මුතුරාජවෙල තෙල් දූෂණය ජාතික පරිසර අපරාධයක්

2016-01-11 09:40:00       659
feature-top

මුතුරාජවෙල තෙත් භූමියට තෙල් කාන්දු වීමෙන් පැන නැඟුණු තත්ත්වය අලුත් අවුරුද්දේ සිදුවූ ලොකුම ජාතික මට්ටමේ පරිසර දූෂණයක් ලෙස හැඳින්විය හැකිය.

ඒ අනුව මේ පිළිබඳව වගකිවයුත්තන්ට විරුද්ධව නීත්‍යනුකූලව කටයුතු කිරීමට පාරිසරික හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට පූර්ණ බලතල ඇත.

වසර 7000ක් පමණ පැරැණි තෙත් බිමක් වන හෙක්ටයාර 6230ක් විශාල මුතුරාජවෙල තෙත් බිම පසුගිය දා භූමිතෙල් නළයක තෙල් කාන්දුවකින් ජල දූෂණයකට ලක් විය. එහි උභය ජීවින් මසුන් විශාල ගණනක් ජීවිතක්ෂයට පත්වූ අතර ඒ සංවේදී පරිසර පද්ධතියට වූ හානිය ගණනය කිරීමට අපහසුය.

මේ අනුව මේ භූමිතෙල් කාන්දුවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා සිලෝන් පැට්රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් සමාගම වගකිව යුතු බව පරිසරවේදීන්ගේ අදහසයි.

මේ පිළිබඳව අපට කරුණු දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා හා පරිසර විද්‍යා අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පවසන්නේ මේ සිදුවීම මුතුරාජවෙල තෙත් බිම් පරිසරයට මෙතෙක් සිදුවූ විශාලතම පාරිසරික දූෂණ තත්ත්වය බවයි.

පල්ලියවත්ත දික්ඕවිට ප්‍රදේශයේ එළා තිබූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් භූමිතෙල් නළයකින් මෙම තෙල් කාන්දුව සිදු වී ඇත. දින තුනක් පමණ මේ තෙල් කාන්දුව සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.

මෑත කාලීන අධ්‍යයන අනුව මෙම තෙත් බිමේ ශාක විශේෂ 200ක් පමණ තිබේ. සත්ත්ව විශේෂ 209ක් මෙහි ජීවත් වෙති. ඉන් කුරුලු විශේෂ 102කි. සමනල විශේෂ 48කි. මෙහි ඇති සියලු සත්ත්ව විශේෂවලින් 17ක් ආවේණික වේ. 20ක් තර්ජනයට පත්ව තිබේ.

මෙවන් ජෛව විවිධත්වයක් ඇති පාරිසරික පද්ධතියක නැරඹුම් මධ්‍යස්ථාන සකස් කර ජනතාවට විශ්වවිද්‍යාල සිසුනට හා උසස් පෙළ සිසුන්ට තම පරිසර අධ්‍යයනවලට ඉඩකඩ සලසා දුන් මේ සුවිශේෂි තෙත් බිම් මේ තෙල් නිසා විනාශ වීම කෙතරම් අභාග්‍යයක් ද?

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පවසන්නේ මේ තෙත් බිමේ ජෛව විවිධත්වය හා කුරුලු විශේෂ පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී ඇති බවයි.

මේ තෙත් බිමට කළ විනාශය අතිවිශාල බවත්, මෙවැනි දේ යළි නොවීමට නම් මීට වගකිව යුත්තන්ට දඬුවම් දීමට හෝ අදාළ ආයතනවලට යළි තෙල් නළ ඇදීම වැළැක්වීමට පියවර ගත යුතු බවත් පරිසර අමාත්‍යාංශයට මේ සඳහා පූර්ණ බලතල ඇති බවත් ඇය පෙන්වා දෙයි.

ජාතික පාරිසරික පනත යටතේ සුවිශේෂී සංවේදී පරිසර පද්ධතියේ සත්ත්ව හා ශාක විශේෂ විනාශයට එරෙහිව කලපු ජලය දූෂණයට එරෙහිව මසුන් ඉස්සන් පැටවුන් දහස් ගණනක් මියයෑම පිළිබඳව කටයුතු කළ හැකි බවත් මෙවැනි දේ යළි සිදු නොවිය යුතු බවත් මහාචාර්යවරිය පෙන්වා දෙයි.

මේ නළ මෙම සංවේදී කලාපය හරහා යෑමට පෙර පාරිසරික ඇගැයීම් වාර්තාවක් සකස් කර තිබේ. එහිදී මහාචාර්ය හේමන්ති රණසිංහ හා ගවේෂණ කණ්ඩායම උපදෙස් දී ඇත්තේ මේ නළවල යම් කාන්දුවක් ඇති වුව හොත් ඒ පිළිබඳව ක්ෂණිකව අදාළ මෙහෙයුම් අංශ ප්‍රධානීන්ට දැන ගැනීමට ක්‍රමයක් සකස්කළ යුතු බවයි. ඒ වගේම වහාම තෙල් කාන්දුවක් සිදුවූ නළයේ දෙපැත්ත ක්ෂණිකව වැසි යන අයුරින් කටයුතු කිරීම සුදුසු බව ද එම පාරිසරික ඇගැයීම් වාර්තාවේ දැක්වේ.

මෙවර තෙල් කාන්දුව පිළිබඳව බලන විට එවැනි උපදෙස් නීති රීති කිසිවක් අනුගමනය කළ බවක් නොපෙනෙන බවත් තෙල් කාන්දුව වී දින 3ක් යනතුරු ඊට පිළියම් යෙදීමට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සුදුසු පියවර ගෙන නොමැති බවත් මහාචාර්යවරිය පැවැසීය.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දේවක වීරකෝන් මහතා පවසන්නේ මෙම තෙත් බිම අපේ රටේ සුවිශේෂී අභයභූමියක් බවයි.

මේ පරිසර අපරාධය නිසා මුතුරාජවෙල පරිසර පද්ධතියට තෙල් මිශ්‍ර වී එහි සත්ත්ව හා ශාක පද්ධතිවලට ප්‍රබල අහිතකර බලපෑම්වලට ලක්වී ඇති බව වනජීවි සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන පරිදි ජාතික පාරිසරික පනත යටතේ මේ මහා ජාතික පරිසර විනාශයට එරෙහිව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට හා මධ්‍යම පරිසර අධිකාරියට නෛතික පියවර ගත හැකිය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන පරිදි එම අධිකාරිය මඟින් මේ තෙල් දූෂණයට විරුද්ධව නෛතික පියවර ගනිමින් තිබේ. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් මේ පරිසර දූෂණය පිළිබඳව සම්පූර්ණ අධීක්ෂණයක් කරමින් තිබේ. දින දෙකක් ඇතුළත සිදුවූ තෙල් කාන්දුව නිසා දැන් ප්‍රදේශයේ සත්ත්ව ශාක විශේෂ පමණක් නොව කඩොලාන පද්ධතියද විනාශයට පත්වෙමින් තිබේ. ආයතනයේ නිලධාරින් හා තාක්ෂණික ශිල්පීන් විසින් මේ පිළිබඳව පසුගිය දින පුරා පරීක්ෂාවක් සිදු කරනු ලැබීය. එහිදී සිදුවූ පරිසර විනාශය පිළිබඳව ඇගැයීම මෙන්ම ජල දූෂණය පිළිබඳව ඇගැයීම ද සිදු කරනු ලැබීය. ඒ සමඟම මේ පරිසර විනාශයට විරුද්ධව නෛතික පියවර ගැනීමට කටයුතු කරන බවත් ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි. රජයේ ආයතනයක් වුවත් මොන පරිසර දූෂණයක් ඇති කළත් ඒ ගැන තම ආයතනයට ලැබී ඇති බලතල අනුව නෙතික කටයුතු කරන බවත් ප්‍රදීප් කුමාර මහතා පවසයි.

මීට පෙර කැලණි ග‍ඟේ ජල දූෂණයෙන් විශාල පරිසර හානියක් සිදුවූ අතර ඒ පිළිබඳව ඒ දිනවල මධ්‍යම පරිසර අධිකාරිය විවිධ පියවර ගත්තත් ඒවායින් දිගු කාලීන ප්‍රතිඵල ලැබුණු බවක් පෙනෙන්නට නැත.

මේ අනුව බලන විට මෙවැනි පරිසර දූෂණ තත්ත්ව පිළිබඳව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පියවර ගත යුතුව ඇත. කෙසේ වුවත් මේ පිළිබඳව පරිසරවේදීන් පවසන්නේ මේ නිසා මුළු මුතුරාජවෙල පරිසර පද්ධතියම දූෂණය වී ඇති බවයි. මේ සිදුවීමෙන් පසු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා සිලෝන් පැට්රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් සමාගම තම වගකීම පිළිබඳව තැකීමක් අඩු බව ද ප්‍රදේශවාසීහු පවසති.

කෙසේ වෙතත් පරිසරයට ආදරේ කරන අපගේ අදහස නම් මුතුරාජවෙල තෙත් බිමට සිදුකළ මේ උග්‍ර පරිසර හානිය මුදලින් ප්‍රමාණ කළ නොහැකි බවයි.

සත්ත්ව විශේෂ ශාක විශේෂ මියයෑම හා ප්‍රදේශයේ පවතින දුර්ගන්ධය හා ජල දූෂණය පරිසර පද්ධතියේ සමතුලිතතාව වෙනස් වීම සමග ධීවර ජනතාවට වූ අලාභහානි ආදිය විශේෂ අධ්‍යයනයක් කිරිම පරිසර අමාත්‍යාංශය සතු යුතුකමකි. ඊට පසු ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කර ජාතික පාරිසරික පනත යටතේ සුදුසු නෛතික පියවර ගත යුතුයි.

මෙය මේ පරිසර දූෂණ තත්ත්වයට පමණක් නොව ඉදිරියේදී මෙවැනි සංවේදී කලාපයකට තෙල් කාන්දු වීම් වැනි දේ වැළැක්වීමට ද සිදු නොවීමට ද කළ යුතු වැදගත් කාර්යයකි.

මේ පිළිබඳව අප කළ විමසීමකදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන් හා සිලෝන් පැට්රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් සමාගමේ බලධාරීන් පැවසුවේ ගැටලුව නිරාකරණය කළ බවත් යළිත් මෙවැනි තෙල් කාන්දු සිදු නොවීමට කටයුතු කරන බවත්ය.

පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගාමිණි ගමගේ මහතාගෙන් අප මේ පිළිබඳව විමසූ විට ඒ මහතා පැවසුවේ ඔවුන්ට ඇති බලතල ප්‍රකාර මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන බවයි. එය අපේ සතුටට කරුණකි. එය ඉටු වන තෙක් අපි බලා සිටිමු.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »