ජයසිරි සේමගේ සිතුවම් කළ රට රකින දෑත් ජිනීවා ගිය හැටි

2015-11-02 10:35:00       580
feature-top
ආචාර්ය ජයසිරි සේමගේ අපේ දේශීය චිත්‍ර කලාව එතෙරට ගෙන ගිය ප්‍රකට සිත්තරෙකි. ඔහු සිතුවම් කළ අපේ ගැමි ජීවිතය විදහා දක්වන චිත්‍ර විදේශිකයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත. වී අස්වනු නෙළන ආකාරය නිරූපණය කෙරෙන අගනා චිත්‍රයක් ඔහු එක්සත් ජාතීන්ගේ සංගමයේ ප්‍රධාන ශාලාවේ පැවැති ප්‍රදර්ශනයට ප්‍රථම වරට ඇතුළත් කළේය.

එක්සත් ජාතීන්ගේ සංගමයේ එවක අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නොමඳ අවධානයට යොමු වූ එම චිත්‍රය ප්‍රධාන ශාලාවේ නිත්‍ය වශයෙන් ප්‍රදර්ශනය කිරීමට ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. වරක් මෙම ප්‍රධාන ශාලාවේ පැබ්ලෝ පිකාසෝගේ චිත්‍රයක් ද ප්‍රදර්ශනය කර තිබිණි.

ජිනීවා යනු මේ දිනවල නිතර පුවත්පත් ගුවන් විදුලි හා රූපවාහිනියෙන් ඇසෙන වදනකි. ජිනීවා වදනත් සමඟ අපට සිහිපත් වනුයේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. මානව හිමිකම් මූලස්ථානයයි. ලෝක රාජ්‍ය නායකයන් රැස්වී සාකච්ඡා පවත්වන එහි ප්‍රධාන ශාලාවේ ප්‍රදර්ශනය සඳහා අප රටේ ප්‍රවීණ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියකුගේ තෙළි තුඩින් හැඩවූ චිත්‍රයක් ද එක්කර තිබීම අප රටට මහත් ආඩම්බරයකි. ඔහු නම් කලාසූරි ආචාර්ය ජයසිරි සේමගේය. අ‍ෙප් පැරැණි සීගිරි චිත්‍ර ගැන කතා කළ විදේශිකයෝ අද අපේ සිත්තරුන් ගැන ද කතා කරවීමට එම චිත්‍රය සමත් වී ඇත.

ආචාර්ය සේමගේ විසින් සිතුවම් කරන ලද රට රකින දෑත් නම් වූ චිත්‍රය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියේ කෙසේ ද? අපි මේ පිළිබඳ සියලු තොරතුරු දැනගැනීමේ අදහසින් සේමගේ මහතාගෙන් තොරතුරු ‍විමසුවෙමු.

මගේ ඉතාම හිතවතෙක් තමයි රියෙන්සි නානායක්කාර මහතා. ඔහු රැකියාව කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එම ශාලාවේ. ඔහු එහි වගකිවයුතු නිල රාජකාරියක යෙදුණු කෙනෙක්. රියෙන්සි නානායක්කාර මහතා මා පිළිබඳව වෙබ් අඩවිය ඔස්සේ දැනගෙන සිටි කෙනෙක්. එක් දවසක ඔහු මට කතා කර ජිනීවා නුවර ඔබගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න කියා ආරාධනා කළා. ඒක මගේ සිහිනයක් සැබෑ වීමක් වුණා. මම ඊට කැමැති වුණා. ඔවුන්ට මා පිළිබඳ තොරතුරු අවශ්‍ය වුණා. මම සියල්ල කඩිනමින් ඔහුට යැව්වා. මගේ තොරතුරු දැනගත් එම සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රදර්ශනය පැවැත්වීමට එම ශාලාවේ ඉඩකඩ ලබාදීමට අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව 1992 ජනවාරි මාසයේ දින 10 ක් ජිනීවා නුවර එම ශාලාවේ මා ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවා. එ. ජා. සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා. සිංහල චාරිත්‍රානුකූලව එම උත්සවය විචිත්‍රාකාරයෙන් පැවැත්වුණේ. ඒ කාලේ ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපතිව සිටි ප්‍රකට‍ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ප්‍රසාද් කාරියවසම් මහතාගේ හා ශ්‍රී ලංකා තානාපති සේවයේ ජිනීවාහි සිටි අරුන්දතී අරුණතිලක මෙ‍ෙණවිය මේ සඳහා බොහෝ වෙහෙස මහන්සි වුණා.

සේමගේ මහතා අතීත සිදුවීම සිහිපත් කරන්නේය. ප්‍රදර්ශනය සාර්ථකව නිමාවට පත්වූයේය. ප්‍රදර්ශනය අවසානයේ අධ්‍යක්ෂතුමා සේමගේට ළංවී යමක් විමසුවේය. ඒ සේමගේ විසින් නිර්මාණය කරන ලද සම්භාව්‍ය චිත්‍රයක් එ. ජාතීන්ගේ සංවිධානයට පරිත්‍යාග කිරීමට කැමැති ද කියාය. සේමගේ ඒ යෝජනාවට ඉහළින්ම කැමැත්ත ලබා දුන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට රට රකින දෑත් චිත්‍රය ලැබුණේ එලෙසිනි.

පැබ්ලෝ පිකාසෝ, මයිකල් ඇන්ජලෝ, ලෙනාඩෝ ඩා වින්සි යන ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ අතර ශ්‍රී ලංකාවේ ජයසිරි සේමගේ ගේ සිතුවමක් ද තිබීම ශ්‍රී ලංකාවට මහත් අභිමානයට හේතු නොවන්නේ ද?

අම්බලන්ගොඩ උපන් ජයසිරි සේමගේ අධ්‍යාපනය ලැබුවේ කලාකරුවන් රැසක් බිහිකළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි. පාසල් අධ්‍යාපනයෙන් පසුව හා පුරා කියා පුවත්පත් චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළ සේමගේ මුලින්ම බැඳුණේ ලංකාදීප පුවත්පතටය. පසුව ඔහු ඩී. බී. ධනපාල මහතා ආරම්භ කළ දවස කන්තෝරුවේ සේවයට බැඳුණේය.

කලක් ඔහු සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය සංග්‍රහයට සිරි රහල් හිමියන්ගේ සැලළිහිණි සංදේශයත් වෑත්තෑවේ මහ නාහිමියන්ගේ ගුත්තිල කාව්‍යයත් සිත්තමට නැඟුවේ ඒ සිත්තම් රසික ජනාදරයට පත්විය.

ස්වීඩනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ඕමානය ඇතුළු ලෝකයේ රටවල් රාශියක ඔහු චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇත්තේය.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »