ගමේ ළමා පුස්තකාලයක් අරඹා ළාබාලම පුස්තකාලයාධිපති වූ භාග්‍යා

2016-01-06 10:34:00       658
feature-top

දැන් සිදු කැරෙන්නේ ශ්‍රී ලංකාවේ ළාබාලම පුස්තකායාලාධිපතිනියට සම්මාන පිදීමේ අවස්ථාවයි.

මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න පවසනවාත් සමඟම ප්‍රේක්ෂකාගාරයෙන් නොනවත්වා ඔල්වරසන් හඬ නැගිණ.

මගේ ගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ රිකිල්ලගස්කඩ. අපි බොහෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මම මුලින් ම ඉගෙන ගත්තේ හපුවල කනිෂ්ඨ විද්‍යාලයේ. ඊට පස්සේ මම හඟුරන්කෙත සිරිමාවෝ බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා. මගේ ළමා පුස්තකාලය පටන් ගන්න දමයන්ති කුමාරි ගුරුමෑණියෝ, ආරියවතී ගුරු මෑණියෝ, කුමාරි රත්නායක ගුරු මෑණි‍යෝ බොහෝම උදව් කළා. ඒ වගේ ම මගෙ අම්මා තාත්තත් උදව් කළා. අපි ජීවත් වෙන්නේ බොහෝම දුෂ්කර ප්‍රදේශයක‍. ඒත් මං කොහොම හරි ඉගෙන ගෙන මේ රටේ බබළන තරුවක් වෙනවා. මං ගැන ජාතික රූපවාහිනියේ අරුම පුදුම රෝද හතර වැඩසටහ‍ෙන් ප්‍රචාරය වුණාට පස්සේ හැමෝම මං ගැන දැන ගත්තා. මගේ ගමේ ඉස්කෝලේ යන අය වගේ ම වැඩිහිටියොත් අපේ පුංචි පුස්තකාලයෙන් පොත් කියවනව.‍

සචින්තනි භාග්‍යා සමරදිවාකර දැරිය වේදිකාවෙන් බැස ගියේ ඒ මොහොතේ කාගේ කාගේත් ඇස්වලට කඳුළක් එක් කරමිනි. එම අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රමුඛ පුස්තකාල සේවා ‍මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වී සිටියහ.

ජාතික කියවීමේ මාසය වෙනුවෙන් පුස්තකාල සේවා මණ්ඩලය සංවිධානය කරන ලද සම්මාන උලෙළකදී මේ සියල්ල සිදුවුණි.

රිකිල්ලගස්කඩින් එහා ගමක කුලී නිවෙසක ජීවත්වන භාග්‍යාගේ පියාට ද ස්ථිර රැකියාවක් නැත. කලක් ඇගේ මව වන දමයන්ති විවිධ ප්‍රදේශවල රැකියාව කළා ය. නමුත් ඇය රැකියාවෙන් ඉවත්වූයේ දැරියගේ අධ්‍යාපන කටයුතුවලට සහාය වීමට හා ආරක්ෂාවට කෙ‍ෙනකු නිවෙසේ සිටිය යුතු බැවිනි. ඔවුන්ට අගහිඟකම් බොහෝ ය. මේ සියලු විස්තර අධ්‍යාපන ඇමැතිවරයා දැනගෙන ගතවූයේ සුළු මොහොතකි.

හඟුරන්කෙත සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැමිණීමට කැමැති දැයි දැරියගෙන් විමසන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා හේම නලින්ට දන්වා සිටියේ ය.

ඒ ආරාධනය පිළිගන්නට දැරිය මැළිවූයේ නැත. ඇය අමාත්‍යවරයාට සිය කැමැත්ත ප්‍රකාශ කළා ය.

හත් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන භාග්‍යා දැරිය ලබන වසරේ සිට සිරිමාවෝ බාලිකා විද්‍යාලයට ඇතුළත් කෙරෙනු ඇත. ඒ සියලු වියදම් දැරීමට ද, දැරියගේ පියාට රැකියාවක් ලබාදීමට ද අමාත්‍යවරයා පොරොන්දු වීම භාග්‍යාගේ භාග්‍යයකි. ඈත දුෂ්කර පළාත්වල තවත් කොතෙකුත් මෙවැනි මල් කැකුළු පිපී තිබෙනු නියතය. භාග්‍යා දැරිය විශේෂ වන්නේ ඇගේ හැකියාවන් නිසා ය. ඒ හැකියාවන්ම ඇගේ අනාගතය සරසනු නියතය. අපි ඇයට සුබ පතමු.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »