වැස්ස විපතක් නොව සැපතක් කරගැනීමට අලුත් වැඩපිළිවෙළකට යමු

2015-11-22 10:17:00       659
feature-top
පසුගිය සතියේ අපේ රටට විශාල වැස්සක් ලැබිණි. ඒ මහා වැසි ජල ධාරිතාව නිසා විවිධ ප්‍රදේශවල විවිධ විපත් සිදු විය. පවුල් 30000ක් පමණ අසරණ වූහ. නමුත් මේ මහ ජලකඳ මහා ජල ප්‍රවාහන ක්‍රම මඟින් ගලා බැසීමටත්, වැසි ජලය ලෙස ගබඩා කිරීමටත් මෙතරම් විපතක් සිදුවන්නේ නැත. එමෙන්ම මේ විපත් ගෙනා ජලය මඟින් ලබන වසර සැපවත් කිරීමට ද උපාය මාර්ග ගැනීමට හැකියාව තිබේ. අප එසේ කියන්නේ ලබන වසරේ මැද භාගයේදී අප රටට ද එල් නීනෝ නම් දරුණු තත්ත්වය එන බවට ඇමෙරිකාවේ සමුද්‍ර හා වායුගෝලීය පර්යේෂණ පරිපාලන ආයතනය (NOAA) දැනටමත් අනතුරු අඟවා ඇති බැවිනි.

මේ පිළිබඳව සිළුමිණට කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ මහතා පැවසුවේ යම් වසරක ඔක්තෝබර් නොවැම්බර් මාසවල වැස්ස වැඩිවුණු විට ඊට පසු වසරේදී එල් නීනෝ තත්ත්ව ඇතිවීමේ වැඩි ඉඩකඩ තිබෙන බවයි. 1982, 1997/98 වසරවල අපේ රටට ඒ අයුරින් එල් නීනෝ ඇතිවී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණ අනුව මේ වසරේ අපේ රටේ කුරුණෑගල හා රත්නපුරය හැරුණු විට අන් සියලුම ප්‍රදේශවලට සාමාන්‍යයෙන් ලැබිය යුතු වැස්සට වඩා වැඩි වැස්සක් ලැබී ඇත. නමුත් මේ වැසි ජලය ක්‍රමානුකූල ලෙස අපිට සම්පතක් ලෙස යොදා ගැනීමට කිසිම වැඩ පිළිවෙළක් ඇත්තේ නැත.

ඒ ජලය නිසා අපට ඇතිවූයේ විපතකි. ඒ විපත ඇතිවූයේ අපේම වරද නිසායැයි මට සිතේ. අපේ රටේ දිස්ත්‍රික්ක 14ක පසුගිය දිනවල ගංගා ඇළ දොළ උතුරා ගියේය. ඉන් ප්‍රධාන ලෙස විපතට පත්වී ඇත්තේ අනවසර ලෙස ගංගා ඇළ දොළ රක්ෂිතය අසල පදිංචි වූ පිරිසය. අනෙක් අතට පසුගිය දිනවල මාර්ග හරහා අඩි 2 - 3 උසට ගංවතුර හා පිටාර වතුර ගැලීමට ප්‍රධාන හේතුව මාර්ගවල කානු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීමය. පසුගිය සමයේ බොහෝ පාරවල් පෙරනිමි තාර (කාපට්) අතුරා මනා ලෙස සකස් වුවත් ඒ පාරවල් දෙපස කානු පද්ධතියක් මනාව සකස් වූයේ නැත. තරමක් හෝ කානු ඇත්තේ අලුත්ම ප්‍රධාන මාර්ග කිහිපයක පමණි. ඒවාත් දැන් නිසි නඩත්තුවක් නැත.

කොළඹ හොරණ පාරේ පොල්ගස්ඕවිට මංසන්ධියේ කානු නැති නිසා පිටාර ජලය පාර පුරා ගලා පැය 4ක් පමණ වාහන තබදයකට ලක්වීමට ඒ හරහා යන අයට පසුගිය දිනක සිදු විය. මෙවැනි සිදුවීම් පසුගිය වැසි සමයේ බොහෝ මාර්ගවල සිදු විය. එමෙන් ම මහාමාර්ග දෙපස ඇති වගුරු බිම් රැසක්ම දැන් ගොඩකර තිබේ. මීට වසර 30 - 40කට පෙර පිළියන්දල හා වේරහැර ප්‍රදේශ අතර තිබු වගුරු බිම්වලින් සියයට 70ක් පමණ දැන් ගොඩ කර තිබේ.

පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පෙන්වා දෙන පරිදි ශ්‍රී ජයවර්ධනපුර අභය භූමියේ සියයට 40ක් හා බෙල්ලන්විල අභය භූමියේ සියයට 40ක් මෙලෙස සංවර්ධන කටයුතු සඳහා යයි විනාශ කර තිබේ. ඒ ප්‍රදේශවල වැඩි ජලය උරාගන්නේ ස්පොන්ජියක් ලෙස ක්‍රියා කළ ඒ වගුරු බිමයි.

පසුගිය කාලයේ ග්‍රාමීය මාර්ග හා නාගරික මාර්ග රැසක පෙරනිමි තාර (කාපට්) ඇතිරීම හෝ කොන්ක්‍රීට් ඇතිරීම සිදු විය. නමුත් මේ සියලු කටයුතුවලදී කොන්ත්‍රාත් කරුවන් කළේ මාර්ගයේ කාපට් ඇතිරීම හෝ කොන්ක්‍රීට් ඇතිරීම පමණි. කිසිම විටෙක පාර දෙපස කානු කැපීමට පසුගිය කාලයේදී පියවර ගත්තේ නැත. එහි ආදීනව බොහෝය. පුංචි වැස්සකින් ජලය පාර පුරා පිටාර යන්නේ මේ හේතුව නිසාය. මේ ගැටලුව විශේෂයෙන් පෙනෙන්නට ඇත්තේ ප්‍රාදේශීය සභා පාරවල්වලය. ඒ එම ප්‍රාදේශීය සභා බලධාරීහු මේ පිළිබඳව කිසිම අවධානයක් යොමු නොකරති.

මේ නිසා සිදුවී ඇත්තේ සුළු වැස්සක් ලැබුණු විටම පාර පුරා ජලය ගලා යෑම පමණක් නොව එම මාර්ගය ඉක්මනින්ම කැඩී යෑමයි.

මේ මාර්ග ඉදිකිරීමට දුන් කොන්ත්‍රාත්වලින් සියයට 10කට අඩුවෙන් මේ පාරවල් දෙපස කානු සකස් කිරිම සිදු කරන්නට ඉඩ තිබේ. නමුත් ඒ පිළිබඳව අදාළ ප්‍රාදේශීය සභා බලධාරීන් නිලධාරීන් කිසිම අවධානයක් යොමුකර නැත. අද බොහෝ ප්‍රාදේශීය සභා සෑම නිවසකින්ම අය බදු එකතු කරති. නමුත් මේ මාර්ග දෙපස කානු පද්ධතිය සකස් කර දෙන්නේ නැත. ඒ ගැන බලන්න නිලධාරීන් නැත. මේ නිසා වැස්සක් වැටුණු විගස මහාමාර්ග වාරිමාර්ග වී ජනතාව අසරණ කරති.

මෙවන් වැස්සකදී ලැබෙන වැසි ජලය ගබඩා කිරීමට නිවාස අසලට වැසි ජල ටැංකි සකස් කිරීමේ වැඩ පිළිවෙළක් ලංකා වැසි ජල රැස්කිරීමේ සංසදය මඟින් සිදුකරමින් පවතී. එවන් වැසි ජල ටැංකියක් ජල ලීටර් 8000ක් පමණ ගබඩා කිරීමට පුළුවන. වියළි කලාපයට මාස 7 - 8ක් ජලය නැති කාලයට මේ ජලය පාවිච්චි කිරීමට ගත හැකිය. මේ උතුරු නැ‍ඟෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවක වැසි ජල ටැංකි 40000ක් පමණ දැනටමත් සකස් කර ඇතැයි ලංකා වැසි ජල රැස්කිරීම් සංසදයේ අධ්‍යක්ෂිකා තනුජා ආරියනන්ද මහත්මිය පවසන්නීය.

ඇය පවසන පරිදි දැනට අම්පාර අනුරාධපුරය හම්බන්තොට, මඩකළපුව හා යාපනය යන දිස්ත්‍රික්කවල මේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වෙයි.

අලුත්ම සමීක්ෂණ අනුව උතුරු පළාතේ වකුගඩු රෝගය සඳහා සුදුසුම ජලය ලෙස මේ එකතු කරන වැසි ජලය ඉහළ ප්‍රමිතියක ඇතැයි විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් තීරණය කර ඇත. විශේෂයෙන් වවුනියාවේ මහකුච්චිකටු ප්‍රදේශයේ කළ සමීක්ෂණ මඟින් මේ බව අනාවරණය වී තිබේ. මීට අමතරව මහවිලච්චිය, මැදවච්චිය යන ප්‍රදේශවල ද මෙවැනි වැසි ජල එකතු කරන ටැංකි මෙම සංවිධානය මඟින් නොමිලේ සවි කර තිබේ. මේ මහ වැසි දිනවලදී මේ වැටෙන වැස්ස එකතු කරගැනීමට වැසි ජල ටැංකියක් සෑම නිවෙසකම ඉදිකිරීමට රජය ඉහත සංවිධානයට උදව්වක් ලබා දෙන්නේ නම් ඉතා වැදගත්ය.

මහ වැසි ඇදවැටෙන මේ කාලයේ මේ වැසි ජලය සුරැකීමට උදවු දීම උපකාර කිරීම රජයේ යුතුකමක් බව ද කිව යුතුය. එල් නීනෝ නියඟයක් පිළිබඳව අනතුරු අඟවා ඇති මේ අවස්ථාවේ මෙම සංගමය මෙතෙක් කල් කරගෙන ආ වැඩ පිළිවෙළකට වාරිමාර්ග අමාත්‍යාංශය, ජල සම්පත් මණ්ඩලය හා සියලුම පළාත් සහ පරිසර අමාත්‍යාංශ නිලධාරීහු ද පූර්ණ සහාය ලබා දිය යුතු යැයි පෙන්වා දිය හැකිය.

ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එල් නීනෝ තත්ත්වයට මුහුණ දීමට එම සංවිධානය සමඟ රජය අත්වැල් බැඳ ගත්තොත් එය මේ දිනවල ලැබෙන වැසි ජලය ලබන වසර තෙක් ගබඩා කිරීමට රැකුලක් වනු ඇත. ලංකාවේ ඕනෑම පළාතක අයකුට මේ වැසි ජලය සුරැකීම පිළිබඳව උපදෙස් අවශ්‍ය නම් ඒ අයට දුරකථන අංක 0115524612 අමතන ලෙස ද වැසි ජල රැස්කිරීමේ සංසදය ප්‍රකාශ කරයි.

මීට අමතරව රජයේ ගොඩනැඟිලිවල වැසි ජල සුරැකීමට යම් වැඩපිළිවෙළක් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක කරන්නේ නම් එයට උදවු දීමට එම සංසදය අපේක්ෂාවෙන් සිටී.

මෙරට 2005 දී පමණ අපේ රටේ ජාතික වැසි ජලය රැස් කිරීමේ පනත අනුමත වී තිබෙන නමුත් 2005න් පසු කිසිම රජයක් ඊට අවශ්‍ය නීතිරීති සකස් කර නොමැත. එහෙත් තායිලන්තය, බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව වැනි රටවල වැසි ජලය සුරැකීමට පනත් සම්මත කරගෙන ඇත. ඒ රටවල ලක්ෂ 20ක් පමණ දෙනා වැසි ජලය රැස්කරගෙන තම ජල අවශ්‍යතා ඉටු කර ප්‍රතිලාභ රැසක් ලබාගෙන ඇත. නමුත් අපේ රටේ මේ ක්‍රමයට අනුව වැඩි උනන්දුවක් ඇත්තේ ඉහළ කඳුකර ප්‍රදේශවල ජීවත්වෙන අය හා වියළි කලාපයේ අය පමණි. නිවාස ඉදිකිරීම් සැලසුම්වලදී භූගත වැසි ජල ටැංකි ඉදිකිරීම ලොව ජනප්‍රිය වී තිබේ. එවැනි නිවාස සඳහා ඒ රටවල පූර්ණ සහනාධාර ක්‍රම ද ක්‍රියාත්මක වේ.

මේ අනුව වත්මන් රජය මඟින් මේ වැසි ජලය එක්රැස් කිරීමේ වැඩපිළිවෙළට පූර්ණ සහාය දීම ඉදිරියට නියඟයක් ආවොත් ඊට මුහුණ දීම පිණිස ඉතා වැදගත් වේ. එයට අමතරව මේ වැඩ පිළිවෙළ පාංශු ඛාදනය වැළැක්වීමට ද ප්‍රයෝජනවත් විය.

මුලින්ම මහ වැස්සක් ලැබුණු විට එක්වරම ගංවතුර පිටාර වතුර වැඩිපුර ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කාලයක් තිස්සේ අපේ රටේ ප්‍රධාන ජලාශ හා මහා පරිමාණ මධ්‍යම පරිමාණ හා කුඩා පරිමාණ ජලාශ හා වැව් රොන්මඩවලින් ගොඩ වී තිබීමයි. ඒවා හැරීම පිණිස නව වැඩ පිළි‍වෙළක් වහා ක්‍රියාත්මක විය යුතුය. එලෙස ජාතික මට්ටමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර අපේ වැව් හැරීමට කටයුතු කළා නම් වැව්වල ධාරිතාව වැඩි වී මේ වැහි වතුර ගබඩා කරගැනීමට ඉඩකඩ ලැබෙනු ඇත. එවිට අලුත් ජලාශ ව්‍යාපෘති අවශ්‍ය නැත. වැස්සෙන් වන විපත් ද අවම වෙයි. නියඟයක් ආවත් එයට ද විසඳුම සමඟ අවශ්‍ය ජලය ද ලැබෙනු ඇත.

මේ කරුණු අනුව අපට සමස්තයක් ලෙස පෙන්වා දිය හැක්කේ ලැබෙන වැස්ස විපතක් ඇති කරන නමුත් ඒ විපත සැපතකට හරවාගැනීමට සුදුසු විකල්ප වැඩපිළිවෙළ අප රටේ බලධාරීන්ට හා නිලධාරින්ට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ඇති බවයි. එය ඉක්මනින් ක්‍රියාවට නැංවීම රටේත් ජනතාවගේත් විශේෂයෙන් රටේ පරිසරයේත් තිරසර ප්‍රවර්ධනයට ප්‍රධාන හේතුවක් වනු ඇත.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »