මැරෙන මොහොතට වතුර උගුරක් දෙන්න මගේ පුතා මට බේරා දෙන්න

2016-02-07 02:47:00       840
feature-top
පණ යන වෙලාවෙවත් මගෙ කොල්ලා මගේ ඇස් දෙකට පේන්න හිටියොත් මට‍ ඒ ඇති. වතුර උගුරක් දෙන්නවත් මට දැන් කෙනෙක් නැහැ. මං හැමදාම දරු දුකෙන් ජීවත් වුණ අම්මා කෙනෙක්. ඇස් පේනවා අඩුයි. කන් ඇහෙනවා අඩුයි. අතපයත් වාරු නැති ගානයි. මෙහෙම හරි පණකෙන්ද අල්ලගෙන ඉන්නේ මගෙ රත්තරන් පුතා ගෙදර එනතුරුයි.

අසූහත් හැවිරිදි මේ මාතාව පවසන්නේ හැඬූ කඳුළිනි. ඇය අපට හමුවුණේ අහම්බයෙනි. පී.වී.ආර්. රත්නවතී මැණිකේ පදිංචිව සිටින්නේ ඕලුගන්තොට යි.

ඇයට රාත්‍රිය දහවල කියා වෙනසක් නැත. පාළු නිවෙසක තනිවම වෙසෙන මාතාව දෑස් දල්වා බලා හිඳින්නේ කොයි මොහොතේ හෝ තම බාලපුතු ගෙදර පැමිණෙන තුරු ය. ඇගේ දෑසින් නොනවත්වා කඳුළු හලයි. දුක වැඩි කමටදෝ ඇයට වචන ගළපා ගැනීම අසීරු ය.

අම්මාගේ පුතා කොහෙද ඉන්නේ. පිටරට ගිහිල්ල ද?

අපි ඇසුවෙමු.

ඇය නැතැයි කීමට හිස දෙපසට වනයි. ඇයට කතා කිරීමට ඉඩදී අපි බලාසිටියෙමු. ඉකිබිඳුම අවසන් වී බොහෝ වේලාවක් යනතුරු ම ඇය හීල්ලුවා ය.

මගේ මහත්තයා විදුහල්පතිවරයෙක් හැටියට බළන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙත් සේවය කළා. ඔහු මිය ගිහිල්ලා ටික කලක් වෙනවා. ඊට පස්සේ පුතාලා දෙන්නා තමයි මාව බලාගන්න හිටියේ. මගේ ලොකු පුතා පෞද්ගලික අංශයේ සේවය කළේ. බාල පුතා පොලිසියේ සේවය කළේ. ඒත් බාලපුතා නරක යාළුවෙක්ගේ ඇසුර නිසා කරදරයක වැටුණා. පුතා කෙනෙක්ව පැහැර ගැනීමේ චෝදනාවට ලක්වෙලා මීට අවුරුදු දාහතකට පෙර බන්ධනාගාර ගත වුණා. ඔය කරපු වැරැද්ද ඇරෙන්න මගෙ කොල්ලා වෙන වැරැදි කරලා නැහැ. ලොකු පුතා බාල පුතා වෙනුවෙන් එයාගේ ගේ විකුණලා නඩු කිව්වා‍.

ඒත් පුතාව එළියට ගන්න බැරි වුණා. ලොකු පුතා ඒ හිතේ අමාරුව නිසා ම බීමට ඇබ්බැහි වුණා. අන්තිමට ලොකු පුතා හෘදයාබාධයක් හැදිලා මැරුණා‍. එදා ඉඳල මං ජීවත්වෙන්නේ තනියම. මං මේ කියන්නේ බොරුවක් නෙමෙයි.‍ හිර‍ෙගදර ඉන්න මගේ පුතාගේ නම අයි.පී‍.ජී‍. ආරියසිංහ. ඔහුගේ සිර අංකය C30786. පුතාට අච්චු කළේ අවුරුදු අසූවකට. ඒත් ඇපීල් එකේදි ඒ දඬුවම අවුරුදු හතළිහ දක්වා අඩු වුණා. පුතා හිරේ යද්දී එයාට අවුරුදු තිහයි‍. දෙයි හාමුදුරුවනේ මං මගේ කොල්ලා බේරලා දෙන්න කියලා නොකියපු කෙනෙක් නැහැ. පුතා මේ වෙනකොට හයවතාවක් නිවාස නිවාඩු ලැබිලා ගෙදර ඇවිත් ගිහින් තියෙනවා. පුතා ගැන මේ ගමේ කවුරුවත් වරදක් කියන්නේ නැහැ‍. ග්‍රාමසේවක මහත්තයා ඒ බවට සාක්ෂි කියනවා.

මගෙ රත්තරන් කොල්ලා ගෙදර ආව දවසට තමයි මට නිවනක් තියෙන්නේ පුතා ගෙදර ආවාම කොහේවත් යන්නේ නැහැ. ගෙදරටම වෙලා ඉන්නවා. එයා තමයි මට කන්න උයලා දීලා මාව නාවල බලා ගන්නේ. ඒත් පුතා ගියාට පස්සේ කවුරුවත් නැහැ මාව බලා ගන්න. අහල පහල අය නම් ඇවිත් යනවා. ඒත් දැන් බැරිමර ගාතේ ඉන්න මට මගෙ දරුවා ඉන්නවා නම් තමයි සැනස‍ීමක් තියෙන්නෙ. පුතාගේ ජීවිතේ හොඳම කාලේ ගෙවුණේ හිරගෙදර.‍

රත්නාවතී මැණිකේ අම්මා පවසන්නේ බොහෝ දුකිනි.

ඇය අවදි වන්නේ හිමිදිරි පාන්දර.‍ එතැන් සිට ම ඇය නි‍ෙවසෙහි ඇති බුදුරුව ඉදිරියේ මල් පහන් දල්වා පිරිත් කියන්නීය. සියලු දෙවි දේවතාවුන්ට පින් දී තම පුතු ඉක්මනින් ගෙදර එවන ලෙස ඉල්ලා සිටින්නීය. පුළුපුළුවන් කාලයේ ඇය උදේට දහවලට මොනවා හෝ රත්කරගෙන කෑවා ය. ඉඳහිට දිනෙක ඇයට ඥාති දියණියකගෙන් හෝ අසල් වැසියන්ගෙන් කෑමට යමක් ලැබෙයි. දහවල් දොළහ එක දෙක පහුවුණ මොහොතේ සිට ඇය යළිත් සන්ධ්‍යාවේ බුදු පහන දැල්වීමට සූදානම් වන්නීය. ඇය මහ රෑ වනතුරුත් පිරිත් කියන්නීය. තම පුතුට ඉක්මනින් නිදහස ලැබේවායි පතන්නීය. මධ්‍යම රාත්‍රියේ හෝ අවදි ව‍ූ විට රිදුම් දෙන දෙපා පිරිමදිමින් ඇය දෙවියන් යදින්නීය.

මගේ පණ ඩිංග යන්න ඉස්සෙල්ලා මගෙ කොල්ලා නිදහස් වෙලා ගෙදර එනව නම් මට ඒ ඇති.

ඒ ඇගේ එකම ඉල්ලීමයි, ප්‍රාර්ථනයයි. මේ වනවිට ඇය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමාටත්, බලපත්‍ර මණ්ඩල සභාපතිතුමාටත් ලිඛිතව ලියා දන්වා ඇත්තේ තම පුතුට බලපත්‍ර කොන්දේසි මත හෝ නිදහස ලබාදෙන ලෙස ය.

වසර ගණනක් තිස්සේ හිරගෙදර යන එන අපට ඒ මුහුණ හුරුපුරුදු ය. ඒ අංගම්පොර සටන් කලාව පුහුණුවේදී ද, වීරයෝ මරන්න බෑ නාට්‍ය පුහුණුවේදී ද ඔහු පෙරමුණ ගෙන සිටි බැවිනි. අයි.පී.ජී. ආරියසිංහ හෙවත් සිර අංක C30786 කාටවත් මතක නැති වුව ද වැලිකඩ K වාට්ටුවේ ආරි නොහඳුනන කෙනෙක් නැත.

ඇත්තටම මොකද වුණේ? පසුගිය දිනෙක වැලිකඩ හිරගෙදරට ගිය විටෙක අපි ආරියසිංහගෙන් විමසීමු‍.

මගෙ අයියා ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ. තාත්තා විදුහල්පතිවරයෙක් හැටියට හිටියේ.‍ දැන් අයියත් තාත්තත් දෙන්නම ජීවතුන් අතර නැහැ. මම පාසල් කාලේ ඉඳලම ක්‍රීඩා කළා. විභාගයෙන් පස්සේ මම පොලිස් විශේෂ කාර්යය බළකායට බැඳුණා. ඒ කාලේ යුද්දේ තිබුණු කාළේ‍. 1992 දී කල්මුණේ දී මටත් තවත් ඉහළ නිලධාරියකුටත් රාලහාමි කෙනෙකුටත් වෙඩි වැදුණා.‍ ඔවුන් දෙන්නම මැරුණා. මගෙ අතටයි වෙඩි වැදුණේ. තුවාල සුව වුණාට පස්සේ සානුකම්පිත හේතූන් මත මම පොලිසියට මාරු වුණා. කලක් රත්නපුරයේ හිටියා. එහිදී යහළුවෝ කිහිප දෙනෙක් ම හඳුනාගන්න ලැබුණා. පසුව ගාල්ලට මාරු වුණා. මම ක්‍රිකට් සෙල්ලම් කළා.‍ මට මැනිං මාකට් එකේ ව්‍යාපාර කරන කෙනෙක්ව හමු වුණා. ඔහුත් අපිත් මිතුරු වුණා. ඔහුට ඒ කාලේ පාතාලයෙන් කරදර තිබුණා. මං ඔහුට ආයුධයක් දුන්නා. ඒ සිද්ධියෙන් පස්සේ අපි බොහෝම යාළුවුණා. ඔය කාලෙදි තමයි දවසක් මට කිව්වේ බොරැල්ලේ දී වාහනයක් නතර කරන්න, ඒ වාහනේ කුඩු ගේනවා කියලා.

එදා මම ගාල්ලේ ඉඳලා කොළඹ ආවා. නිල ඇඳුමෙන් බොරැල්ල හන්දියේ හිටියා. අදාළ වාහනේ එනකොට නතර කළා‍. ඒත් මම කිව්වා වාහනේ හිටපු කෙනාව දැකලා ඔහු කුඩු ගේන කෙනෙක් වෙන්න බැහැ. ඔහුට මුකුත් කරන්න එපා කතා කරන දෙයක් කථා කරලා ඒ මහත්තයව යවන්න කියලා. ඊට පස්සේ මම යන්න ගියා. ඉන් පස්සේ මොනවා වුණාද කියලා කියන්න මං දැනගෙන හිටියේ නැහැ. පසුව තමයි මම දැනගත්තේ ඒ සිද්ධිය කෝටි දෙකක් කප්පම් ගන්නට කළ පැහැර ගැනීමක් කියලා. මටත් ලක්ෂ 15 ක් දුන්නා. මං කිව්වා මට සල්ලි එපා කියලා. කොහොම හරි සිද්ධිය වෙලා දවස් තුනකට පස්සේ අපිව ඇල්ලුවා.‍ උසාවි ඉදිරිපත් කළ වෙලාවේ තමයි සම්පූර්ණ කතන්දරේ දැනගත්තේ. ඒ ඩී.ස‍ී. වික්‍රමසිංහ කියන මහත්තයව පැහැරගත්තේ කියලා. ඒ මහත්තයත් උසාවියේදී කිව්වා එදා මම බොරැල්ල හන්දියේදී වාහනය නතර කරපු වෙලාවේ කියපු කතාව. ඔය සිද්ධිය ඇරෙන්න මං වෙන කිසිම වැරැද්දක් කළේ නැහැ. ඒත් මේ සිද්ධියට දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඇප දෙන්නේ නැතිව දිගටම නඩුව ඇහුවා. මගෙ අයියා එයාට අයිති තට්ටු දෙකේ ගේ විකුණලා නඩු කිව්වා. මම අයියට කිව්වා මගේ ගේ විකුණන්න කියලා.

මට අවුරුදු 80 ක දඬුවමක් නියම වුණාම අම්මයි අයියයි දෙන්නාම දුක් වුණා. නඩුව ඇපීල් කළාට පස්සේ ඒ දඬුවම අවුරුදු හතළිහ දක්වා අඩු වුණා. කොහොම හරි අපි අවුරුදු විසිහයක් හිරේ ඉන්න ඕන. මේ වෙනකොට අවුරුදු දාසයක් ඉඳලා තියෙනවා. වැරැද්දක් කළා. ඒකට දඬුවමක් ලැබුණා. ඒත් මම විතරක් වුණා නම් මට දුකක් නැහැ. ඒත් දැන් ජීවතුන් අතර ඉන්නේ මගෙ වයසක අම්මා විතරයි. එයාට මගෙ උදව් ඕනම වෙලාවක් මේක. හිරගෙදර තියෙන දුරකථනයෙන් මං අම්මට කතා කරනවා. ඒ හැම මොහොතකම අම්මා ආශිර්වාද කරනවා ඉක්මනට මට එයා ළඟට එන්න ලැබෙන්න කියලා. මගෙ යාළුවෝ ඉඳලා හිටලා අම්මා බලන්න යනවා. නිවාස නිවාඩු ලැබිලා ගෙදර ගියොත් ඇරෙන්න අම්මට කවදාවත් මාව බලන්න කොළඹ එන්න විදිහක් නැහැ. අන්තිමට ම මම ගෙදර ගියේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. අම්මා මැරෙනකම් මට එයාව ආදරෙන් කවලා, පොවලා, රෙදි හෝදලා දීලා නාවලා ආදරෙන් බලාගන්න තියෙනවා නම් ඒ ඇති. මට අම්මා ‍ජීවත්ව ඉන්න තුරු ගමට යන්න ලැබෙනවා නම් ඒ හොඳටම ඇති.

ගහක් ගලක් වගේ උස මහතට සිටින ආරි ඒ ටික පවසන්නට වූයේ බොහෝ අමාරුවෙන් වචන එකතුකරය. වයසට ගිය විට අතපය වාරු නැති විට බලාගන්නට බැහැ. කරදර යැයි කියමින් මව පියා මහමඟ අතහැර යන, බලු කූඩුවල පියවරුන් රඳවා තබන නිවාස අඩස්සියේ මවුවරුන් තබන මෙවන් යුගයක මේ සිරගත පුතුගේ ආයාචනයට කාගේ හෝ හිත උණුවන්නේ නම් එය වයෝවෘද්ධ රත්නවතී මැණිකේ අම්මාගේ වාසනාවකි.

තව අවුරුදු දහයක් මං හිරේ ඉන්න ඕන. මගේ අම්මා එච්චර කල් ජීවත් වෙන එකක් නැහැ. අම්මා ඉන්න කල් එයාගේ ළඟට එයාව බලාගෙන ඉඳලා ආයෙමත් ඇවිල්ලා ඒ අවුරුදු දහය හිරේ ගෙවන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ.

ඔ‍හුගේ ඉල්ලීම ප්‍රායෝගික නොවුවද ඒ තවත් පුතෙකු මවකගේ සෙනෙහස වෙනුවෙන් පතන ප්‍රාර්ථනයකි.

ස්තුතිය - බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ, මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය හා වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරි චන්දන ඒකනායක යන මහත්වරුන්ට.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »