කුණු කන්දකින් වැසී යන අම්බුළුවාව කන්ද

2015-11-08 01:44:00       580
feature-top
* වනාන්තරය කොන්ක්‍රීට් වනයක් වෙලා කිසිම
*සංරක්ෂණයක් අලුත්වැඩියාවක් නෑගම්පොළ නගරයේ *කුණු ට්‍රැක්ටර් නවයක් දිනපතා අම්බුළුවාවට
*දුර්ගන්ධය

අම්බුළුවාවට ආවේණික මත්ස්‍යයින්, සමනල වර්ග, මෙන් ම උරග වර්ග බොහෝමයකි. කුඩා ම සර්පයාගේ සිට ලොකු ම සර්පයා වන පිඹුරා ද අම්බුළුවාව පරිසරයේදි දැකිය හැකිය යන්න පරිසරවේදීන්ගේ මතයයි. නමුදු ඓතිහාසික වටිනාකමක් ද ඇති කෝටි දහයකට වැඩි මුදලක් වැය කර ඉදිකළ අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථානය අද හුදකලා වී ඇත. ඒ අවට පරිසරය ගම්පොළ නගරයේ කුණුවලින් වැසී යෑමට තවත් කාලයක් ගත නොවනු ඇත. මෙය අද ‍ප්‍රේම පාරාදීසයකි. ඉඳින් මෙහි අනාගතය කෙබඳු වෙයි ද?

එහෙ දැන් බලන්න දෙයක් නැහැ!

මෙදා පාර යන්නේ අම්බුළුවාවට යැයි දැනගත් විට බොහෝ දෙනා එසේ කීහ. කවුරුන් මොනවා කිව්වත් අම්බුළුවාව දැක ගැනීමේ ආශාව නම් අඩු නොවූයේය. පේරාදෙණිය පසුකරන විට උදෑසන අට පසුවන්නට ඇත. හීන් වැහිපොදයකට මුවා වෙමින් අපි ගම්පොළ නගරය පසුකර සිංහපිටිය හෙම්මාතගම පාරේ අම්බුළුවාවට යන්නට වීමු.

අම්බුළුවාවේ බලන්න දෙයක් නැහැ.

කතාව ඇත්තක් ද? එසේ සිතුණේ අම්බුළුවාවට පිවිසෙන ප්‍රධාන දොරටුව දුටුවිටය. අවට බැලූවිට එකල එහි තිබූ ශ්‍රි විභූතිය නැති බව වැටහිණි. එදා එහි තිබූ කඩපොළ ද දකින්නට නැත. ඇත්තේ එක් තේ හා සිල්ලර කඩයක් පමණි. එය ද එතරම් නොව කොහෙත්ම සරුවක් නැත. වාහනය ඇතුළට ගැනීමට නම් රුපියල් සියයක් දී ටිකට් පතක් ලබා ගත යුතුය. අම්බුළුවාවේ සිරි දකින්නට නම් එක්කෝ වාහනයේ ම උඩට යා හැකිය. නැතිනම් පා ගමනින් යා හැකිය. සිහින් වැහිපොද, කඳුමුදුන්වල මීදුමේ දැවටී හමන සුළ‍ඟේ පහස ලැබිමේ ආශාවෙන් අපි පා ගමනින් කන්ද තරණය කරන්නට වීමු.

මේක හදපු දවස්වල හරිම ලස්සනයි. අපි ගෙදර අය‍ත් එක්ක ඇවිත් තියෙනවා. කන්ද උඩටම ගියාම හරි අපූරුවට අවට පෙනෙනවා. ඒත් ඒ දවස්වල අපි මේ පරිසරයේ දුටුව ලස්සන දැන් නැහැ. මේ ගොඩනැඟිලි ඔක්කෝම ගරා වැටිලා. පේනවා නේද උදේ පාන්දරම තරුණ ජෝඩු එන හැටි.

මඟ පෙන්වීමට පැමිණි මංජුල අවට සිසාරා බලමින් පවසන්නේය. චමිලා, මදාරා හා පියුමි ද මංජුලට හූමිටි තියන්නෝය.

මුහුදු මට්ටමේ සිට අඩි 3567ක් උසින් යුතු අම්බුළුවාව කන්ද පිළිබඳව මයුර සංදේශයේ ද සඳහන් වේ.

ගහක් වියත වියතෙක සිටි සිටි තැනිනි
වහන් කරන මල් මුවරද සල හිසිනි
පහන් ස‍ඳෙහි රිවි කැන් උදයන උඩිනි
පහන් සඳිනි වඩු අම්බුළුවාව කඩිනි

මහනුවර දිස්ත්‍රික්කයත් කෑගල්ල දිස්ත්‍රික්කයත් වෙන්කරන එක් මායිමක් වන්නේ අම්බුළුවාව කන්දයි. සුන්දර ස්වභාවික පරිසරයකට හිමිකම් කී අම්බුළුවාව මීට කලකට පෙර නවීකරණය වූයේය. ඒ දි.මු. ජයරත්න ඇමැතිතුමාගේ තීන්දු තීරණවලට අනුවය. අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථානය ඇරැඹියේ දෙදස් හයවසරේදීය. දැන් වසර දාහතරක් ගතව ඇත. එහි දුටු සොඳුරු බව අදටත් මේ පරිසරයෙන් දැකිය හැකිද?

පුදුමාකාර සල්ලි තොගයක් තමයි මේකට වියදම් කළේ. ඒ වියදම් කළාට කමක් නැහැ. එදා වගේ ම අදත් මේක ඒ විදිහට තියෙනවා නම්. කිසිම සංරක්ෂණයක්වත් අලුත්වැඩියා කිරීමක්වත් නැහැ. පදනමට තමයි අයිතිය තියෙන්නේ. ඒත් මේ බලන්න පරිසරයට වෙලා තියෙන වින්නැහිය. මේ කන්ද නිකම් කොන්ක්‍රීට් වනාන්තරයක් වෙච්ච එක විතරයි වුණේ.නෙන ගම්පොල නගරය

නම ගම කීමට හෝ ඡායාරූප ගැනීමට කිසිදු අවසරයක් ලබා නොදුන් අයකු අප සමඟ පැවැසුවේ වේදනාවෙනි.

ගොවිසෙවණ, පොකුණ, නව රැස්වීම් ශාලාව අම්බලම, පුස්තකාල ගොඩනැඟිල්ල ආදි බොහෝ තැන්ද පසුකර අපි සර්ව ආගමික මධ්‍යස්ථානය වෙත ආවෙමු. පසෙකින් ඇත්තේ පන්සලයි. අනෙක් පසින් කතෝලික පල්ලියයි, කෝවිලයි, මුස්ලිම් පල්ලියයි.

කෙමෙන් හිරු මුදුන් වෙයි. එහෙත් ඉර එළිය වැටෙන්නේ මීදුමට මුවා වෙමිනි. අම්බුළුවාව කඳුමුදුන දැන් සීතලයෙන් වෙළාගෙනය. දෑත් පටලා එහි පැමිණෙන ඇතැම් අය අවට පරිසරය විඳිති. පාසල් සිසු කණ්ඩායමක් ද මේ අතර වූයේය. ඇතැම් කණ්ඩායම්වල වැඩිහිටියන් නැත.

සීතල හෝ මහන්සිය නොතකා ඒ හිමිදිරියේත් ගහකොළ කප්පාදු කරමින් මිදුල පිරිසුදු කරන පියවතී සමඟ අපි මොහොතකට කතා කළෙමු. ඇය අපට හමුවූයේ තාරකා මන්දිරය සහිත නැරඹුම් මැදිරියට පිවිසෙන පඩිපෙළ අසලදීය.

මගෙ ගම බෝතලාපිටිය. අවුරුදු දහ අටක් තිස්සේ මම මෙතැන රස්සාව කරනවා. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු විසිහතයි. දෙවැනි පුතාට අවුරුදු විසිතුනයි. බාලදුවට අවුරුදු විසිදෙකයි. මගෙ මහත්තයා කුලීවැඩ කරන්නේ. මට දවසට රුපියල් හාරසියයි ලැබෙන්නේ. මගෙ දරුවෝ තුන්දෙනා ම අසනීපකාරයෝ. ඔවුන් තුන්දෙනාටම කල්පනාව අඩුයි. අපි දෙන්නා තමයි දරුවෝ බලා ගන්නේ. බෙහෙත්වලට වියදමක් යනවා. දැන් මගෙ වයසත් අවුරුදු පනස් අටක්. ඉස්සර අම්බුළුවාව අයිති වෙලා තිබුණේ පේරාදෙණියට. දැන් මේක බලගන්නේ පදනමෙන්. වෙලාවකට හිතෙනවා මොකටද මේ රස්සාව කරන්නේ කියලා. ඒත් ජීවත් වෙන්න අමාරුයි නේ.

පියවතී පවසන්නේ කනගාටුවෙනි. කොතරම් වැඩකළ ද ඇයට දවස පුරාම සිහිවන්නේ තමන්ගේ අසනීප වූ දරුවන් තිදෙනාය.

ජීවිතයේ කොතරම් ප්‍රශ්න තිබුණ ද ඔවුහු අම්බුළුවාව පරිසරයට දැඩිසේ ඇලුම් කරති.

ඉස්සර නම් සේවකයෝ එකසිය ගණනක් හිටියා. නමුත් දැන් ඉන්නේ සේවකයෝ අටදෙනයි. අපි තමයි මේ පරිසරය පිරිසුදු කරන්නේ. මෙතැනට එක එක ජාතියේ අය එනවා. තරුණ ගැහැනු පිරිමි ළමයි ආවා ම අපි සෝදිසියෙන් ඉන්නවා. සමහර වෙලාවට වයසක උදවිය තමන්ගේ දරුවෝ වගේ ගෑනු ළමයි අරගෙන එනවා. අපි ඒ අයට අවවාද කළත් පිළිගන්නේ නැහැ. පොලිසියෙන් ඒ වගේ අයට එන්න දෙන්නෙත් නැහැ. නමුත් සමහර වෙලාවට ඒ අයව නතර කරන්න අපට බැහැ.

ඒ එහි සේවය කරන තවත් අයකු කී තොරතුරුය.

සේවක සංඛ්‍යාව අඩුය. එහෙත් සිටින සුළු දෙනා හෝ අම්බුළුවාව පරිසරයට රැක ගැනීමට අපමණ වෙහෙස දරති. ඔවුන්ගේ වෙහෙස නිරර්ථක බව අපට දැනෙන්නේ අම්බුළුවාව යන අතරමඟදි කැලෑ රොදවල්වල රැඳී තිබෙන සැමන් ටින්, බෝතල්, ප්ලාස්ටික් කෝප්ප, සිලි කවර ආදිය දුටු විටය. ජෛව විවිධත්වය අතින් ඉහළ වටිනාකමක් ඇති මේ ‍සොඳුරු පරිසරය වනසා දමන්නට තරම් එහි යන එන්නන් හිත හදා ගන්නේ කෙලෙස ද? ලක්ෂ කෝටි ගණනක් මුදල් වියදම් කර හැදූ බිම අද වල්බිහි වෙමින් පවතී. නමුත් සුදු හුණු බදාම තට්ටු ගැලවී ගිය, කැලෑවට ගිය ඒ ගොඩනැඟිලි සියල්ල දෑස් මානයෙන් අමතක කර දමා පරිසරයේ වටිනාකම පමණක් ගත් විට එය කිසිසේත් මිල කළ නොහැකි. අම්බුළුවාව මුදුනට ගොස් බැලූ විට ඒ දහවලෙත් පහළ නගර පෙනෙන්නේ නැත. අම්බුළුවාව අහසත් පොළවත් අතර වෙනසක් නැත. අවට සුදු මීදුමෙන් වැසී ගොසිනි. එදෙස බලන කවරකුට හෝ පෙනෙන්නේ වලාකුළු අතර නගරය සැඟවී ඇති සෙයකි. ජලපෝෂක ප්‍රදේශයක් වන අම්බුළුවාව පරිසරය හොඳටම ඉවකර බැලූ විට ඒ හමන සුළඟින් එන්නේ කුණු ගඳකි.

ඇයි එහෙම වෙන්නේ. අපි ඊළඟට සොයන්නට වූයේ එයයි.

ආන් අර පැත්තට කුණු ගෙනැල්ලා දානවා. කෙනෙක් අපට කීවේය. අම්බුළුවාව දැකීමෙන් ලැබූ සතුට ද දුක ද හිත රඳවාගෙන අපි කුණු කන්ද සොයන්නට වීමු. කුණු කන්ද සොයමින් යළිත් කන්ද බසින අතර අපට අපාය හමුවිය. එය ගුහාවකි. කවුරුත් එම ස්ථානය හඳුන්වන්නේ අපාය ලෙසිනි. ස්ථාන කිහිපයකටම ළඟා විය හැකි අයුරින් කොන්ක්‍රීට් කර ගුහාව සකසා ඇත්තේය. ඒ වැහිබර දිනයේ ගුහාව ඇතුළත ද දිය සීරාව තිබුණි.

මොන එහෙකට මේක හැදුවද මන්දා. මෙතන එච්චර හොඳ දේවල් වෙන්නේ නැහැ. තරුණ ජෝඩු මේක ඇතුළට යනවා... අපි අපායේ මඳ දුරක් ගොස් ආපසු එන්නට වීමු. අලුත් ජෝඩුවක් එහි ගියේ ඒ අතරතුරය.

ගම්පොළ ගනේතැන්න පාරේ වැඩිදුරක් යාමට ලැබුණේ නැත. ඈතින් හමා එන සුළ‍ඟේ දුර්ගන්දය ඉවසිය නොහැකි තරම්ය. ඈතින් දිස්වන්නේ බතලේගල කන්ද හා දෙවනගල කන්දය. දිනපතා එන යන කුණු ලොරි නවයකින් පමණ මේ ප්‍රදේශය පිරෙන්නේය. අධික දුර්ගන්දයෙන් ද මැස්සන් ද පිරුණ මේ ප්‍රදේශයට පමණක් නොව ඒ ආසන්නයේ ඇති ගම්වලට ද මේ වන විට කුණු ප්‍රශ්නය තදින් බලපා ඇත්තේය.

අම්බුළුවාව අවට බලත්ගමුව, ඕලාන, ගල්පාය කුරුඳුවත්ත සිංහපිටිය ආදි ගම්මානය. මේ ගම් වටකර තිබියදි ඉතා ඉහළින් ගම්පොළ නගරයේ කඳු ගැසෙන කුණු දිනපතා අම්බුළුවාවේ එක් පසෙකට ගෙනැත් දැමීම කෙතරම් නම් ඛේදවාචකයක් ද? මේ කුණු කන්දට පහළින් ගලන්නේ මහවැලි ගඟයි.

දැන් දැන් මේ කුණු දැමිල්ල අපේ ගම්වලට හරිම ප්‍රශ්නයක් වෙලා. ඉහළ ගම්වලට ඒක බලපෑවේ නැති වුණාට පහළ තියෙන ගම්වල වතුරටත් මේක එක් වෙලා. තවමත් ගම්මුන්ට කිසිම උත්තරයක් නැහැ. ගෙවල්වල කෑම පිඟානක්වත් ඇරලා තියන්න බැහැ මැස්සෝ වැහි වැහැලා. දුර්ගන්දය ඉවසන්න බැහැ. කවුරුත් අපිට විසඳුමක් දෙන්නේ නැහැනේ.

ගැමියෙකු පවසන්නේ කනගාට‍ුවෙනි.

කවුරුත් කතා කරන්නේ අම්බුළුවාවට සිදුව ඇති විනාශයය. ඇතැමෙක් එය විනාශයක් ලෙස දුටුව ද තවත් අය එය අගය කරති. අම්බුළුවාව කන්ද අවට පරිසරය එනමින් ප්‍රසිද්ධ වුවද අම්බුළුවාව ගම පිහිටා ඇත්තේ කන්දට පහළිනි. අම්බුළුවාවේ සේවය කරන සනි අයියා හෙවත් පියරත්න පෙරේරා පදිංචිව සිටින්නේ අම්බුළුවාව ගමේය. වසර හතරක් තිස්සේ අම්බුළුවාවේ සුළු සේවකයකු ලෙස කටයුතු කරන සනී අයියා ඉඳහිට මාලදිවයිනේ ද සේවයට යන්නේය.

වත්තේ පිටියේ වැඩ තියෙන දවසට මං වැඩට එන්නේ නැහැ. මං කරන්නේ මෙහෙ වැසිකිළි කැසිකිළි පිරිසුදු කරන එක. මං ගම්මිරිස් ටිකක් හිටවලා තියෙනවා. අම්බුළුවාව ගමේ තියෙන්නෙ ම සුළු අපනයන බෝග. මේ ගම්මිරිස් කඩන කාලේ.

සනි අයියා සමඟ අපි අම්බුළුවාව සුළු අපනයන බෝග ගම්මානයට ගියෙමු. වැස්ස වැටෙන්නේ හිතක් පපුවක් නැති ලෙසය. කූඩැල්ලකු දෙන්නෙකු ද යන මඟ අතරතුර අපට හමුවූයේය. මෙන්න මෙතනින් තමයි කෑගල්ල දිස්ත්‍රික්කයයි, නුවරයි වෙන් වෙන්නේ. මඟදි හමුවූ මිගෙල් පෙරේරා පා‍රේ එක් ඉමක් පෙන්වමින් පැවැසුවේය. කන්ද උඩරට පදිංචිව සිටියද මිගෙල් පෙරේරා දකුණේ උපන් අයෙකි.

ඉස්සර මේ වත්තේ දෙමළ අය ඉඳලා තියෙන්නේ. නමුත් මේක එක්දහස් නවසිය හැත්තෑ තුනේ රජයට පවරගත්තා. ඒ කාලේ මේක පවුල් එකසිය හැටක් අතරේ අක්කර භාගේ ගානේ බෙදුවා. නමුත් පදිංචි වුණේ පවුල් හැත්තෑ අටයි. ලණුවෙන් මැනලා තමයි ඉඩම් වෙන්කරලා දුන්නේ. ගම අයිති කෑගල්ල දිස්ත්‍රික්කයට වුණාට ඔප්පු තියෙන්නේ මහනුවරට. ඉතින් අපිත් අයිති මහනුවරට. 1994 තමයි ගමේ ගම්මිරිස් ව්‍යාපෘතිය පටන් ගත්තේ. ගම්මිරිස්වලට අමතරව කරාබු නැටි කෝපිත් වවනවා. මේ ගමේ රජයේ සේවය කරන අය ඉන්නේ හය හත් දෙනෙක් විතර. ඒ වගේම තමයි ‍ගමේ පදිංචිකාරයෝ ඔක්කෝම බෞද්ධයෝ. මිගෙල් මාමා පවසන්නේය.

අම්බුළුවාව ගමට වහින්නට කාලයක් නැත. අහස ඕනෑම වේලාවක වැහි අඳුරට හුරුවූ ගමන් ය. අම්බුළු කන්ද, තඹවිට කන්ද, රිලාගල කන්ද ගල්පාය, අළුගොල්ල ආදි කඳු පන්තීන්ට මැදිව පිහිටි අම්බුළුවාගම ගැමියෝ කෘෂිකර්මාන්තය නිසාම දිවි ගැට ගසා ගෙන සිටිති. ඔවුහු මේ පරිසරයට ආදරය කරති. ගම ඇතුළෙන් එළියට විත් ඈතින් පෙනෙන අම්බුළු කන්ද දෙස බැලූ විට එක් පසෙකින් පෙනෙන්නේ කුණු කන්දයි.

ඔවුන් ඉදිරියට පැමිණෙන්නට බියය. එහෙත් තවත් කලකින් තම ගමට හා අවට ගම්වලට බලපාන කුණු ප්‍රශ්නය පිළිබඳව ඔවුහු තැවෙන්නාහ.

තාම නම් අපේ ගමේ වතුරවලට මුකුත් ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර ගම්වලට දැනටමත් ඒක ප්‍රශ්නයක්.

කාටත් ප්‍රශ්නයක් වූ මේ කුණුවලට විසඳුම කොතැනක ද? එයට ඇති විසඳුම දිනපතා, එකතුවන කුණු ට්‍රැක්ටර් නවය බිම හෙළා මසකට වරක් පස්වලින් වසා දැමීම ද?

ස්වාභාවිකව රැකගන්නට තිබූ අම්බුළුවාව ද දැන් වල්බිහිවීය. ඉතින් අගනා වටිනාකමක් ඇති‍මේ පරිසර පද්ධතිය රැකගන්නේ කවුරු ද?



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »