන් ඇරැඹුණා. ඒත් සමඟ ම තාවකාලික පැවිද්දටත් උදව් කළා. මේ වනවිට නම් භික්ෂුණියන් වහන්සේගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් ම කරගෙන යන්නේ මෙහිදියි.

මේ වනවිට භික්ෂුණියන් හය නමක් හා සාමණේරවරියන් තිහක් පමණ වැඩ වසන ආරමයක් බවට පත්වී ඇති දෙකඳුවල, භික්ෂුණියන්ට ධර්ම කරුණු උගන්වන, භික්ෂුණීන් වහන්සේලා පුරුදු පුහුණු කරන, ධර්මය ප්‍රචාරය කරන මූලස්ථානයකි. ඒ කටයුතු සඳහා ගිහි තරුණියන්ට ද සහභාගි විය හැකි ය‍.

මෙහිදී දේශීය වගේම විදේශීය භික්ෂුණියන් ද පැවිදි කරනවා. ඒ විතරක් නොවෙයි උපසම්පදා කටයුතුත් සිදු වෙනවා. ඊට අමතරව දින දහයක් වැනි කාලයක භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ගිහි - පැවිදි ඕනෑම කෙනෙකුට මීට සහභාගි විය හැකියි. වයස් කාණ්ඩ අනුව බෙදා දැක්වීමකින් අනතුරුවයි ඒ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ. උපදේශන සේවය ද මෙහි ක්‍රියාත්මක වන අනෙක් සමාජ සේවා කටයුත්තයි. ශාන්ති භික්ෂුණියගේ ස්වරය ශාන්තව ගලායයි. ඒ ශාන්ත ස්වරයේ ඇත්තේ තරුණ්‍යයේ පිරිපුන් බවකි.

ඔබ වහන්සේ මහණ දම් පුරන්න ආරම්භ කළේ මෑතක ද ?

මෙහි ප්‍රධානත්වය හෙබ වූවද උන් වහන්සේ තරුණ වියේ පසු වූ බැවින් මම ශාන්ති භික්ෂුණියගෙන් විමසුවෙමි.

මම මහණ වෙන්නේ අවුරුදු පහළොවේ දී. ඒ මගේ ගම වන මාඉන්නළුව ආසන්නයේ තිබෙන ආරාමය නිසයි. කුඩා කාලයේ පටන්ම මා හැඳී වැඩුණේ ඒ ආරාමයේම නිසා කාලයක් යද්දි මටත් මහණ වෙන්නට සිතක් ඇතිවුණා. ඒ අනුව දෙහිඕවිටදි මහණ දිවියට පිවිසුණත් මම දිගටම අධ්‍යාපන කටයුතුවල නියැළෙන්න අමතක කළේ නැහැ. මේ වනවිට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණ මගින් බාහිර උපාධිය දක්වා මා ඉගෙන ගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රාචීන විභාගයත් මම පාස්. මෙහි පැවැත්වුණු ධර්ම පුහුණුවටයි මා මුලින් ම සහභාගි වන්නේ. එහිදි ඒ ත්‍රිපිටක ධර්ම පුහුණුව අපේ තරුණ අනෙක් භික්ෂුණියන්ටත් ලැබෙනවා නම් කියන හැඟීම මගේ සිතේ ඇතිවුණා. ඒ අනුව තවත් කාන්තාවන් පිරිසකට පිහිට වීමේ අදහසින් මා මෙහි නැවතුණා.

ඒ අතරතුර එහි පැමිණියේ තරුණ වියේ සිටින තවත් භික්ෂුණියකි.

විසුද්ධි මේ ඇත්තියන්ට භාවනා මධ්‍යස්ථානයේ ඉන්න භික්ෂුණියන් වහන්සේ සමඟ කතා කරන්න වගේම මධ්‍යස්ථානයත් නරඹන්නත් උවමනායි. ඒ ඒ තැන්වලට එක්ක ගෙන යන්න ඔබ වහන්සේට පුළුවන් ද?

නායක භික්ෂුණිය අප අසලට පැමිණි භික්ෂුණියගෙන් විමසයි.

උන් වහන්සේ අප කැඳවා ගෙන යන්නේ මේ ආරාමයේ භාවනා කුටිය දෙසට ය. දිගු ශාලාවක වෙන් වෙන් වශයෙන් ඉදි කරන ලද කුටි කිහිපයක් ඈතින් දිස්වෙයි.

සමහර භාවනා වැඩසටහන් පොදුවේත්, සමහර භාවනා වැඩසටහන් තනි තනිවත් සිදු වෙනවා. අනිවාර්යයෙන් ම පෝය දිනවලට පෝය වැඩසටහන් සාර්ථකව කෙරෙනවා. ආරාධනා ලැබුණොත් පෝය දිනවලදි අපේ භික්ෂුණියන් වහන්සේලා බණට අනෙක් පන්සල්වලට වඩින අවස්ථාත් තිබෙනවා. විශේෂයෙන් ම තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව, කොරියාව, ඇමෙරිකාව වගේ රටවල්වලින් භික්ෂුණියන් අපේ ආරාමයට පැමිණෙනවා. පසුගිය වස්කාලය ඔවුන් ගත කළේ මෙහියි. වරින්වර ධර්ම කරුණු හදාරන්නට පැමිණෙන ඔවුන් කාලයක් මෙහි වැඩ සිටිමින් තම කටයුත්ත අවසන් වූ වහාම නැවතත් තමන්ගේ රටට වඩිනවා.

වන පොත් කරන සාමණේරවරියන්

මේ වනවිට විදේශීය භික්ෂුණියන් වහන්සේ සියයකට උපසම්පදාව ලබාදීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. අප ඉදිරිපසට වැඩියේ මේ දිනවල ඉන්දියාවෙන් පැමිණි භික්ෂුණියකි. උන්වහන්සේව ඉන්දියාවේදී ආමන්ත්‍රණය කරන්නේ භික්ඛුණී බුද්ධ ඛණ්ණා නමිනි. එහෙත් ලංකාවේදී උන් වහන්සේට ලැබුණු නාමය සුජාතා ය.

කන්ද මුදුනේ දිලෙන්නේ රතු පැහැයෙන් දලු දමන ලද නා ශාඛ කිහිපයකි. චෛත්‍යයත්, බෝධීන් වහන්සේත්, පිළිම ගෙයත් පිහිටා ඇත්තේ ද එහි ය. අක්කර විස්සක් තරම් විහිද ගිය බිම් ප්‍රමාණයක පිහිටි දෙකඳුවල මේ දහම් පුහුණු මධ්‍යස්ථානය ඔවුහු භික්ෂුණී අධ්‍යාපන පීඨය නමින් ද හඳුන්වති.

අප දුටුවේ ගල් තලාවක් මත හිඳ සිටින භික්ෂුණියකි. උන් වහන්සේ අත ඇත්තේ පැරැණි පුස්තකයකි. ඒ අසල කුඩා සාමණේරවරියෝ කිහිපනමක් හිඳ සිටිති.

අනාගත පරපුර නිර්මාණය කිරීමේ ලා වෙහෙසෙන විසුද්ධි මෙහෙණිය මේ අතර තරුණ වියේ ම පැවිදි බිමට පිවිසෙන්නට හේතු වූ කරුණු කරණා ගෙනහැර පෑවා ය.

කෙළවරක් නැති සංසාරේ අපි කරන්නේ මේ දේවල්ම තමයි. උපදිනවා, ටිකක් උස් මහත් වෙනවා, රැකියාවක් කරනවා, විවාහ වෙනවා, දරුවෝ හදනවා, දෙමවුපියන් වන ඒ අය උස් මහත් කරනවා, එයාලව විවාහ කරලා දෙනවා. ඒ වෙන්වීම අපට දුකයි. කෙටියෙන්ම කිව්වොත් ඉපදීම දුකයි. වයසට යෑම දුකයි. ලෙඩවීම දුකයි. මරණය දුකයි. මේ තත්ත්වය අවබෝධ කරගන්න මම සංසාරයේ පින් කරලා තිබුණා. එක අවබෝධ කරගෙන මා පැවිදි වුණා.

යළි යළිත් සංසාරයේ සැරිසරන ගමන කෙටිකර ගැනීම පොල්ගස් වත්තේ විසුද්ධි මෙහෙණියගේ සිතුවිල්ලයි. ඒ සිතුවිල්ලම දැරූ විසුද්ධි මෙහෙණියගේ නැඟණිය ද දෙකඳුවල භික්ෂුණී අධ්‍යාපන පීඨයට පිවිසියේ ඇයටත් පෙර ය.

පැවිදි වීමට පෙර මා රෝහලක වෛද්‍ය රසායනාගාර ශිල්පිනියක් විදියටයි වැඩ කළේ. ඒ කාලය ඇතුළත රෝහලේ විවිධ රෝග පීඩාවලින් දුකට පත්වුණු රෝගීන්ගේ දසුන මගේ සිතට ගෙනාවේ ශෝකයක්. ඔවුන් නිතරම නඟන කෙඳිරිලි හඬ, වේදනාව මගේ සිතට ගෙනාවේ වේදනාවක්. මේ විදියට මිනිස්සු දුක් විඳින්නේ බලෙන් ඉල්ල ඉල්ල නේද කියන හැඟීම මගේ සිතේ ඇතිවුණා. ඉතිං එහෙම තවදුරටත් දුක් විඳිය යුතු ද කියලා මා කල්පනා කළා. පැවිදි වන සිතුවිල්ල මගේ සිතේ තිබුණේ පුංචි කාලයේ පටන්මයි. අවසානයේ කිසිම කෙනෙකුට නොකියා මා පැවිදි වෙන්න තීරණය කළා. රෝහලෙන් අස්වීමට ලියුම් දීලා මෙහි පැමිණියේ නැවතත් ගිහිගෙය දෙස හැරිලා බලන්නේවත් නැත කියන අදහසින්. මම පැවිදි වෙලා වසර කිහිපයකින් පසුව මගේ අක්කාත් පැමිණ මෙහිම පැවිදි වුණා. දැන් අපි අපෙන් සමාජයට සිදුවිය යුතු සේවය කරමින් ධර්මයේ සුවය විඳිනවා.

පොල්ගස් වත්තේ සුඛේතා මෙහෙණිය තමා විඳින ධර්ම සුවය පිළිබඳ ඒ ආකාරයෙන් උදම් අනන්නී ය. මේ මෙහෙණියන්ගේ ඇති මා දුටු අනෙක් විශේෂත්වය නම් ඔවුන් මේ ධර්ම මාර්ගයට පිළිපන්නේ අනෙකුත් ආගම්වල ධර්ම පිළිබඳ සොයාබලා ඒ පිළිබඳ කළ අධ්‍යයනයකින් පසුව වීම ය. ඒ අනෙකුත් ආගම්වලට වඩා වෙනස් වූ දහමක් බුදු දහම මගින් කතාබහට ලක්වෙන බවත්, එහි ක්‍රියාකාරකම් සැදී ඇත්තේ ද ප්‍රායෝගිකව බවත් භික්ෂුණියන් පවසන්නේ සිත්වල නැඟුණු චිත්ත ප්‍රීතියෙනි.

බුදු දහම කියන්නේ ආගමක් නොවෙයි දර්ශනයක්.

සුඛේතා භික්ෂුණිය අප සමඟ පැවසූයේ උන් වහන්සේගෙන් සමුගන්නට මත්තෙනි.

දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානයේ එක්පසෙක ඇති කුටියක දහවල් දානය සැකසෙයි. නියමිත වෙලාවට භික්ෂුණියන් වහන්සේලාට දානය පිළි ගන්වන්නට යුහුසුලු වන පිරිසකි. ඔවුන් ඊට අවශ්‍ය ඒ සියලු දේ දාන ශාලාවට රැගෙන යන්නේ සැදැහැවත් බව සිතේ මෙන්ම වතේ ද තවරමිනි.

මේ විදියට දානය දෙන්න වාර්ෂිකව පෙළ ගැසුණු දායක - දායිකාවන් පිරිසක් ඉන්නවා.

ඒකාංශ කර හැඳගත් සිවුරුවලින් සැරැසුණු පාත්‍ර අතින්ගත් භික්ෂුණීහු හා සාමණේරවරියෝ පිළිවෙළින් දන් ශාලාවට වඩිති. ඒ දසුන දකින්නකුගේ සිත පහන් හැඟුමින් පුරවයි. මඳ වේලාවකින් පසුව අපට ඇසෙන්නේ සුපුරුදු ලෙස දන් පිළිගන්නා බවට පැවසෙන ගාථා මුමුනන මියුරු ස්වරයයි. ඒ මියුරු ස්වරයේ රැඳී ඇත්තේ දහමේ අසිරිය ම නොවේද?

මේ සෑම කටයුත්තක් ම අපි කරගෙන යන්නේ බාධක රැසක් මාධ්‍යයේ. අපේ මෙහෙණින් වහන්සේට ලැබිය යුතු භික්ෂු හැඳුනුම්පත ගන්න තමයි අපි හරියට දුක් විඳින්නේ. එතැනදි ඒක ගන්න ගියාට පස්සේ එක එක කතා කියලා ඒ හැඳුනුම්පත පසු කරනවා. හැඳුන්ම්පත නැතිව විභාගයකටවත් පෙනී සිටින්න මෙහෙණින් වහන්සේලාට නොහැකියි. මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් අපට ලැබෙනවා නම් ඒකයි අපට කරන ලොකු ම උදව්ව වෙන්නේ.

නැවතත් ප්‍රධාන කුටියට පිවිසුණු ශාන්ති භික්ෂුණින් වහන්සේගේ ස්වරය අප සවනත වැකෙයි. ඒ ඔවුන් හමුවේ පැන නැඟී ඇති මෙතෙක් විසඳුමක් නැති එක් ගැටලුවකි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »