හිරේ ගිය පියවරුන්ගේ දරුවන්ට පිහිටට ආ කන්‍යා සොහොයුරිය

2016-01-18 10:30:00       582
feature-top
'පොඩි හාමුදුරුවෝ ඇයි මහණ වුණේ?' නෑසිය යුතු ප්‍රශ්නයක් වුවත් මම ඒ කුඩා සාමණේර හිමියන් වෙත ළංවි ඇසුවෙමි. උන්වහන්සේට එහායින් අසුන්ගෙන සිටි සුදු හැඳගත් මැදිවියේ මිනිසා උත්තර දෙන්නට ඉස්සර වූයේය. මේ මගේ පුතා. වැඩිමල් දුව විවාහකයි. අර ඉන්නේ මගේ බිරිය. මට තවත් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනත් මහණ වෙලා ඉන්නේ. හිමියන්ගේ පියා එසේ කියූ විට මට ඊළඟට අසන්නේ කුමක්දැයි යන්න ද ගළපා ගැනීම අසීරු වූ තරම්ය. මගේ තාත්තා වැරැද්දකට හිරේ ආවා. තාත්තා හිරේ ආවේ දෙදහස් දහතුන අවුරුද්දේ. අම්මට අප හදාගන්න අමාරුයි. බාල මල්ලිලා දෙන්නා නිවුන්නු. මගෙ වයස අවුරුදු දාහතරයි. අනිත් මල්ලිට අවුරුදු දොළහයි. බාලම දෙන්නට අවුරුදු හයයි. අපි ඔක්කෝම එක පිරිවෙනක ඉගෙන ගන්නවා. ඇත්තම කිව්වොත් මට ජීවිතේ කලකිරුණා. තාත්තා හිරේ ආවාම. දැන් මල්ලිලා පැවිදි වෙලා ඉන්න නිසා ඉගෙන ගෙන හොඳ මඟක යාවී කියලා හිතෙනවා. තාත්තාට අවුරුදු තිස් දෙකක් හිරගෙදර ඉන්න වෙනවා. පොඩි හාමුදුරුවන් ඒ ඝෝෂාකාරී පරිසරයේ වුව පැවැසුවේ සන්සුන් හඬිනි. හතර වරිගයම නිවන් දැක්වීමේ අරමුණින් නොව තම කොලු පැටවුන් හතර දෙනා හොඳ පුරවැසියන් කරවීමේ අරමුණින් ඔවුන් සසුනට බාර දුන් මව පසෙකට වී ඉකි බිඳිමින් කඳුළු සලමින් බලා සිටියාය. ඒ එක් පසෙකය. අනෙක් පස ද සිටියේ සාමණේර හිමිනමකි. තාත්තා තම පුංචි පුතු දෙස බලා සිටින්නේ ආදරයෙනි. පුතුන් පැවිදි වුණා මගෙ අතින් මිනිහෙක් මැරුණා. මං ඒ වැරැද්ද කෙරුවා. මට එල්ලුම් ගහ නියම වුණා. ඊට පස්සෙ මගෙ බිරිය යන්න ගියා. පුතා බලාගන්න කෙනෙක් හිටියේ නැහැ. පුතා පැවිදි වුණා. මට මේ හිරගෙදරින් එළියට යෑමක් නැහැ. ඒත් මගෙ දරුවා හොඳ කෙනෙක් වේවි. දෑසේ කඳුළු පුරවාගෙන ජීවිතයේ එක්තරා යුගයක් මෙනෙහි කරන පියා දෙස සාමණේර හිමියන් බලා හිඳින්නේ දුක්බර දෑසිනි. මේ කතා දෙකක් පමණි. මෙවැනි දුක්බර කතා තවත් බොහෝ ඇත්තේය. වැලිකඩ හිර ගෙදරින් ඇසෙන එවන් දුක්බර කතා බොහෝය. විශේෂයෙන්ම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ හා එල්ලුම් ගහට නියම වූ පුද්ගලයන්ගේ ජීවිතය බෙහෙවින් දුක්බරය. ඒ ඔවුන්ට කිසිඳු දිනෙක නිවාස නිවාඩු, බලපත්‍ර මත නිදහස්ව යෑම ආදි වූ කිසිදු සහනයක් නොලැබෙන බැවිනි. තාත්තලා හිරේ ගියාට දරුවන්ගේ ජීවිත කාලකණ්ණි විය යුතු ද? මේ ප්‍රශ්නයට පිළිතුර ඔබ ළඟ තිබේ ද? සිරගත වූ මිනිසුන් දෙස පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දෙස ද සමාජය බලන්නේ වපර ඇසිනි. එහෙත් මේ දූ දරුවන්ගේ අනාගතය අඳුරු කරන්නට නොව එළියට කරන්නට ඉදිරිපත් වූ පිරිසක් ද වෙති. ඔවුහු නිතර නිතර සිරගෙදරට යන්නෝය, එන්නෝය.

සිරකරු දරු සංවිධානය

'සිරකරු දරුවන්ගේ මිතුරෝ සංවිධානය' වසර දොළහක සිට සිරකරුවන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වෙහෙසවන සංවිධානයකි. මේ මිත්‍ර සමාගම එකමුතු කිරීමේ, මෙන්ම අසරණ දරුවන්ගේ දෙනෙත් පෑදීමේ ගෞරවය හිමි වන්නේ ඉමැකියුලේට් ද අල්විස් කන්‍යා සොහොයුරියටයි.

ඇය දැන් අසූතුන් හැවිරිදිය. බෙහෙවින් පියකරුය. ප්‍රසන්නය. එපමණක් නොව ඉමැකියුලේට් ද අල්විස් කන්‍යා සොහොයුරිය ක්‍රියාශීලීය. ඇගේ පූජක දිවියට වසර හැටක් සම්පූර්ණ වී අවසානය. දිවා රාත්‍රී වෙහෙසෙමින් ආගමික වතාවත් කරන අතරේ ඇය සිරකරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ද කටයුතු කරන්නීය. කලක් ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ විදුහල්පති ධුරය ද හෙබවූ ඉමැකියුලේට් කන්‍යා සොහොයුරිය දැන් පූර්ණ වශයෙන්ම සමාජ සේවයේ නියැළෙන්නීය. සිරගෙදර හා රැඳවියන් ඇගේ සමාජ සේවාවේ තවත් එක් අංශයක් පමණි. වසර දොළහක් තිස්සේ කරනු ලබන සත්කාර්යය පිළිබඳව ඇය මෙසේ පවසන්නීය.

දෙදහස් පහ වසරේ තමයි අපි මෙය පටන්ගත්තේ. සෙන් බ්‍රිජට් කන්‍යාරාමයේ ඉන්ටර් ක්ලබ් එකේ එවකට සභාපතිනියව සිටි මහත්මිය මට රුපියල් ලක්ෂ දෙකහමාරක් දුන්නා හිරගෙදර වැඩවලට කියලා. ඒ වන විටත් අපි කාන්තා අංශයට උදවු කරමින් තිබුණේ. මුලින්ම අපි ළමයි 47 දෙනෙකුට ශිෂ්‍යත්ව දුන්නා. හය වසරේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා මේ ආධාර ලබා දෙනවා. 'සිරකරු දරුවන්ගේ මිතුරෝ' අපේ මේ සංවිධානය දැන් හොඳටම ශක්තිමත්. බොහෝ උසස් පරිත්‍යාගශීලී අය අපත් සමඟ සිටිනවා. එනිසා තමයි අපට මේ කාර්යය හොඳින් කරගෙන යෑමට පුළුවන්කම ලැබී තියෙන්නේ. මේ ශිෂ්‍යත්ව ලබා ඉගෙන ගත්ත දරුවන් අතර අද ජෙට්වින් ට්‍රැවල්ස් ආයතනයේ ඉහළ තනතුරක් දරන තරුණයෙක් ඉන්නවා. ඒ වගේම තවත් දියණියක් කැලණිය විශ්ව විද්‍යාලයෙන් ගණකාධිකාරී අංශයෙන් ප්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් ලැබුවා. මේවා තමයි අපි ලබපු ඉහළම ජයග්‍රහණ. මට හැම විටම ඕන වුණේ හිරගෙදර සිටින රැඳවියන්ගේ දරුවන් හොඳ පුරවැසියෙක් උගත් බුද්ධිමත් කෙනෙක් කරන්නයි අපේ උදවු ඇතිව ඉහළට ඉගෙන ගෙන දරුවෝ ලබන ජයග්‍රහණ දුටුවම අපි හැමෝටම හරි සතුටුයි.

කන්‍යා සොයුරිය පවසන්නේ සතුටිනි. ඇගේ සත්කාර්යය කොතරම් වටින්නේදැයි තේරුම් යන්නේ සිරකරුවකුගේ දරුවකු කී කතාවෙනි.

මගේ තාත්තා වැරැදි නෑ

බාප්පා, මහප්පා හිරේ ආවේ නොකරපු වැරැද්දකට. තාත්තා, බාප්පා, මහප්පා ගැන ගමේ කවුරුවත් වැරැද්දක් කියන්නේ නැහැ. ඒත් ඒගොල්ලන්ට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙලා ඉවරයි. තාත්තා බාප්පා මහප්පා අවුරුදු දාසයක් තිස්සේ හිරගෙදර. තාත්තා හිරේ එනකොට මං පහ වසරේ. අම්මට බාලම මල්ලි ලැබෙන්න හිටියා. මට නංගියෙකුයි මල්ලිලා තුන්දෙනෙකුයි ඉන්නවා. තාත්තා හිරේ ගියාට පස්සේ අම්මගේ කල්පනාව අඩුවුණා. මට මතකයි මුලින්ම ආධාර මුදල් ගන්න ආවේ මගේ සීයත් එක්ක. මගෙ තාත්තා ගුරුවරයෙක්. මං හිතාගත්තා කොහොමහරි ඉගෙන ගන්නවා කියලා. මං ඉගෙන ගත්තා. දැන් පිරිවෙනක උගන්නනවා. නංගිලා මල්ලිලා තවමත් ඉගෙන ගන්නවා. අම්මවයි හැමෝම බලාගන්නේ මම. අපි ආසයි තාත්තත් එක්ක එක පවුලක් වගේ ඉන්න තාත්ත හි‍රේ ඉන්නවා කියන එක ලැජ්ජාවක් නෙමෙයි. තරුණයා පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය. තාත්තා දරුවන් පස්දෙනාට මැදිව හිඳින්නේ වචන ගළපා ගැනීමට බැරිවය.

මං හිරේ එනකොට දුවට අවුරුදු දෙකහමාරයි. දුව දැක්කම දැනෙන දුක සතුට කියලා නිම කරන්න බැහැ. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින අයියලා මල්ලිලා තිදෙනාගෙන් බාලයා පවසන්නේ තම දියණිය තුරුලු කරගනිමිනි. ඔහුගේ බිරිය පසෙකින් සිටින්නේ කඳුළු සලමිනි.

ඔවුන් හැමගේ ජීවිත එකසේ දුක්බරය. දිවා ආහාරය ලබාගන්නා අතරේ බන්ධනාගාර සංගීත කණ්ඩායම ගයන්නට වූයේය. ඒ අතර එල්ලුම් ගහට නියම වී සිටින රැඳවියකු මවු ගුණ ගීයක් ගයන්නට වූයේ සැම දෙනෙතකටම කඳුළක් එක්කරමිනි.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ මහතාය. වැලිකඩ බන්ධනාගාර අධිකාරි අනුර ඒකනායක මහතා ඇතුළු වැලිකඩ පුනරුත්ථාපන අංශයේ සහකාර බන්ධනාගාර අධිකාරී එච්. කේ. ඩයස් බන්දුල, ජ්‍යෙෂ්ඨ පුනරුත්ථාපන නිලධාරී එස්. ඩී. අතපත්තු මහතා ඇතුළු පුනරුත්ථාපන අංශය මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

විශේෂ ස්තුතිය - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එච්. එම්. ටී. එන්. උපුල්දෙණිය මහතාට.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »