නාය යෑමට ගොදුරු වූ මීරියබැද්දේ පාසල් දරුවන්ට සිළුමිණ සිත්මල්යාය සමාජ සත්කාර

2015-12-08 09:58:00       660
feature-top

දිනකට මිලිමිටර් සියයට වඩා වැසි වැටුණත් නැතත් මීරියබැද්ද තවමත් අනතුරේය. නාය යෑමේ අවදානම් සහිත කලාපයකි. අවදානම් සහිත දෙමළ විද්‍යාලයේ දරු දැරියන් පිළබඳ ඔබට තොරතුරු හෙලි කිරිමෙන් පසු ඔබෙන් ලද පරිත්‍යාග බොහෝය. විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් තිස් හතර දෙනා වෙනුවෙන් කුමක් හෝ කරමු යැයි මුලින්ම යෝජනාව ගෙන ආවේ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරලත් ගණකාධකාරී ගයාන් මාපිටිය මහතාය. විටින් විට කතාබහ කළ අපි අවසානයේ තිරණයකට ආවෙමු.

"අපි මේ දරුවන්ට පොත් සපත්තු අරගෙන දෙමු. මම සල්ලි දෙන්නම්." ගයාන් සිය බිරිද අනූපමා ධර්මරත්න සමඟ පැමිණ ඒ පොරොන්දු එලෙසින්ම ඉටු කළේය. පොත්පත් මිලට ගැනීමට ඇට්ලස් ආයතනය සමඟ සම්බන්ධතාවය ගොඩනැගුවේ සිළුමිණ සම කර්තෘ පාලිත ධර්මරත්න මහතාය.

සති දෙක තුනක් තුළදී සියල්ල සම්පුර්ණ විය. මේනකා ආරියදාස හා මානිකා ආරියදාස නිවුන් සොහොයුරියෝ පාසල් පොත් බෑග් සහ තවත් දෑ රැගෙන නෑගම් එන්නාක් මෙන් පැමිණියේ නොසිතු මොහොතකය.

බලාපොරොත්තු නොවු අයුරින් මීරියබැද්ද දෙමළ විද්‍යාලයේ දරු දැරියන්ට ගෙනයාමට බොහෝ දෑ එකතු විය. ඒ අතර ටොෆි චොකලට් සෙල්ලම් කාර් හිස් පලදනාද විය. ඒවා ගෙන ආවේ සිරිනි සේනාරත්නය. එම්.ඩී .ජේ පෙරේරා යුවල කිරිපිටි පැකට් ගෙන ආහ. මේ සියල්ල ගෙන ආවේ "සිත්මල් යාය" පඨකයන් බව කියන්නේ හදපිරි සතුටිනි.

ඉකුත් සඳුදා හිමිදිරියේම සිළුමිණ උපදේශක කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා ප්‍රමුඛ සිළුමිණ කර්තෘ මාණ්ඩලිකයෝ කිහිප දෙනෙක්ම මීරියබැද්ද බලා පිටත් වුහ.

විටින් විට වැස්ස ඇදහැලෙන විට බෙරගල හන්දියෙන් මීරියබැද්දට යන මාර්ගයේ දෙපස කඳු වලින් පස් කැටී මහ මඟට කඩා වැටෙන්නේය. අප එහි යාමට දින දෙකතුනකට පෙරද පාරට පස් කඩි වැටී මඟ අවහිර වී තිබිණි. එහෙත් අප එහි යනදා පරිසරය අපට හිතකර විය. ඒ අපේ යහපත් ක්‍රියාවට ආශ්වාද කරන්නට මෙනි.කඳු මුදුන්වල හැපෙන සුදෝ සුදු මීදුම් කැටි , නිල් අහස නරඹමින් හී ගඩු පිපෙන ගත වැදෙන සීතල උහුලානෙ අපි එහි ගි‍ෙයමු. කොස්ලන්ද හන්දියේදී අපේ ගමන අවසන් විය.පුරා රැයක් නිදිවරමින් රාජකාරියේ යෙදුණු චමින්දට ලැබුණේ සැනසිල්ලකි. අපහසු මාර්ගයේ යාමට නම් අප වෙනත් වාහනයකට මාරු විය යුතුය.

කවදත් සිළුමිණ සත්කාර්යයන් සමඟ අත්වැල් බැඳ සිටින ඌව පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හඳවලපිටිය මහතා මෙවරද අපට දායක වුයේය. ඔහුගේ රියදුරු පුරා පැය ගණනක් අප එනතුරු කොස්ලන්දට වී බලා සිටියේය. කාර්යාල වෑන් රථයේ තිබු සියලු බඩුබාහිරාදිය අපි හැමෝම එකතු වී කැබ් රථයට පැටවුයෙමු. පිරිසට යාමට ඉඩ මදිය. සෙස්සන් නැගුණේ කැබ් රථයේ පිටුපසටය. ගමන අවදානම්ය. ගල් ගොඩැලි උඩින්,නාය යෑමෙන් හැදුන අලුත් දියපාරවල් මතින් යන ගමන තරමක් බියජනකය. රියැදුරු ධර්මේ අයියා(ආර් .එම් ධර්මසිරි බණ්ඩාර) බොහෝ ඉවසිල්ලෙන් ඒපටු පාරේ ඉදිරියට රිය පදවාගෙන යන්නේය. මඟ පෙන්වීමට ඉදිරියෙන්ම යන්නේ කොස්ලන්ද පොලීසියේ කොස්තාපල් කේ.ඒ.ආර් කුමාරය.

වෙහෙසකර ගමන අවසානයේ මීරියබැද්ද දෙමල විද්‍යාලය තාවකාලිකව පවත්වාගෙන යන ගරා වැටුණ වතු බංගලාවට ආ‍වෙමු. දරුවන් දෙමාපියන් ගුරුවරුන් අප එන මඟ බලාසිටියේ නොඉවසිල්ලෙනි. විදුහල්පති ගනේෂන් කරුණානිධි මහතා අප පිළිගත්තේඉතා ගරුසරු ඇතිවය. කුරුවිට බණ්ඩාර මහතා මේ සත්කාරයට මඟ පෑදුණසැටි විස්තර කළේය. පාසල් දරුවන්ට තෑගි බෙදා දීම ඇරඹුණේ ඉන් අනතුරුවමය. සපත්තු ජෝඩුවක් අතට ගත් දැරියක ඒදෙස බලා සිටියේ සතුටිනි. සැ‍ෙණකින් ඇය තම දෙපා දෙස බලනු අප ඇස ගැටුණේ අහම්බෙනි. දැරිය පැළඳ සිටි සපත්තු යුගල කැඩි බිදී ගිය එකකි. ඈ මුව පුරා නැගුණේ සොඳුරු සිනාවකි.දරුවෝ පමණක් නොව වැඩිහිටියෝ ද,ඔවුන් සමඟ පැමිණ සිටි අනෙකුත් දරුවන්ද හිස් අතින් නොයැව්වෙමු. ඔවුන්ටද ටොෆි චොකලට් බෙදා දුන්නෙමු. දරුවන්ගේ මුහුණුවල ඇත්තේ ජයග්‍රාහි සතුටකි.

"අපිට සතුටුයි. අපි ආසයි දරුවන්ට උගන්න ගන්න. සිළුමිණට ස්තුතියි." ද්‍රවිඩ මවක පැවසුවේ නෙත නැගි කඳුලක් පිස දමමිනි.

සියල්ල බෙදා අවසානයේ අපි යළිත් එන්නට පිටත් වුණෙමු. ඒ කඳුවල හැපෙමින් තිබු වැහි වලාකුළුවලට බියෙනි. මේ ගමනට අපත් සමඟ තවත් අයෙක් ද සහභාගි වුයේය. ඒ තිනකරන් පුවත් පතේ බදුල්ල ප්‍රාදේශිය වාර්තාකරු මුරුගේෂ් සෙල්වරාජ් මහතාය.

සිළුමිණ සිත්මල් යාය සත් කාර්යයේදී මීරියබැද්ද හා සිළුමිණ අතර සියලුම සම්බණ්ධිකරණය සිදු කරන ලද්දේ කොස්ලන්ද පොලීසියේ ස්ථානාධිපති සුනිල් දයාසිරි මහතා විසිනි. අපමණ රාජකාරී මැද්දේ වුවද ඔහු ද අපේ ගමනට සහභාගි වුයේය. සති ගණනක් තිස්සේ මීරියබැද්දට යාමට සුදානම් වු ගමන විටෙක විනෝදජනක විය. විටෙක වෙහෙසකරය. සැබවින්ම එදා නම් එය හැඟිම්බරය. ඒ සිළුමිණ සිත්මල් යාය පාඨකයන්ගෙන් ලැබුණ ළෙන්ගතු සත්කාරය නිසාය.

යළිත් ධර්මේ අයියාගේ කැබ්රියේ නැගී කන්ද බැස්ස අපි කොස්ලන්ද හන්දියට ආවෙමු. ඒ වන විට හවස තුන පසුවී තිබිණි. අප අවට බැලුවේ දිවා ආහාරය ගැනීමට තැනක් සෙවීමටය. අපි නතර වුයේ හන්දියේම තිබු මධුෂා හෝටලයේය. එය විවෘත කර තිබුණේ එදින උදයේය. මීරියබැද්දේ පෙරපාසල කළ එම් සුමති විසින් හෝටලය ආරම්භ කර තිබුණි. "මම මීරියබැද්දේ ලිටිල් ෆ්ලවර් පෙරපාසල කරගෙන ගියේ. ගම නාය ගියාට පස්සේ පෙර පාසල නතර කළා. දැන් ආයෙත් ජනවාරි මාසේ ඉදලා පටන් ගන්නවා. වත්තෙන් මට ඉඩක් ලබා දුන්නා. එතකොට මගෙ මහත්තයා මේ කඩේ බලා ගනිවී. "සුමති එසේ කියන අතරේම එවලේ බදිමින් තිබු උණු උණූ උළුඳු වඩේ පිගානක් අප අසලින් ගෙනැත් තැබුවාය.

හැන්දෑ අඳුරට ගම වසා ගන්නට ඉඩ දී අපි කොස්ලන්දෙන් පිටත් විමු. අපත් සමඟ ගිය ඡායාරූප ශිල්පී තුෂාර තම සේවය අවසන් කොට විරුද්ධ දිශාවට යමින් තිබු සීටීබී බසයට දිව ගොස් ගොඩ වුණේ කතරගම වන්දනාවේ යාමටය.

අපි මීරියබැද්දේ දරු පැටවුන්ගේ සුරතල් සිනා යළියළිත් සිහියට නඟමින් කොළඹ එන්නට පිටත් වුණේ තවත් මෙවන් සත්කාරයකට දායක වීමේ බලාපොරොත්තුවෙනි.

මීරියබැද්ද සමාජ සත්කාරයට දායක වුවෝ

ගයාන් මාපිටිය මහතා
මේනකා ආරියදාස මෙනවිය
මානිකා ආරියදාස මෙනවිය
එම් .ඩී. ජේ පෙරේරා මහතා
සෝමලතා වෛද්‍යරත්න මහත්මිය
සිරිනි සේනාරත්න මහත්මිය
මල්කාන්ති නැණසිරි මහත්මිය
උපේක්ෂා නිමන්ති මෙනවිය
නදීෂා ප්‍රියදර්ශනී මෙනවිය
ඩී.එස් .අයි ආයතනය (විශේෂ මිල අඩුකිරිම් යටතේ පාසල් සපත්තු කුට්ටම් ලබා දීම)
ඇට්ලස් ආයතනය (විශේෂ මිල අඩුකිරිම් යටතේ පාසල් පොත් හා උපකරණ ලබා දීම)



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »