මීතෙන් වායුව වාතලයට නිදහස් වීම ලෝක විනාශයට හේතුවේද?

2016-02-01 11:23:00       847
feature-top

ඒ 2011 වර්ෂයයි. නැ‍ඟෙනහිර සයිබීරියාවේ වෙරළ ප්‍රදේශයක් නිරීක්ෂණය කරමින් සිටි විද්‍යාඥයින් කණ්ඩායමක් එක්වනම තිගැස්සුණා විය යුතු ය. ඔවුන් තිගැස්සවූ ඒ සොයා ගැනීම ජනමාධ්‍ය හරහා වාර්තා වූයේ ලෝක විනාශය ආසන්නයට ම පැමිණ ඇතැයි යනුවෙනි. එකී නිරීක්ෂණයට කෙරුණේ සාගර පත්ලේ එක් කලාපයකින් වායුවක් ඉහළ නගිමින් තිබෙන බවත්, එය ප්‍රබල පරිසර විරෝධි වායුවක් වන මීතේන් බවත් ය. 2012 දී ලෝක විනාශය සිදු වන බවට මාධ්‍ය ගෙන ගිය ප්‍රචාරයට මෙය ද ඇතුළත් විය. මේ ආකාරයට වර්ග සැතපුම් 10,000 ක භූමි ප්‍රදේශයක සැදුණු දුම් කවුළු වැනි විවර තුළින් මේ හානිකර වායුව ඉහළට නගින අයුරු විද්‍යාඥ කණ්ඩායමේ නිරීක්ෂණයට හසුව තිබේ. එවැනි විවර සියයකට වැඩි ප්‍රමාණයක් දැකගත හැකි වූ බවත්, ජලය මතින් ඉහළට ඇදෙන සමහර වායු තීරු පළලින් කිලෝමීටරයක් ඉක්මවූ බවටත් හඳුනා ගෙන තිබේ.

මීට වසර මිලියන 252 කට පමණ පෙර පෘථිවි ඉතිහාසයේ සිදු වූ මහා නැතිවීම නිර්මාණය කළේ වායු ගෝලයට සීමාව ඉක්මවා මීතේන් වායුව නිදහස් වීමයි. ඒ අනුව මෙය කොයි ආකාරයෙන්වත් සුළුවෙන් තැකිය යුතු කරුණක් නොවේ.

මීතෙන් වායුවේ දරුණු ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සාර්ථක කරුණු ඉදිරිපත් කිරීමක් හරිත නිර්මාණ පියසට (සදාහරිත) සමර්ථා හරිශ්චන්ද්‍ර විසින් ඉදිරිපත් කොට තිබිණි. ඒ ඉදිරිපත් කිරීම, මීතේන් කොයි ආකාරයෙන් ගෝලීය උණුසුම සමඟ ගනුදෙනු කරන්නේ ද යන්න ඉතා සාර්ථකව පැහැදිලි කොට තිබිණි. ඒ අනුව යට කියවුණ විද්‍යා පර්යේෂණ කණ්ඩායම ආචාර්ය අයිග (ර්) සෙමිල්ටොව් ගේ නායකත්වයෙන් මේ කලාපය හරහා යාත්‍රා කරමින් තෝරාගත් ස්ථාන 115ක අවශ්‍ය තරමට සංවේදී භූ කම්පන තරංග පිළිබඳ උපකරණ භාවිතයෙන් සිදු කළා වූ අධ්‍යයනය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ සැන් ෆ්රැන්සිස්කෝවල භූ භෞතික සංගමයේ රැස්වීම් වාරයක දී ය.

ගෝලීය උණුසුම ගැන කතා කරන විට බහුලව පාවිච්චි කරන වායු විශේෂයේ නම වන්නේ කාබන්ඩයොක්සයිඩ් ය. ඊට හේතුව උක්ත සංසිද්ධියට අදාළව වායුගෝලයට බහුලව ම නිදහස් වන්නේ එම වායුව වන හෙයිනි. එහෙත් ගෝලීය උණුසුම නම් සංසිද්ධියට අදාළව වඩාත් බල සම්පන්න හරිතාගාර වායුව වන්නේ මීතේන් ය. ගෝලීය උණුසුම තීව්‍ර කරන හරිතාගාර වායු විශේෂවල බල සම්පන්න බව, එසේ නැත්නම් ප්‍රබල බව (Global Warming Potential) මනිනුයේ කාබන්ඩයොක්සයිඩ් වායුවට සාපේක්ෂවය යන්න ද දැනගැනීම වැදගත්ය.

යම් වායුවක් අධෝරක්ත විකිරණ උරා ගැනීමට දක්වන හැකියාව, එමඟින් උරා ගන්නා තරංග ආයාම වර්ණාවලිය තුළ පිහිටන ස්ථාන, වායු ගෝලයේ කොතරම් කාලයක් පැවැතීමට සමත් ද යන මේ කරුණු එම ගණනය කිරීමේ දි සැලැකිල්ලට ගැනෙයි. මේ අනුව තෝරාගත් වායුවක ස්කන්ධයේ ප්‍රමාණාත්මක අගයක් ඒ හා සමානව කාබන්ඩයොක්සයිඩ් වායුවේ ස්කන්ධ අගයක් සමාන කාලයක් තුළ රඳවා ගන්නා තාප ප්‍රමාණයේ සැසඳීමක් මෙහිදී සිදු වේ. එසේ ගත් කල මීතේන් වායුව සතු ගෝලීය උණුසුම සතු ප්‍රබලතාව වසර සියයකට 25ක් වශයෙන් හඳුනාගෙන තිබේ. එහි තේරුම වසර සියයකදී මීතේන් වායුව සමාන ස්කන්ධයක් තුළදී කාබන්ඩයොක්සයිඩ් වායුව උරා ගන්නා තාප ප්‍රමාණය මෙන් විසිපස් ගුණයක තාප ප්‍රමාණයක් උරාගන්නා බවයි.

අදින් වසර මිලියන තිස් පහක්, හතළිහක් තරම් ඈත අතීතයේදී වායු ගෝලයේ පැවැති මීතේන් ප්‍රමාණය අදට සාපේක්ෂව දහස් ගුණයක් යැයි සඳහන්ය. මුල් කාලයේදී වායු ගෝලයට මීතේන් එක් කළ ප්‍රධාන ප්‍රභවය වූයේ ගිනිකඳු වන අතර ජීවයේ ආරම්භක අවධිය තුළදි පෘථිවිය මත පහළ වූ බැක්ටීරියා විශේෂ කාබන්ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් මත ගනුදෙනු කරමින් වායු ගෝලයට යම් ප්‍රතිශතයකින් මීතේන් එක් කොට ඇති බව ද පැවසේ. මේ ආකාරයට වායු ගෝලයට එකතු වෙමින් එහි රඳා පැවැති මීතේන් පසු කාලයකදී සිදු වූ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය හා බැඳුණු ජෛව පරිණාමය ඉදිරියේදී පසු බැස ගියේ ය. ඒ වායුගෝලයට ඔක්සිජන් එකතු වීමට පටන් ගැනීම නිසාය.

කෙසේ වෙතත් අද දවසේ මීතේන් වායු පිටකරන ප්‍රභව වශයෙන් ග්ලැසියර, අයිස් පර්වත, කෙත්බිම්, ලැව් ගිනි, වී ගොවිතැන සඳහන් වේ. ඒ හැරුණු කළ සත්ත්වයින් හා ශාක යම් ප්‍රමාණයකින් මීතේන් පිට කරයි. තවද මානව ක්‍රියාකාරකම් වශයෙන් ගැනෙන අවිධිමත් ලෙසින් ඉඩම් ගොඩ කිරීම, අප ජලය පිරිපහදු කිරීම ද එකී ප්‍රභවයන් අතරට ගැනේ. එමෙන් ම මීතේන් ජනක බැක්ටීරියාවන්ගේ නිර්වායු ශ්වසනය, ගවයන් ආදී වමාරා කන සතුන්ගේ ආහාර මාර්ගයේ සිදුවන ජීරණ ක්‍රියාවලිය ද මීතේන් පිට කරන බවට හඳුනාගෙන තිබේ. විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට එක් ගවයෙකු කිලෝග්රෑම්. 120ක් ඒ ආකාරයට මීතේන් පිට කරයි. මහා පරිමාණයේ සත්ව ගොවිපළවල් සංවර්ධනය වූ සහ වෙමින් පවතින පසුබිමක ඉහත තත්ත්වය කෙසේ විය හැකි දැයි කල්පනා කිරීම ඔබට ම පවරමි.

මීතේන් ක්ලැත්රේට ද එම වායුව පිට කරන ප්‍රභවයක් වේ. සාගර මෙන් ම මුහුදු පතුලක් වැනි කලාපයක විශාල පීඩන තත්ව යටතේ ජලය සමඟ එකතු වන මීතේන් විසින් ඝන ක්ලැක්රේටරයක් සාදනු ලබයි. සාගර පත්ලේ අවසාදිත අතරේ රැ‍ඳෙන එය මීතේන් හයිඩ්‍රේට් නමින් හැඳින්වේ. අයිස් පර්වත ඒවාත් සමඟ ඝනීභවනය වන මේ ප්‍රබල වායුව එකී අයිස් දියවීමේ දී ඒත් සමඟ ම නිදහස් වන්නේය. මේ ආකාරයට සැදුණු මීතේන් ක්ලැත්රේට බහුල කලාපයක් වශයෙන් ආක්ටික් ප්‍රදේශය අවධානයට ලක් වී තිබේ. ඒ අනුව එවැනි අති විශාල ඝනී භවනයක් ස්වාභාවික වායු තැන්පතුවක් වශයෙන් ආක්ටික් අයිස් පර්වත අතරේ සමුද්‍රස්ට ක්ලැත්රේට වශයෙන් පවතී. ඒ ප්‍රදේශය තුළ ම පස් තට්ටු අතරත් (Submarine Taliks) මෙම වායු නිධි පවත්නා බවට තහවුරු වී තිබේ. එසේ හෙයින් පවත්නා ගෝලීය උණුසුම හමුවේ ආක්ටික් කලාපයේ අයිස් දිය වී ගියහොත් (දැනටමත් ඒ තත්වය උදා වී තිබේ) ඇති විය හැකි තත්ත්වය ලෝක විනාශයක් ලෙසින් ගැනීම වැරැදි දැයි කල්පනා කර බැලීම වටී.

කාලයකට ඉහත සිදු කරන ලද ගණනය කිරීමකට අනුව වර්ෂයකට මීතේන් මෙට්‍රික් ටොන් 0.5ක් වායුගෝලයට නිදහස් වේ. එහෙත් 2008 දී ප්‍රකාශයට පත් විද්‍යාඥ වාර්තාවක් පෙන්වා දෙන්නේ ආක්ටික් සමුද්‍රස්ථ අයිස් ගබඩාව යට කාබන් ගිගා ටොන් 1400ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මීතේන් ව‍ශයෙන් තැන්පත් වී ඇති බවයි. ඉන් සියයට 10ක් හෝ 5ක් සාගර පත්ලේ අයිස් ඝන නොවූ පස් තට්ටු අතරේ ඇති බවට ද සහතික කරගෙන තිබේ. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඒවා එසේ පස් තට්ටු අතරේ තැන්පත් ව තිබීම නොවේ. කොයි මොහොතක හෝ ඒ පාංශු වැස්ම සිදුරු වීමෙන් ඒවා නිදහස් වේ ද යන්නයි ඒ. ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කොට ඇත්තේ ද එවැනි ක්ලැත්රේට අස්ථායිකරණයක් බරපතළ දේශගුණික විපර්යාසයකට පැහැදිලි හේතුවක් විය හැකි බවයි.

2012 ලෝක විනාශයක් සිදු වන වර්ෂයක් ලෙසින් නම් කළ ඇතැම්හු මෙවැනි හෙළිදරව් කිරීම් ද ඒ වෙනුවෙන් ප්‍රයෝජනයට ගත්හ.

මීතේන් වායුව නිදහස් වීම අවදානම්කාරී ගෝලීය උණුසුම ඉහළ යෑමට අදාළව බරපතළ කාරණයක් වන්නේ කෙසේ ද? ඊට දිය හැකි පැහැදිලි ම පිළිතුර වන්නේ මේ ආකාරයෙන් මීතේන් නිදහස් වීමෙන් සිදුවන උෂ්ණත්වය ඉහළ යෑම ගෝලීය උණුසුම ඉහළ යෑමට අදාළව බරපතළම බලපෑමක් සිදු කරනවාය යන්නයි. ඒ ආකාරයට ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමක් පෘථිවියේ වැස්ම (කබල) තාප විස්තාරණයට ලක් කරන අතර ම ආක්ටික් ප්‍රදේශයේ ගෙකල් වැටිය නම් ප්‍රදේශය තුළ (මෙය කොහොමටත් භූමිකම්පා බහුල කලාපයකි.)

සාගරය කේනද්‍රීය භූමි කම්පා මෙන් ම නාය යෑම් වර්ධනය වීමට එය පැහැදිලි හේතුවක් ද වෙයි. එසේ ඇති වෙන තත්ව හමුවේ නිර්මාණය වන කම්පන හේතුකොටගෙන මීතේන් හයිඩ්‍රේට් තවදුරටත් එහි පැවැත්ම අස්ථායි කරන අතර ඒ කෘතීම තත්වය හමුවේ මීතේන් ජලය තුළ ඔක්සිකරණය වීම පසෙක තබා කිසිදු සංශෝධනයකින් තොරව වායුගෝලයට නිදහස් වේ. එවැනි පසුබිමක් තුළ ගෝලීය උණුසුම කිහිප ගුණයකින් ඉහළ යෑම නියතියක් වේ.

ලෝකයේ ධ්‍රැවීය අයිස් කලාප ඒ ආකාරයෙන් ම පැවතීම තුළ පෘථිවියට පැමිණෙන සූර්ය තාපයෙන් සියයට 30ක තරම් ප්‍රතිශතයක් ආපසු හරවා යවමින් තාපය කළමනාකරණය කෙරෙන බව මීට පෙර අවස්ථාවක අපි, මේ පිටුවෙන් පෙන්වා දුන්නෙමු. එහෙත් දිගින් දිගට ම මීතේන් වායුව නිදහස් වීම වැඩි දියුණු කිරීමට ලා නීනා වැනි ස්වභාව හැසිරීම් ද හේතු වන පසුබිමක එවැනි කාලවලදී ගැඹුරු මුහුදු ප්‍රදේශ සියයට 18ත් 19ත් අතර ප්‍රතිශතයකින් උණුසුම් වන බවට හඳුනාගෙන තිබේ. ඒ තත්වය සාගර භූ කම්පන වර්ධනය කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉහතින් පෙන්වා දුන් ආකාරයට පෘථිවියට අත්‍යවශ්‍ය සූර්ය තාපය ආපසු හරවා යැවෙන අයිස් වැස්ම බිඳී විසිරී යමින් සාගර ජලය සූර්යාලෝකයට නිරාවරණය වීම සිදු වේ. අනවශ්‍ය සූර්යතාපය පරාවර්තනය කර යවන අයිස් වැස්ම සිදු කරන තවත් කාර්ය භාරයක් ද තිබේ.

ඒ විශාල වශයෙන් තාපය උකහා ගනිමින් කලාපීයව උණුසුම පැවැතිය යුතු තත්වයෙන් ඉහළ යා නොදී පවත්වා ගැනීමයි. එහෙත් අයිස් පර්වත දිය වීම නම් තත්ත්වය තුළ මහා සාගර වාහක තීරය (Great Ocean Conveyor Belt) හරහා උණුසුම් ජල ප්‍රවාහ ආක්ටික් කලාපයට බාධාවකින් තොරව පැමිණීමත්, එමඟින් සාගර කලාපය පාලනයකින් තොරව උණුසුම් වීමත් එහි ප්‍රතිඵලයක් ලෙස දියවැල් හි වේගය ප්‍රචණ්ඩ වීමත් ආක්ටික් ප්‍රදේශයට අදාළව නොවැළැක්විය හැකි ස්වාභාවික විපත්ති කාරක වශයෙන් හඳුනාගෙන තිබේ. ඒ සියල්ල විසින් යළි යළිත් එම ප්‍රදේශයේ සාගර ජලය උණුසුම් කිරීම සිදු කරයි. එසේ වන්නේ දිගින් දිගට ම උණුසුම් ජලය ආක්ටික් ප්‍රදේශයට පැමිණීම තුළිනි. මෙසේ ඇතිවන තත්ව හමුවේ ඉහළ යන ස්ථානීය උණුසුම මීතේන් වායුව නිදහස් කිරීම වැඩ දියුණු කිරීමට සමත් වෙයි. තත්ත්වය නොවැළැක්විය හැකි එසේත් නැත්නම් පාලනයකින් තොරව ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමක් (Runaway Gloabal Warming) වශයෙන් හඳුනාගනියි.

ඒ නිසාම මීතේන් වායුව මෙසේ නිදහස් වීම පාලනය කළ යුතු බවට ඇති වූ එකඟතාව තුළ ඊට අදාළ නොයෙකුත් ක්‍රමවේද සාකච්ඡාවට ලක් වෙමින් තිබේ. සූර්යාලෝකය කළමනාකරණය කිරීම යටතේ ආක්ටික් ප්‍රදේශය කරා තාපය පැමිණීම පාලනය කිරීම ඉන් එක් යෝජනාවකි. තාප විකිරණ කළමනාකරණය, භූ ඉංජිනේරු තාක්ෂණ ක්‍රමෝපායන් ගැන ද මේ වන විට සාකච්ඡාවට ලක් වෙමින් පවතී. ඉහත තත්වය පාලනය කරගැනීමට ආක්ටික් ප්‍රදේශයට පැමිණෙන ගංඟාවන්හි ජල ප්‍රවාහ අවම කිරීම, කෘත්‍රීම ක්‍රමවේද හරහා ජලයට ඔක්සිජන් එකතු කිරීම (එමඟින් මීතේන්හි ක්‍රියාකාරීත්වය දුර්වල කිරීම) හරහා මීතේන් ජලය තුළ දී ඔක්සිකරණය වීමට සැලැස්වීම ද තවත් ක්‍රමවේදී කිහිපයකි. ඒ හැරුණු කළ වායු ගෝලයේ පවතින මීතෙන් හැකි ඉක්මනින් ඉවත් කිරීමට ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය කිරීමක් ද සුදුසු යැයි යෝජනා වී ඇත.

කෙසේ වුව මේ උපක්‍රම ක්‍රියාත්මක කිරීම කොතෙක් දුරට සුදුසු වුවද ඒවා යොදා ගැනීමේ දී සැලකිලිමත් වීම වැදගත් යැයි ද පෙන්වා දී ඇත. එසේ නොවුණහොත් එහි දී ඇති විය හැකි අතුරු ප්‍රතිඵල ගැන කල්පනාකාරී නොවුණහොත් සිදු විය හැකි අනර්ථය අර්ථයට වඩා වැඩි විය හැකි වීම ඊට හේතුවයි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »